ග්‍රේෂන් සම්මානලාභීන් සොයා යෑම | Page 2 | සිළුමිණ

ග්‍රේෂන් සම්මානලාභීන් සොයා යෑම

ග්‍රේෂන් ත්‍යාගයේ නිර්මාතෘවරයා මයිකල් ඔන්ඩච්චි ය. ‘ද ඉංග්ලිස් පේෂන්ට්’ කෘතියට බුකර් ත්‍යාගය සඳහා තමා වෙත පිරිනැමුණු මුදලින් (සම සම්මානය) ඔහු එය දියත් කළේ 1992 වර්ෂයේදී ය.‍ 1993 පටන් ඉංගිරිසි බසින් නිර්මාණකරණයේ යෙදෙන ශ්‍රී ලාංකේය ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් මේ සම්මානය වාර්ෂික ව පිරිනැමේ. ඔවුන් සඳහා එලෙස අඛණ්ඩ ව පිරිනැමෙන එක ම සම්මානය ද මෙය ය. ත්‍යාගය නම් කර ඇත්තේ මයිකල් ඔන්ඩච්චිගේ මව වන ඩොරිස් ග්‍රේෂන් ස්මරණය කරමිනි. සම්මානය සමඟ රුපියල් දෙලක්ෂයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.

සිංහල සාහිත්‍ය කෘතියක හොඳ ම ඉංගිරිසි පරිවර්තනය වෙනුවෙන් එච්.අයි. ගුණතිලක ත්‍යාගය ද මීට සමගාමීව පිරිනැමේ. ඒ ත්‍යාග මුදල ද රුපියල් දෙලක්ෂයකි. 2015 වර්ෂයේ පටන් සරසවි පොත්හල ද මේ ත්‍යාග ප්‍රදානය සඳහා අනුග්‍රහය දක්වමින් ග්‍රේෂන් භාරයත් සමඟ සම්බන්ධ වේ.

ලිවීමෙන් මම ප්‍රමෝදයක් වගේ ම පූර්ණ තෘප්තියකුත් ලබනවා

1999 Sharpnel

නීල් ප්‍රනාන්දුපුල්ලේ

ඔහු බොහෝවිට පෙනී සිටින්නේ කෙටිකතාකරුවකු වශයෙනි. පුණ්‍යකාන්ති විජේනායක ප්‍රකාශ කර ඇති පරිදි ඔහු ස්වාභාවිකත්වය සමඟ බැඳි ලේඛකයෙකි. නීල් ප්‍රනාන්දුපුල්ලේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේ උද්භිද විද්‍යා විශේෂ උපාධිධරයකු ලෙස ය. ඔහු මේ රටේ ස්වාභාවික විවිධත්වය මනාව අත්විඳි අතර ඔහුගේ ඇතැම් කෙටිකතාවලට පසුබිම සැකසී ඇත්තේ ද ඒ ඔස්සේ ය.

අදහස් ප්‍රකාශනයේදී ඔහුගේ මාධ්‍ය ලේඛනයයි. “ලිවීමෙන් මම ප්‍රමෝදයක් වගේ ම පූර්ණ තෘප්තියකුත් ලබනවා” යනුවෙන් ඔහු පවසා ඇත්තේ ලිවීම සහ ඔහු අතර ඇති සමීප බවට හේතුවය.

* * * * * * * * * * * * * * * * * * *

ගැඹුරු මානවීය සබඳතා නිරූපණය වන කෘතියක්

2000 - Middle of Silence

රුවන්ති ඩි චිකේරා

නාට්‍ය පිටපත් රචිකාවක මෙන් ම අධ්‍යක්ෂවරියක ද වන රුවන්ති ගේ නාට්‍ය රටවල් ගණනාවක වේදිකාගත වී තිබේ.

‘මිඩ්ල් ඔ‍ෆ් සයිලන්ස්’ ඇයගේ පළමු නාට්‍ය පිටපත වන අතර එය රචනා වූයේ ඇය 19 හැවිරිදි වියේ සිටියදීය. ගැඹුරු මානවීය සබඳතා හා චර්යා ඊට පාදක විණි. ඊට පසුබිම් වී ඇත්තේ යුද්ධය මඟින් ඇති කළ බලපෑම් ය. ආධුනික නාට්‍ය පිටපත් රචකයන් උදෙසා බ්‍රිතාන්‍ය මණ්ඩලය පිරිනමන අන්තර්ජාතික සම්මානයක දකුණු ආසියාව සඳහා වූ ත්‍යාගය 1997 දී පිරිනැමුණේ ද රුවන්තිට ය. ඒ මේ නාට්‍ය පිටපත වෙනුවෙනි.

එය රචනා කරනවිට ඇය එක් නාට්‍ය පිටපතක් හෝ කියවා තිබුණේ නැත. “මං ලිව්වා පමණයි, එතකොට මට අවුරුදු 19. වාසනාවකට ඒ නාට්‍ය පිටපතට සම්මානයක් ලැබුණා. මට මතකයි මං කියවපු පළමු නාට්‍ය පිටපත. ඒක හැරල්ඩ් පින්ටර් ගේ නාට්‍යයක්. මං ඒක ‍කියෙව්වෙ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙදි. සම්මානය බාරගන්න බ්‍රිතාන්‍යයට යාමට වීසා ලබා ගැනීම සඳහා එහි ගත කරන අතර මං එය කියෙව්වා. මේ සම්මාන ජූරියේ සභාපතිවරයා වුණේ පින්ටර්. ඉතින්, ඔහු හමුවීමට පෙර ඔහුගේ එක් නාට්‍යයක් හෝ කියවා තිබීම හොඳයැයි මං සිතුවා...” යනුවෙන් ඇය පවසා තිබේ.

* * * * * * * * * * * * * * * * * * *

වේදිකාවේ වෙනසක් සටහන් කළ නාට්‍ය පිටපතක්

Frobidden Area

විසාකේශ චන්ද්‍රසේකරම්

මානව හිමිකම් ක්ෂේත්‍ර‍යේ නීතිවේදියකු ලෙස මෙන් ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස ද ක්‍රියාකරන විසාකේශ කලාකරුවකු ද වේ. “ෆොබිඩින් ඒරියා” (තහනම් අඩවිය) ඇතුළු නාට්‍ය ගණනාවක් ඔහු සිංහලෙන් සහ ඉංගිරිසියෙන් රචනා කර ඇත. “ෆොබිඩින් ඒරියා” නාට්‍ය පිටපතට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පිරිනමන ත්‍යාගය ද හිමිවිය. “තහනම් අඩවියට” පසුබිම් වන්නේ යුද සමයයි. එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ භූමිකාව එහි දිගහැරේ.

“තහනම් අඩවිය” වේදිකාගත විය. එහි අන්තර්ගතය මෙරට වේදිකාවේ වෙනසක් සටහන් කළ බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. විසාකේශගේ “‍‍ෆ්රෑන්ජිපානි’ සිනමාපටයද ප්‍රේක්ෂක විචාරක අවධානයට ලක්විය.

* * * * * * * * * * * * * * * * * * *

සුන්දර ළමා විය පිළිබඳ අත්දැකීම් එකතුවක්

1995 -The Child in Me

සිබිල් වෙත්තසිංහ

දෙස් - විදෙස් සම්මානයට පාත්‍ර වූ චිත්‍ර ශිල්පිනියක මෙන් ම ළමා කතා රචිකාවක ද වන සිබිල් වෙත්තසිංහගේ කෘති භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ.

මේ වනවිට ඇය ළමා කෘති 200 කට වැඩියෙන් එළිදක්වා ඇත. ‘ද චයිල්ඩ් ඉන් මී’ කෘතිය 1995 ග්‍රේෂන් ත්‍යාගය දිනාගත් අතර ‘ද වෙසක් ලෑන්ටර්න්” කෘතිය (1996) ඇතුළු කෘති 8 ක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා තිබේ. ඇය අන්තර්ජාතිකවද සම්මානයට පාත්‍ර වී ඇති අතර යුරෝපියානු හා ආසියානු සම්මාන රැසක් දිනා සිටී. ළමයින් අතර අතිශයින් ම ජනප්‍රිය කෘතිය ලෙස ජපාන පුස්තකාල සංගමයේ සම්මානයෙන් පිදුම් ලැබූ “කුඩ හොරා” කෘතිය විදේශ භාෂා 7කට පරිවර්තනය වී තිබේ. “ද චයිල්ඩ් ඉන් මී” කෘතියේ ඇතුළත් වන්නේ ඇයගේ ම සුන්දර ළමාවිය පිළිබඳ අත්දැකීම්ය.

* * * * * * * * * * * * * * * * * * *

සියදිවි නසාගැනීමට වැඩි නැඹුරුවක් තිබූ ලේඛිකාවක්

1998 - It’s a Suny Day on the Moon

ජීන් ත්වයිත්ස්

ජීන් ත්වයිත්ස් වෙනස් චරිතයක් ලෙස ප්‍රකටය. සියදිවි නසා ගැනීමට වැඩි නැඹුරුවක් ඇය තුළ වූ බව පැවසේ. වලාකුළු ගැන ඇයට අනියත බියක් තිබී ඇත. ඇය අවසන් වරට දැක ඇත්තේ වසර ගණනාවකට ඉහතදී සහරා කාන්තාරයේ දී ය.

* * * * * * * * * * * * * * * * * * *

‘මිරාජ්’ ලිවීමට ගත වූයේ මාස 4යි

1997 -The Mirage

ගාමිණී අක්මීමන

ඡායාරූපශිල්පියකු ද වන මාධ්‍යවේදී ගාමිණී අක්මීමන “මිරාජ්” (මිරිඟුව) නවකතාව රචනා කර ඇත්තේ රාජණී තිරණාගම ගේ ජීවිතය ඇසුරිනි. යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මෙන් ම ලේඛිකාවක හා සමාජ ක්‍රියාකාරිනියක වූ රාජිණී එල්.ටී.ටී.ඊ. උණ්ඩයට බිලි වූයේ යාපනයේදී පාපැදියෙන් නිවස බලා යමින් සිටියදීය.

ගාමිණී, ‘මිරාජ්’ ලිවීමට ගත කර ඇත්තේ මාස 4ක කාලයකි. සම්මානයට ලක්වන විට එය අත්පිටපතක් විය. ඔහු මේ කෘතිය රචනා කර ඇත්තේ නිදහස් මතධරියකු වශයෙනි. ඔහු කලා මණ්ඩල සම්මාන ද අවස්ථා කිහිපයකදීම හිමිකරගෙන ඇත.

* * * * * * * * * * * * * * * * * * *

ග්‍රාමීය ජන ජීවිතය පසුබිම් වූ නවකතාවක්

 

1994 - Amulet

පුණ්‍යකාන්ති විජේනායක

ප්‍රකට ශ්‍රී ලාංකික ඉංගිරිසි ලේඛිකාවක වන පුණ්‍යකාන්ති විජේනායකගේ කෘති විශාල පාඨක අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ. කොන්ග්‍රස් පුස්තකාලයේ ඇයගේ කෘති 10 ක් තැන්පත්ව ද ඇත.

“ඇමියුලට්” ප්‍රකාශයට පත්වූයේ 1997 දීය. එය සංකීර්ණ මිනිස් හැඟීම් ගැඹුරින් පළ කළ කෘතියකි. කොළඹ ඉපිද කොළඹ ම ජීවත් වුවද ඇයගේ නිර්මාණවලට ග්‍රාමීය ජන ජීවිතය වඩාත් පසුබිම්ව තිබේ. පුණ්‍යකාන්ති පවසා ඇති පරිදි ‘ඇමියුලට්’ නවකතාකරුවා කේන්ද්‍රීය තේමාව වෙනස්වන සමාජ ආචාර්ධර්ම, විවාහය, ලිංගිකත්වය, පූර්ව විවාහ ලිංගික සබඳතා ඔස්සේ ගොඩනැඟී ඇත.

* * * * * * * * * * * * * * * * * * *

බර්ගර්වරුන්ගේ ජීවිතය ගැන ලියූ කෘතියක්

1993 -The Jam Fruit Tree

කාල් මලර්

 

ලේඛකයකු කවියකු මෙන් ම මාධ්‍යවේදියකු ද වන කාල් මලර් ගේ කෘති අතුරින් “ද ජෑම් ෆෘට් ට්‍රී” සහ “චිලර්ස් ඔෆ් ද ලයන්”, “ද යකඩ යකා” වඩාත් ප්‍රසිද්ධියට පත්විය. ‘ද ජෑම් ෆෘට් ට්‍රී’ කෘතියට පසුබිම් වන්නේ 1930 ගණන්වල බර්ගර්වරුන්ගේ ජීවිතයයි. යුරෝපියානු සම්භවයක් ඇති මෙන් ම රැජිනගේ බස කතා කළ ඔවුන්ට සුදු පාලකයන් යටතේ වැඩි පිළිගැනීමක් තිබූ අතර පසුව එය ක්‍රමයෙන් අඩුවිය. බර්ගර්වරුන්ගේ හොඳම අවධිය මේ කෘතියට පසුබිම්ව ඇත.

ඔහු පළමු ග්‍රේෂන් සම්මානයේ සම හිමිකරුවෙකි.

* * * * * * * * * * * * * * * * * * *

විචාරකයන්ගේ වැඩිම අවධානය දිනාගත් කෘතිය

1996 -Bringing Tony Home

තිස්ස අබේසේකර

තිස්ස අබේසේකර යනු චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට අමතරව රංගධරයකු මෙන් ම විශිෂ්ට ගනයේ තිර පිටපත් රචකයෙකි. සිංහල - ඉංගිරිසි ද්විභාෂාවෙන් ම විචිත්‍ර ලෙස අදහස් ප්‍රකාශනයේ යෙදීමට ඔහුට හැකිවිය.

තිස්ස අබේසේකර සියලු සාහිත්‍ය කාර්යයන් අත­ුරින් හොඳ ම නිර්මාණය “බ්‍රිගින් ටෝනි හෝම් ඇන්ඩ් අදර් ස්ටෝරීස්” බව බොහෝ විචාරකයන්ගේ මතයයි. එය අදියර 3 ක කතාවක් වන අතර ටෝනි යනු සුනඛයෙකි. මෙහි එන සිදුවීම් ඔහුගේ මතක සටහන් ඇසුරින් ඉදිරිපත්වූ ඒවා ය. සිය සම්පූර්ණ නාමය වන තිස්ස ආනන්ද අබේසේකර යන්න ගැනද ඔහු මෙහිදී කතා කර ඇත. මේ කෘතිය 2008 වසරේදී අමෙරිකාවේ දී ප්‍රකාශයට පත්විය.

* * * * * * * * * * * * * * * * * * *

යුරෝපීය භාෂාවකට පරිවර්තනය වූ පළමු කෘතිය

2002 - Servants

රජීව විජේසිංහ

 

මහාචාර්ය රජීව විජේසිංහ ප්‍රකට ඉංගිරිසි ලේඛකයකු මෙන් ම දේශපාලනඥයෙක් හා දේශපාලන වි‍ශ්ලේෂකයෙක් ද වේ. ප්‍රබන්ධ, විත්ති හා සමාජ ඉතිහාසය, අධ්‍යාපන, දේශපාලන සාහිත්‍ය වැනි විවිධ ක්ෂේත්‍රවලට අදාළ කෘති හා ලේඛන රැසක් රචනා කර තිබේ. ග්‍රේෂන් ත්‍යාගය දිනාගත් ‘සර්වන්ට්ස්’ කෘතිය Servi යනුවෙන් ඉතාලි බසට පරිවර්තනය වී 2002 වසරේදී මිලාන් නුවරදී ප්‍රකාශයට පත්විය. මෙරට සිටින ලේඛකයකුගේ කෘතියක් යුරෝපීය භාෂාවකට පරිවර්තනය වූ පළමු අවස්ථාව එය ලෙස සැලකේ. ‘සර්වන්ට්ස්’ ගෘහ සේවිකාවන් දෙදෙනකු වටා ගොඩනැඟී ඇති කතාවකි.

* * * * * * * * * * * * * * * * * * *

ඇතැම් විට මට දවසේ පැය 27 ක් තිබුණා

1992 - Wind Blows over the Hills

ලලිතා කේ. විතානාච්චි

 

කෙටිකතා, නවකතා, කවි මෙන් ම විශේෂාංග ද ලලිතා විතානාච්චිගේ ලේඛනකාර්යයන්ට අයත්ය. මාධ්‍යවේදිනියක ලෙස ද ඇය සම්මාන ලබා ඇත. 1992 දී හොඳ ම කෙටිකතා සංග්‍රහය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද ඇයට හිමිවිය. ලේඛිකාවක ලෙස කාල කළමනාකරණය අතිශයින් වැදගත් බව ඇය පවසා තිබේ. කාර්යබහුල ජීවිතයක් ගත කළ ද යම් ක්ෂේත්‍රයකට ළැදිකමක් දක්වන්නේ නම් කාලය සොයා ගැනීම ගැටලුවක් නොවන බව ඇයගේ අදහසය. “ඇතැම් විට මට දවසේ පැය 27 ක් තිබුණා.” යනුවෙන් ඇය එය පැහැදිලි කරයි. පළමු ග්‍රේෂන් සම්මානයේ සම හවුල්කාරිනියක වීමට ඇයට හැකිවිය. කෙටි ලැයිස්තුවට ඇතුළත්ව සිටියද එය හිමිවේයැයි නොසිතූ බව ඇය කියා ඇත.

 

Comments