කොත්මලෙන් උපදින කෙටි කවි | Page 2 | සිළුමිණ

කොත්මලෙන් උපදින කෙටි කවි

“අද ඇත්තේ වේගවත් ව දිවයන සමාජයකි. ඔවුනට දිගු නිර්මාණ කියවීමට කාල වේලාව හිඟ ය. ඒ නිසා අදට උචිත වන්නේ කෙටි නිර්මාණ ය. කෙටියෙන් යමක් විඳීමට අවකාශ දීමක් වශයෙන් මේ කෙටි කවි නිර්මාණය කළෙමි...”

සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට අලුතින් ම දායාද වන ‘පුරඟනකගේ සයනය’ කෙටි කාව්‍ය සංග්‍රහයේ කතුවර, කොත්මලේ සිරිසේන, ස්වක‍ීය අරමුණ එසේ සටහන් කරයි. තවදුරටත් හෙතෙම පෙරවදනට මෙබඳු අදහසක් එකතු කරයි.

“...මෙම කෘතියට ඇතුළත් වන්නේ මෑතකදී මවිසින් ලියන ලද, කෙටිකාව්‍ය නිර්මාණ මාලාවකි. මඟතොට යද්දී මෙන් ම සමාජයේ විවිධ ඉසව්වල සැරිසරද්දී ලැබුණු අත්දැකීමක හිතට මෙනෙහි වූ දෑ, මෙම නිර්මාණවලට අන්තර්ගත වී ඇත. සිදුවීමක් දෙස දුරස්ව සිට බලා එය විනිශ්චය කළ පසු, ම සිත ඇතිවූ කම්පනය මේ කෙටි නිර්මාණවලට ඇතුළත් ය...”

මෙනයින් කවියා තමන් ලියන්නේ කුමක්ද යන්න ගැනත්, තමන් ලියන්නේ කෙසේද යන්න ගැනත් පාඨකයා වෙත සංක්ෂිප්තව මුලින් ම ඉඟිකරයි. ඉතා සරල ව බලතහොත් මෙම කාව්‍යකරණයේ අන්තර්ගතය සහ ආකෘතිය පිළිබඳ ව වන ඉඟියයි ඒ. සමාජ ජීවියකු වශයෙන් කවියා මුහුණදෙන විශේෂිත, තියුණු, සංවේදී අත්දැකීම් පුළුල් රසික සමාජයක් වෙත ප්‍රදානය කිරී‍මේදී යොදාගන්නා වාහකය ‘කෙටි කවි’ නිර්මාණය බව එහිලා පසක් වෙයි. කොත්මලේගේ නව පද්‍ය සංග්‍රහයෙහි පැනෙන නිර්මාණ විග්‍රහ කිරීමේදී ප්‍රථමයෙන් ම කෙනෙකුගේ අවධානයට යොමුවනුයේ මේ ‘කෙටි කවි’ නම් ව‍ූ යෙදුමට බව පැහැදිලි ය.

කෙනෙකුගේ තියුණු විශේෂිත අත්දැකීමකට හැඩයක් ලබාදීම, කලාව හෝ සාහිත්‍ය නිර්මාණය ලෙස අර්ථ ගැන්විය හැකිය. මේ කියන හැඩය රූපවලින් ශබ්දවලින් වර්ණ හෝ රේඛාවලින් නාද තැටිවලින් අභිනයෙන් වචනවලින් සිත්තම් කරගත හැකිය. විශේෂිත ව කවියා මෙහිලා යොදා ගන්නා මෙවලම වනුයේ වචන බව අවිවාදිත ය. ජීවන අත්දැකීම ස්වකීය අනුභූතියක් කොට ගන්නා කවියා, තම හෘදය ප්‍රකාශනය සහනුභූතියක් බවට පෙරළා ගැනීම උදෙසා ‘වචන’ භාවිතයට ගනියි.‍ ‘සුදුසු’ වචනය සුදුසු තැන යෙදවීම කවිය බව පුරාඟයේ දී කියැවුණේ ද මේ නිසා ම ය. කොත්මලේ විසින් රචිත ‘පුරඟනකගේ සයනය’ නිර්මාණයෙහි ලා වැදගත් වනුයේ, මේ සුදුසු වචන ඉතා සංක්ෂිප්ත කොට එනම් වචන ‘මසුරු ලෙස’ කළමනාකරණය කරගනිමින් රසික ජන වෙත ප්‍රදානය වෙත ප්‍රදානය කිරීමෙහිලා ඔහු දක්වන ශූරත්වයයි. කොත්මලේ විසින් ගනු ලැබූ මේ නිර්මාණාත්මක වෑයම මේ මොහොතේදී අපව යොමු කරවනු ලබනුයේ මේ ‘කෙටි කවි’ පිළිබඳ අතීතය සහ වර්තමානය අවුස්සා බැලීමට ය.

සිංහල කවිය ආරම්භය ලබනුයේ අනුරපුර යුගයේදී බව සාමාන්‍ය පිළිගැනීමයි. ඉන් අනතුරුව පොළොන්නරු - දඹදෙණි - කුරුණෑගල - ගම්පොළ - ජයවර්ධනපුර - සීතාවක - මහනුවර යුගයන් පසුකරමින් එය කොළඹ කවිය දක්වා විකාශනය වෙයි. මේ දීර්ඝකාලීන ඉතිහාස කාලය තුළදී ලොව අතිශය සම්භාව්‍ය පද්‍ය රීතියක් හිමි කරගන්නා සිංහල කවිය මහාකාව්‍ය, සන්දේශ කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, සිලෝ කාව්‍ය, අසේනිකාව්‍ය ආදී වූ දීර්ඝ කාව්‍ය ආකෘතින්ගෙන් සමලංකෘත වෙයි.

අප අද අවධානය යොමු කරන කෙටි කවියට ද මේ සා දීර්ඝ වූ ඉතිහාසයක් ඇතැයි පැවසීම තරමක විමතියකට හේතුවන කරුණක් ද වනු ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව, බ්‍රාහ්මී අක්ෂරයෙන් රචිත පද්‍යමය වූ ඓතිහාසික ශිලාලේඛන මෙහිලා උදාහරණ වනු ඇත. සාහිත්‍යමය රසයක් හෝ කාව්‍ය රසයක් ගැබ් නොවූව ද පද්‍ය ආකෘතියෙන් රචනා වූ බැවින් ‘කෙටි කවි’ යේ ඉතිහාසයේදී මෙය අතිශය වැදගත්වනු ඇත. සිංහල කෙටිකවියේ ආකර්ෂණීය පුරාණතම සාධකය වශයෙන් සීගිරි ගීය හැඳින්වීම සාධාරණ යැයි පෙනෙයි.

සිංහල සාහිත්‍යය සහ නාට්‍ය වංශ කතාවලදී වරින්වර මතුවී එන කෙටි කවි ලක්ෂණයක් සහ ශාන්තිකර්ම, යාතුකර්ම, බලිතොවිල්, කොහොඹා යක් කංකාරි ආදියෙහිදී පැනෙන ‘කොට කවි’ ලක්ෂණයන් ද මේ මාතෘකාව තුළදී සිත්ගන්නා සුලු වෙයි. සොකරි, කිඳුරු, කෝලම්, කවි නාඩගම්, සින්දු නාඩගම් ආදී වූ ගැමි නාටක පෙළ විවරණය කරන විට ගුරුන්නාන්සේ, පොතේගුරු, සබේ විදානේ වැනි චරිත ගායනාකොට පෙන්වන කෙටි කවි හෙවත් කොට කවි මෙහිලා වැදගත් වේ. තනි තනිව ගතහොත් ජනකවි සහ ථෙර ථේරි ගාථාවල සිංහල අනුවාදයන් කෙ‍ටි කවි ගණයෙහිලා සැලකිය හැකිය. නාමිකව නොදන්නා පුරාණ ගැමියන් ස්වකීය ආත්ම ප්‍රකාශනය මුදා හැරීමට කවිය භාවිත කළ බවට උදාහරණ මෙහිලා අනවශ්‍ය යැයි හඟිමි. කොතෙක් නම් රමණීය පබැඳුම් ඒ අතර නොවේද?

1952 දී පමණ හෙළයේ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පවසන අදහස් සිහියට නඟා ගනිමු. “... පැරැණි විරිත් හා එළිවැට ද නොසලකා ථෙර ගාථා සිංහල පද්‍යයට නඟන්නට මට සිතුණේ සේනානායකගේ නිදහස් පද්‍ය කියැවීමෙනි. ථෙර ගාථා ඒ විදියෙන් සිංහලයට නඟනු සඳහා සිංහල ජනකවි හා ඇතැම් පාලි පද්‍යය ද මට අනුබල දුන්නේ ය...”

කෙටි කවිය මෑත ඉතිහාසය තුළදී රසික සිත් ආකර්ෂණය කරගැන්වීමෙහිලා වෙසෙස් නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කළ කවීන් අතර, සිරි ගුනසිංහ, මහගම සේකර, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, මදුරසිංහ ගුණතිලක, කුමාර හෙට්ටිආරච්චි වැන්නන් නම් කළ හැකිය. මේ සැමගේ විශිෂ්ට නිර්මාණ හෝ කෙටි කවි එකින් එක ගෙන රස විඳීමට මෙබඳු කෙටි ලිපියක ඉඩකඩක් නොමැති බව පැහැදිලි ය. කෙසේ වුව ද වත්මන් කෙටි කවිය අර්ථපූර්ණ භාවපූර්ණ ප්‍රශස්ත මට්ට‍මකට නැංවීමෙහිලා මොවුන්ගෙන් ඉටුවූ නිර්මාණ දායකත්වය විශිෂ්ට ය. විශේෂයෙන් කෙටි කවියෙහි අනුභාවය සිංහල සාහිත්‍යයට අතිශය නිර්මාණාත්මකව සහ නවීනව ඉදිරිපත් කළ කවියා ආරියවංශ රණවීර බව අපගේ කියැවීමයි. ස්වකීය නිර්මාණාවේශයෙන් මේ නව කවිආර ප්‍රදානය කළා පමණක් නොව, හයිකු ආදී වූ ලොව ‘විසිරිමිණි’ අප වෙත ලබාදුන් පුරෝගාමි කිවිවරයා ද ඔහු ම වෙයි.

ගිලිහුණු පෙති

යළි සපැමිණ

අතු මතට

නැහැ නැහැ ඒ

සමනල්ලු...

බඳු මොරිනාකෙගෙ ජපන් කවියක් පෙන්වා දී, අපේ ම ශ්‍රේෂ්ඨ කවියකු වූ මුනිදාස කුමාරතුංගයන්ගේ

මහ පුදුමෙකි

මලක මලෙකි

නෑ එහි සකි

සමනලයෙකි

බඳු ඉමිහිරි කෙටි කවියක චමත්කාරය රස විඳීමට උපකාරී වූයේ ද රණවීරයන්ගේ වෑයම ය.

යළිත් කොත්මලේ ගේ ‘පුරඟනකගේ සයනය’ වෙත නෙත් හෙළීමට මේ අවස්ථාවයි. එහි විසිරී ඇත්තේ ද කෙටි කවි කීපයකි. පිටු දෙක තුනක් පෙරළා කියවමු.

ආදරය

පෙම් යුවළ පෝරුවට නංවා

දිව ගියේය පසුපස නොබලාම...

විවෘත ආර්ථිකය

බොනදිය සුළුදිය බොරදිය මිරිදිය

කරදිය

එකම තලයෙන් වෑස්සීම...

අ(ධර්මය)

දම් දෙසුමට විසල් රියෙන් වැඩම කළ

හිමිනම

උපාසක පිරිසට දෙසූහ

දුරු කරගන්නැයි තණ්හාව...

සැබෑව

වෙස්මුහුණ කෙතරම් නිර්ව්‍යාජ ද

සැබෑ මුහුණට වඩා...

මෙ ගතෙහි පුරාවට ඇති නිර්මාණ මෙබන්දෙන් ම කෙටි වෙයි. අත්දැකීම අතිශය සංක්ෂිප්තකොට කූටප්‍රාප්තිය වෙත ගෙන යනු ලබයි. බස් වහර අවශ්‍යයෙන් ම සරල වෙයි. රස නිෂ්පත්තිය උදෙසා උපහාසය පෙරටු කර ගනියි. කවි පෙළ පළමු වරට කියවන පාඨකයාගේ මුවට ‘අ...හ්’ යන්නත්, දෙකම්මුල් ඉහළට එසැවී දෑකැති සිනහවත් එකතු වෙයි. “හැබෑ නේන්නම්... මමත් මේක කියන්ටනෙ හිතා හිටියෙ. ඒත් කොත්මලේ ඉස්සර වුණානෙ...” වැනි ඉරිසියාව ද මෝදු වන සිතිවිල්ලක් ඔළුවට දැනෙයි. වචන ස්වල්පයකට මේ සා ගැඹුරු දහමක් මතුකරත හැකි දැයි විස්මයක් උපදියි. දැන් නම් අපටත් බැරියැ කවි ලියන්න වැනි අහංකාර සිතුවිල්ලක් හිත් කොනක පුපුරු ගසයි. හෙමිජ්ජා වගේ හිටියට කොත්මලයා නම් මාර යකෙක්...

මෙ බඳු සිතුවිලි පැන නොනගී දැයි ‘පුරඟනකගේ සයනය’ කියවා බලන්න.

බුදුසරණයි

බාගෙට හැදූ ගොඩනැගිල්ලක් නිවනට යවන්න තැත් කරන නූතන (අ)බෞද්ධයාගේ හේතු පාඨය...

සාරඵල

තහනම් ගසේ ගෙඩි අතිමිහිරිය

යහමින් පොහොර වැටෙනතුරු...

උපහාසය සමඟ උත්ප්‍රාසය ද කැලතෙන කොත්මලේගේ කෙටි කවි ඇතැම් විට එතැනින් නතර වන්නේ ද නැත.

පරිකල්පනයේ සමාජීය පරිධිය තුළදී ඔහුගේ දෘෂ්ටියේ පෘථුල බව ද කාව්‍යානුභූතියේදී සන් කරවයි. පුද්ගල දිවියෙහිදී බෙහෙවින් ම නිහඬ, හුදකලා චිත්තපරවශ සකියකු සේ පෙනුණ ද ඔහු සමාජය දෙස බලන විපරම් ගවේෂණශීලී තියුණු බව ද, පන්තිස්තරායන සංවේදී සමාජය වෙත හෙළන සානුකම්පිත සංවේදී බැල්ම ද මේ කෙටි කවි තුළට කාවැද තිබීම අවිඥානක ව සිදුවූ කරුණක් විය නොහැකිය. සමාජය හෝ පුද්ගලයා විනිවිදව දකින තියුණු කල්පනාවක්, කොත්මලේ ගේ නිහඬ බව තුළ බැරෑරුම් ලෙස ස්ථාපිත වෙයි. ඉතාම සරල මතුපිටක් සේ එකවර පෙනී ගිය ද, මෙහි ඇතැම් කවි තුළ නිදන්වන වස්තු විෂයය ‍බෙහෙවින් ගැඹුරු ධර්මතාවයන් කාව්‍යානුරූපීව මතුකර දක්වයි. සමකාලීන සමාජ සන්දර්භයේ ඇතැම් හරස්කඩ ද එමඟින් දැනෙන්නට ඉඩ හරියි. ටී.එස්. එලියට් කවියා වරෙක පැවැසූ පරිදි, සැබෑ කවියා තමාගේ ප්‍රබන්ධය කිරීමෙන් ම තමා ජීවත්වන යුගය ද ප්‍රබන්ධ කරයි.

කෙටි කවියෙහි අතීතය සිහිපත් කළා සේ ම, කොත්මලේ සමඟ ගෙවෙන කෙටි කවියෙහි වත්මන ගැන කතාබහ කළා සේ ම, මෙහි ඉදිරි ගමන ගැන ද මඳක් හෝ විමසා බැලීම උදිත වෙයි. කෙටි කවිය ඔස්සේ ස්වකීය ජීවිතානුභූතින් අන්‍යයනට ආසාදනය කරවීමට වෑයම් ගන්නා බොහෝ පිරිසක්, ඊයේට වඩා අද සැරිසරන බව පැහැදිලි ය.

පුවත්පත්වලට යා වන ටැබ්ලොයිඩ් ඇනෙක්සිය මඟින්, ගුවන්විදුලි එෆ්.එම්. නාළිකා තුළින්, සමාජ ජාලා වෙබ් අඩවි, මුහුණුපොත් ඇසුරින්, සරසවි සිසු ප්‍රකාශන හෝ අත්පත්‍රිකා මඟින් කියැ‍වීමට හෝ ඇසීමට ලැබෙන කෙටි කවි අප්‍රමාණ ය. මේවා බොහෝ විට යොවුනන්ගේ හෝ ආධුනිකයනගේ ආත්ම ප්‍රකාශනයන් ය. මෙය සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දක්වන සමාජයක් වේ නම්, සතුට දනවන කරුණකි. එනම් ලොව බිහිවන සෑම හොඳ කවියක් ම හෘදය රංජනයක් ම වන බැවිනි.‍

එසේ ද වුවත් මේ කියන සියලු කෙටි කවි ‘කාව්‍ය’ ගණයට ඇතුළත් වන්නේ ද යන්න අහංකාර සිතින් හෝ ඉරිසියා පිරි මනසින් නොව විචාරාක්ෂියෙන් සොයා බැලිය යුතු කාලය එළඹ ඇත. වත්මන් කෙටි කව නව්‍ය ප්‍රකාශන ආකාරයක් වන නිසා ම ය.

කෙටි කවිය දුටු සැණින් හයිකු කවියක් වගේ යැයි බොහෝ දෙන මතුරනුයේ, තමා දකින කවියේ ඇති සංක්ෂිප්ත බව නිසා පමණක් විය හැකිය.

සංක්ෂිප්ත බව යනු හයිකු කවියේ පැනෙන එක් ලක්ෂණයක් පමණි. සෑම හයිකු කවියක් ම කෙටි වන අතරම, සෑම කෙටි කවියක් ම හයිකු කාව්‍ය ගණයට නොවැටෙයි. කෙටි කවි පිළිබඳ මෑත ඉතිහාසයේ විශේෂඥයකු‍ ලෙස සැළකෙන කිවියර ආරියවංශ රණවීරයන්ට සවන් දීමෙන් හයිකු කව පිළිබඳව ඉක්මන් දැනුමක් ළඟාකරගත හැකිය.

...ජපන් සාහිත්‍යයට ම පමණක් ආවේණික වූ හයිකු කවිය ලොව අන් සාහිත්‍යයන් කරා ද විහිදී ඇත්තේ එහි ඇති සුවිශේෂ වූ කාව්‍යමය ගුණය නිසා ම ය. හයිකු කවියේ ම අනන්‍යතාව ප්‍රකට කරමින්, සාම්ප්‍රදායික ආකෘතියක පිහිටා නිම වන හයිකු කවියේ අධ්‍යාශය වන්නේ ද චිත්තජ අනුභූතීන් මැවීම ය. මේවා ඉතා කෙටි ය, මාත්‍රා දාහතකට පමණක් සීමා වේ. ඖචිත්‍යය ඉතා ඉහළින් සැලකෙයි. මහත් වෑ‍යමෙන් තෝරා යෙදූ වචනවලින් යුක්ත වෙයි. අර්ථ ධ්වනිය මෙන් ම ශබ්ද ධ්වනිය ද ඉහළින් ම ප්‍රයෝජනයට ගැනෙයි. සංකේත භාවිතය ඉතා ඉහළ ය. සිදුවීමක් පසුබිම් කොට චින්තාවලින් ජනිත කරවන අතර, මුල මැද අග සහිත තර්කානුකූල බවක් ප්‍රාර්ථනා නොකරයි. කවියා විෂය මූලික (Objective) ආකාරයෙන් සිද්ධි ඉදිරිපත් කර පසෙකට වෙයි. එම සිද්ධි සම්බන්ධ සිය අදහස් ඉදිරි‍පත් නොකරයි. මේ සියල්ල හකුලා දක්වන්නේ නම් හයිකු කවිය, වචන භාවිතා කොට වචනයේ සීමා ඉක්මවීමට දරණ වෑයමකි...”

දහ තුන්වැනි සියවසෙහි නිපන් හයිකු කවිය අද දක්වා ම ජපානය තුළ යළි යළිත් කියැවේ; යළි යළිත් ලියැවේ. සසඳා බලන්න 1235 දී පමණ ලියැවුණු පුජිවාරා නො සඩයියෙ ගෙ කවක්.

පවන පුරා චෙරි කැකුළු

මෙන්න ඒ අඹාගෙන

කුණාටුවක්

රණවීරයන් විසින් ම ඉංග්‍රීසි බසින් තිබූ ජපන් හයිකු කවි කීපයක්, සිංහලට පෙරැළු අවස්ථාවක් දැන් රස විඳිමු.

කොත්මලේගේ කෙටි කවි පිළිබඳව සාකච්ඡා කරන අප, ජපානයේ හයිකු කව පිළිබඳව වඩාත් සිත් යොමු ‍කරනුයේ කිසිම ආකාරයකින් මේ කවි දෙපාර්ශ්වය සැසඳීමට නම් නොවේ. එමතුදු නොව කෙටි කවකට ඇවැසි විශේෂිත ලක්ෂණ, තෝරා බේරා, එය කෙටි කවියේ අනාගත ගුරුපාර දෙපස, අපගේ පස මත දලුලනු දැකීමට ය.

පරිපූර්ණ විචාරයක් නොවන මේ කෙටි සටහන අවසන් කිරීම සඳහා කල්පනා කිරීමේදී ‘පුරඟනකගේ සයනය’ නව කාව්‍ය පිටු අතර විරාජමාන වන චිත්‍ර සටහන් ගැන ද යමක් සටහන් කළොත් මැනැවැයි හැ‍ඟෙයි. අනේ කොත්මලේ, ඔබ කවි තඹරවිල වසා නැඟී සිටින ඒ චිත්‍ර සටහන් නම් අත්‍යවශ්‍යයෙන් ම ‘අනවශ්‍ය’ බවයි මගේ පෞද්ගලික වින්දනය. (මෙම රූ සටහන් නිමැවූ බඹරැන්දේ ගාමිණී වීරසිංහ සහ දාස හපුවලානගේ සුමිතුරන්, අප රට සිටින නිර්මාණශීලී චිත්‍රශිල්පීන් බව හිස මුදුනින් ම පිළිගනිමින්)

කවිය යනු කවිය ම ‍නොවේද? එහි අයිතිකරුවා වචන ම මිස අන් කවරහුද?

වචනවල අරුත, වචන වචන හා ගැටෙන විට නැ‍ඟෙන අරුත, වචනයේ පිටත අර්ථය සහ ගැඹුරු අර්ථය අතර ගැටුම, වචනවල අර්ථ ධ්වනිය, වචනවල ශබ්දධ්වනිය, වචනවල නාද රූප මේ ආදී වශයෙන් සලකා බලනහොත්, මසුරුකමින් යුතුව ‘අතිශය මසුරුකමින් යුතුව’ කෙටි කවියට යොදවන වචන මොන තරම් නම් සරුසාර ද? මොන තරම් නම් බරසාර ද? මෙය පාඨක චිත්ත සන්තානයේ භාවරූපයකට හසුවනවා මිස, භෞතිකව දෘශ්‍යරූපයකට හසු කර ගත හැකි ද?

උත්තම ගණයේ ගීතයේ නාදය සහ වාච්‍යාර්ථ දෙසවණට මෙන් ම, උත්තම ගණයේ කවියක භාව පූර්ණ සහ අර්ථ පූර්ණ රසය වචනය මඟින් දෙනුවණට විය යුතු ය. ඉන්පසු එය මනසට ය. කවියෙහි වචන ඒ ඒ පාඨකයා තම තම නැණ නුවණ මඟින් ග්‍රහණය කොට රස විඳුනා අතර එය වඩාත් ගැඹුරින් නිරීක්ෂණය සඳහා විචාරකයාගේ සහාය ද ලබාගත හැකි ය. එහෙත් කවියේ අරුත මෙසේ යැයි රූ සටහන් මඟින් ඒකාධිපති අයුරින් සහ හිතුවක්කාර අයුරින් පාඨකයාට දමා ගසන්නේ නම්... අනේ කවියට අධිපති දෙවියනි ඔබ කොහිද?

Comments