කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී | Page 2 | සිළුමිණ

කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී

පෙර තුරුණු විය ගෙවා නිමවා නාඹර යෞවනයට පැමිණෙන සිංහල තරුණයකුගේ ඊළඟ ජීවන ඒකායන පැතුම වන්නේ යහපත් සහකාරියක සමග විවාහප්‍රාප්ත වීම ය. විවාහය හා විවාහ ජීවිතය පිළිබඳව බටහිර සංස්කෘතික මුලිකාංගවල භාවිත වන ආකාරයත් පෙරදිග ලෝකය රටවල ඒ පිළිබඳව චින්තනය කරන ආකාරයත් විවාහය අතින් එකක් වුවද අරමුණු හා පරමාර්ථ අතින් බොහෝ වෙනස් ය. ඇතැම් බටහිර සංස්කෘතික කෙනෙක් තම ජීවිතයේ සියල්ල ම ගෙවා දමා ජීවිතයේ සැන්දෑ සමය ඇරඹෙන විට විවාහය ගැන කතා කරති. විවාහය ගැන කල්පනා කරති. නමුත් පෙරදිග ලෝකයේ ජීවත් වන මිනිසා විවාහය සහ විවාහ ජීවිතය පිළිබඳ විමසන්නේ ඒ ආකාරයට ම නොවේ.

කල වයස ඉක්මගිය පසුව විවාහයට ඇතුළත් වීම ගැන පෙරදිග සංස්කෘතිය කල්පනා කරනු ලබන්නේ ඒ වයසට විවාහය අනවශ්‍ය දෙයක් ලෙස ය. මේ නහින දෙහින කාලයේ මොන කසාද දැයි ඔවුහු කියති. ජන විඤ්ඤාණයේ අදහස වන්නේ නාකි විසේ කියා ය. නාකි විසේ ගෙටත් උසේ යැයි ද කියති. ඔවුන්ගේ අදහස වන්නේ විවාහයක් සිදු වෙනවා නම් එය තමන්ගේ නාඹර යෞවන වියේ කරගත යුතුය කියා ය. කල වයස යනු ඒ වයසයි.

විවාහය වැනි ජීවිතයේ සුවිශේෂ කාර්යයක් අවට ගියාට කළ නොහැකිය. ඒ පිළිබඳ ව හොඳින් නිවැරදි ව විමසා බලයි; කේන්දර බලයි; කුලමල බලයි; ධන බල බලයි; හැඩරුව බලයි; සිංහල සංස්කෘතිය තූළ විවාහයකදී ඔය ආදී නානාප්‍රකාර දේවලින් දෙදෙනා සමත් විය යුතුය. සිංහල සංස්කෘතියේ අදිතම කාලවල බහු විවාහ නම් වූ ක්‍රමයක් ද පැවතිණ. එබඳු ක්‍රමයක් ඇතිවීමට එක හේතුවක් වුයේ හරිහම්බ කරගත් පාරම්පරික දේපළ පිට යාම නිසා ය. සමාජය දියුණු වීමත් සමඟ ම මේ ක්‍රමය සිංහල සමාජය තුළ නිලීනව ගියේය. ඇවැස්ස නෑකම අනුව විවාහය සිදුවන ක්‍රමයක් ද පැවතිණ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ එයද සමාජයේ නැතිවී යමින් පවති. එය එසේ වන්නේ දෙදෙනෙකුගේ විවාහ ජීවිතයේ අග්‍රඵලය සමාජයට යහපත් දරුවන් තැනීම වන නිසා ය. ඇවැස්ස නෑකම අනුව විවාහ වූ පසු බිහිවන දරුවන් නීරෝගී අය නොවන බව වෛද්‍ය විද්‍යව මඟින් තේරුම් බේරුම් කර ගැනීම එයට හේතුවයි.

නාඹර යෞවන තරුණයකු විවාහ ජීවිතයකට එළඹීම පිළිබඳ සිද්ධියට ජන වහරෙහි කියන්නේ ඹහුගේ නාහෙට නාස්ලණුව දමනවා කියා ය. හිතෙන හිතෙන දෙය හිතමින් ද, හිතෙන හිතෙන දෙය කියමින් ද, හිතෙන හිතෙන දෙය කරමින් ද නිශ්චිත ජීවන අරමුණකින් තොරව කාලය ගත කරන ජීවිතයකට නාස් ලණුව දෑමිමෙන් පසු හසුරුවන්නියක ලැබෙයි. නාහේ විද නාස්ලනුව දමන්නේ නාඹර යෞවන වස්සන්ට ය. ඉන් පස්සේ මෙතෙක් ජීවිතයේ පැවති කොලුකම ජීවිතයෙන් තුරන් වී යයි. එසේ වන්නේ නාස් ලණුවේ අනිත් කෙළවර ප්‍රඥාවන්ත එකියකගේ අතේ තියන විට ය. ඒ අනුව ඇයට අවශ්‍ය දෙසට හැසිරවිය හැකි ය. අපේ ඇතැම් කෙනෙක් විවාහය හඳුන් වන්නේ නාඹර වස්සා කරත්තයක බඳිනවා කියා ය. කරත්තකාරීය මඟ නොමඟ දනී නම් ජීවන ගැල නිවැරදි මානයකට අරගෙන යා හැකිය.එසේ නොමැති විට විවාහ ජීවිතය අවුල් වී යයි. ඇතැම්විට එය දික්කසාදය දක්වාම දුර දිග යයි.

ඉස්සර කාලයේ ළිඳට ගිය ටිකිරිලියා කබරගොයාට බය වීම නිසා දිය බරියාට කියා කකුල කවා ගත්තාය. ප්‍රඥාවන්ත ටිකිරි ලියා එසේ කරන්නේ නැත. කබරගොයා තම වසඟයට ගනී. කබරගොයා වුව ද බය පක්‍ෂපාත සංස්කෘතික පුරුෂයකු වන්නේ ටිකිරිලියා තුළ පවතින ප්‍රඥාවන්ත ගැහැනුකම නිසා ය. ටිකිරිලියා දළ ගලවන නිසා ය. දළ ගැළවු පසු ඇයගේ දපනයේ රැදෙන්නට සිදු වේ. සාමාන්‍ය ජන විඥානයේ විවාහයක් සිදුවීම ගැන දකින ඒ අදහස බුදු සමයේ උතුම් බණ පද ඇසුරෙන් මිනිස් ජන මනස තුළ නිර්මාණය වූවක් ය.

බුදුසමයේ විවාහය පිළිබඳ අදහස වන්නේ දෙදෙනාගේ අදහස්වල ගැළපීම මත විවාහ ජීවිතය රැඳී පවතින බව ය. ඉතා මැනවින් දෙදෙනාගේ අදහස් ගැළපෙන විවාහයක් සිදුවීම සංසාර පුරුද්දක් ය. එදා සිංහල සමාජයේ දෙදෙනාගේ අදහස්වල මනා ගැළපීම විවාහයට සුදුසු වූවක් ලෙස දකී. එකී විවාහ මංගල්‍යෝත්සවය තමන්ගේ ලේ ඥාතීන් අතරේ ප්‍රසිද්ධ කරවීමට අවශ්‍ය නිසා පෝරුවේ චාරිත්‍ර ක්‍රමය බිහි විය. ශ්‍රී ලංකාව යටත් විජිත යුගයේ පැමිණි ඉංග්‍රිසි ආණ්ඩුක්‍රම මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ සුවිශේෂ අවස්ථා ලේඛනගත සහතික බවට පත් කළා සේ දෙදෙනකු අතර පවතින විවාහයේ සමාජ සම්මුති ගිවිසුම ද ලේඛනගත කරනු ලැබී ය. එම නිසා සිංහල සංස්කෘතික සමාජය තුළ මංගලපෝරුවේ චාරිත්‍රයට අමතරව විවාහ සහතිකය ද, නැතුවම බැරි විය. ලේඛනගත සමාජයක් වීම නිසා හැම තැනකදීම විමසා බලන්නේ විවාහ සහතිකය තිබේ දැ යි කියාය. එසේ සහතිකයක් දෙමවුපියන් සතුව නැති විට ඔවුනට බිහිවන දරුවාටද අනන්‍යතාවයක් නොමැතිව ගියේය. එනිසාම දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ සහ මවගේ නම් ගම් අනිවාර්ය විය. ඒ දෙදෙනා නීත්‍යනුකූලව විවාහ වී තිබේද නැත්ද යන වග පවා දරුවාගේ උප්පැන්න සහතිකයේ සටහන් විය යුතු බව අනිවාර්ය ලක්‍ෂණයක් විය. දෙමව්පියන්ගේ විවාහ සහතික පිළිබඳ නිවැරදි සටහන් නොවීම දරුවාටද යම් යම් වරප්‍රසාද අහිමි වීම සඳහා හේතු භූත විය.

විවාහය සහ විවාහ ජීවිතය පිළිබඳ ව බුදුසමයෙහි දක්වන අදහස හරි ම අසිරිමත් ය. දෙදෙනාම ජනසමාජය තුළින් පැන නැඟෙන සියලු අරගල කලබල නොවී විසඳගෙන පෙරට යා යුත්තෝය. ගේතුළ ගිනිදැල් පිටට නොදිය යුතුය. (දෙදෙනාගේ ගැටලු දෙදෙනා ප්‍රඥාවන්තව විසඳගත යුතුය. පිටත ගිනිදැල් ඇතුළට නොගත යුතුය. (බාහිර ගැටලු තම ජීවිතයේ අභ්‍යන්තරයට නොගත යුතුය. ප්‍රඥාවන්ත බිරිය විටෙක තම ස්වාමි පුරුෂයාගේ අම්මා මෙන් ද (මාතුභරියා) විටෙක තම ස්වාමිපුරුෂාගේ හිතවත් ම යෙහෙළිය මෙන් ද (සඛීභරියා) විටෙක තම ස්වාමි පුරුෂයාගේ සොහොයුරිය ලෙසින් ද (භගිණිභරියා) විටෙක තම ස්වාමිපුරුෂයාගේ බිරිඳ ලෙසින් ද (දාසභරියා) විමසුම් නුවණින් විසිය යුතුය. විවාහ ජීවිතයක රස මිහිර නිවැරදි ව දැනෙන්නේ ද වැටහෙන්නේ ද නිවැරදි ඉලක්ක කරා නිවැරදි ව යා හැකි වන්නේ ද විවාහ ජීවිතයේදී දෙදෙනකු එක ගෙදර ඉන්නවා මෙන් නොව දෙදෙනා ම එක් අයකු ලෙස කටයුතු කරන්නට ගත් විටය. එසේ වු විට සිදුවන්නේ දෙදෙනාගෙන් එක් අයකු අනිකාට යටත් වීම නොව දෙදෙනා ම සම වීම ය.

කෙනෙකු විවාහයට පත්වීම ඇතැම් අය ඒ පුද්ගලයා වළේ වැටිමක් ලෙස ද දකිති. එසේ වළේ වැටුණු කෙනා අනික් අයද ඒ වළටම ඇදගනු මිසක තනිකඩයකු ලෙස ජීවත්වීමට ඉඩ ලබාදෙන්නේ නැත. වැටුණේ වළක යැයි කිවද ඒ වළ මිනිස් ජීවන ඉලක්ක සහ මනෝභාව වළට අත්‍යවශ්‍ය එකකි. සිංහල සංස්කෘතික සමාජය කල්පනා කරනු ලබන්නේ එසේය. මේ උතුම් උදාර සංස්කෘතික සමාගම අරුමෝසම් බවින් විපරීත වෙමින් යන සේයාවක් ද ඉදහිට අසන්නට හා දකින්නට ලැබේ. එයට හේතුව සමාජ සංකීර්ණත්වය මත ඉදහිට හිස ඔසවාගෙන එන සමනල සංගම් ය. 

Comments