සින්නම්මාගේ හරස්කඩ! | Page 2 | සිළුමිණ

සින්නම්මාගේ හරස්කඩ!

මිනිසාට සිහින තිබිය යුතු ය; බලාපොරොත්තු තිබිය යුතු ය; ඒ ආශ්‍රයෙන් ගොඩනැඟුණු අනාගත සැලැසුම් ද තිබිය යුතු ය. සින්නම්මලාට ඒ කිසිවක් නැත. ඒ ඇයි...?

මේ කවිය සංස්කරණය නොවූ නිර්මාණයක් සේ සලකන්නට පුළුවන. එහෙත් කවියේ අනුභූතිය වැදගත් ය. කවියෙන් ප්‍රකාශිත අදහස ඊටත් වඩා වැදගත් ය. නිර්මාණ කෘතියක ශිල්පධර්මවලට වඩා එහි අන්තර්ගතය වැදගත් යැයි ප්‍රවාදයක් දැන් පවතී. ඊට එකඟ විය හැකි ය. රචකයා කලාවේ රමණීයත්වය ගැන සලකා නැත. කවියේ ශිල්පධර්ම ගැන විමසා නැත. ඔහු ජනතාව වෙත හැඟවිය යුතු ප්‍රධාන සාධකය ගැන පමණක් ම අවධානය යොමු කර තිබේ. එය නරක නැත.

සින්නම්මාගේ ජීවිතය ගැන ද, සින්නම්මලාගේ පරපුරේ හා පන්තියේ ජිවිත ගැන ද හරස්කඩක් කවියෙන් ඉස්මතු වෙයි. එම හරස්කඩෙන් චිත්‍රණය වන්නේ ඉහත කී ජීවිතවල සරල බව, අල්පේච්ඡතාව හා මෝඩකම් ය.

ඉන්දික සංජීව විතාන මහතා 2017 දී කුඩා කවි පොතක් සංස්කරණය කොට පළ කර තිබේ. ඒ සඳහා පාදක කරගෙන ඇත්තේ ගුරුවරුන්ගේ නිර්මාණ සමුච්චයකි. ඊට කාව්‍ය නිර්මාණ 49 ක් ඇතුළත් ය. ‘සින්නම්මා’ නිර්මාණය එහි සංගෘහිත 45 වන කවිය ලෙස සටහන් වී ඇත.

සින්නම්මාගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට කරුණු තුනක් පැහැදිලි කරගත හැකි ය. එක; මේ ගැහැනිය වත්තට දිවි - හිමියෙන් ආදරය කරන බව ය. දෙක; වත්තේ වැඩ වර්ජකයන්ට ඇය අකැමැති බව ය. නැතහොත් වර්ජකයන්ට ඇය වෛර කරන බව ය. තුන; තම පුත්‍රයාට වත්තේ ම රැකියාවක් ලබාදීමට ඇය උත්සුක වන බව ය. මේ සඳහා මහත්වරුන් හෙවත් වත්තේ පාලකයන්ගේ කරුණාව ඇයට අවශ්‍ය වේ. ඉන් එහා ජීවිතය ඇයට නැත.

තමන්ගේ වැඩබිමට ආදරය කිරීම යහපත් දෙයකි. එහෙත් ඒ ආදරය අනුධා’නුකරණයක් විය යුතු නැත. සින්නම්මාට ඇත්තේ ආදරයක් නොව; අන්ධා’නුකරණයකි. මෙය සිදුවන්නේ ජීවිතය ගැන පවත්නා බිය හා අනවබෝධය නිසා ය.

සින්නම්මලාගේ පරපුර ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන්නේ යටත්විජිත සමයේ ය. ඉංග්‍රීසීන්ගේ කුලීකරුවන් සේ කටයුතු කරන්නට ස්වදේශිකයන් එකඟ ‍ෙනාවූ බැවින් ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන්වා ගනු ලැබිණි. මෙසේ ගෙන්වා ගත් කුලීකාර සමාජයට ගැඹුරු සංස්කෘතික උරුමයක් තිබුණේ නැත. සමාජ පිළිගැනීමක් තිබ‍ුණේ ද නැත. ඔවුන්ගේ ජීවිත ගෙවී ගියේ වහල් මානසිකත්වය යටතේ ය. ග්‍රීසිය, රෝමය, එංගලන්තය පමණක් නොව; අරාබි රටවල් පවා වහලුන්ගේ සේවය ලබාගත්හ. වහල්ලු මේ ක්‍රමයට කෙතරම් තදින් බැඳී සිටියෝ ද යත්; නිදහස ලබා දීමෙන් පසු එය ප්‍රතික්ෂේප කළහ. සින්නම්මාගෙන් ප්‍රකට වන්නේ ද එම ලෝක අත්දැකීමෙහි දිගුවකි.

වත්තේ ලොක්කාට විශාල බංගලා තිබේ. යාන වාහන තිබේ. සෙල්ලම් කිරීමට පිට්ටනි තිබේ. සින්නම්මලාට ලයින් කාමර ඇත. ඇවිදීමට කකුල් ඇත. එහෙත් වැසිකිළි පහසුකම් නැත. එහෙත් සින්නම්මලා නොවන්නට වත්තක් නැත. වත්තට ආදයම් නැත. ව්‍යාපාරයක් ද නැත. මේ ආර්ථික ක්‍රියාවලිය සින්නම්මලා කිසි දිනෙක වටහා ගන්නේ නැත. එසේ වටහා ගැනීමට තරම් අධ්‍යාපනයක් ඔවුන්ට ලැබෙන්නේ ද නැත.

සින්නම්මලාගේ දෙවන පරපුර වත්තේ පාලකයන්ට එරෙහිව පුංචි - පුංචි කැරලි ගහන බව පෙනෙයි. එහෙත් සින්නම්මලාගේ පරපුර ඊට විරුද්ධ වෙති. සින්නම්මලාට අනුව පාලකයන් යහපත් ය. වත්ත ද යහපත් ය. එහි කලබල ඇති කිරීම වරදකි. වැඩ නැවැත්වීම ද වරදකි. කළ යුත්තේ මේ ක්‍රමය සමාදානයෙන් ඉදිරියට ගෙන යෑම ය. සින්නම්මලාගේ චින්තනය එයින් පැහැදිලි වෙයි.

මිනිස් ශිෂ්ටාචාරයේ ක්‍රම විකාශයට අනුව සමාජය කාලයෙන් - කාලයට; පියවරෙන් - පියවරට ඉදිරියට යා යුතු ය. දියුණු විය යුතු ය. එහෙත් සින්නම්මලා එක තැන පල් වෙයි. දුප්පත් රටවල එක තැන පල් වන ආර්ථිකය හැඳින්වීම සඳහා ආර්ථික මන්දනය යන වචනය යන වචනය යොදයි. සින්නම්මලාගේ ජීවිතය ද එකතැන පල්වෙයි. එය ජීවිත මන්දනය ලෙස හැඳින්විය හැකි ය.

මේ පරපුර අද වනවිට දෙපැත්තකින් ස‍ූරාකෑමට ලක් වෙති. සූරා කෑමේ එක පැත්තක් වන්නේ වතුවල පවත්නා ක්‍රමයයි. සූ‍රාකෑමේ අනෙක් පැත්ත වන්නේ නූතන දේශපාලනයයි. දේශපාලකයෝ සින්නම්මලාගේ කර මතින් ගොස් බලය ලබා ගනිති. බලය ලබාගෙන මධු පානය කරමින්; සල්ලාල ජීවිත ගත කරති. එහෙත් මෙතෙක් වතු සමාජවලට සිදුවූ හරවත් දියුණුවක් නැත.

ලෝකයේ ස්වාභාවික තේ අපනයනය පිළිබඳ ඒකාධිකාරය පැවැතුණේ රටවල් තුනක් මත ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා කෙන්යාව එම රටවල් තුන වේ. මෙයින් ද ශ්‍රී ලංකාව ප්‍රධාන විය. 2000 වන තෙක් ම එම ප්‍රධානත්වය ඉසිලීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉරානයේ ටෙහෙරාන්හි ගුවන් තොටුපොළ ප්‍රධාන ප්‍රවේශ මාර්ගයෙහි එදා ඉහළින් ම ප්‍රචාරක දැන්වීම් පළ කර තිබුණේ ශ්‍රී ලංකා තේ ගැන ය. රුසියාව, එංගලන්තය හා අරාබි රටවල ද මේ තත්ත්වය දකින්නට ලැබිණි. එහෙත් අපේ තේ කර්මාන්තය අද අර්බුදයට ගොස් තිබේ. අපේ අපනයන ආදායම පහළ ගොස් තිබේ. වතු ජනයාගේ ජීවිත ද සුරක්ෂිත නැත.

ඉන්දියාව හා කෙන්යාව ගෝලීය තත්ත්වයන්ට ගැළපෙන සේ තේ කර්මාන්තය ප්‍රවර්ධනය කර ගත්හ. අද වනවිට එහි ප්‍රතිලාභ කර්මාන්තයේ නියුතු කම්කරු ප්‍රජාව වෙත ද කාන්දු වෙයි. පොහොර, බීජ, ආධාර හා තවත් දේවල් ලබාදීමෙන් පමණක් කර්මාන්තයක් දියුණු වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය වූ තේ කර්මාන්තය අද පවතින්නේ දුර්වල අඩියක ය. ඒ අනුව සින්නම්මලාගේ ජීවිතවලට රක්ෂණයක් නැත.

වතු සමාජ දෙස එබී බලන විට පෙනී යන්නේ ඔවුන්ගේ පවුල් ජීවිත බෙහෙවින් අවුල් බව ය. වත්තේ වැඩ වෙනුවට වෙනත් කුලී වැඩ කිරීමට ද ශ්‍රමිකයෝ යොමු වෙති. නැතහොත් ජීවිතය ගෙන යෑම අමාරු ය. පුරුෂයන්ගේ ප්‍රධාන විනෝද මාර්ගය බවට පත්ව ඇත්තේ කසිප්පු පානය යි. කසිප්පු ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් ව තිබේ. මේ සමාජයට අධ්‍යාපනයක් නැත; උපදේශනයක් නැත. මේ කවියෙන් අප උකහා ගත යුත්තේ සින්නම්මලාගේ ශෝකාන්තය පමණි. මේ ශෝකාන්තය චිත්‍රණය වන අවස්ථා දෙකක් තිබේ. එක: දරුවන්ටත් වත්තෙ රස්සාව ම අරන් දෙනවා යන්න ය. දෙක: සින්නම්මා මළ දවසෙත් වත්තේ ගස් දලුලනවා යන්න ය. ඉන් හැ‍ඟෙන්නේ ඉහත සම්ප්‍රදාය දිගටම පවතින බව ය. දුක හිතෙන්නේ මේ සම්ප්‍රදාය ගැන ය. ඊට එරෙහිව නැඟී සිටින්නට කෙනකු වත්තෙන් බිහි නොවීම ගැන ය.

Comments