නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමේ පීඩාව දරාගත්තේ කවි පන්තියක් ලිවීමෙන් | Page 2 | සිළුමිණ

නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමේ පීඩාව දරාගත්තේ කවි පන්තියක් ලිවීමෙන්

1954 වර්ෂයේ අග භාගයේ දවසකි. ලෙනින්ග්‍රාද්හි සිට බොරිස් පැස්ටර්නැක් දුරකතනයෙන් ඇමතූ ඕ ෆ්‍රීඩ්න්බර්ග් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීය‍. “මෙහෙ කටකතාවක් යනවා ඔයාට නොබෙල් තෑග්ග ලැබිලා කියලා. ඒක ඇත්තක්ද...? ඇයි එහෙම කතාවක් යන්නේ? පැස්ටර්නැක් ඇයට පිළිතුරු දුන්නේ මෙලෙසිනි. “ඔය කතාව ම මෙහෙත් යනවා. මම තමයි ඒක අහන්න ලැබුණු අන්තිමයා‍. ඒක ඇත්තක් වෙනවා නම් මම අකමැති වෙයි. ඒක බාර ගන්න එහෙ යනවා කියන්නෙ චාරිකාවකුත් නෙවෙයි... මේ ආරංචියේ සත්‍යතාවක් නො තිබිණි. එහෙත්, 1946 සිට 1950 දක්වා සෑම වසරකදී ම පැස්ටර්නැක්ගේ නම නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා සලකා බැලිණි. අන්තිමේදී 1958 වසරේදී එය සැබෑවක් විය. ඒ වනවිට ඔහු ‘ඩොක්ටර් ෂිවාගෝ’ කෘතිය ද රචනා කර තිබිණි. නොබෙල් ත්‍යාගය බොරිස් පැස්ටර්නැක් වෙත පිරිනැමෙන බව ප්‍රකාශයට පත් කරමින් නොබෙල් කමිටුව කියා සිටියේ, සමකාලීන කාව්‍ය ශාස්ත්‍රය මෙන් ම මහා රුසියානු වීරකාව්‍ය සම්ප්‍රදාය උදෙසා ද ඔහු කළ දායකත්වය අගයමින් එය පිරිනැමෙන බව ය. 1958 ඔක්තෝබර් 29 වැනිදා මේ ආරංචිය රැගත් විදුලි පණිවිඩය ඔහු වෙත ලැබිණි. ඔහු ඊට පිළිතුරු යැව්වේ “බොහොම ස්තුතියි... සතුටුයි.... ආඩම්බරයි.‍.. ඒත් මා ව්‍යාකූලයි....” යනුවෙනි‍. පළමු ව අසල්වැසියන්ගෙන් ද අනතුරුව දස අතින් ද ඔහු වෙත සුබ පැතුම් ගලා එන්නට විය. ඒ වනවිටත් ඩොක්ටර් ෂිවාගෝ කෘතිය විශාල ආන්දෝලනයක් ඇති කර තිබිණි. මිහයිල් ෂොලහව් වැනි ලේඛකයන් සිටියදී ඔවුන් මඟහැර පැස්ටර්නැක්ට ත්‍යාගය පිරිනැමීම ද දැඩි ව විවේචනය විය. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැස්ටර්නැක්ගෙන් කරුණු විමසීමක් ද කළේ ය.

උද්ගතවූ තත්ත්වය හමුවේ පැස්ටර්නැක් ලේඛක සංගමයට ලිපියක් යැවී ය. ඒ සමුළුව සඳහා ඔහු සහභාගි නොවූ අතර එහිදී ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවිණි. මේ ලිපිය විනාශ කරන ලදැයි පෙනෙන්නට තිබිණි. එය කරුණු 22 කින් සමන්විත ලියැවිල්ලක් විය. ‘ඩොක්ටර් ෂිවගෝ’ පිළිබඳ එහි කරුණු පැහැදිලි කර තිබූ අතර නොබෙල් ත්‍යාගය පිරිනැමී ඇත්තේ මේ කෘතිය සඳහා ම නොව තමාගේ සමස්ත නිර්මාණ කාර්යය උදෙසා ම බවද ඔහු පෙන්වා දුන්නේ ය. නොබෙල් ත්‍යාගය සඳහා පිරිනැමෙන මුදල සාමය සුරැකීමේ කමිටුවට ප්‍රදානය කිරීමට තමා තීරණය කර සිටි බව ද ඔහු එහි සඳහන් කළේ ය. තමා ලේඛක සංගමයෙන් යුක්තිය අයැද නොසිටින බව ද ඔබට අවශ්‍ය නම් මා මරා දැමීමට, පිටුවහල් කිරීමට හෝ ඔබ කැමැති ඕනෑම දෙයක් කිරීමට හැකි බව ද එහෙත් ඉක්මන් නොවන්නැයි ඉල්ලා සිටින බව ද පැස්ටර්නැක් එහි සඳහන් කර තිබිණි.‍

මෙහි බලප‍ෑම 14 වසරක් තිස්සේ පැස්ටර්නැක්ගේ ආදරවන්තිය මෙන් ම ඔහුගේ නිර්මාණ උල්පත බවට ද පත්ව සිටි ඔල්ගා ඉවික්ස්කයාට ද දැඩිව දැනිණි. ඇය පීඩනයට පත්වනු දැකීම ‍ඔහුට නොරිසි විය. ඇයගේ සේවා ස්ථානයේ දිගට ම රැඳී සිටීමට ඉඩ සලසන මෙන් ද තමා නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කර ඇති බව ද ‍ඔහු දනවා යැවුයේ එබැවිනි. ඔහු වෙනුවෙන් සිරබත් කෑමට පවා ඇයට සිදු විය. පැස්ටර්නැක් නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළේ සාත්‍රේ මෙන් ස්වේච්ඡාවෙන් නොවේ. ඔහුට එරෙහිව ඇතිවූ බලපෑම සහ ප‍ීඩනය ඊට ඉවහල් විය. පීඩනය දරාගැනීම කොපමණ අපහසුවී ද යත් ඔහු සියදිවි නසා ගන්නා තරමටම මනසින් වැටිණි. පැස්ටර්නැක්ගේ දරුවන් පසුකලෙක හෙළිදරව් කළේ ත්‍යාගය ප්‍රතික්ෂේප කළ ද එසේ සිටි පියාගේ මුහුණ අඳුරු වී තිබූ බවයි. ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය දශක 3 ක් පමණ ගතවනතුරු සාකච්ඡාවට ලක්කිරීමට පවා අවසර නොතිබිණි. පැස්ටර්නැක් සෝවියට් විරෝධියකු බව මෙන් ම බටහිර හිතවාදියකු බව ඔහුගේ නිර්මාණ ඔස්සේ කියවාගත් අදහස විය.

පැස්ටර්නැක්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු සෝවියට් නායක නික්තා කෘෂෙව්ට දුරකතනයෙන් ඇමතූ බව ද පසුකලෙක හෙළිදරව් විය.

පැස්ටර්නැක් වරෙක සිය පීඩනය මුදා හැරියේ ‘නොබෙල් ත්‍යාගය’ නම් පද්‍ය පන්තිය රචනා කරමිනි. තමා මිනීමරුවකු හෝ දුෂ්ටයකු වී දැයි ඔහු එහිදී සෙසු ලෝකයෙන් ප්‍රශ්න කරයි.

‘ඩොක්ටර් ෂිවගෝ’ කෘතියට සෝවියට් සංගමය තුළ ඉඩ නොලැබුණ ද විදේශ භාෂා ගණනාවකින් එය ප්‍රකාශයට පත්විය. සිය ප්‍රතිවාදියාට එරෙහිව එය සංස්කෘතික අවියක් ලෙස යෙදවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පසුබට නොවිණි. පසුකාලීනව හෙළිදරව් වූ රහස්‍ය ලේඛන මඟින් පැහැදිලි වන පරිදි සී.අයි.ඒ. මඟින් කෘතියේ පිටපත් සිය ගණනින් මිලදී ගෙන බෙදා හැර තිබිණි. සෝවියට් විරෝධයක් ඇති කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. කෘතියේ අන්තර්ගතය මඟින් සෝවියට් ක්‍රමය විවේචනය වීම ඔවුන්ට වාසිදායක විය. ඇතැම් මූලාශ්‍ර මඟින් හෙළිවී ඇති පරිදි පැස්ටර්නැක්ට නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලෙසට සී.අයි.ඒ. සංවිධානය නොබෙල් කමිටුවට බලපෑම් කර තිබේ. කෙසේ වුව ද එය සනාථ කිරීමට තරම් සාක්ෂි සපයාගත නොහැකි ය.

යම් හෙයකින් ත්‍යාගය බාරගැනීමට ඔස්ලෝ නුවර බලා ගියහොත් ආපසු මවුබිමට පැමිණීමට ඉඩ නොදෙන බවට සෝවියට් රජය පැස්ටර්නැක්ට දැන්වීය. ඔහු ත්‍යාගය බාරගැනීමට නොගියේ ය. එමෙන් ම එය ප්‍රතික්ෂේප කරන බව විදුලි පුවතක් මඟින් දැන්වීය.

මේ සිදුවීම්වලින් දෙවසරක් ගතවන විට පැස්ටර්නැක් ජීවිතයෙන් සමුගත්තේ ය. මරණය දක්වාම ඔහුට ත්‍යාගය ළඟා වූයේ නැත. ‘ඩොක්ටර් ෂිවගෝ’ කෘතිය සෝවියට් දේශයේදී ප්‍රකාශයට පත්වූයේ ඔහුගේ අභාවයෙන් දශක දෙක හමාරක්වත් පසුව 1988 දී ය. ඊළඟ වසරේදී ඔහුගේ පුත් යෙව්ජිනි පැස්ටර්නැක්ට ඔස්ලෝ නුවරට යාමට ඉඩ සැලසුණු අතර සිය පියා ප්‍රතික්ෂේප කළ ත්‍යාගය ඔහු වෙනුවෙන් බාර ගැනීමට හැකිවිය.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සමඟ කීර්තිය පමණක් නොව අපකීර්තිය ද මතභේදයට තුඩු දෙන කාරණා ද බැඳී පවතී.

බොහෝදෙනා අවිවාදයන් පිළිගන්නා කරුණක් නම් නොබෙල් කමිටුව විසින් මුල් පෙළේ ලේඛකයන් නොතකා හැර ඇති බවයි. ඊ‍ට හේතුව දේශපාලනික මෙන් ම සාහිත්‍යයෙන් බැහැර ඒවා ය. බොහෝ ලේඛකයන් පසුව කෙරෙන විචාර සුළුකොට තකනු ද දැකිය හැකිය.

වර්ෂ 1901 - 1912 අතර වකවානුවේ කමිටුව ක්‍රියාකර ඇති ආකාරයෙන් පිළිබිඹු වනුයේ පරිපූර්ණ දිශානතියක් ඔස්සේ යෑමට වෑයම් කරන බවකි. එමෙන් ම නොබෙල්ගේ කැමැත්ත උදාර හා පරමාර්දර්ශී එකක් ලෙස මතු කිරීමට ද ඉන් උත්සාහ දරා තිබේ. මාර්ක් ට්වේන්, එමිල් සෝලා, හෙන්රික් ඉබ්සන් ඊට නිදසුන් ය. ස්වීඩනය, රුසියාව කෙරෙහි දක්වන ඓතිහාසික නුරුස්නා බව තොල්ස්තෝයි හෝ ඇන්ටන් චෙකොෆ් වෙත එය ප්‍රදානය නොකිරීමෙන් පැහැදිලි වේ. පළමු ලෝක සංග්‍රාම අවදියේ සහ එය නිමැවූ විගස කමිටුව ත්‍යාග ප්‍රදානයේදී මධ්‍යස්ථ බවක් පළ කළ අතර යුද්ධයේ පාර්ශ්වකරුවන් නොව රටවලින් සම්මානලාභීන් තෝරා ගැනීමට නැඹුරුවක් දැක්වීය.

තවත් ප්‍රකට මඟ හැරීමක් නම් ඉන්දීය ලේඛක ආර්.කේ. නාරායන් ය. මල්ගුඩිය මැවූ ඔහු ‘රාමායනය’ සහ ‘මහාභාරත්’ සංක්ෂිප්ත වීරකාව්‍ය ද කළේ ය. අවස්ථා ගණනාවක නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේහ වී කෙටි ලැයිස්තුවකට පවා ඇතුළත් වුවද නාරායන්ට නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ නැත. නාරායන්ට ත්‍යාගය හිමිවිය යුතු බවට ග්‍රැහැම් ග්‍රීන් දැඩි ව පෙනී සිට තිබේ. ඔහු යම් දිනෙක එය දිනාගනු ඇතැයි ද ග්‍රීන් පවසා ඇත. පසු කලෙක ජෙෆ්රි ආචර් සාමිවරයා ද ඒ මතයට පක්ෂ ව අදහස් දක්වා තිබේ. මේ කාරණය ගැන සාහිත්‍ය ලෝකයේ විහිළු කතාද අසන්නට ලැබේ. ඉන් එකක් නම්, නොබෙල් කමිටුවට ඔහුගේ කෘති මඟ හැරෙන්නේ ඒවායේ මාතෘකා වරදවා වටහා ගන්නා බැවින් බව ය. ද ගයිඩ්, ද ඉංග්ලිෂ් ටීචර්, ද පේන්ටර් ඔෆ් සයිග්න්ස්’, ද වෙස්ඩර් ඔෆ් ස්වීට්ස් ආදී කෘති විවිධ විෂයයන්ට අදාළ කෘති යැයි ඔවුන් තේරුම් ගන්නට ඇත.

ත්‍යාගය දිනාගෙන ඇති ලේඛක බහුතරය යුරෝපීයයෝ ය. ස්වීඩිෂ් ලේඛකයන් කෙරෙහි ද වැඩි අවධානයක් තිබේ. ආසියානුවන්ට වඩා ස්වීඩිෂ් ලේඛකයන් ඉන් පිදුම් ලබා ඇත. 2008 වසරේදී ඇකඩමියේ ස්ථිර ලේකම් හොරෙෂ් එංග්දාල් ප්‍රකාශ කළ පරිදි, “යුරෝපය තවමත් සාහිත්‍ය ලෝකයේ කේන්ද්‍රයයි.” එමෙන් ම අමෙරිකාව තවමත් හුදෙකලාව ඇති බව ද පටු කල්පනාවලින් යුතු බව ද ප්‍රමාණවත් තරම් කෘති පරිවර්තනය නොකරන බව ද සාහිත්‍ය ලෝකයේ මහා සංවාද වලට දායක නොවන බවද ‘එංග්දාල්’ විවේචනාත්මකව අදහස් දක්වා තිබේ. කෙසේ වුවද 2009 දී, එංග්දාල් ගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ පීටර් එංග්ලන්ඩ් ඒ මතය ප්‍රතික්ෂේප වන පරිදි අදහස් පළ කළේ ය. එහෙත්, යුරෝපියානු කෘති සහ යුරෝපියානු සම්ප්‍රදායට යොමුවීම යනු ගැටලුවක් බව ඔහු ද පිළිගෙන තිබේ.

ආන්දෝලනාත්මක අවස්ථා කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

2010 දී ත්‍යාගය හිමිවූයේ මාරියෝ වර්ගේස් ලෝසාට ය. ඔහුගේ දක්ෂිණාංශික දැක්ම ඊට බලපෑ බව පිළිගැනේ. සාහිත්‍යයට වඩා දේශපාලනය ඔහුගේ කෘතිවලින් පිළිබිඹු වන බව විචාරක මතයයි.

2009 දී ත්‍යාගය පිරිනැමුණේ හර්ටා මලර්ට ය. අමෙරිකානු සාහිත්‍ය විචාරකයන් හා ලේඛකයන් වැඩි දෙනකු හර්ටා ගේ නම පවා නුහුරු බව පැවසූහ.

2005 දී ත්‍යාගය පිරිනැමුණේ හැරල්ඩ් පීන්ටර්ට ය. ඔහුට එය ප්‍රදානය කිරීම දින කිහිපයකින් ප්‍රමාද කෙරිණි. ත්‍යාගය බාර ගනිමින් පින්ටර් කළ ප්‍රකාශය අතිශයින් වැදගත් එකක් මෙන් ම නොබෙල් ඉතිහාසයේ විශේෂිත ලේඛනයක් ලෙස ද සැලකිය හැකි වේ.

Comments