
1992 වසර මට ඉතා වැදගත් වසරක් විය. කොළඹ අගරදගුරුව සිටි අති උතුම් නිකලස් මාකස් හිමිපාණන් අතින් ‘ඥානාර්ථ ප්‍රදීපයේ’ කර්තෘත්වය ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. එය ලද සැනින් මේ වගකීම් සමුදාය දෙව්රෙහි දරාගෙන මා හැව්ලොක් පාරේ අංක 324 දරණ නිසසල කුටියට පිවිසියේ ගරු මර්සලින් ජයකොඩි පියතුමන්ට මේ ප්‍රවෘත්තිය දන්වා සිටින්නටයි. මා දුටු සැණින් කවදත් ළෙන්ගතුව පිළිගන්නා ලෙසට කොහොමද වාස දේස යැයි ඇසූ සැටි අද ද ම සිතෙහි නොමියව පවතී.
මා මෙහි පැමිණියේ වැදගත් ආරංචියක් සමඟ බවත්, ඒ සමඟ පියතුමන්ගේ ආශිර්වාදය ද ලබාගන්නට බවත් පවසා, අදින් මා ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ කර්තෘ ලෙසට වැඩ බාරගත්තායි පැවසුවා මතකය. සැණෙකින් මා හිස මත පියතුමාගේ දෙ අත් තබා යාච්ඤාකොට, නැගිටුවා අසුන් ගන්නැයි පවසා සිය කතාව මෙලෙස ඇරඹීය.
“මාත් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ඔය තානාන්තරය දැරුවා. ඒත් අනපේක්ෂිතව ගුලි ගැහුණු කළු වලාවන් හමුවේ මාගේ කාලය කෙටි වුණා. අලුත් මංපෙත් ඔස්සේ ගමන් ගත්තා. ඒත් ඔබට දීර්ඝ කාලයක් ඔබගේ හැකියාවන් සහ හපන්කම් පෙන්නන්නටත් හැකිවේවා! යි මා ආශිංසනය කරනවා. ඔබට පැවරෙන්නේ පළමුව අප කතෝලිකයන් ගුණ නැණ බෙලෙන් වඩාත් හොඳ කතෝලික බැතිමතුන් කරන්නටයි. එසේ ම අප සහෝදර බෞද්ධයන් හොඳ බෞද්ධයන් බවට පත් කරන්නටැයි චේතනාව මගේ හිතේ පැළපදියන් වෙලා තිබුණා. ඒ හන්දයි මම කවි සංකල්පනා, ගීත නිබන්ධනවලට වඩාත් බරක් දෙන්නට, නිර්මාණශීලීව ලියන්නට වෙහෙසුණේ.”
ඒ සමඟ ම පියතුමා, තවදුරටත් මා ආමන්ත්‍රණය කරමින් දහම අප දේශයේ මාංස ගත කිරීමට, චරිතවත්වීම, මුදු මොළොක් බව ඇති කරගැනීම, රට දැය රැකුම පිළිබඳ සිතින් එකඟවීම වැනි මේ යුගයට විශේෂ අවශ්‍ය චරිතාංග වර්ධනය කරගෙන පෑන අතට ගන්න. ලියන්න! ලියන්න තවදුරටත් ලියන්න! හරවත් දේම ලියන්නැයි! සිය උපදේශනය අවසන් කළේ ය.
මේ උපදේශනය මගේ ජීවිතයට සැබෑ පාඨමාලාවක් බඳු විය. ඒ සමඟින් කර්තෘතුමන්ගේ කුටියේ වැඩ ඇරඹීමි. මා එසේ මගේ ලිපිය ඇරඹූයේ පෙරවදනක් ලෙසට ය.
උන්වහන්සේ තමා ගැන මෙන්න මෙහෙම ලිව්වා. මගේ සිංහල, දෙවැනි වසර ඉවර වෙන කොටම මගේ ජීවිතය වෙනස් වුණා. මගේ මූණේ මගෙ අම්මගෙ මූණ තිබුණා. අම්ම ලස්සනයි. මගේ අම්මා මට දුන්නු එකම වස්තුව ඒකයි. කොතැන ගියත් මාව හැම එකටම තේරුණා. මම හොඳයි කිව්වා. මම ඉස්කෝලෙ යන කොට මාව පල්ලියේ පූජාවට උදව් වෙන්ඩත් ගත්තා. ඒකටත් හොඳයි කියල. එතනින් ඉවර වුණේ නෑ. පල්ලියේ සුවාමි මට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට යන්නත් මඟ පෙන්නුවා. එතැන හත් අවුරුද්දක් හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ හිතුණා සුවාමි කෙනෙක් වුණොත් හොඳා කියලා. සුවාමි කෙනෙකුත් වුණා. දැන් මට කලාසූරී කියනවා. කාව්‍ය මහා උපාධ්‍යාය කියනවා. මැග්සයිසේ ත්‍යාගලාභී කියනවා. මොනවද නොකියන්නේ.
පියතුමා ගැන කරුණු ගොනු කරන්නට පෙර මා ඉහත සඳහන් කාරණා ඉදිරිපත් කළේ යම් අරමුණක් ඇතිවයි. පියතුමාගේ බාල කාලයෙන් කරුණු ගනිමින් තම අනාගත අභිලාසයන් කෙසේ දියත් කරන්නේ දැයි එතුමා සැලසුම් කළේ ඉමහත් හික්මීමකින් සහ දැඩි අධිෂ්ඨානයකිනි. මෙම කරුණු මහා පරිමාණයෙන් යථාර්ථයක් විය. මේ බව තම ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටියදී මා හට පැවසූයේ මෙසේ ය.
“මා මාගේ ආගම කතෝලික ආගම නංවන්නට පියවර තැබූයේ වසර 1934 දී ලියූ
‘සපිරි සැම අසිරිසෝම - මවුමරියේ ම පණ වැනි
සකල දෝසයෙන් නිදෝස ෂාරොන්හි
රෝස කුසුමෙනි.... නම් වූ කිතු බැති ගීයෙනි. ඒ වනවිට අපේ පල්ලිවල ගායනා කෙරුණේ විදේශීය පියවරුන් විසින් ප්‍රංස - ඉතාලි - ඉංග්‍රීසි තනු අනුව සැකසුණු අසිංහල ස්වරූපයෙන් ගැයුණු බැති ගීතයන් ය. එය අපේකම - අපේ සිංහල ඌරුව අනුව වෙනස් කළ යුතු ය යන නිගමනයට එළැඹී මා අතින් ඉන්පසුව ලියැවුණු කිතුබැති ගීවලින් කතෝලික ගීත සාහිත්‍යයට අමුතු වෙනසක් ඇති විණැයි පසු කලෙක සමහරුන් ලියා තිබුණා. ඉන්පසුව ඒ විදෙස් ආර රැගත් ගී අතරට මා ලියූ නැවුම් දේශීය සංකල්පනා රැගත් කිතු බැති ගී කතෝලික පල්ලි හරහා අපේ කිතු බැතියන්ගේ මුව හරහා නැඟීවිත් කිතුනුවන් තුළ වඩ වඩා බැතිය නංවන්නට සමත් වුණා.
ජන කාව්‍යයෙන් හා ගැමි කවියෙන් ඉමහත් ආභාසයක් ලබාගත් මාර්සලින් ජයකොඩි පියතුමා සිය ගීත නිර්මාණ සඳහා එකී පසුබිමෙන් උපරිම ප්‍රයෝජන අත්පත් කරගත් අයෙකි. එතුමා බොහෝ විට සිය නිර්මාණ සඳහා සිත්ගන්නාසුලු ගැමි අත්දැකීම් උපයෝගී කර ගැනීමට උනන්දුවක් දැක්වීය. ඒ සඳහා ගැමි බස් වහරෙන් ද, ගැමි කාව්‍යවල උපයුක්ත පිරිත වැනි ආකෘතික ලක්ෂණවලින් ද ප්‍රයෝජන ගෙන ඇති උත්සාහය ඉතා සාර්ථක වී ඇත.
කෙත පීදී සුළඟේ රැළි නංවන සිරියයි
ගඟ ඇළදොළ ඉර අව්වේ නංවන සිරියයි
සුදුවැලි මත හඳ එළියේ රැය එන සිරියයි
තරුඑළියෙන් දිය රට රන් වෑහෙන සිරියයි
මෙතුමාගේ කාව්‍ය රචනාවලට මුල් වී ඇත්තේ විසිතුරු ගැමි අත්දැකීම් ය. මෙහිදී කවියා ජන කවියේ හැම අංගයක් ම පාහේ උපයෝගී කරගෙන ඇති බව මෙසේ පැහැදිලිව පෙනේ.
මගේ සුසුමත් මහ සුළඟට අසුවෙනවා
ඒ සුළඟට ලොව සුසුමන් මුසුවෙනවා
ඒ සුළඟින් හිසකේ රැලි විසිවෙනවා
අප ජීවිත එක එක ළඟ පසුවෙනවා...
පියතුමාගේ ඇතැම් නිර්මාණ කෙරෙහි රසිකයන්ගේ සිත් ඇදී යාමට සහේතුවක් වූයේ ද ජන කාව්‍ය ස්වරූපයක් ගැමි බවේ සුන්දරත්වයත් විෂය කොට ගැනීම නිසා යැයි කිව හැකි ය.
මින්නේරිය වැව අසල හුදකලාවූ උන්වහන්සේ තමන් ආස්වාද කළ වින්දනය සිය පෑන් තුඩට මෙසේ බැර කළේ ය. නාලිනී රණසිංහයන්ගේ සුමිහිරි ගායනයට පාත්‍ර වූ මෙය දේශාභිමානී ගීයකි.
කහවන් ගොයමට රන්දිය වැහැලා
නියරෙන් ඉතිරෙනවා
ගස්වල සෙවණැලි වැඩියෙන් කළු වී
බිම මත වැතිරෙනවා...
ගැමි කාව්‍යයෙහි ආභාසය ලබමින් එළිසම, වෘත්ත, අලංකාර ආදියෙන් යුක්තව කාව්‍ය නිර්මාණය කිරීමට පැවිදි කවීන් බොහෝ වෑයම් කර ඇති බව පෙනේ. ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ස්වභාවයෙන් ම සොබා සෞන්දර්යයට ඉමහත් සේ ආදරය කළ පූජක තුමෙකි. මෙතුමා බොහෝ විට ජීවිත යථාර්ථය, අධ්‍යාත්මික ජීවිතය, සමාජ ජීවිතය සිය ජීවන දෘෂ්ටියට නතුකර ගැනීමට උත්සාහ කළේ අවට පරිසරයේ චමත්කාරජනක අත්දැකීම් ද මුසු කරගෙන ය. උන්වහන්සේ මරිය මෑණියන් කෙරෙහි බැඳි සෙනෙහස හා බැතිය වඩාත් තිව්‍ර කරනු වස් සුන්දර පරිසරයේ අලංකාරය මරිය බැතිය හා සංකලනය කරන්නට වෙර දැරී ය.
කුරුලු හඬන හිමිදිරියේ
වස් දඬුවක් ඈත වැයේ
නිම්න දිගේ කඳුකරයේ ගීත වලාවයි...
පියතුමාගේ කාව්‍ය නිර්මාණයන් නිසා රමණීය සංකල්ප රූප ඇතිවෙයි. පියතුමාගේ කාව්‍ය භාෂාවසේම ගීතය බලගන්වන්නට සැදැහැබර සිතුවිලි යෙදීම ඉතා උචිත ය.
සිංහල සංස්කෘතියට නුහුරු වන්දනා ගීත සම්ප්‍රදායට සිංහල ඌරුව ප්‍රවේශ කරවන්නට එතුමන් විසින් දරන ලද ප්‍රයත්නය පෘථුල ජනාදරයට ලක්වූයේ ය. සොබා සිරිය හා මානව භාව වේගයන් සතු සියුම් ඉඟි කාව්‍යමය දර්ශන යෙන් විනිවිද දකිමින් එතුමන් විසින් විරචිත පද්‍ය හා ගීත මාලා සිංහල සාහිත්‍ය වංශයට ඉටු කෙරුණු ප්‍රබල මෙහෙයක ලකුණු ය.
ගරු මර්සලින් ජයකොඩි පියතුමන්ගේ පද්‍ය චින්තා ඉමක් කොනක් නොපෙනෙන පෙදෙස් බලා ගමන් ගත්තේ ය. එතුමන්ගේ භාව ප්‍රකාශය, සීමිත නිම්වළලු විසින් අවුරාලිය හැකි නොවී ය. ඒ එතුමා සිය භාව ප්‍රකාශයන්හි යෙදුණේ මානව භක්තිපූර්ව පදනමක සිටගෙන ය. මෙහිලා අපට පහත දැක්වෙන කාව්‍යමය නිර්මාණය විමසීම වඩාත් සුදුසු ය.
‘තව මට හිතෙයි පොඩි වැරපහනක් වන්න
දාහක් අතර හඳ යට රෑ බබළන... ජයකොඩි පියතුමා කතෝලික පියතුමකු ලෙස කිතුණු ගීතිකා සාහිත්‍යයට කර ඇති මෙහෙවර අතිවිශිෂ්ට ය. එතුමා කතෝලික ගීතිකා සාහිත්‍යයෙහි අපූර්වතාවක්, මුදු සරල වදන් රටාවක කවීත්වයක් අපට උරුම කර දෙන්නට තරම් සමත් නිර්මාණශීලී අාදරණීය යුග පුරුෂ කලාකරුවකු විය. හෙළ බස හිස් මුදුනින් ම අගය කළ දේශ ප්‍රේමී පැවිදි පියතුමකු විය. එතුමන් ජීවමානව නිර්මාණය කොට ඇති අප කතෝලික ගීතිකා සාහිත්‍යයෙහි අපූර්වතාව මනා අයුරින් අපි හඳුනා අප දෝතට ගෙන අපගේ උරුමය ලෙස ද්විහිමියෙන් සුරැකිය යුතු ය; පෝෂණය කළ යුතුය; ඒ මත පිහිටා නව මං පෙත් කරා ගමන් කළ යුතු ය.
පෙර අපරදිග ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ කාර්මික ක්ෂේත්‍රයේ නමක් දරා සිටි කොටහේන කාර්මික ආයතනයේ අධ්‍යක්ෂව සිටි ගරු ඉග්නේෂස් පෙරේරා පියතුමා ජයකොඩි පියතුමාගේ දායකත්වය සම්බන්ධව පවසා සිටියේ මෙසේ ය. ගරු පියතුමා විසින් ගොනු කෙරුණු නත්තල් ගීතාවලියට අමතරව එතුමන්ගේ කෘතහස්ත බව මතු කෙරෙන තවත් අංග කිහිපයකි. මේ ගනයට හසුවන ගීත අපි නාමිකව මෙසේ දක්වමු. පහත සඳහන් වන්නේ කිතුණු සභාවේ ජනවන්දනාව සඳහා යොදා ගන්නා අපූර්ව ගීතයකි.
සුවඳ සැවැන්දන කුංකුම චන්දන ඈ හැම සුවඳ නෙළා
කුරුඳු කඩාගෙන සුවඳ ලාටුගෙන මුසු කොට සුවඳ හළා
පටපිළි ඇතිරිලි දමමින් සුදු මැලි කුඩුකළ කපුරු හළා
මුතු කුඩ ඇරගෙන ඔබ කැදවා එවු හඬවා මිහිරි නළා...
“සිංහල කිතුනු ගීතිකා සාහිත්‍යයෙහි, මේ තරම් සොබාදහම නමැති ගඟුළෙහි පෙරැළි පෙරැළි කිමිඳුනු මේ තරම් හෙළ සංස්කෘතික අංගයන් මතු කළ, මේ තරම් ගැමිකම හෙළකම - හෙළ ගැමි සුවඳ විදහළ දේශ ප්‍රේමය පුබුදු ගීතිකා නිබන්ධකයෙක් නැති තරම් යයි කීම අතිශයෝක්තියක් නොවෙයි.
මර්සලින් ජයකොඩි පියතුමා රචිත කැරොල් ගීත සමුච්චය පිරික්සීමේදී ඒ උපතේ සිදුවීම කෙබඳු වී දැයි මනා ලෙස විචිත්‍රව දක්වා ඇත. නත්තල් සමයේ අසිරිය වර්ණනා කරන ආකාරය හා නත්තල් රැයේ අසිරිය වර්ණනා කරන ආකාරය නත්තල් දරු නැළවිලි, මේ ගීතවලින් මනාව ප්‍රකට වේ.
එතුමන්ගේ භාෂා ශෛලිය - වචන හරඹය බෙත්ලෙහෙමේ සිදුවූ ඒ අසිරිමත් උපත - අද අප අතර අප සමඟ සජීවීවම පවතින බව මොනවට දැනේ. සිංහල නත්තල් ගී සංස්කෘතිය මුළුමනින් ම නව දිසාවක් රැගෙන ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය.
අප පියතුමන්ගේ ගීත සාහිත්‍යය සහ ගීතිකා සමූහය ගැන සැලකීමේදී එය ඉතා පුළුල් ස්තරයක පිහිටා ඇති බවත් කිතුනු විශ්වාසයට අනුව මෙම ගීතිකා හුදෙක් සැදැහැ බැතිය සඳහා ම පවතින්නේ ය.
1. බොදු බැති ගී - තෙමඟුල් දා මල්බර වෙසඟේ අසිරිමත් පොසොන් පොහොය
2. චිත්‍රපට ගී - නැළවිලි ගීය - සුදු සඳ එළියේ,සාගත ගීය - රේඛාවේ විරිඳු
3. උත්සව ගී - නමෝ නමෝ සරසවි දේවි, දීපාවලි,සිනමා උත්තමාචාරය
4. ළමා ගී - අම්මා සුරතල් කාලේ
5. මෑණිවරුන් සඳහා ගී - මවගෙ සුවඳ
6. සොබාදම් ගී - දූවිලි දවසක, ළඳක් පමණි මා මුතුමාලා
7. ගැමි සංකල්පනා - කැලණි ගඟේ නාන තොටේ
8. දේශානුරාගී ගී - අප රට බෙදෙන්නෙ නෑ, මුතු ඇට වෙන්න බෑ!
මේ අයුරින් අප පියතුමාණන්ගේ ගීත සාහිත්‍යයට කළ මෙහෙය අමරණීය ය.