
• පසුගිය දිනවල වේදිකාගත වුණු ‘මහසුපින’ දැවැන්ත වේදිකා රංගනයක්. වේදිකාවකට ප්‍රේක්ෂකයන් නොපැමිණෙන කාලයක ඒ වේදිකා රංගනය නැරැඹීමට සහභාගි වුණු ප්‍රේක්ෂකයන් ආපසු හරවා යැවීමට සිදු වුණා. වේදිකා නාට්‍ය කලාවේ මෙවැනි තත්ත්වයක් උද්ගත වූයේ කාලයකට පසුව නේද?
ඔව්. ඒ අත්දැකීමට මුහුණ දීමට ලැබුණේ කාලයකට පසුවයි. මොකද: ‘මහසුපින’ වේදිකාවට නැඟෙන්නේ කාලයක් තිස්සේ අත්හදා බලමින්, පුහුණු වෙමින් කළ නිර්මාණයක ප්‍රතිඵලයක් විදියටයි. එහිදී වේදිකා නාට්‍යය නැරැඹීමට ආරාධනා කළ ප්‍රේක්ෂකයන්ට වඩා ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රේක්ෂාගාරයට පිවිසියා. අනෙක් පැත්තෙන් වෙනත් දිනෙකට වඩා ශිෂ්‍ය ප්‍රජාව ඔවුන්ගේ සහභාගිත්වයක් දැක්වූවා. මේ නිසා කැලණිය ධර්මාලෝක ශාලාවේ තිබුණු ඉඩ මදි වූ බැවින් සමහර ප්‍රේක්ෂකයන්ට ආපසු හැරී යන්න සිදු වුණා. සමහර ප්‍රේක්ෂකයන් සිටගෙන බොහොම අපහසුවෙන් ‘මහසුපින’ වේදිකා නාට්‍යය නැරැඹුවා. මගේ අනෙක් නිර්මාණය වුණු ‘මහසමයම’ටත් මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බව මට මතකයි. ඒ නිර්මාණය කොළඹ දහ වතාවක් වේදිකාගත වෙනවා. ඒ සෑම අවස්ථාවකදීමත් මුළු ප්‍රේක්ෂාගාරය ම පිරී ඉතිරී ගිය බව මට මතකයි. සමහර පාසල් දර්ශනවලදි සිසුන් සිටගෙනත් ‘මහසමයම’ නැරැඹූ අයුරුයි, මට මේ වෙලාවේ සිහිපත් වන්නේ. මා සිතන්නේ යම් නිර්මාණයක් විශේෂ ලෙස සොයා බලා කරන විට ඒ අවධානය ප්‍රේක්ෂකයන් ගන්නවා. මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතුව එයයි.
• ‘මහා සම්ප්‍රදාය නියෝජනය කළ ඔබගේ ම නිර්මාණයක් වූ ‘මහසමයම’ වේදිකාගත වන්නේ නෙළුම් පොකුණ වැනි දියුණු තාක්ෂණයක් සහිත රඟහලකයි. එහෙත් ඒ සම්ප්‍රදායටම අයත් ‘මහසුපින’ ඔබ වේදිකාගත කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේයි. එවැනි තීරණයක් ගැනීමට සිදු වූයේ ඇයි?
එකක්: මූලික දේ වෙන්නේ ‘මහසුපින’ වේදිකා රංගය සඳහා මූලික අනුග්‍රහය දැක්වූයේ කැලණිය විශ්වවිද්‍යාලයයි. ඒ වගේ ම ‘මහසුපින’ වේදිකා නාට්‍යය සඳහා සහභාගි වූ පිරිස අතරින් වැඩි ප්‍රමාණයක් සිටියේ විශ්වවිද්‍යාලයේ ම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්. ඒ නිසා ඔවුන් සමඟ මේ නිර්මාණ කටයුත්ත විශ්වවිද්‍යාලයේ ම කළ යුතු යැ යි කියන අදහසේ මා සිටියේ. ඒත් මුලින් ම මේ නිර්මාණයේ පුහුණු වීම් කරගෙන යන විට සැලසුම් කළේ නෙළුම් පොකුණ රඟහලේ හෝ බිෂොප් රංග ශාලාව වැනි කොළඹ පිහිටි රඟහලක වේදිකාගත කිරීමට යි. එහෙත් අද වේදිකා නාට්‍යයක් කිරීම පහසු නැහැ. රංගශාලා මිල අධික යි. ඒ නිසා මූල්‍යමය ප්‍රශ්න තිබෙනවා. ඉස්සර නම් අනුග්‍රාහකයකු හෝ සොයාගත හැකි යි. මේ වන විට ඒ පසුබිමත් අඩු වෙලා. ඒ නිසා මා සිතුවේ විශ්වවිද්‍යාලයේ නිර්මාණයක් විදියට ම මේ නිර්මාණය වේදිකාගත කිරීමට යි. විශ්වවිද්‍යාලයේ නිර්මාණ සංස්කෘතියේ තිබෙන ඇතැම් ගැටලු හා ඇතැම් කාරණා සමඟ බැඳුණු, ප්‍රායෝගික කලාගාරයක් ලෙස මේ නිර්මාණය ඉස්මතු කිරීමට වුවමනා යැයි කියන අදහසයි මා මේ ඔස්සේ රැගෙන පැමිණියේ. එහිදී විශ්වවිද්‍යාලය අනුග්‍රාහකත්වය දක්වනවා, විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය නාට්‍ය කලාව කරන අය මේ නිර්මාණයට සහභාගි වෙනවා, ශිෂ්‍ය ප්‍රජාව සහභාගි වෙනවා, ඉන් පිටත සිටින දක්ෂ නළු-නිළියන් සහභාගි වෙනවා. එවැනි අලුත් සංස්කෘතියක් ඇති කිරීමත්, අලුත් අත්දැකීමක් ලැබීමත් වඩාත් හොඳ බවයි මට හැඟුණේ.
• විශ්වවිද්‍යාලයක් ඇතුළේ නාට්‍ය හා රංග කලාව වැනි විෂයයක් ඉගැන්වුවත්, එහිදී සිදු විය යුතු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු නොවනවා යනුවෙනුයි විශ්වවිද්‍යාලයකට නැඟෙන එක් චෝදනාවක් වන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් යොදාගෙන ‘මහසුපින’ නිර්මාණය කරන්නේ ඒ සඳහා ඉදිරිපත් කරන පිළියමක් ලෙසද?
මා දකින ආකාරයට වර්තමානයේදී විශ්වවිද්‍යාලය ඇතුළේ වෙනදාට වඩා නාට්‍ය නිර්මාණය වෙනවා. මේ ආරම්භය විශ්වවිද්‍යාලයට ලබාදෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. වර්තමානය වන විට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ යම් යම් සම්බන්ධකම් ඇතිව නාට්‍ය නිර්මාණය වෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේත් ආචාර්යවරු හා විවිධ අය නාට්‍ය නිර්මාණය කරනවා. එහෙම නාට්‍ය නිර්මාණය කළත් මා පවසන්නේ අප තවත් දේවල් සොයමින් ඉදිරියට යා යුතු බවයි. අනෙක් පැත්තෙන් නාට්‍ය කලාව ඇතුළේ අපි ගොළු වීමක, තනි වීමක සිටින බවකුයි පෙනෙන්නේ. නාට්‍ය කලාව ඇතුළේ යම් කුඩා කුඩා මතවාදයි තිබෙන්නේ. නාට්‍ය කලාව ගැන විශ්වවිද්‍යාල ප්‍රජාව සිතන ආකාරයත්, රටේ ජනතාව හා නාට්‍යකරුවන් සිතන ආකාරයත් අතර තිබෙන්නේ වෙනසක්. විශ්වවිද්‍යාල ඇතුළේ සිටින සමහර කණ්ඩායම් සිදු කරන්නේ අතිශය ශාස්ත්‍රීය පදනමක් සඳහා පමණක් නාට්‍ය කිරීමයි. ළමයාට ඉගැන්වීම සඳහා ම පමණක් නාට්‍ය කිරීම යි. එහෙත් එතැනින් එහාට ගිය ස්වතන්ත්‍ර නිර්මාණ ක්‍රියාවලියක් අපේ රටේ ඇති විය යුතුයි. එවැනි නිර්මාණවලට විශ්වවිද්‍යාල අනුග්‍රහයක් දැක්විය යුතුයි. මැදිහත් වීමක් කළ යුතුයි. අද තරුණ නාට්‍යකරුවන් පරිවර්තන රැසක් ඉදිරියට රැගෙන එනවා. විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළේත් පරිවර්තන රැසක් කෙරෙනවා. මේවා නිර්මාණය කිරීම නරකයි කියලා නොවෙයි මා පවසන්නේ. එහෙත් අපේ පර්යේෂණාත්මක නාට්‍ය කලාවකට මේ නිර්මාණ ඇතුළෙන් හඹාගෙන යන්නේ කොහොමද යන්නයි මගේ අභියෝගාත්මක කාරණය වන්නේ.
• ඔබ ‘මහසුපින’ වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන්නේ දේශපාලන කියැවීමක් සමඟයි. ඒ දේශපාලන කියැවීම ප්‍රේක්ෂකයාට අවබෝධ කරගත හැකි වේවිද?
සියල්ල දේශපාලනිකයි. ජාතක කතාව ඇතුළේදිත් බුදුහාමුදුරුවෝ කොසොල් රජ්ජුරුවන්ට කියන්නේ මේක මේ කාලයේ සිදුවන දෙයක් නොව අනාගතයේදී සිදු වන දෙයක් බවයි. අනාගතයේදී දේශපාලනඥයන්, පාලකයන්, නීතිඥයන්, මිනිසුන් කරන කියන දේවල් නිසා ඇති වන පාරිසරික වෙනස් වීම් කරණ කොටගෙන සමාජය ගමන් කරන සුවිසල් වියවුල පිළිබඳයි එහිදි කියැවෙන්නේ. ඒ නිසා එහිදි බොහොම පැහැදිලි ලෙස ම සමකාලීන දේශපාලනය ස්පර්ශ කරනවා. එපමණක් පමණක් නොවෙයි, අනාගත දේශපාලනය නිවැරැදි කර ගන්නත් ඒ ජාතක කතාවෙන් ලබාදෙන පාඩම් විශාලයි. ඒ ජාතක කතාව ජාතක කතාවක් ලෙස ම ආගමික අර්ථයෙන් නොතියා සමාජ අර්ථයෙන් තැබීමයි මා සිදුකළේ. මේ නිසා මේ කතාව මුළුමනින්ම දේශපාලනිකයි. මුළුමනින්ම මානවීයයි. එහිදි මිනිසා පිළිබඳ ගැඹුරු සම්බන්ධතා විමසන විට අනිවාර්යයෙන්ම සමකාලීන හෝ වේවා විශ්වීය දේශපාලනය අතහැර ඒ ඒ දේවල් සොයා යන්නට බැහැ; හඹා යන්නට බැහැ. අද සත්‍යය කියන්නේ ගැටලුවක්. අද මාධ්‍ය ඉදිරියේ මොකක් ද සත්‍ය කියලා සොයා ගන්න බැහැ. අප සියලුදෙනාම විශාල මිථ්‍යාවක, වියවුලක පැටලිලයි ඉන්නේ. හැමදාම උදේ මාධ්‍ය ඔස්සේ බොරු ගොඩක් එළිදක්වනවා. ඒ මඟින් ජීවිත සරු කරන්නේ නැහැ. සෞඛ්‍ය පෝෂණය කරන්නේ නැහැ. මනස නිදහස් කරන්නේ නැහැ. ඒ නිසා මේ මහා භයානක සමාජය කියැවීම සඳහා නිර්මාණකරුවා තමන්ගේ භාවිතයන් ගෙනෙන්නේ නැත් නම් ඒක ගැටලුවක්. මේ කියන කාරණා මා නිර්මාණයේදී විප්ලවීය ආකාරයෙන් ගෙනෙන්නේ නැහැ. ස්වාධීන නිර්මාණකරුවකු විදියට නිර්මාණ කෘතිය ඇතුළෙනුයි ඒ දේශපාලනික කාරණය මතු කරන්නේ. කොහොමත් අද අපි හැමෝම දේශපාලනික සත්ත්වයන්. දුබල මනසක් තිබෙන, එක්පැත්තකින් වහල් භාවයට ලක් වී තිබෙන, මානසික වශයෙන් අතිශයින් ම නොදියුණු ලක්ෂණ නිරූපණය කරන කොට්ඨාසයක්. සමාජ සම්බන්ධතා යහගුණ අතින් අපි හැමෝම දුර්වල ජාතියක්. ඒ නිසා මේ දේශපාලනය අපි හැමෝටම කියවා ගත හැකි විය යුතුයි. අනෙක් කාරණය නම් මා සමඟ සමස්ත ප්‍රජාව ම මේ කියන කාරණයට ඇතුළත්.
• ‘මහසුපින’ වේදිකා නාට්‍යයේදී ඔබ වේදිකා පසුතල හා ආලෝකකරණය සඳහා භාවිත කරන්නේ නව තාක්ෂණයක්...
නූතන තාක්ෂණය ප්‍රතික්ෂේප කරමින් අපට ගමනක් යන්න බැහැ. මම මේ නිර්මාණයට අදාළ විදියට හා විශ්වාස කරන විදියට අපේ රටේ පළමු වතාවටයි රූප ඉදිරිපත් කිරීම සඳහා ඩිජිටල් බිත්තියක් භාවිත කරන්නේ. මා ‘මහසමයම’ටත් වඩා වෙනස් විදියටයි මෙහි ආලෝකකරණය භාවිත කළේ. එහිදී මා යොදා ගත්තේ නිර්මාණාත්මක ආලෝකකරණයක්. ඒ වගේ ම ‘මහසුපින’ ඉදිරිපත් කිරීමේදී වේදිකාවේ කොටසක් ඉදිරියට ගෙනාවා. එහෙම නොකර මට සම්මත නාට්‍යයක් විදියට මේ නිර්මාණය වේදිකාගත කිරීමට ඉඩහසර තිබුණා. ඒත් අලුත් දෙයක් කිරීමට නම් අලුත් දෙයක් සොයායෑමට නම් අප හතරැස් රාමු වේදිකාවෙන් එළියට පැමිණිය යුතුයි. ඒ අත්දැකීම මා පසුගිය දිනයේ අත්වින්දා. ඒ සඳහා කිසිවකුගේත් සහතිකයක් වුවමනා නැහැ. මොකද ‘මහසුපින’ වේදිකා නාට්‍යය හරහා ශිෂ්‍ය ප්‍රජාව යම් ජයග්‍රහණයක් ලැබූ බව මා දන්නවා.
• ‘මහසුපින’ වේදිකා නාට්‍යය හරහා ඇති වූ ඒ වෙනස් ජයග්‍රහණය හා සංස්කෘතිය කුමක් ද?
ශිෂ්‍ය ප්‍රජාවගේ පෞරුෂයන්, නිර්මාණ ශක්තිය, සිතුවිලිවල හැඩය මෙතෙක් තිබුණාට වඩා මේ නාට්‍යයත් එක්ක විශාල ගුණයකින් වෙනස් වූ බව මා සමඟ පවසා ඇත්තේ ඔවුන් විසින්මයි. මේ නිර්මාණය හරහා විශ්වවිද්‍යාල සංස්කෘතිය ඇතුළේ නව දහරාවන් ගණනාවක් ඇති වී තිබෙනවා. මෙතෙක් ඒකාබද්ධ නොවූ කණ්ඩායම් ගණනාවක් එකට එකතු වී තිබෙනවා. ඔවුන් අතර සමගියක් ඇති වී තිබෙනවා. විශ්වවිද්‍යාලය හා රට අතර යම් ගනුදෙනුවක් නිර්මාණය වීමත් මේ අතුරින් විශේෂයි. ඒ හරහා එකතු වන නාට්‍යකරුවන් හා සිදු වන සාකච්ඡා තවමත් සිදු වෙමින් පවතිනවා පමණක් නොවෙයි, ඒ සිදු වන සියලු දේ ප්‍රායෝගික වශයෙන් සාර්ථක බවත් කිව යුතුයි. විශේෂයෙන් ම මෙහි පැමිණි නාට්‍යකරුවන් ඔවුන්ගේ සිතේ ඇති වුණු විශාල ආදරයකිනුයි මේ නිර්මාණයට දායකත්වය දැක්වූයේ. අද තරුණ පරම්පරාවට අලුත් කලාවක් පෙන්වා දිය යුතුයි. මෙය අකිලගේ පළමු කාර්යයයි. බොහෝදෙනා පවසන්නේ මේ නිර්මාණය සාරංගටත් හොඳ ප්‍රකාශනයකට, හොඳ රංගනයකට ලැබුණු අවස්ථාවක් බවයි. අකිල, සාරංග වගේ අලුත් පරම්පරාවට අපේ පරම්පරාව ඇසුර කරන්නට ඉඩකඩ සලසා දිය යුතුයි. එහෙම නොවුණොත් කොහොම ද අලුත් පරම්පරාව දැනුම හා අත්දැකීම් අතින් පොහොසත් වෙන්නේ. ඒ ආදරය, ඒ සොයායෑම ඔවුන් ළඟ තිබෙනවා. ඒ නිසා තරුණ නාට්‍යකරුවන්ට ශක්තියක් ලබාදීමේ කාර්ය අතින් ගත්තත් මේ නාට්‍යය ප්‍රායෝගිකව සාර්ථක වීමක් දැකිය හැකියි. මේ නිසා ව්‍යවහාරික කාර්යයක් විදියට මා මෙහි සාර්ථකත්වයක් ලැබුවා. අනෙක් පැත්තෙන් ඉගෙනුම් ඉගැන්වුම් සංකල්පය යටතේත් මේ නිර්මාණය සාර්ථක ව්‍යාපෘතියක්. එවැනි විවිධ වෙනස්කම් රැසක් ‘මහසුපින’ වේදිකා නාට්‍යය හරහා සිදු වුණා. එය මට සතුටක්.
• විශ්වවිද්‍යාල ළමයින්ට අමතරව බුද්ධදාස විතානාරච්චි, මාදනී මල්වත්ත වැනි නළු-නිළියනුත් ‘මහසුපින’ වේදිකා නාට්‍යයේ රංග කාර්යය සඳහා ඔබ සහභාගි කර ගන්නවා...
ප්‍රවීණයන් ඇසුරු කරන්නේ නැතිව විශ්වවිද්‍යාල ළමයින්ට අලුත් දේවල් දැක ගන්න බැහැ. එවැනි ප්‍රවීණයන් සමඟ මුහු වුණාට පස්සේ ඔවුන් ඉගෙන ගන්න දේ බොහෝයි. බුද්ධදාස විතානාරච්චි දක්ෂ වගේ ම ප්‍රවීණ රංගධරයෙක්. විශ්වවිද්‍යාල ළමයින් ඔවුන් සමඟ කතා කළාට පස්සේ ඒ කතාබහ කිරීමෙන් ලබන ආභාසය, අත්දැකීම රසමුසුයි. ඒ වගේ ම අනෙක් පැත්තෙන් ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක්. මාදනී කියන්නෙත් දක්ෂ නිළියක්. මා ඔවුන් සමඟ වැඩ කිරීමට කැමැතියි. ඒ කැමැත්ත ඇති වන්නේ ඔවුන් වේදිකාව හොඳින් දන්න අය වීම නිසයි. ඔවුන් වේදිකාවට ආදරෙයි. ඔවුන් අලුත් දේවල් සොයා ගෙන යන්නට දඟලන අයයි. ඒ සියලුදෙනා ම මා ‘මහසුපින’ වේදිකා නාට්‍යයට තෝරා ගන්නේ ඔවුන්ගේ ඒ නිර්මාණ ශක්තිවලට ගරු කරමින්, එවැනි නිර්මාණ ශක්ති රැසකින් යුක්ත වූ නිර්මාණකරුවන් නිසයි.
• ‘මහසුපින’, ‘මහසමයම’ වැනි නිර්මාණ හරහා ඔබ ගොඩනැඟීමට උත්සාහ කළේ මහා සාම්ප්‍රදායික නාට්‍ය සංස්කෘතියක්. එහෙත් එවැනි මහා සම්ප්‍රදායේ නිර්මාණ කිරීම සඳහා වේදිකා නාට්‍ය නිර්මාණකරුවන් පෙලඹුණු බවක් පෙනෙන්නට නැහැ...
ලෝකයේ මහා සම්ප්‍රදාය හා චූල සම්ප්‍රදාය කියන දේ බෙදීමට අපහසුයි. එහෙත් අද ලෝකයේ නාට්‍ය කලාව අපේ සාම්ප්‍රදායික නාට්‍ය කලාවට වඩා තිබෙන්නේ බොහෝ ඉදිරියෙන්. මහා වේදිකා ඇතුළේ විශාල වශයෙන් චරිත හෝ දෙබස් කියන කාරණයට එහා ගිය ප්‍රේක්ෂාව, රූපය, ආලෝකය, සාමූහික රංගනය ඇතුළේයි ඒ කලාත්මක ආස්වාදය ගෙනෙන්නේ. අද නාට්‍ය කලාව එවැනි ස්ථානයක තියෙද්දී අපි ජීවිත කාලය පුරා ම මේ දෙන්නෙක්, තුන්දෙනෙක් පෙට්ටි තුනක් කරගහගෙන වෑන් එකක ගිහින් නාට්‍යයක් කරලා, ඒක මාරයි මාරයි කියමින් ඉන්නවා නම්, සමස්ත පරම්පරාවටමත් කියන්නේ මේ අදහස නම්, අපි හැමෝගේ ම වරදක් තිබෙන බවයි මා නම් සිතන්නේ. මා මේ හදන්නේ තියෙන තැන්වල ඒ සම්මතයන් කඩාබිඳ දමමින් වෙන තැනකට නාට්‍ය කලාව රැගෙන එන්නයි. මේවා අද ඒකාකෘතික (සීරියෝ ටයිප්) වෙලා. හුඟක් වේදිකා නාට්‍යවල පළල් බවක් නැහැ. එසේ වන්නේ නිර්මාණකරුවන් පර්යේෂණ නොකිරීම නිසයි. මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම, සුනන්ද මහේන්ද්‍ර යන නාට්‍යකරුවන් විශාල පර්යේෂකයෝ. අද එවැනි පර්යේෂණාත්මක දැක්මක් නාට්‍ය කලාව සම්බන්ධයෙන් අප අතර නැහැ. මා මේ කරන්නේ ලෝක නාට්‍ය කලාවත් සමඟ අපේ නාට්‍ය කලාව ඈඳන්න පුළුවන් ද? කියන කාරණය පිළිබඳ සොයා බැලීම යි. ඒ වගේ ම මේ කරන්නේ නාට්‍ය කලාව අප මේ අතරමං වෙලා ඉන්න කුඩා මාවතෙන් පිටතට අරගෙන මහා පාරකට දමන්න පුළුවන් ද කියන-එක ගැන සොයා බැලීම යි. ඒක ගවේෂණාත්මක යි; අභියෝගාත්මක යි. බොහෝ අය මේ අදහසට විරුද්ධ විය හැකි යි. සමහරු මේ අදහස තේරුම් ගන්නත් පුළුවන්. ඒ කවර මත දැරුවත් නාට්‍ය කලාව වෙනස් විය යුතුයි. නාට්‍ය ප්‍රේක්ෂාගාරය වෙනස් විය යුතුයි. අපට තිබෙන වේදිකාව හරහා සැබෑ නාට්‍ය රසයක් උපද්දවන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා. මෙවැනි කාරණා පිළිබඳ මා අභියෝගාත්මකව කතා කරන්නේ මේවා වෙනස් විය යුතු නිසයි. අප වෙනස් විය යුතු යැයි මේවා භාර අයට වත් පෙනෙන්නේ නැද්ද? මට තිබෙන ප්‍රශ්නය මෙය යි.
• ‘මහසමයම’ වේදිකා නාට්‍යයත් වේදිකාගත වුණේ අවස්ථා කිහිපයකදී පමණයි. ඒ තත්ත්වය ම ‘මහසුපින’ වේදිකා නාට්‍යයටත් උදා වේවි ද?
මේ වේදිකා නිර්මාණය ඒ තරම්මවත් වේදිකාගත කළ හැකි වේවි දැයි මා දන්නේ නැහැ. එහෙත් මා උත්සාහ කරන්නේ කොළඹ ඇතුළු රටේ ප්‍රධාන නගර කිහිපයක ‘මහසුපින’ වේදිකාගත කිරීමටයි. වේදිකා නාට්‍යය තැන තැන අරගෙන යෑම ගැන මගේ කිසිම එකඟත්වයක් නැහැ. අපි රුවන්මැලි සෑය මෙහෙට ගෙනැවිත් වඳින්නේ නැහැ. ඒ සෑය වඳින්න වුවමනා නම් අපි රුවන්මැලි සෑය ළඟට යනවා. වේදිකා නාට්‍යය නරඹන අය ‘මහසුපින’ නරඹන්න වුවමනා නම් නාට්‍යාගාරයට එන්න. නාට්‍ය කලාව ඇතුළේ එවැනි සංස්කෘතියක් ඇති වීම ඇතුළේදියි ප්‍රේක්ෂකයා සිතන්න පටන් ගන්නේ. එහෙත් ලෝකයේ අපේ රටේ නාට්‍ය කලාවේ ගොඩනැඟී තිබෙන මෙවැනි සම්ප්‍රදායක් ගොඩනැඟී නැහැ. ලෝකයේ දියුණු සම්ප්‍රදායන්වල නාට්‍යාගාරයට මිනිස්සු එනවා. ඒ රටවල නාට්‍යයක් නැරැඹීමට ටිකට්-එකක් ගන්නේ ඒ නාට්‍ය වේදිකාගත කිරීමට වසරකටත් කලින්. එවැනි නාට්‍ය සංස්කෘතියක් අපට නැහැ. ඒ නිසා තවදුරටත් මහා සංස්කෘතියක් විදියට ඉදිරියට රැගෙන එන්නේ කොහොමද කියන ප්‍රශ්නය හමුවේයි අප කටයුතු කළ යුත්තේ...