ගුරුතුමා හා ගෝලයා | Page 6 | සිළුමිණ

ගුරුතුමා හා ගෝලයා

එකමත් එක කාලයක චීනයේ ගම්බද පාසලක ගුරුවරයකු ලෙස භික්ෂුවක් සේවය කළා. මේ භික්ෂුව දිවා විවේක කාලයේදී ආහාර හා බීම වර්ග වළඳා ඉන්පසු මඳ වේලාවක් නිදා ගැනීමේ පුරුද්දක් තිබුණා. ආහාරයෙන් පසු සෑම විටම මේ භික්ෂුව ඇවිද යා නොහැකි තරමේ අපහසුවකිනුයි සිටි‍යේ. මේ නිසා සෑම කාලපරිච්ජේදයක් ආරම්භයේදීම භික්ෂුව නිදා ගැනීම පුරුද්දක් වශයෙන් කළා. සැම දිනකම කාලපරිච්ජේදය අවසානයේ සීනුව නාද වනතෙක්ම භික්ෂුව නිදා ගැනීම පුරුද්දක් වුණා. භික්ෂුව අවදි වෙද්දි බොහෝවිට පාසල් කාලය හමාර වෙලා.

ගමේ දුප්පත් ගොවියකුගේ පුතෙක් මේ පාසලේ සිසුවෙක්. ලී නම් වූ මේ සිසුවා ඉගෙනීමට හපනෙක් මෙන්ම දිනපතා පාසල් ඒමත් පුරුද්දක් වශයෙන් කළා. ගුරුතුමාගේ මේ දිනපතා නින්ද ඔහුට ප්‍රශ්නයක් වුණා.

දිනක් ලී ගුරුතුමාගෙන් මේ ගැන ප්‍රශ්න කළා.

“ගුරුතුමනි, ඔබතුමා අපගේ පාඩම් කාලයේදී දිගටම නිදා ගන්නේ ඇයි? ”

“ඒක මෙහෙමයි වෙන්නේ. මං නිදාගන්නා මිනිත්තු කීපයේදී සිහිනයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ මුණ ගැහී උන්වහන්සේගේ ඔවදන්වලට ඇහුම්කන් දෙනවා. එම ඔවදන්වලට ඇහුම්කන් දිය යුතු නිසයි මා හැකි තරම් නිදා ගන්නේ ” ගුරු භික්ෂුව වැඩිමනත් යමක් නොසිතා පිළිතුරු දුන්නා.

ලී දුප්පත් දරුවෙක්. වරක් ඔහුගේ පියා ඔත්පළ වූ විට රාත්‍රී කාලයේදී පියාට සාත්තු සප්පායම් කරමින් රාත්‍රිය පුරා නිදිවැරීමට ලීට සිදු වුණා. පසුදා පාසලට පැමිණි ලීට මුළු උදේ වරුව පුරාම පන්ති කාමරයේදී නින්ද ගියා. එනිසා කාලපරිච්ජේදය අවසානයේ නැඟෙන සීනු හඬ පවා ඔහුට ඇසුණේ නැහැ. එහෙත් එම සීනු නාදයෙන් අවදි වූ ගුරුතුමා . පන්තියේ නිදා සිටින ලී දැක්කා. ඉන් කෝපයට පත් ගුරුතුමා ලී ගේ කනින් අල්ලා නැගිටුවා ඔහුට බැණ වදින්න වුණා.

“ආ! උඹ පුංචි කපටියා. මගේ පන්තිය වෙලාවේ උඹ ඔය විදිහට නිදා ගන්නේ කොහොමද?”

“ගුරුතුමනි, මා පන්තියේ නිදා ගත් බව සැබෑව. මාත් නින්දේදී හිටියේ අපගේ ශාස්තෘන් වහන්සේ‍ට ඇහුම්කන් දෙමිනුයි” ලී පිළිතුරු දුන්නා.

“ආ හැබෑද?, එහෙනම් ශාස්තෘන් වහන්සේ උඹට මොකද කිව්වේ?”

“උන්වහන්සේගේ ජිවිතය පුරාවට කිසිම දවසක ඔබතුමා මුණ ගැසී නැති බවක් උන්වහන්සේ මට පැවසුවා.” ලී ගේ පිළිතුර වූයේ එයයි.

චීන ජන කතාවකි.

සේමාලි නැන්දා

චිත්‍ර - කුමුදු මාමා

Comments