අපේ වීරයා සන්ධිස්ථානයකට ඇවිත් | Page 2 | සිළුමිණ

අපේ වීරයා සන්ධිස්ථානයකට ඇවිත්

“ඉවාන් ඇන්තෝනිවිච් ඉන්නවා ද?”

“එහෙමයි හාමුදුරුවනේ,” කවුදෝ පිළිතුරු දුන්නේ ය.

“මෙහාට එන්න කියාපන්”.

අපේ රටේ වගේමය; හරියට බලපුළුවන්කාර කෙනෙක් අපේ ආණ්ඩුවේ කන්තෝරුවකට ගොඩ වැදුණා වගේමය; නඩුත් හාමුදුරුවන්ගේ ය බඩුත් හාමුදුරුවන්ගේය. නඩුකාරයා ම ඉදිරිපත් වී අවශ්‍ය සාක්කි කාරයන්ද කැඳවාගෙන චිචිකෝෆ් නමැති ආනාදි චෞරයාගේ මළදාස ඔප්පු සියල්ලම අත්සන් කරවා දෙයි. අධිකරණ අධිපතියා කොතරම් කාරුණික දැයි කිවහොත් චිචිකෝෆ් බවලතකුගෙන් - කාන්තාවකගෙන් ගත් දාසියන් කිහිප‍ දෙනා සම්බන්ධයෙන් සාක්කියට අත්සන් තබන්ට පාදිලි උන්නාන්සේගේ පුතාද ගෙන්වා දෙයි!

එපරිදි සියලු කටයුතු අවසන් වූ පසුව අධිකරණයේ අධිපති තැන මෙසේ පවසයි.

“දැන් ඉතින් තියෙන්නේ ඔප්පුවලට මුද්‍රා තබන එක විතරයි,”

බොහොම හොඳයි! චිචිකෝෆ් පිළිතුරු දෙමින් කී ය. “ඒ සඳහා තමුන්නාන්සේට පහසු වෙලාවක් පිළියෙල කර ගන්න. වෙලාවට සුදුසු පරිදි බෝතල් දෙක තුනක් හිස් කළේ නැති නම් පව් සිද්ධ වෙනවා.”

“නැහැ නැහැ මහත්මයා ම වරදවා තේරුම් ගත්තා වගෙයි” අධිකරණයේ අධිපතිතුමා පිළිතුරු දෙමින් පැවසීය.

“මහත්මයා අපට සංග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපි මහත්මයාට සංග්‍රහ කළ යුතුයි. මහත්වරුනි, අපි මේ සංග්‍රහය කල් නොදමා අද ම පවත්වමු. ඒ සඳහා අපි මේ ගමන ම පොලිස් ඉන්ස්පැක්ටර් ගේ බංගලාවට යමු. සංග්‍රහයක් පැවැත්වීමට ඊට වඩා හොඳ තැනක් නැහැ. අපේ පොලිස් ඉන්ස්පැක්ටර්ට මහ පුදුම හාස්කම් කරන්න පුළුවනි. මිනිහට තියෙන්නෙ මාළු ක‍ඩේ ළඟින් හෝ,මස් කඩේ ළඟින් හෝ එළවළු කඩේ ළඟින් හෝ, තැබෑරුම ළඟින් හෝ යන විට පොඩි ඉඟියක් කරන එක විතරයි. එතකොට මිනිහා ගෙදර යන්න කලින් සේරම කෑම බීම ගෙදරට ‍ඇවිත් තියෙනවා. අපි ගිහින් ‍හොඳට කාලා බීලා කුට්ටමත් අනලා එමු”

නිකොලායි ගොගොල්ට දිවැස් තිබුණා විය හැකිය. නැතිනම් සාර් රජ සමයේ හිටිය පොලිස් ‍ලොක්කන්ගේ ජාතියේම අය මේ විසිඑක්වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේත් සිටින බැව් ඔහු දැනගත්තේ කොහොමද?

චිචිකොෆ්ගේ මළදාස ගනුදෙනුව අවසන් කර ඔප්පු තිරප්පුවලට මුද්‍රා යොදා නිවී හැනහිල‍්ලේ අඩියක් ද ගසා කෑමෙන් පසුව කූට්ටම අනන්ට නඩුකාරයා හෙවත් අධිකරණ අධිපතියා තෝරාගත්තේ එදවස පොලිස් ඉන්ස්පැක්ටර්ගේ නිෙවස ය. ගොගොල් ඔහු හඳුන්වා දෙන අයුරු මේ බැලුව මැනවි.

මේ පොලිස් ලොක්කා සත්තකින් ම මහ පුදුම හාස්කම් කළ හැකි අපුරු මිනිසෙකි. පිරිස පැමිණ කාරණය දැන ගත් හෙතෙම පොලිස් භ‍ටයකු කැඳවා කනට මුව තබා වචන දෙකක් කොඳුරා “උඹට තේරුණා නේද? යි ඇසීය. පොලිස් භටයා නික්ම ගියේය. අල්ලපු කාමරයේ අසුන් ගෙන කුට්ටම අනන අතර මස් කඩයෙන්, මාළු කඩයෙන්, එළවළු කඩයෙන්, පලතුරු කඩයෙන්, රස කැවිලි කඩයෙන් හා බීම සාප්පුවෙන් එවන ලද විවිධ ආහාර පානයෙන් යුත් විශාල කෑම මේසයක් භෝජනාගාරයේ පිළියෙල විය. පොලිස් ලොක්කා මේ පළාතට පියකු වැන්න. තමාගේ ගෙදර ඇත්තන්ට මෙන් පළාත් වාසීන්ට ආදරයෙන් සලකන හෙ‍ෙතම නගරයේ හැම කඩ සාප්පුවක් ගැන ම පරීක්ෂාවෙන් සි‍ටියේ තමා සතු ආහාර ගබඩා ගැන පරීක්ෂාවෙන් සිටින්නාක් මෙනි. සැකෙවින් කි‍යතොත් ඔහු සිය රාජකාරිය ඉතා ඉහළින් ම ඉටු කෙළේය. හෙතෙම ඒ නිලය සඳහා පෙරුම්පුරා පැමිණියකු ද වැන්න. නැති නම් නිලය ඔහු සඳහා මවන ලද්දේ දැයි නිසැකවම කීම අපහසුය. ඔහු කොතරම් සූර අන්දමින් නිලයේ කටයුතු කෙළේද කියතොත් කලින් සිටි පොලිස් නිලධාරීන් ට වඩා දෙතුන් ගුණයක ආදායමක් ලබනාතර අවංක සේවකයකු ලෙස පළාත්වාසීන්ගේ ආදර ගෞරවය ද දිනා ගත්තේය. වෙළඳ ජනයා ඔහුට ආදරය කළේ ඔහු නිහතමානී නිලධරයකු බව පවසමිනි. එය සැබෑවකි. ඔහු වෙළෙඳුන්ගේ දරුවන්ට නම් තබන විට ඔහුගේ ‘ඇපකාර පියා’ ලෙස පෙනී සිටියේය. ඒ අතර ඔහු කම්පාවෙන් තොරව ඔවුන්ගෙන් නොයෙක් දේ කඩා වඩා ගත්තේය. එහෙත් එය මනුස්සකම පෙන්නා කෙළේය. පළාත් වැසියකු හමු වු විට මේ නිලධරයා ඔහු ගේ පිටට තට්ටු කොට, ආදරයෙන් අමතා, සුවදුක් විමසා, තේ පානයෙන් සංග්‍රහ ලබා දාම් අතක් ඇදීම පිණිස ඔහුගේ නිවසට පැමිණෙන බව පැවසීය. දරුවකු අසනීපයෙන් සිටින බව සැල වූ වහා ම ඒ දරුවාට දිය යුතු බෙහෙත් නියම කෙළේය. සැබැවින්ම මේ පොලිස් නිලධරයා ඉතා යහපත් මිනිසෙකි. “මිනිහා කොතරම් පගා ගැහැව්වත් අපට විරුද්ධව අතක් හොලවන්නේ නැහැ” යි වෙළෙන්දෝ පැවසුහ. ඔහු මල නොතළා පැණි උරන බඹරකුට සමාන යැයි අයෙක් කීහ.

එබඳු මල නොතළා පැණි උරන ලොකු ලොකු පොලිස් බඹරුන්ගෙන් නම් අපට කිසිම අඩුවක් ඇත්තේ නැත.

සත්තකින්ම නිකොලායි ගොගොල්ට දිවැස් තිබෙන්ට ඇත. නැති නම් ඔහු මේ කාලයේ ශ්‍රී ලංකාවේ අධිකරණයේ, නිල තන්ත්‍රයේ, දේශපාලනයේ, ආරක්ෂක සේවයේ රෙදි ගලවා මුළු මහත් ප්‍රභූ සමාජයම මේ ආකාරයෙන් හෙලුවෙන් තබන්නේ කොහොමද ?

නිකොලායි ගොගොල්, ස්වකීය “විරයා” වන චිචිකෝෆ්ද කැටුව මුළු මහත් රුසියාවෙන් තෝරාගන්නා ලද ප්‍රාන්ත දේශයන්හි සැරිසරන්නේ, එදා සාර්ගේ අධිරාජ්‍යයෙහි පැවති ඉහළ පන්ති සමාජයේ කුණු වුණු, කුණු වී ගන්දස්සාරය වහනය වන සමාජය මේ බලවයි එදා සිටි විචාරවත් ජනතාව ඉදිරියේ හෙළිදරවු කරන්නටය. ඒ නගරය මේ තරමට කුණු වී ඇත්නම්, අගනුවර කෙසේ විය යුතු ද? ඒ වැනි ප්‍රශ්න ගැන කතුවරයා ඉඟි කරනවා පමණි.

කතුවරයා චිචිකෝ‍ෆ්ගේ ළමා කාලයේ ජීවිතයත් ඔහු අමාරුවෙන් ආණ්ඩුවේ රැකියාවක් සොයාගත් ආකාරයත් හෙළිදරවු කොට කියන්නේ, නවකතාවේ මැද භාගයේදී ය. සමාජයේ මතු මහලට නැගීමේ බලවත් බරපතළ චේතනාවෙන් පරපීඩිත චිචිකෝෆ් තරුණයා බොහෝ දහන්ගැට හෙවත් ඇත්ත වශයෙන් ම, දහම් ගැටවලින් ඉක්බිතිව, රජයේ කන්තෝරුවක ප්‍රධාන ලිපිකාර ධුරයකට පත්වීමක් ලබාගනියි. එද කපටි සූත්තර රැසක් මාර්ගයෙනි. ඊළඟට ඔහු පත්වීමක් ලබාගන්නේ නියම තැනකය. එනම් රේගුවේය. අපේ රටේ වගේමය. රේගුව නම්, කොහේ තිබුණත්, මොන දේශ දීපංකරයක තිබුණත්, මහා ධන උල්පතකි. චිචිකෝෆ්ට පෑදුණේත් ඒ මහා ධන උල්පතය.

එහෙත් වැඩි කල් ගත වුණේ නැත. අපේ වීරයාට රස්සාව නැති වුණේය. අන් කිසිවක් නිසා නොවේය. රාජ්‍ය ආයතනවල පවතින සුව කළ නොහැකි වංචාව - දූෂණය යන රෝගය නිසාය. තමාගේ රැකියාව නැතිවීම ගැන චිචිකෝෆ් අවංක ආවර්ජනයක යෙදුණේය. තමා මේ ඉරණමට ගොදුරුවීම ගැන දහ අතේ තර්ක කරමින් කල්පනා කරන්නට වන්නේය. ඔහු, තමාටම මෙසේ කියා ගත්තේය.

“මා පමණක් වරදට අසු කරන ලද්දේ මන් ද? මට පමණක් දඬුවම් කරන ලද්දේ මන් ද? හොරකම් කරන්නේ මා පමණක් ද? හොරකම් නො කරන්නේ කවරෙක් ද? කවුරුත් කරන්නේ තම තමන්ගේ මල්ල පුරවා ගැනීම ය. මම කිසිවෙකුට අයුක්තියක් නො කෙළෙමි. කිසිවෙකු අසතුටු නො කෙළෙමි. අසරණ වැන්දඹුවක සතු දේ සොර සිතින් නො ගත්තෙමි. කිසිවෙකු මඟට නො බැස්සුවෙමි. මා ගත්තේ අපතේ යන මුදල් පමණි. මා පමණක් නොව මගේ තත්ත්වයේ සිටින කවරෙකු වුව ද මා කළ දෙය කරනවා ඇත. මේ ලාභය මා නොගත්තා නම් වෙන කෙනෙකු ගන්නවා ඇත. එකම ක්‍රමයට මුදල් හම්බ කරමින් අනෙක් අය පොහොසත් වන අතර මා පමණක් පණුවෙකු මෙන් විනාශ විය යුත්තේ මන් ද? දැන් මගේ තත්ත්වය කුමක් ද? දැන් මට කළ හැකි දෙයක් තිබේ ද? මගේ දරුවෝ මා ගැන කුමක් කියත් ද? ‘අපේ තාත්තා අප ‍වෙනුවෙන් තඹයක් වත් ඉතිරි කළේ නැතැයි’ කියනු ඇත.”

චිචිකෝෆ්ගේ ජීවන යාත්‍රාව, ඊළඟට නැංගුරම් දමන්නේ නීතිඥයා ළඟය. ඔහු ‘මතු දියුණුව පතා නීතිඥයකු යටතේ සුළු රක්ෂාවක් කෙළේ’ යයි කතුවරයා පවසයි. මේ රැකියාව පහත් පෙළේ එකක් බවත්, ඔහුට නිතර ලියන්නන්ගෙන් හා ලොක්කාගෙන් ඇනුම් බැණුම් අසන්නටත් සිදු විණි. එතෙකුදු වුවත්, ඒ වූකලී ඇත්ත වශයෙන් ම අප වීරයාගේ ජීවිතයේ වැදගත් ම සන්ධිස්ථානයයි. පසු කලෙක ධනය උපයන තමාගේ ලෝක සූස්තරය වූ මළදාස ගනුදෙනුව පිළිබඳ මුල් ම ඔත්තුව ඔහුට ලැබෙන්නේ මෙකී නීතිඥ ලිපිකාරකම කරන අතරවාරයේදීය.

ලබන සතියට

Comments