මහාචාර්ය ඒ. වී. සුරවීර: සමාජීය-සාහිත්‍ය අධ්‍යයනය හා කලා නිර්මාණ | Page 2 | සිළුමිණ

මහාචාර්ය ඒ. වී. සුරවීර: සමාජීය-සාහිත්‍ය අධ්‍යයනය හා කලා නිර්මාණ

“කලාව වූකලි මානව ප්‍රගතිකාරක දෙකෙන් එකකි. වචන මඟින් මිනිසා අදහස් හුවමාරු කරගනී. කලා මාධ්‍යයන්ගෙන් ඔහු වේදිතයන් හුවමාරු කරගනී. වර්තමානයේ පමණක් නොව, අතීතයේ සහ අනාගතයේද මිනිසා සම්බන්ධයෙන් මේ කාරණය සත්‍යයකි’’ (ඒ.වී. සුරවීර, කලාව යනු කුමක්ද?, 177 පිටුව)

ලියෝ තොල්ස්තෝයි නම් රුසියානු ජාතික අතිවිශිෂ්ට නිර්මාණකරුවා ‘කලාව’ යන්න සවිස්තරව හා ගැඹුරින් පහදා දෙනු වස් රචනා කළ අග්‍රගණ්‍ය කෘතිය (What is Art) ‘කලාව යනු කුමක්ද?’ යනුවෙන් සිංහල පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා සිංහලයට පරිවර්තනය කරමින් මහාචාර්ය ඒ.වී. සුරවීර සිදු කර ඇත්තේ අගනා මෙහෙවරකි. මේ කෘතියෙන් උපුටාගත් උක්ත පාඨය කලාව ගැන මෙන් ම කලාව හා මානව වර්ගයා අතර සබඳතාව ද මැනවින් කියා පාන්නකි.

අතීතයේ මෙන් ම වර්තමානයේ ද එමතු නො ව, අනාගතයේ ද කලාව හා මිනිසා අතර අවියෝජනීය සම්බන්ධතාවක් පැවති බවට හා පවතින බවට සැකයක් නැත. ‘රස ජනනය සාහිත්‍යයේ මෙන්ම පොදුවේ කලාවේ ද මුඛ්‍ය පරමාර්ථය ලෙස හඳුනාගෙන සිටි පැරණි සමාජයේ මෙන් ම “සාහිත්‍යය වූකලි මානවයා සඳහා පවතින්නකි” යනුවෙන් සලකන වර්තමාන සමාජයේ ද කලාව හා මානව වර්ගයා අතර සමීප සම්බන්ධතාව ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් වී ඇත. “කලාව කලාව සඳහාය” යනුවෙන් පිළිගැනුණු වකවානුව තුළ වුව ද උක්ත අදහස යටපත් වීමක් පැහැදිලිව ම සිදු වී නැත. “කලාව මිනිසාගේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය වන මාධ්‍යයක් ලෙස සලකා බැලුව ද කලාව යන්න මිනිසාගේ පැවැත්මෙන් බැහැර කළ නොහැක්කකි. එමෙන් ම සාහිත්‍ය කලා මඟින් සමාජය තුළ ජීවත් වන මිනිසුන්ගේ ස්වභාවය, හැසිරීම් රටාවල අන්‍යොන්‍ය සම්බන්ධතා ආදි වශයෙන් පුළුල් වපසරියකින් පිළිබිඹු වන බව ද “සාහිත්‍යය යනු සමාජ පිළිබිඹුවකි” යන ප්‍රකට යෙදුමෙන් පැහැදිලි වෙයි.

සාහිත්‍යය හා සමාජය යනු එක ම දෙයක දෙපැත්ත ලෙස ද සැලකිය හැකි ය. සාහිත්‍යය සමාජයක් පාදක කරගනිමින් බිහි වන්නා සේ ම සමාජයකට සාහිත්‍යයේ අත්‍යවශ්‍ය බව ද අතීතයේ පටන් ම ප්‍රකටව දක්නට ලැබෙන්නකි.

“සාහිත්‍ය කලා පහළ වනුයේ රටක සමාජීය, සංස්කෘතික, ඓතිහාසික, ආර්ථික ආදි විවිධ බලවේග පසුබිම් කරගෙන ය. මේ සිද්ධාන්තය නොසලකා කෙරෙන සාහිත්‍ය කලා අධ්‍යයනය අසම්පූර්ණ ව්‍යායාමයක් වන්නේ ය.” (ඒ.වී. සුරවීර, සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, පසු පිට)

මෙලෙස ගත් කල්හි සාහිත්‍ය අධ්‍යයනයේදී කිසියම් නිර්මාණයකට පසුබිම් වූ සමාජ පරිසරය, එහි වෙසෙන්නන්ගේ සිතිවිලි හා අන්‍යොන්‍ය සම්බන්ධතා ආදි වූ කරුණු රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සමාජීය සාහිත්‍ය අධ්‍යයනයේදී අවබෝධ කරගත යුතු මුඛ්‍ය සිද්ධාන්තයක් ලෙස මහාචාර්ය ඒ.වී. සුරවීර ශ්‍රී ලාංකික පාඨකයන්, නිර්මාණ කරුවන්, රසිකයන් ආදි බොහෝ පාර්ශ්ව වෙත ‘සමාජීය සාහිත්‍ය අධ්‍යයනය’ නම් වූ කෘතියෙන් පැහැදිලි කර දෙයි. තව ද: අනෙක් බොහෝ විෂයයන් මෙන් ම සාහිත්‍යය ද තනිව හැදෑරිය හැකි විෂයයක් නොවන බව’ ඇතැම් නූතන සාහිත්‍යධරයන් සලකන අයුරුත්, විශේෂයෙන් ම ජර්මනිය, ප්‍රංසය, එංගලන්තය, සෝවියට් දේශය ආදි රටවල ඇතැම් සාහිත්‍යධරයන් මෙහි-ලා පෙරමුණ ගත් බවත් ස්ඵුට වන අයුරින් ‘සමාජීය සාහිත්‍ය අධ්‍යයනය’ කෘතිය සකසා ඉදිරිපත් කර ඇත.

සාහිත්‍ය විචාරයේදී පුළුල් ලෙස ගත හොත් සාහිත්‍ය අධ්‍යයනයේදී එහි සෞන්දර්යාත්මක අගය කෙරෙහි පමණක් අවධානය යොමු නොකළ යුතු බව මහාචාර්ය ඒ.වී. සුරවීරගේ අදහසයි. එමෙන් ම ඔහු නිවැරදි ලෙස පවසන අන්දමට සාහිත්‍ය කෘතීන්හි සෞන්දර්යාත්මක අගය කෙරෙහි ම අවධානය යොමු නොකොට ඊට වඩා පුළුල් ලෙස කෙරෙන විවරණයක් වඩා අර්ථවත් වෙයි. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් ප්‍රකාශයට පත් සමාජ ඓතිහාසික පසුබිමෙහි ඒ සමාජය එම නිර්මාණය කෙරෙහි දක්වන ප්‍රතික්‍රියා විමසා බැලීම ද සමාජීය සාහිත්‍ය අධ්‍යයනයට අදාළ වන තවත් පැතිකඩක් ලෙස මහාචාර්ය සුරවීර දක්වයි. මේ සියලු අංශ මඟින් සාහිත්‍ය නිර්මාණ රස වින්දනයේදී හා අධ්‍යයනයේදී හුදෙක් රසිකයා පමණක් නො ව විචාරකයා ද, එමතු නොව සමාජීය සාහිත්‍ය අධ්‍යයනයෙහි නිරත වන විද්වතුන් ද පුළුල් වූ කාර්යභාරයක නිරත වනු ඇත.

සමාජීය සාහිත්‍ය අධ්‍යයන විෂයය කෙරෙහි මෙරට උගතුන්ගේත්, ලේඛක විචාරක දෙපක්ෂයේත් පොදුවේ ඒ කෙරෙහි උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ගේත් විශේෂ අවධානයක් යොමු කරවාගැනීමටත් එහි-ලා අලුත් දැනුම් සම්භාරයක් ප්‍රකට කිරීමටත් මහාචාර්ය ඒ.වී. සුරවීර සමත් විය.

සාහිත්‍ය අධ්‍යයනයේදී හුදු කෘතියෙන් ඔබ්බට යමින් වෙනත් බොහෝ කරුණු ද තුලනාත්මකව වෙනත් විදේශීය උගතුන්ගේ අධ්‍යයනයන් හා මතවාද ඇසුරෙන් ගෙන හැර දැක්වීමට මහාචාර්ය ඒ.වී. සුරවීර සමත් වී ඇත. රොබට් එස්කාපිට් නමැති ප්‍රංස ජාතික මහාචාර්යවරයා මෙහිලා අවධාරණය කළ කරුණු තුනක් මහාචාර්ය ඒ.වී. සුරවීර දක්වා ඇත. කතුවරයා, කෘතිය හා ජනතාව යන තුන් කොටස එසේ නැත හොත් ලේඛකයා, නිර්මාණය හා පාඨකයා යන අංශ තුනෙහි අන්‍යොන්‍ය සම්බන්ධතාව සාහිත්‍ය කෘතිය මෙහෙයවීමට උපයෝගි වන බව මෙයින් කියවෙයි.

මේ හැරුණු විට සාහිත්‍ය කෘතියක් කෙරෙහි බලපෑම් සිදු කරන වෙනත් සාධක ද වෙයි. එක් අතකින් බලන විට සාහිත්‍ය නිර්මාණයක් බිහි වන පසුබිමක සමාජ, ආර්ථික, දේශපාලන බලවේග නිරායාසයෙන් ම එහි-ලා බලපෑම් කිරීමට ඉඩ ඇත.

සමාජය හා නිර්මාණකරණය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසා බැලීමේදී ලේඛකයා සතු වගකීම් සම්භාරය අතිවිශාල බව කිව යුතු ය. කෙසේ නමුදු ලේඛන කාර්යයේදී විශේෂයෙන් ම ග්‍රන්ථ ප්‍රකාශනය සම්බන්ධයෙන් බලන විට කවර සමාජයක වුව කවර අවදියක වුව ලේඛකයන් මුහුණ දෙන ආර්ථික ගැටලු හා ඊට අනුබද්ධ වෙනත් අපහසුතා ද නිර්මාණ කාර්යය කෙරෙහි බලපෑම් කරන සාධක වන්නේ ය. මේ කවර කාරණා කවර ආකාරයෙන් ඉස්මතු වුව ද පොදුවේ ගත් කල්හි සමාජයක් තුළ ලේඛකයාට විශේෂ තත්ත්වයක් හිමි වෙයි.

ලේඛකයා සතු මේ විශිෂ්ට බලය ගෙන හැර පානු වස් මහාචාර්ය ඒ.වී. සුරවීර සිය කෘතිය (සමාජීය සාහිත්‍ය අධ්‍යයනය ) මඟින් ගිරා සන්දේශ කවියා පළ කළ අදහස මෙසේ දක්වා ඇත:

“ලද යම් කෙනෙක් සරසවි බැලුමසෙක් නිසී

කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අත  වැසී

(ගිරා සන්දේශය, 3 පද්‍යය)

“ලෝකයේ අන් කවර වෘත්තියක යෙදෙන්නකුට ද වඩා උතුම් වගකීමක් ලේඛකයා වෙත පැවරෙන බව’ මෙයින් පැහැදිලි වෙයි. එසේ ම කවර සමාජයක වුව ලේඛකයාට සම්මානනීය තත්ත්වයක් ලැබෙන බව නොරහසකි’’ (සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, 106 පිට)

මහාචාර්ය ඒ.වී. සුරවීර වූකලි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළට ම නැඟීමේ වාසනාව ලද විද්වතෙකි. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වශයෙන් ම මෙන්ම සාහිත්‍යධරයකු, ග්‍රන්ථ කර්තෘවරයකු, විචාරකයකු ආදි වශයෙන් ද එතුමා විසින් ඉටු කරන ලද මෙහෙවර අතිවිශාල ය. ඉහත දැක්වූ පරිදි ‘සමාජීය සාහිත්‍ය අධ්‍යයනය’ විෂයය කෙරෙහි මෙරට සමාජයේ මතකය හා දැනුම අලුත් කරමින් එහිලා දැක්වූ උද්යෝගය ද, ශාස්ත්‍රීය ලිපි-ලේඛන ඇසුරෙන් කරන ලද මෙහෙය ද සැබැවින් ම ප්‍රශංසනීය ය. එතුමා අතින් ලියවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථ සමූහය හැරුණු විට නිර්මාණකරුවකු වශයෙන් ඉටු කළ සේවය ද සුළු-පටු නො වේ.

මහාචාර්ය සුරවීර සමාජීය සාහිත්‍ය අධ්‍යයන විෂයය ඉස්මතු කොට දැක්වූ අතර, එතුමා අතින් රචනා වූ සාහිත්‍ය කෘතීන් තුළින් පිළිබිඹු කෙරෙන සමාජ පසුබිම ද එම විෂයය පිළිබඳ දැනුම තවදුරටත් තහවුරු කරනු ඇත. එතුමාගේ පෑන් තුඩින් ලියවී ප්‍රකාශයට පත් කෙරුණු නිර්මාණ කෘති අතර නවකතා හා කෙටිකතා සෑහෙන සංඛ්‍යාවකි. ‘කාටත් මා එපා වෙලා’ නම් කෙටිකතා සංග්‍රහයෙන් වසර 1969දී නිර්මාණ ලෝකයට පිවිසි එතුමා අනතුරුව 1970 වසරේදී පළ කළ ‘පෑදි දියට බොර දිය’ නම් කෙටිකතා සංග්‍රහය එදා-මෙදා තුර පාඨක අවධානයෙන් නොගිලිහී පවතින්නකි.

එයින් අනතුරුව වසර 1971දී සුරවීර මහතා රචනා කොට පළ කළ ‘හෙයියම්මාරුව’ නවකතාව ප්‍රබල සමාජ පිළිබිඹුවක් ලෙස සැලකිය හැක්කකි. නවකතා වශයෙන් ඉන් අනතුරුව ‘නොයන් පුතුනි ගම හැරදා’, ‘අත්ත බිඳෙයි පය බුරුලෙන්’, ‘සදා මෙලෙස පුර දෙරණේ‘, ‘අඳුර දුර ලන රැස් ’ යන කෘති අතීත සමාජ තතු මෙන් ම නූතන සමාජ වටපිටාව පිළිබඳව ද මැනවින් හඳුනාගත හැකි තොරතුරුවලින් අනූන ය.

නවකතා මාධ්‍යයත්, කෙටිකතා මාධ්‍යයත් සමව පුරුදු-පුහුණු කළ නිර්මාණාත්මක ලේඛකයකු වශයෙන් කැපී පෙනෙන මහාචාර්ය ඒ.වී. සුරවීර අතින් රචිත වෙනත් කෙටිකතා ග්‍රන්ථ ද කිහිපයකි. ‘ගොදුරු ලොබ’, ‘බවතිමිර’ වැනි කෘති මීට නිදසුන් ය. ඔහුගේ කෙටිකතා සංග්‍රහ අතුරින් පොදුවේ පාඨකයාත් විශේෂයෙන් ම පාසල් ශිෂ්‍ය ප්‍රජාවත් අමතක කොට නැති කතා සංග්‍රහයක් ලෙස ‘පෑදිදියට බොරදිය’ හඳුන්වා දිය හැකි ය.

සැබැවින් ම අර්ථවත් තේමා කිහිපයක් විෂයය කරගනිමින් රචිත කෙටිකතා අටකින් සමන්විත ‘පෑදිදියට බොර දිය’ කතා සංග්‍රහයේ ඇතුළත් සියලු රචනා විවිධ මිනිස් චරිත හා ඒවා මුහුණ දෙන ගැටලු සහිත අවස්ථා සංවේදි ලෙස නිරූපණය කරයි. මේ නිර්මාණ අතුරින් ‘අකුරට යන වෙලාවේ’ කෙටිකතාව පාඨක සිත් තුළ නොමැකෙන මතක සටහන් තබා ඇති රසවත් කතාවකි. සාහිත්‍යය තුළින් පිළිබිඹු කෙරෙන සමාජයේ එක් පැතිකඩක් සියුම් ලෙස නිරූපණය කරන්නට මහාචාර්ය ඒ.වී. සුරවීර මේ කතාව රචනයේදී සමත් වී ඇත. විශේෂයෙන් ම කාන්තා සිත ගැඹුරින් නිරූපණය කිරීමට මෙහි යෙදාගෙන ඇති සිද්ධි හා අවස්ථා අතිශයින් ප්‍රබල ඒවා ය. ඒ සමඟ ම ළමා සිතක හටගන්නා දුක් වේදනා මෙන් ම දරුවන්ගේ ඇසුර පතන හා එයින් ප්‍රීති වන කුඩා දැරියකගේ චිත්ත අභ්‍යන්තරය විදහා දැක්වීමට කතුවරයා අපූරු සංකේත භාවිත කරමින් දරා ඇති උත්සාහය බෙහෙවින් සාර්ථක ය.

කාන්තා චිත්ත අභ්‍යන්තරය ගැඹුරින් නිරූණය කිරීම උදෙසා කෙටිකතාවක ඇති ඉඩ-කඩ උපරිම වශයෙන් හා මැනවින් ප්‍රයෝජනයට ගන්නා කතුවරයා මේ කෙටිකතාවේ ඇතුළත් වන ප්‍රධාන කාන්තා චරිතය ‘මිසිස් කරුණාපාල’ ක්‍රියා කරන ආකාරය, වචන භාවිත කරන ආකාරය සමඟ ඇයගේ හැසිරීම් රටාව ඉතා ප්‍රබලව නිරූපණය කරයි.

කථකයා වන සිරීගේ දෘෂ්ටිකෝණයෙන් දිග හැරෙන ‘අකුරට යන වෙලාවේ’ කෙටිකතාව මඟින් කාන්තාවකගේ සිත තුළ පහළ වන සියුම් ඊර්ෂ්‍යාකාරී හැඟීම් සමුදායක් පියවරෙන් පියවරට ගෙනහැර දැක්වීමක් මේ කෙටිකතාවේ පැහැදිලිව පෙනෙන්නට ඇත.

සිරී නමැති විශ්වවිද්‍යාල තරුණයා නේවාසිකව සිටින කරුණාපාල නිවෙසේ අවශ්‍යතාවක් පිරිමසා-ලමින් ගමෙන් දැරියක් ගෘහ සේවයට කැඳවාගෙන එනු ලබන්නී ය.

“කිලිටි වී ගිය සුදු කොට ගවුමක් ඇඳගත් අවුරුදු දොළහක පමණ ගැහැනු ළමයෙක් අප කථා කරද්දී සාලයට ඇතුළු වන දොරේ රෙද්ද අතරින් එබී බැලුවා ය.” (පෑදි දියට බොර දිය, 1 පිට)

මෙපරිද්දෙන් මුලින් ම පාඨකයා වෙත ගෙන පමුණුවනු ලබන කුඩා දැරියගේ අහිංසක පෙනුමත්, ඇය මුහුණ දෙන දරිද්‍රතාවත් සමඟ එවන් ළදැරියකගේ අපේක්ෂා ද කතුවරයා විසින් පාඨකයා වෙතට දන්වනු ලබයි.

“මොකක්ද භද්‍රා, කෙල්ලගෙ නම?” එකෙණෙහි මිසිස් කරුණාපාලගේ මුහුණේ පළ වූ අප්‍රසන්නතාව අප දෙදෙනාමට පැහැදිලි විය. පිළිතුරු දුන්නේ ඉනික්බිතිවය.

“සුබද්‍රාවතී කියන්නේ” උපහාසාත්මක ස්වරයකින් එහෙත් මඳ සිනාවකින් යුතුව ඈ කීවා ය. (පෑදිදියට බොරදිය, 3 පිට)

කතුවරයා හොඳින් සිතා බලා ගෙහිමි කාන්තාවට හා ගමෙන් ගෙන ආ මෙහෙකාර දැරියට නම් දී ඇත. කාන්තාවගේ නම ‘භද්‍රා’ වන අතර, ගමෙන් ආ දුප්පත් දැරියට එම නමෙහි වඩාත් ඉහළ අරුතක් දනවන ‘සුබද්‍රාවතී’ යන නම යෙදීමෙන් මිසිස් කරුණාපාලගේ සිත තුළ හටගත් ඊර්ෂ්‍යාව ගෙන හැර දැක්වීමට කතුවරයා සමත් වෙයි. ඇයගේ උපහාසාත්මක ස්වරය වූකලි අහිංසක ගැමි දැරිය කෙරෙහි අනුකම්පාව වෙනුවට ඊට පටහැණි හැඟීමක් දනවන්නකි. කුඩා දැරිය එම නිවෙසට පැමිණි අවස්ථාවේ සිට ඇය එතැනින් ආපසු ගමට කැඳවා ගෙන යන අවස්ථාව දක්වා මේ ස්ත්‍රී චරිතයේ සිතිවිලි, හැඟීම් හා ආකල්ප ඊට සමානුරූපි ලෙස විවරණය කරන්නට කතුවරයා සමත්ව ඇත. ඉහතින් විස්තර කළ පරිදි සාහිත්‍ය කෘතියකින් එක් අතකට එය බිහි වූ සමාජ පසුතලයත්, පොදුවේ මිනිස් සිතේ ස්වභාවයත් නිරූපණය වීම සමාජීය සාහිත්‍ය අධ්‍යයන විෂයට අතිශයින් ම යෝග්‍ය අයුරින් සිදු වී තිබෙනු දැකගත හැකි ය.

එක් පැත්තකින් වැඩිහිටි කාන්තාවකගේ නොනිමෙන ඊර්ෂ්‍යාවත්, අනෙක් පසින් දැරියගේ අහිංසක බව, දක්ෂතාව සමඟ ඉටු නොවන බලාපොරොත්තු සිත් තුළ දල්වාගෙන සිටීමත් යන මේ ස්වභාවයන් කෙටිකතාව මඟින් පැහැදිලිව ඉස්මතු වෙයි. මහාචාර්ය ඒ.වී. සුරවීරට සාහිත්‍යය මඟින් සමාජය පිළිබිඹු වන ආකාරය පැහැදිලි කර දීමට සිය නිර්මාණ පවා උපයෝගි වන බවට මෙවැනි තැන් සාක්ෂි දරයි.

මිසිස් කරුණාපාලගේ නමට වඩා ඉහළ අගයකින් යුතු ‘සුබද්‍රාවතී’ යන්න හිතුමතේට වෙනස් කොට ‘මැණිකා’ යන (සාමාන්‍යයෙන් නිවෙස්වල මෙහෙකාර ස්ත්‍රීන්ට හෝ දැරියන්ට භාවිත වන) නම ආරෝපණය කළ ද එනමින් ඇයට අඬගසන විට ඇය එහි නොපැමිණීම කතුවරයා ඉදිරිපත් කර ඇත්තේ උපහාසයෙන් යුතුව ය. ඉන් අනතුරුව අකැමැත්තෙන් වුවත් ‘සුබද්රාවතී’ යන ඇයගේ නියම නමින් දැරියට අඬගසන කරුණාපාල මහත්මිය එසේ කරන්නේ තම යටිසිතේ හටගත් අකැමැත්ත හා ඊර්ෂ්‍යාව ද සමඟ ය. පාඨකයාට මේ චරිතයේ චිත්ත අභ්‍යන්තරය විනිවිද දැකගැනීමට අවකාශ සලසා දෙන කතුවරයා කථාවේ ඉදිරියට ද පියවරින් පියවර මේ අභ්‍යන්තර ගැටුම විදහා දක්වයි.

තම දියණියන්ට නැති තරම් දක්ෂතා මෙහෙකාර දැරිය සතුව ඇති බව දකින කරුණාපාල මහත්මිය තුළ වැඩි-වැඩියෙන් ඊර්ෂ්‍යාකාරි හැඟීම් ජනිත වෙයි. මැණිකාගේ කවි ගායනාවල රසවත් බවත්, එමඟින් ඇය දක්වන කුසලතාත් යටිසිතින් මිස සැබවින්ම පිළිගැනීමට අකැමැති වන ඇය; තම දියණියන්ගේ අදක්ෂතාවට වග කිව යුත්තේ පාසල් අධ්‍යාපනයේ අඩු-පාඩු සහිත වීම බව වක් මඟින් පවසයි. මේ අයුරින් අදියරෙන් අදියරට මැණිකා වෙත දක්වා අකාරුණික හැසිරීම කරුණාපාල මහත්මියගේ සිත තුළ උපරිම තත්ත්වයකට පත් වන්නේ මැණිකා සහ දියණියන් දෙදෙනා පාසලක ගුරුතුමිය හා ශිෂ්‍යාවන් ලෙස රඟපාන අවස්ථාවෙනි.

කරුණාපාල මහත්මිය නිවෙසේ නොසිටි අවස්ථාවක මවගේ සාරියකින් හා හැට්ටයකින් හැඩ වන මැණිකා ඇයගේ පාවහන් යුවළක් ද පැලඳගෙන ගුරුවරියක ලෙස හැසිරෙයි. දුලානි හා වජිරා ඇයගේ ශිෂ්‍යාවන් ලෙස රඟපාති.

අනපේක්ෂිත ලෙස හදිසියේ ම ආපසු නිවෙසට පැමිණෙන කරුණාපාල මහත්මියට එම දර්ශනය ඉවසා දරාගත නොහැකි වෙයි.

“උඹ මොක ද, මෙතන කරන්නේ? ඇඳුං ඔක්කොම නාස්ති කරල. පේනව නේද මේකිගේ උජාරුව! ‘නෝනා’ - ‘ඉස්කෝලෙ නෝනා’ හඃ! මගේ ඔළුවටත් අත හෝදන්නයි මේකි එන්නේ..!”

පිට පිට ම පාරවල් දෙක-තුනක් වදින හඬ ඇසිණ. යළි ගුටි පාරවල් ඇසේ. “කුස්සියෙං මෙහාට අඩියක් තියල තිඋණෙත් බලාගනයි. තෝ හිටියොත් මේ ළමයින් නරක් වෙනව.” (පෑදිදියට බොරදිය, 10 පිට).

සාහිත්‍ය කෘතියක් මඟින් සිදුවන සමාජ විවරණය සමඟ මිනිස් චිත්ත සන්තානයේ ස්වභාවය එක් අතකින් දේශීය වශයෙනුත්ල අනික් අතින් පොදු මිනිස් සිත විවරණයක් ලෙසිනුත් ගෙන හැර පාන්නට කතුවරයා යොමු වී ඇති ආකරයට උක්ත නිදසුන සාක්ෂි දරයි.

මෙපරිද්දෙන් එක් අතකින් ගැහැනු සිතක ස්වභාවයල ඉහත දැක්වූ අන්දමේ අත්දැකීමකදී ඇය හැසිරෙන ආකාරය පාඨක සිත්වලට තදින් දැනෙන අයුරින් නිරූපණය වී ඇත. අනික් අතට අකුරට යන වෙලාවේ කෙටිකතාවේදී ළමා සිත විනිවිද දකින අයුරින් කතා විකාශනයට සුරවීර මහතා සමත් වී ඇති හැටි මේ නිර්මාණයේ ‘මැණිකාගේ’ සිතිවිලි හා හැසිරීම් මඟින් නිරූපණය කෙරෙයි.

ගමේ සිට මේ කුඩා දැරිය නගරයේ නිවෙසකට කැඳවාගෙන යනු ලබන්නේ එහිදී පාසල් අධ්‍යාපනය ලැබිය හැකිය යන බලාපොරොත්තුව ඇය තුළ ජනිත කරවමිනි.

“මැණිකා ඉස්කෝලෙ යන්නෙ නෑ” දුලානි කීවා ය. “මොක ද නැත්තෙ? අම්ම කිව්ව මෙහෙදි යන්න පුළුවන් කියල ඉංග්‍රීසි ඉස්කෝලේ” මැණිකා කීවා ය. පෝයට පසුදා උදේ දුලානි සහ වජිරා සුදු ගවුම් ඇඳ කහ ටයි පටි බැඳ සැරසී පොත් බෑග්ද අතේ දරාගෙන ගෙදරින් පිටත් වී නොපෙනී යන තෙක් ම මැණිකා වැට ළඟට වී බලා සිටියා ය.”

“මැණිකා මොක ද මෙතන කරන්නේ?” මම ඇසීමි. “මහත්තයා...” ඇගේ මුවින් මේ වචන පිට වූයේ ඉතා අමාරුවෙනි. “මහත්තයා- මහත්තය- මං- මං ඉස්කෝලෙ යන්නෙ නැද්ද?”

ඇගේ අහිංසක බැගෑපත් බැල්ම මගේ හද පාරන්නට විය. මම ඒ නෑසුණාක් මෙන් කාමරයට ගියෙමි.

(පෑදිදියට බොරදිය, 12 පිට).

ඉහතින් දැක්වූ කාන්තා චරිතයේ ස්වභාවයත්, එහි ඇති අකාරුණික හැඟීම්වලින් තැළෙන අහිංසක දැරියගේ සිත් වේදනාවත් පාඨක හදවත් තුළට සංවේදි හැඟීම් දනවමින් මෙලෙසින් නිරූපණය කරන්නට කතුවරයා සමත් වී ඇත. මේ කතාව පුරා දිවෙන සංවේදී සිතිවිලිවල තවත් උච්ච අවස්ථාවක් ලෙස කුඩා දැරිය තම පරණ ගවුම හෝදා වේළෙන්නට දැමූ අවස්ථාවේ සිදු වන සිදුවීම දැක්විය හැකි ය.

“මැණිකාගේ මුහුණේ තිබූ ප්‍රීතිය සැණෙකින් අතුරුදහන් වී මලානික විය. කුස්සිය දෙසට සෙමෙන් සෙමෙන් පා නැඟූ මැණිකා එද්දී ඇඳගෙන ආ සුදු ගවුම සෝදා අවුවේ වනා, තමා ඇඳි සිතුවම දෙස බලා සතුටු වන සිත්තරෙකු මෙන් ඒ ගවුම දෙස බලා සිටියාය. ගවුමට අවු රශ්මිය හොඳට වැටේ. අළු ගොඬේ වැතිරී සිටි බැල්ලී ගවුම පාගා ගෙන යනු මැණිකාට වළක්වාගත හැකි වූයේ අනූනවයෙනි.”

(පෑදිදියට බොරදිය, 11 පිට).

ඉටු නොවන අපේක්ෂාවක් සිත තුළ දල්වා ගෙන බලාපොරොත්තුවෙන් සිටින අහිංසක දැරිය තමන් සතු එක ම ගවුම සෝදා වේළාගන්නට දරන උත්සාහයේදී අළු ගොඩේ ලැග සිටින බැල්ලගෙන් පවා ඊට සතුරුකම් සිදු වන්නට යන අවස්ථාවක් පිළිබඳ සංවේදී විවරණයක් මෙහි දැක්වේ.

සමකාලීන ශ්‍රී ලාංකික සමාජය තුළ දක්නට ලැබුණු ඇති-නැති භේදය, පන්ති පරතරය සමඟ ඊට මැදි වී සිටින ඉහළ සමාජයේ පුද්ගලයන්ගේ අකාරුණික බලපෑම් සහ එයින් තැළී-පොඩි වී මානසික පීඩාවට පත් වන අහිංසකයන්ගේ චරිත එකිනෙකට සමගාමීව විවරණය කරමින් කතුවරයා ගෙන හැර පාන සමාජ පිළිබිඹුව අතිශය ප්‍රබල ලෙස මතු වී පෙනෙයි.

‘පෑදිදියට බොරදිය’ කෙටිකතා සංග්‍රහයෙහි ඇතුළත් සෙසු නිර්මාණ මෙන්ම මහාචාර්ය ඒ.වී. සුරවීරගේ අනෙකුත් කෙටිකතා සංග්‍රහවලද මතු වී පෙනෙන සමාජ පිළිබිඹුව එම සාහිත්‍ය නිර්මාණවල සාර්ථක ලක්ෂණයකි. කෙටිකතා කලාව පිළිබඳ මනා අවබෝධයකින් හා පරිචයකින් යුතුව රචිත මේ කෘති වෙත පාඨකයා තදින්ම බැඳී ඇත්තේ ද එබැවිනි. කතුවරයා වඩාත් පුළුල් සමාජ විවරණ සඳහා සිය නවකතා උපයෝගී කරගෙන  තිබීම ද වැදගත් කරුණකි.

ඉහත දැක්වූ පරිදි කතුවරයාගේ ම වචනවලින් කියවෙන “ලෝකයේ අන් කවර වෘත්තියක යෙදෙන්නකුට ද වඩා උතුම් වගකීමක් ලේඛකයා වෙත පැවරෙයි” යන අදහස එතුමා විසින් ම තම නිර්මාණකරණය මඟින් සාක්ෂාත් කරගනු ලැබ තිබෙන බව අවසාන වශයෙන් කිව යුතු ය.

Comments