
1. තන - සිංහලයෙහි නිවැරදි ණ-න, ල-ළ වහර පිළිබඳ සංවාදවල දී බෙහෙවින් නිදසුන් පිණිස ගැනෙන වදනෙකි. (මූර්ධජ) ණ, (දන්තජ) න දෙකෙහි වෙනස නිසා අරුත් වෙනස් වන සැටි මේ නිදසුන මඟින් බොහෝ විට දක්වනු ලැබේ. උඩ දක්වා ඇති පරිදි (දන්තජ) ‘න’ සහිත ‘තන’ යන්නෙන් ලැබෙනුයේ ‘පියොවුරු’ යන අරුත යි. ඒ නම් ක්ෂීර ග්‍රන්ථි සහිත කාන්තා ශාරීරාංගය යි. සංස්කෘතයෙහි ‘ස්තන’ යනුදු, පාලියෙහි ‘ථන’ යනුදු මේ හා අනුරූප වැ යෙදෙන වදන් වෙයි.
මේ (දන්තජ) ‘ත’ සහිත ‘තන’ යන්නේ තව ද අරුතක් වෙයි. ඒ නම් ‘තැන’ යනු යි. තැන යන්න ඇතැම් පුරාතන ලේඛනවල ‘තන’ යන රූපයෙනුදු දක්නා ලැබේ. ඒ හා අනුරූප වැ පාලියෙහි ‘ථන’ යනුදු සංස්කෘතයෙහි ‘ස්ථාන’ යනුදු යෙදේ. වර්තමානයෙහි නම් තැන යන්න ම ඒ අරුතින් වහරෙහි යෙදේ.
2. තණ - (මූර්ධජ) ‘ණ’ සහිත ‘තණ’ යන්නෙන් ගැනෙනුයේ පොළොවෙහි පැතිර යන කොළ පැහැති කුඩා පැළෑටි වෙසෙස යි. වහරෙහි දී ‘තණකොළ’ යනු බෙහෙවින් යෙදේ. සංස්කෘතයෙහි ‘තෘණ’ යනු මේ හා අනුරූප වැ යෙදේ. පාලියෙහි යෙදෙන්නේ ‘තිණ’ යන රූපය යි.
සිංහලයෙහි තව ද අරුතෙකින් ‘තණ’ යනු යෙදේ. ඒ නම් පාලියෙහි ‘තණ්හා’ යන්නෙන් ලැබෙන අරුත යි. සංස්කෘතයෙහි ඒ හා අනුරූප වැ ‘තෘෂ්ණා’ යනු යෙදේ.
3. තනන - මෙහි දෙවරක් ම යෙදෙන්නේ (දන්තජ) ‘න’ බව ඉතා සැලැකිල්ලෙන් බැලිය යුතු ය. තන (තැනීමෙහි ) ධාතුවෙන් (ක්‍රියා මූලයෙන්) උපදින වර්තමාන කෘදන්ත පදය ‘තනන’ වේ. ‘තනනවා’ යන භාව කෘදන්ත පදයෙහිදු මෙසේ දන්තජ ‘න’ ම දෙවරක් යෙදෙන බව සැලැකිය යුතු යි.
4. තමලු - මේ බෙහෙවින් සාහිත්‍ය රචනාවල යෙදෙන වදනෙකි. මෙහි (දන්තජ) ‘ලු’ විනා (මූර්ධජ) ‘ළු’ නොයෙදෙන බව සැලැකිල්ලට ගත යුතු ය. සංස්කෘත-පාලි දෙකෙහි ම ‘තමාල’ යන්න මේ හා අනුරූප වැ යෙදේ . තමලු හෙවත් තමාල නම් තොල්ලන් නමැති වෘක්ෂ විශේෂය ලෙස සැලැකේ.
5. තලු - මෙහි (දන්තජ) ‘ලු’ විනා (මූර්ධජ) ‘ළු’ නොයෙදෙන බව විශේෂයෙන් සැලැකිය යුතු ය. මේ ‘තලු’ යන නාම ප්‍රකෘතිය ඒක වචනයෙහි වර නැඟීමෙහි දී ‘තල්ල’ යනුවෙන් එහි ල-කාරය ද්විත්ව වැ යෙදෙන හෙයින් ‘තලු’ යනු ම නිවැරැදි බව තහවුරු වේ. සංස්කෘත-පාලි දෙකෙහි ‘තාලු’ යනු මේ හා අනුරූප වැ යෙදෙන වදන යි (තාලුජ අක්ෂර යනු තල්ලෙන් උපදිනා අකුරු යි).
තලු ගසනවා, තලු මරනවා වැනි යෙදුම්හිදු යෙදිය යුත්තේ (දන්තජ) ‘ලු’ මය. තලු (තල්ල) යනු මුඛයෙහි දත් වැටියට පසු ව කණ්ඨ බිලයට පෙර ඇති කොටස යි. එහිදු ‘පසු-තල්ල’ හා ‘පෙර-තල්ල’ යනුවෙන් කොටස් දෙකෙකැ යි ගැනේ.