කතෝලික සාහිත්‍යයේ රන් සලකුණ | Page 2 | සිළුමිණ

කතෝලික සාහිත්‍යයේ රන් සලකුණ

මේ ලේඛකයා දැයෙන් සමුගැනීමට සතියකට පෙර සත්මඬල වෙත යොමුකරන ලද ලිපියකි.

එතුමාට කරන ලද ගෞරවයක් වශයෙන් අපි මේ ලිපිය මෙසේ පළ කරන්නෙමු.

අපට බෞද්ධ සාහිත්‍යයක් මෙන්ම කතෝලික දහමින් පෝෂිත කතෝලික සාහිත්‍යයක් ද තිබේ. එබඳු සාහිත්‍යයක් බිහිවීමේ අඩිතාලම සැකසෙන්නේ ලන්දේසීන‍්ගේ ආගමනයත් සමඟ බව පැරණි මුලාශ්‍රය නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. ලන්දේසින් මුහුදු බඩ ප්‍රදේශ ආක්‍රමණය කිරීමෙන් අනතුරුව කතෝලික ලබ්ධිය යටපත් කරමින් රෙපරමාදු නිකාය ජනප්‍රිය කරවන්නට ඔවුහු මහන්සි ගත්හ. කතෝලික දේවස්ථාන පාසල් හා පුණ්‍යායතන ආදිය රාජසන්තක කොට එම ආගම ඇදහීම නීතියෙන් තහනම් කළ බවට තොරතුරු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලියු “ජාකෝෙම් ගොන්සාල්වේස්” තෝරාගත් කෘතියේ සඳහන් වේ. පසුකාලයේදී එම අකරුණාවන්ත පසුබිම නැතිකිරීමට මුල් වුයේ ගෝවේ සි‍ට පැමිණි ජකෝවේ ගොන්සාල්වේස් පියතුමා ය. ඒ 1705 වසරේදී ය. එතුමා සිංහල කතෝලික සාහිත්‍යයේ ආදි කතුවරයා ලෙසටද පිළිගැනේ.

එතුමා සිය ආගම ප්‍රචාරය කිරීම සඳහා ලංක‍ාවේ විවිධ ප්‍රදේශයන්හි සංචාරය කළ බවට තොරතුරු ලැබී තිබේ. එතුමා රචනා කළ ග්‍රන්ත අතර “ඥාන උ‍පදේශ, ප්‍රාර්ථනා, පාද නමස්කාර, ජප මාලා අභිරහස්” යන කෘති කැපී පෙනේ. එවකට මේ රටේ කතෝලික මුද්‍රණාලයක් නොවු බැවින් කෘති තල්පත්හි ලියවා ජනතාව අතර ‍බෙදා හැර බවට තොරතුරු තිබෙන බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැඩිදුරටත් සඳහන් කොට තිබේ. ගොන්සාල් වේස් පියතුමා සිය කතෝලික සාහිත්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඇතැම් ග්‍රන්ථ සිංහල මාධ්‍යයෙන්ද ලියා ඇත්තේය. එකල මල්වාන ප්‍රදේශයේ විසු පුජක වරයෙක්ද “සිංහල මාර්ගෝපදේශ” ග්‍රන්ථයක්ද, සාන්තුවර චරිත කතා විශේෂයක්ද , බැති ගී හා යාච්ඤා මාලාවක්ද සම්පාදනය කොට ඇති බව එඩ්මන්ඩ් පීරිස් මහතා ලියු “කතෝලික සිංහල සාහිත්‍යය” නැමැති කෘතියේ සඳහන් කොට තිබේ.

ගොන්සාල්ෙව්ස් පියතුමා බෞද්ධ භික්ෂුන්ගෙන් සිංහල භාෂව ප්‍රගුණ කරගෙන තිබෙන බවක්ද පැරණි මුලාශ්‍රය වල සඳහන් වේ. යතිවරයන්ගේ අටුවා නිඝණ්ඩු ආදිය කියවා බැලූවිටද එහි වැඩිදුරටත් තොරතුරු දැක්වේ.

මංගල ගීතය, පසන්පොත, ආදී කවි පොත්ද, දේව වේද පුරාණය. හා දුක්ප්‍රාප්ති ප්‍රසංගය ආදී ගද්‍ය කෘතිද ආශුයෙන් එතුමා සිංහල බෞද්ධ සාහිත්‍යයෙන් ලද ආභාසය බොහෝය. එතුමා “වේද” යන වදන භාවිතා කොට ඇත්තේ “ආගම” යන අරුතින් බව කියැවේ.ජේසු සමිදුගේ දිව්‍යාවදානය විස්තර කරමින් කතෝලික දහම ජනතාවගේ සිත් සතන් තුළ ප්‍රතිෂ්ඨාපානය කිරීම එතුමාගේ මුක්‍ය අභිප්‍රාය විය. කිතු සිරිත කවියෙන් ප්‍රතිනිර්මාණය කළ ගොන්සාල් වේස් පියතුමා ඒ තුළින් මවන්නේ ශ්‍රී ලංකාෙව් රමණීය පරිසරය බව එම කෘතියේ එන කවි නිරීක්ෂණය කරන විටදී මොනවට පිළිබිඹු වෙයි. සුගත් උද්‍යාන වර්ණනාවේ එන මේ කවි ඊට කදිම උදාහරණය ය.

අඹ දඹ කරඹද රස මොර ගිර ඹා
ලොව කර බුදිනා මී අඹ පන ඹා
ලඹකර තුරු නැමි මා ‍ෙමාර දැට ඹා
නිබඳව බුදිනට මැව්වේ සසො ඹා

 

සුද්ද ඒවතෙල් පරසතු තඹ රා
ඉද්ද කොබෝනිල් පෙතත් ම‍දා රා
ලුද්ද වඩන සපු සමන් උදා රා
ලද්ද බ්‍රම් සග යන නම් වපු රා

සිංහල සන්දේශ කාව්‍යයන් වල වණ විවිධ වර්ණනා මෙම කවි පරිශිලනය කරන වි‍ටදී අපට නිතැතින්ම සිහියට නැ‍‍ඟේ. “පසන්පොතේ”එන “දෙව් මව් වලප” කතුවරයාගේ නිසඟ ප්‍රතිභාව හා කවි ශක්තිය ප්‍රකට කරවන්නකි. මේ ඊට කදිම උදාහරණයකි.

සුර ලොවින් බැස මෙදිනේ මව් කුසිනේ බිහි වෙමිනේ
හැඩු දෙනතේ කිරි බොමිනේ විනි ලෙසිනේ වැඩුණු තැනේ
දිලෙන රනේ රුව ලෙසිනේ මල් උයනේ සිටිය දිනේ
මෙම මරණේ ඔබට වුණේ කිමද අනේ දෙව් රජුනේ.

 

රන් කෙදිසේ වරල දිසේ රන් ඇස සේ ගහණ රැසේ
නිල් මිණිසේ සොබන ඇසේ සවන දිසේ විදුලිය සේ
රන් රුවසේ ගත වෙන සේ රුසිරු මෙසේ අසන ලෙසේ
මෙ පණලසේ ගිය විය සේ සැම දවසේ වාමි සොසේ...

මේ කවි දෙක කියවෙන විට අපට වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන මද්‍රී දේවියන් විලාපයත්, සඳ කිඳුරු දා කාව්‍ය එන කිදුරියගේ විලාපයත් සිහියට නැ‍ඟෙන්නේ නිරායාසයෙනි.

ඇතැම් බෞද්ධ කාව්‍යයන්හි සෘජු ආභාසයද එතුමාගේ ඇතැම් කවි නිර්මාණවලින් විශද වෙන අයුරුද මනහර ය. අපි උදාහරණ කිහිපයක් විමසා බලමු.

වේද කාව්‍යය

කොළ අතු කඩලන්නෝ යා
පළදි බරණ ලන්නෝ යා
පෙරමග සරසන්නෝ යා
කොලතල කර යන්නෝ යා...

මීට බෙහෙවින් සමාන කවියක් ‘බුදුගුණ අලංකාරයේ’ එන්නේ මෙපරින්දෙනි.

දද කුඹ කොඩි ගන්නෝ යා
සොඳ ගඳ දුම් ලන්නෝ යා
පින් පල ලබ දන්නෝ යා
මුනි පුදයට වන්නෝ යා...

වේද කාව්‍යය

නර ලොව දහසක් අවුරුදු
සුර ‍ෙලාව එක් දිනකට බඳු

මේ අදහසම වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍යයේ ලියන්නේ මේ අයුරිනි.

කිමෙක කියනු සුරපුර සිරිසර වෙසෙස
මෙලොව සියක් අවුරුදු එහි එක දවස...

‍ගොන්සාල්වේස් පියතුම‍ාගේ ‘මංගල ගීතය’ කෘතිය පැරණිතම සිංහල පොත ලෙස සැලකිය හැකි බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පෙන්වා දෙති. එය පැරණිතම ‘කැරොල් ගීත සංග්‍රහය’ලෙසටද සැලකේ. මේ කෘතියේ ශබ්ද රසය, අර්ථ රසය අභික්‍රමණය මැනවින් මතුවන අයුරු ඉතා අපුරුවට දිස්වේ. අනුප්‍රාසය ඉස්මතු කරමින් ශ්‍රව්‍යගෝචරව එතුමා සිය කවි ලියා අැතිබව ඉතා කදිමට මෙහි නිරූපණය වේ. උපමාරූපක ඉතාමත් ප්‍රශස්ත අයුරින් ඉදිරිපත් කිරීමට පියතුමා දක්වා ඇති නිපුණත්වය ඇත්තෙන්ම ප්‍රසංශනීය බව කිව යුතුමය. මේ ඊට උදාහරණ කිහිපයක් පමණි.

“දිලෙන විල සේය - සුවඳ රැස සේය - මුහුණ සඳ සේය - නේත්‍ර මිණි සේය - කරුණා ගහනා සේය - මොක් පැසෙන රව සේය” වෘත්තයන්හි ශෛලියේ ආභාසයද එතුමාගේ ‘මංගල ගීතය’ කෘතියෙන් මනාලෙස පිළිබිඹු වේ. දෙමළ මුල සාහිත්‍යයට අයත් ‘ආනන්ද කලිප්පු’ නම් රචනා ශෛලියේ කෘතියක්ද ගොන්සාල්වේස් පියතුම‍ාගේ ග්‍රන්ත අතර දක්නට තිබේ. දේව භක්තිය පළ කරන උපදේශාත්මක රචනා මේ නමින් හැඳින්වේ. මේ කෘතියේ එන ඇතැම් සංකල්පනා ‘‍ලෝවැඩ සඟරාව’ සිහි ගන්වයි. පියතුමාගේ මුල් ම කෘතිය ලෙස සැලකෙන්නේ “දේව වේද පුරාණය”නම් ගද්‍ය කෘතිය බව පේරාදෙණි සරසවියේ කථිකාචාරිණි සුමුදු සෙනෙවිරත්න මහත්මිය සඳහන් කරයි. කතෝලික ආගම හා වන්දනා සිරිත් ප්‍රකාශ කිරීම සඳහා සිංහල බස නිවැරදිවත්, සිත්ගන්නාසුලු ලෙසත්, යොදාගත් අවස්ථාවක් ලෙසට ඇය කෘතිය හඳුන්වා දී තිබේ. පියතුමා සිය බස හසුරුවන ආකාරය ඉතා අපුරු ය. එතුමා උපමා භාවිතාවේ දක්වන සමත්කමට මෙහි පහත සඳහන් වැකි කදිම උදාහරණයන් ය.

“කරල් දුටු කල කොලදිත් වාරය ළං වු බව දැනගන්නා සේ”

“ඉඳුල් කා බලා ඉන්නා සුනඛයා මෙන්”

“ගිනිමැලේට තෙල් එක්වුනාසේ”

‘දුක්ප්‍රාප්ති ප්‍රසංගය’ ගද්‍ය කාව්‍යයක් වන තරමටම විශිෂ්ට ලක්ෂණ පෙන්වයි. උපමා, රූපක, පුනරුක්ති, අතිශයෝක්ති ආදී භාෂා රීතින් යොදාගැනීමේදි පියතුමා දක්වන සුරුවිරුකම් පාඨකයාගේ සිත ඇද බැඳ ගනී. පරිකල්පනා ශක්තියෙන් හීන අයෙකුට එබඳු භාෂමය වික්‍රමයක් කළ නොහැකියි. ඇතැම් තැන්වල මවන නාටකීය අවස්ථාවන් අපුර්වත්වයෙන් යුක්ත ය. වාග් චිත්‍ර මැවීමට එබඳු නිරුපණ බෙහෙවින් උපස්තම්භක වී තිබේ. තවත් කිවයුතු විශේෂ කරුණක් වන්නේ පියතුමා සිංහල ජන වහරද භාවිතා කර තිබීමය. එතුමා විසින් ම නිර්මාණය කරන ලද ජනවහරට නෑකම් කියන වචන කිහිපයක් මෙසේය. “පාපගෙඩියා- දුප්පනී- කුලගෙඩියා-පොහොසනී” අදටත් ව්‍යවහාරයේ‍ යෙදෙන “කෙඩෙත්තු - අකම්පාල- හති කැක්කුම්- සුනංගු- ඉද්දර” ආදි ගද්‍ය රීතියේ වචනද එතුමාගේ ග්‍රන්ථ වලදී දුටුව හැකිය.

මේ කෙටි ලිපිය අවසන් කරමින් කිව යුතුව ඇත්තේ ගොන්සාල්වේස් පියතුමාගේ සාහිත්‍යත්වයත් සමඟ ආරම්භ වුණ සිංහල කතෝලික සාහිත්‍යය පිළිබඳ ව වත්මන් සමාජ සංස්ථාවේ පවතින්නේ ඉතා අඩු අ‍වබෝධයක් හා අවධානයක් බව ය. විශ්වවිද්‍යාලවල පවා එතුමාගෙන් සිදු වු සාහිත්‍යමය සේවය ගැන විද්‍යාර්ථින් දැනුවත් කරන බවත් පෙනෙන්නට නැත. එය නන්තලේ අසිරිය සමරන අපේ කතෝලික බැතිමතුන්ට පවා දැනෙන බවක් නොපෙනීම කනගාටුවකි.

Comments