
අනුනා සමිඳ බෙල්ලන්විල විමලරුවන්
බෙල්ලන්විල වෙහෙර යතිවර ගුරු කුලය
මල් ගන්වමින් බැබළුණු ඔප කර හෙළය
දුල්රන් පියුම පරවුණු පසු මිහිතලය
නිල්වන් අහස හිරු නැගුණත් කරුවළය
පිරිවෙන විදුලකර; කැලණිය සරසවිය
පිරිපුන් කර වැඩූ නැණ ගුණ නෙක සවිය
දිරියෙන් අරුත්බර කරගත් සිය දිවිය
සිරිමත් නා සමිඳු සසුනෙහි මුර දෙවිය
දැනුමෙන් දෙස් විදෙස් සරසවිවලින් ලද
දිනුමෙන් නිරතුරුව සුවියත් ලොවෙන් පුද
පෙනුමෙන් සොඳුරු කළ සැදැහැති ලෙවන් හද
වැනුමෙන් සුගුණ කෙෙලසින් නිම කරන්නද
සසුනට, රටට, ජනතාවට බැඳුණු සිත
මුසුකොට බුදු මඟට; දෙලොවට සැදුව සෙත
දසුනට විමලමිණි වැනි සනසවන නෙත
දෙසුමට හිමිගෙ නොබැඳුණු සිත් දැයෙහි නැත
සුරකිනු පිණිස දැය සතු විදුසතර හර
පෙර මඟ එළිය කළ පෙරඹර දිනිඳු යුර
සරසවි කුලපතිඳු ලෙස ජයවඩන පුර
හරසර පිදේ සමිඳුට මහ ඇදුරුවර
රැකුණත් නොරැකුණත් තනතුරු; වරද පෙනී
අකුණක් සේ වැදුණු නරසිහ උරුමයෙනි
ලොකුකම් නොපෙන්වූ ලොකු හාමුදුරුවනි
දැකුමෙන් සමිඳු; පින් කළ බව මෙනෙහි විණි
මෙත් සිත පෑව පිවිතුරු ලෙස සත් වගට
සෙත් දුන් සමිඳ වැඩ අපෙ හදවත් ළඟට
තෙත් විය කඳුළු විත් ලක් මව නෙත් අගට
දත් බණ දහම් ඇති; සමිඳුට සෙත් මඟට
යෙදුණා දැයට නොපතන රුදු විපත මෙවන්
දැනුණා ගිනි සෙ මුදු සීතල සුවඳ පවන්
අනුනා සමිඳ බෙල්ලන්විල විමලරුවන්
දියනා ගොයුම් සසුනෙම ලද මැනවි නිවන්
මහාචාර්ය දර්ශන රත්නායක
පින්කෙත නිසලයි
උපන් බිමට ණය නැති සඟරුවනයි
කිත් පැසසුම් ලොව දසතම පැතිරෙයි
බෝමැඩ සෙවණේ බණ පද නිහඬයි
'බෙල්ලන්විල' පින්කෙත අද නිසලයි
රත්නසිරි පතිරණ
ආදරණීය ආදරය
ආදරණීය ආදරයයි මිහිරිතම
ඔබෙ නෙතු වලින් ප්‍රේමය තව විදිමි මම
වයසට ගියත් ගතවන තත්පරෙන් හැම
වෙන කවුරුත්ම වෙන්නෑ මම ඔබට සම
පැරදී ආලයෙන් සිටියෙමි එක යුගයක්
කඳුළැලි මතට සිනහව ගෙන දුන් රැජනක්
හද ගිනි දැල් නිවූ ඔබ හොඳ හෙද තුමියක්
මම ආදරෙයි සදහට ඔබ මට මැණිකක්
ආසිරි පැතුම් සමඟින් යුග දිවි අරණේ
අප එක් වුණා කුලසිරිතට සුබ සරණේ
සෙනෙහෙන් ලියමි පතිදම් සුරැකි ළඳුනේ
අපි තව පුරවමු ප්‍රේමය ලක් දෙරණේ
යුග දිවි ගමනෙ දස වැනි සැමරුම සමරයි
ඔබ දුන් තිළිණේ වටිනාකම අසම සමයි
පොඩි පුතු අපෙ ටික ටික මගෙ කුසට ළඟයි
ආදර පුතේ රැක ගනු මෙය ඔබගෙ රටයි
ආසිරි විජේසේකර
තනි තරුව
සීත මුදු පවන
ගීත ළැම ගයන
නේක තුරු වියන
ගේක සසිරිය සදා ගෙනෙන
ගුවන් කුස විසිතුරු
දිරින් හිනහේ අමයුරු
සහන් පෙත දෙවිවරු
වඩින් මගෙ ලෝකයට සුරතුරු
තනිකමේ සොඳුරු
අරුතක් තිබේ ගැඹුරු
නුඹේ හද තඹුරු
සදා පුදසුන තබමි මියුරු
ගත යහන සුරතල්
නැත වරම් ලාබ මනකල්
වත මගේ දුටුකල්
නෙත ඔබේ ඇයි නුදුටු විරුකල්
මගෙ ලොවේ පිරුණු
සිහින සිතුවිලි දිලුනු
නිශා යම සරනු
පිය නගා කුස ඈත බලනු
සෂිනි කුමාරි සිරිවර්ධන
වෙණ තතක මැද
නුඹ
ඉකි
බිඳ
බිඳ
අඬනකොට
රැයක
එමි
එක
හුස්මට
ඉකි බිඳුම්
දෙකක් අතරට
වැතිර ගමි
නිසොල්මන් ලෙස
නුඹ අස
පුරවමි
එකී
හිස්තැන
මමත්
ඉකි
ගස
ගස
මලිඳු කාවින්ද කුමාරසිංහ
තනිකම විඳිනහැටි මම...
සෙනෙහස සරැලි උපදා
මහ දිය කඳක් විලසට
පුන් සඳක් පෑයූ හැටි
අමාවක හුරු දෙනෙතට
උදෑසන පිනි වැසි මැද
සැඟවී කුරුලු ගීයක
මලක් වී සුපිපුණි නුඹ
අවසාන දිය බිඳුවක
නිදි නැති රැය පුරා
මතකෙට තුරුලුවී හිඳ
දහවල කෙසේ ගෙවමිද
නන්නාඳුනන විලසට
රුව දැකගන්න පතමින්
සුන්දර හැඟුම් කැටිකොට
තනිකම විඳින හැටි මම
නුඹේ ඇස් දෙක අබිමුව
නදීරා රෝෂිණී නල්ලපෙරුම
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ජන්ම දිනය නිමිත්තෙනි.
මහඉඳු ම ය මහැදුරු ම ය...
සිතිවිලි පෙරා
ඔපවත් කළ
මහරු සිත්තම
කවිකමය...
විනිවිද දුටු
දර්ශනයකි
ජීවිතය ම...
පායන රිවි
දැක පූදින
සංවේදී
මල් යායකි...
දිවිමන් ඔසු
මෙන් ගෙන දෙන
ඔවදන් ම ය..
හුදු මානව
පීඩිත ළය
හඳුනාගත්
හද මඬල ය...
මේ හිමි කම
උරුමය ලද
මහ ඉඳු ම ය
මහැදුරු ම ය...
නයනා රාජපක්ෂ
සුමුදු රඹපත
ගිරි සිඛර
පෙරළවන
මහපොෙළාව
ගුගුරවන
වැසි බිඳුව
උකටලිව!
ඉරනු නොහැකිව
මුදු
සුමුදු
රඹපත
දඹේගොඩ ජිනදාස
එතෙර කවිය
මවගෙන් පුතුට
From Mother – to Son
මගේ පුතේ, අහගන්න
මා ලැබූ ජීවිතය
පළිඟුමිණි හිණි පෙතක් නොමවීය
ලී පතුරු කැඩී ඇත
ඇණ ගසා සවි කෙරිණි
සෝපාන බිම වැසූ පලස් නැත
රළු - පරළු බිම හිස් ය
නොනැවතී නැඟ ගියෙමි
කොනක් ලද විටකදී වංගුවෙන්
හැරි හැරී පිය නැඟිමි;
නැවතුමක් ලැබෙන තුරු
පහන් සිළු නොමැතිවම,
අඳුරේම නැඟ ගියෙමි
එපා! පුත, හැරෙන්නට පසුපසට
සෝපාන ලී රළුය;
වාඩි විය නොහැක; බිම
දැන් නුඹව වැටේ යයි නොසිතන්න
නැඟ යන්න; ඉදිරියට
මා තවම ගමනේය;
ඉඩ - හසර දකින තුරු නැවතුමට
ජීවිතය පළිඟුමිණි
හිණි පෙතක් නොවේමැයි
ලැන්ග්ස්ටන් හියුස් (1902 – 1967)
ඔහු කාව්‍ය සංග්‍රහයන් දහ තුනක් පළ කළ අප්‍රිකානු - ඇමෙරිකානු කවියෙකි. ඔහුගේ ප්‍රබන්ධ අතර නවකතා, නාට්‍ය රචනා, ඉතිහාස කතා සහ ස්වයං චරිතාපදානයක් ද වෙයි. 1926 සිට දශක හතරක් පුරා නිව්යෝර්ක් ප්‍රාන්තයේ ‘හාර්ලෙම්හි රාජකීය කවියා’ ලෙස සම්භාවනාවට හා ප්‍රසිද්ධියට පත්වූයේ මේ පුද්ගලයාය.
බර්නි දසනායක
ඔබ කළ මෙහෙය සුළු නැත
(හිටපු බුදුසරණ ප්‍රධාන කර්තෘ මෙන්ම කවියකු සහ ග්‍රන්ථ රචකයකු වූ ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තෙමසක් පිරීම නිමිත්තෙනි.)
සතර දිග් බාගයේ නම් ගෙන බොදු සවන් සිත්කළ එළි
පතුරමින් බුදු ගුණ කදම්බය සතන් වෙත දී සැනසිලි
සසර ගොඩයන මඟට බොදු පත් තුළින් අන්දා පටපිළි
ඇදුර ඔබ කළ මෙහෙය සුළු නැත ඒ හෙයිනි මේ කඳුළැලී
සරස්වතියගෙ මහා බැල්මක් පැටිවියේ සිට ලැබුණු හින්දා
උසස් ලෙස හෙළ කව මනා ලෙස හසුරුවා ඇගෙ පහස වින්දා
වයස්ගත වූ නමුත් වීණාවියගෙ සෙනෙහස ලෙහිම රන්දා
දහස් ගණනින් බැන්ද පැදිවැල් දන්න සිත් දුක් ගැහැට සින්දා
හදවතට ළෙන්ගතු කතාවයි හිනාවයි දිවි මඟෙහි රැඳුණා
එක් වරක් දුටු අයකුගේ සිත වුවත් ඔබ වසගයට බැඳුණා
කවරෙකුටවත් වැරැද්දක් නැති අයකු විලසට ගතිමු හඳුණා
ඒ නිසාවෙන් හැම දෙනාගෙම දෙනෙත් කඳුළැලි විලක රැඳුණා
දහම් සුවඳින් සුවඳවත් වූ සිතෙහි දිවි මඟ හැඩ වුණේ
උපන්දා සිට කරපු පින් ඇත සසර මග නැත අසහනේ
මෙතේ බුදු හිමි දකින නෙතු ලැබ බව ගමනතර මතු දිනේ
සදා සැනසුම් නිවන් පැතුමය අපේ සිත් තුළ තෙරපුණේ
කලාභූෂණ සනත් පියසේන
අප දෙදෙනා ගැයූ කවි
බර්ලින් නැමති ලස්සන නම පපුවෙ ලියා
උවැටැන් කළෙමි රෑ දහවල් බැහැර නොයා
අපි දෙදෙනාට උපමාවක් බලමු සොයා
මම වෙමි නකුල මාතා ඔබ නකුල පියා
සැපැමිණ සැඳෑ නිම්නය වෙත සුවඳ දෙන
බර්ලින් කිවිඳු රස හදවත් සතපවන
මේකයි මගේ හදවත තුළ නැගෙන පැන
මතකද ඔබට යුග දිවියට පැමිණි දින
දෙසවන දි දී මෙතනදි ඔබෙ කට හඬට
රස විඳ ගනිමි සිත නොයොදා වෙන වැඩට
පෙම් ගීයක් ගයන්නට තාලෙට හැඩට
ඩිංගක් යමුද සමනල පාලම උඩට
අප පැතූ පැතුම් සංසාරයෙ ඉහත සිට
මල් පල ගැනේ පිවිසෙන තුරු සුගති යට
අවසන් හුස්ම හෙළනට සුලු මොහොතකට
පෙර මා මිය ගියා නම් එය සැනසුමකි මට
ගාල්ලේ ලිලියට් ගජවීරආරච්චි
ලොවම ජය ගනු...
අතැඹුලක් ජීවිතේ කරගෙන
සුබ පැතුම් දෝතින්ම අරගෙන
හදේ ලේ කිරි කරන් හිනැහෙන
මගේ පුතු අමතනව සිහිනෙන..
සොඬින් ගෙනියන නෙළුම් මලකට
සිතින් සැරසී සිඹිමි නුඹ මම
රඟන දෙපයක සලකුණක හැඩ
ලොවම ජයගනු මා පුතේ නුඹ..
නලිනි ජයන්ති
පුතේ ඇවිදින් යන්න
පුත නුඹ කුඩා කල අම්මා අතැර ගියා
ඒ බර කරට ගෙන ඔබ රැක ගන්න කියා
දහ දුක් දරාගෙන ඔබ දැඩි කෙරුව නියා
තාමත් දුකිනි ඉන්නේ අද ඔබගේ පියා
වැඩි දුර ඉගෙන ගන්නට අපහසුයි කියා
දැඩි ලෙස අදිටනෙන් ගෙය උගසකට තියා
බේරා ගන්න බැරි ලෙස එය නැතිව ගියා
වැඩිහිටි නිවාසයකයි අද ඉන්නේ පියා
මගෙ දිවි මගේ කාලය ගෙවෙනා හවස
ගත වන පැයක් පැයක් පාසා ගෙවමින් පහස
මරණය ගැන සිත සිතා සිටිනා දවස
මට හොඳ තැනකි ඉන්නා වැඩිහිටි නිවස
සැප පහසුවට තිබුණත් මට මෙහි ඉන්න
ලැබුණත් අහර ටික හොඳ හැටියට කන්න
පුත ඔබ නොදැක දැන්නම් බැහැ ඉවසන්න
මා මියැදෙන්න පෙර මෙහි ඇවිදින් යන්න
නන්දපාල වෙලගෙදර
ගොවි රජකුගේ සමුගැනීම
රාජාංගණ ජලාසේ අඳුරින් පිරෙන
ගහ කොළ පවා මැලවී සුසුමන් හෙළන
යකඩ කටින් දුක්බර කවි පද ගැයෙන
වැතිරී සොඳින් සදහට සරතැස නිවන
රුදුරු සතුන් අණසක ලූ බිම් පෙතට
සතර කෝරළේ අත් හැර දා සුවට
වීරිය සඳුන් හර සේ මොළවා මිටට
නුඹ ආවේය සතළිස් වසකට එපිට
පිට්ටු කකා සුතන’ඹුවන් අත් නෑර
ඔට්ටු වෙලා මහ පොළොවට නිස්සාර
මට්ටු වූව රට්ටුන් සැනසූ සූර
වෙට්ටු දැමූ දෙටුවෙකි සෙනඟට මාර
මහ වන ගැබ එළි කර ජය දද බැන්ද
අබිමන් මිනිසෙක්ය අපමණ දුක් වින්ද
නුඹ ගිය අඩි පාර දිග රොද බැන්ද
නව පරපුරක් පිබිදෙයි වරපට සින්ද
කිරලුන් සලිත වී නිරතුරු කෑ ගසන
සැන්දෑ යමේ පුතුනගෙ උරහිස් මතින
අවසන් ගමන් යන පින්සර ගොවි රජුන
සදා නිදන්නට තෝතැන්නකි මෙතැන!
තිස්ස නිහාල් වික්‍රමසිංහ