අමරාවතී | Page 2 | සිළුමිණ

අමරාවතී

අමරාවතියේ ඉතිහාසය යනු ආන්ද්‍ර ප්‍රදේශයේ බෞද්ධාගමේ ඉතිහාසයයි. අමරාවතී ස්තූපය ප්‍රථමයෙන් ඉදි කරවන ලද්දේ මහාදේව නම් වු ධර්ම ප්‍රචාරයෙහි යෙදුණු භික්ෂුව විසිනි. මේ භික්ෂුව ප්‍රදේශයේ බුද්ධාගම පිළිබඳ දේශනා කිරීම සඳහා අශෝක රජතුමා විසින් එවනු ලැබූ ධර්මප්‍රචාරක හිමිනමකි.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ ගුන්තර් සිට කිලෝ මීටර් 32 ක් දුරින් ක්‍රිෂ්ණ ගංඉවුරේ පිහිටි මහා චේතිය අමරාවතියේ ඇති අති පුජනීය ස්ථානයයි. එය බොහෝ කාලයක් පැවති චෛත්‍යයකි. අමරාවතියේ ඉතිහාසය යනු ආන්ද්‍ර ප්‍රදේශයේ බෞද්ධාගමේ ඉතිහාසයයි. අමරාවතී ස්තූපය ප්‍රථමයෙන් ඉදි කරවන ලද්දේ මහාදේව නම් වු ධර්ම ප්‍රචාරයෙහි යෙදුණ භික්ෂුව විසිනි. ෙම් භික්ෂුව ප්‍රදේශයේ බුද්ධාගම පිළිබඳ දේශනා කිරීම සඳහා අශෝක රජතුමා විසින් එවනු ලැබූ ධර්ම ප්‍රචාරක හිමිනමකි. මුලදී ගල් වැටකින් ආවරණය කර තිබූ එය ආදර්ශ ස්තූපයකි.

අශෝකගේ ආඥාවක් අඩංගු ඔප දැමු කුලුනින් තහවුරු වන්නේ මෙය අශෝක රජු සමයේ ඉදි කරන ලද්දක් බවයි. ඉන් පසු ශත වර්ෂ දෙක තුනක කාලය තුළදී ගල් වැට වෙනුවට හුනු ගල් වැටක් තනා ඇති අතර දොරටු ද අලුත්වැඩියා කර ඇත. මෙම කාලයට අයත් ප්‍රතිමා රාශියක් හමු‍වී ඇති අතර ක්‍රිස්තු පුර්ව දෙවන සියවසට අයත් හුනු ගලින් කළ ස්තම්භයක්ද ඒ අතර වෙයි. එහි වෛසාලි, ශ්‍ර‍ාවස්ති සහ කුසිනාරාවේ චිත්‍ර ඇති අතර ඒවා නම් කර ඇත.

අශෝකගෙන් පසු වසර 450 ක් පමණ කාලයක් ආන්ද්‍ර ප්‍රදේශය පාලනය කළ ශතවාහන රජවරුන් බෞද්ධයන් දෙස සානුකම්පික දෘෂ්ටියකින් බලා ඇත.

පසුකාලීන ශතවාහන රජවරුන්ගේ සෙල්ලිපි තුනක් අතරින් පැරණිම ලිපියට අනුව වාසතීපුත්‍ර පුලුමාවී (ක්‍රි.ව. 130-159) රජු කාලයේදී මහා චෛත්‍යයේ බටහිර දොරටුවට සංසාර චක්‍රය ත්‍යාග කළ බව සඳහන් වේ. දෙවන සෙල්ලිපියේ සඳහන් වන්නේ සිව ශ්‍රී යන නමින්ද සාමාන්‍යයෙන් හඳුනාගෙන ඇති සිරි සිවමාකා සාදා (ක්‍රි.ව. 150-166) රජු කාලයේදී චෛත්‍ය වටා ඇති ‍වැටෙන් කොටසක් ප්‍රතිසංස්කරණය කරන ලද බවය. තුන්වන සෙල්ලිපිය අයත් වන්නේ ශතවාහන රාජ පරම්පරාවේ අවසාන වැදගත් රජු වන ගෞතමීපුත්‍ර යජ්න ශ්‍රී ශතකාර්නි (ක්‍රි.ව. 166-196) රාජ්‍ය සමයටයි. යජ්න ශ්‍රී ශතකර්නි කිර්තිමත් උගතකු, බෞද්ධ ශ්‍රමණයකු වු ආචාර්ය නාගර්ජුනගේ මිත්‍රයෙකි, ටිබෙට් ඉතිහාසඥයක්‍ර වු තරානාථාට අනුව අමර‍ාවතියේ ඇති කැටයම් වැට පිහිටුවීම සංවිධානය කර ඇත්තේ නාගර්ජුනයි. සෙල්ලිපියකට අනුව බුද්ධරක්ඛිත නම් භික්ෂුවක විසින් වැට ඉදි කිරීම අධික්ෂණය කර ඇත. බුද්ධිරක්ඛිතගේ අනුගාමිකයකු වු මෙහෙණියක, ලක්ඛිත, පාටලිපුත්‍රවල භික්ෂුවක දෙමළ වන්දනාකරුවන් තිදෙනෙකු සහ ආන්ද්‍ර ප්‍රදේශයේ ගන්තාශාලාහි පවුලක් මේ සඳහා දායකවී ඇත.

ප්‍රධාන දිශාවලට නෙරා සිටින ලෙස සකස් කළ බෙරයක් වැනි සමතලා වේදිකාවක අමරාවතී ස්තූපයේ අවසාන හැඩය නිම කර ඇත. මුලදී මේ වේදිකාව තනා ඇත්තේ කුලුනු පහක් මතයි. බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා එයින් සංකේතවත් කෙරේ. එනම් උත්පත්තිය, අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වයට පත්වීම, ප්‍රථම ධර්ම දේශනාව සහ මහා පරිනිර්වානයයි. ක්‍රි.ව. 639 දී අමරාවතී නැරඹීමට පැමිණි හ්‍යුං සා මෙලෙස කියා ඇත. මෙහි ඇති සංඝාරාම කෙළවරක් නැත. එහෙත් බොහෝ ඒවා අතහැර දමා ඇති අතර නටබුන් වී ඇත. ඉතිරි වී ඇත්තේ විස්සක් පමණි. එහි භික්ෂුහු 1000 ක් වැඩ වාසය කරමින් ධර්මය හදාරති.

අමරාවතී මහා චෛත්‍යය බොහෝ කාලයක් ජීවමාන තත්ත්වයෙන් පැවතිණ. එකළොස්වැනි ශත වර්ෂයේ ඇති සෙල්ලිපියක පල්ලව සිම්හාවරමන් මෙම ස්තූපය වන්දනා කළ බවට වර්තා කර ඇත. අමරාවතිය අසල ඇති තවත් සෙල්ලිපියකට අනුව 12 සහ 13 වන ශතවර්ෂවල ධහරනිකෝටා (දහයනකටකා) පාලනය කළ කෝටා නායකයා මහා චෛත්‍යයට ප්‍රදානයන් කර ඇත. ක්‍රි.ව. 1182 දරන තවත් සෙල්ලිපියකට අනුව මෙම ඉතා උස චෛත්‍යය අවසානයේ ප්‍රතිමාවලින් අලංකාර කර ඇත. ක්‍රි.ව. 1344 දී ලංකාවේ සිට පැමිණි ධර්මකීර්ති නමැති වන්දනාකරු අමරාවතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංක‍ාවේ මහනුවර ගඩලාදෙණියෙන් හමු වු සෙල්ලිපියක සඳහන් කර තිබේ. මේ යෝධ ස්තූපය එහි ගෝලාකර ශිඛරයත් සමඟ හතරවෙනි ශතවර්ෂය දක්වාම නිරුපද්‍රැතව පැවතිණ. කෙසේවෙතත් ඉන්පසු අමරාවතිය සම්පුර්ණයෙන්ම අතහැර දමා ඇති අතර දර්ශන පථයෙන්ද මැකී ගොස් ඇත.

අමරාවතී ස්තූපය නැවත මතුවන්නේ 1797 කොලින් මැකන්සි නමැත්තා අමරාවතියට ගිය විටය. ඔහුට එහිදි දක්නට ලැබුණේ ස්තූපයේ නටබුන් කොටස් රැගෙන යන මිනිසුන් පිරිසකි. එම ද්‍රව්‍ය රැගෙන ගොස් ඇත්තේ රාජා චින්තපල්ලි වාසුරෙඩ්ඩි නයෝඩා යන අය නගරයක් ඉදි කිරීම සඳහායි. රාජා වාසු රෙඩ්ඩි ඉන් වසරකට පෙර තමාගේ නිවස චින්නපල්ලි සිට අමරාවතියට මාරු කර ඇත. මැකන්සි දක්නට ලැබී ඇත්තේ විශාල ගල් ගොඩක් සහ ඒ මත ඇති තවත් කුඩා ගල් ගොඩකි. මේ ස්මාරකය අභිරහස් ගොඩනැගිල්ලක් බවට මැකන්සි කල්පනා කළේය. එහෙත් ඔහුට එහි වැදගත්කම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවීය. එබැවින් ඔහු ඊට මැදිහත් ‍ෙනාවීය. මේ අතර අමරාවතීයේ තිබු මිල කළ නොහැකි ප්‍රතිමා, සිවගංගා ජලාශය සහ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගත් අතර සමහර ඒවා හුනු ලබා ගැනීමට පුලුස්සා ඇත. මෙම කලාවස්තු විනාශය වසර 20 ක් ම, මැකන්සි 1818 දී නැවත පැමිණෙන තෙක්ම පැවතිණ. ඔහු ස්තූපයෝ කොටස් රැගෙන යාම තහනම් කොට ස්තූපයේ ඇඳිමට කටයුතු කළේය. ඔහුට ප්‍රතිමාවල කොටස් කිහිපයක් ද සොයා ගත හැකිවිය.

මැකන්සිට පසුව මෙම භූමියේ කැණීම් කිරීමට උත්සාහයන් කිහිපයක්ම දරනු ලැබීය. සර් වෝලට් ස්මිත් 1845, රොබට් සිවෙල් 1877 , ජේම්ස් බරගස් 1881 සහ ඇලෙක්සැන්ඩර් රේ 1888- 1889 සහ 1905 – 1906 සහ 1908- 1909 තෙවරක්ම උත්සාහ දැරුවේය, වසර සියයකට වැඩි කාලයක් විනාශ කිරීමට උත්සාහ දැරුවත් අමරාවති නටබුන්වල සැලකිය යුතු කොටසක් විනාශ කර දැමිය නොහැකි විය. 1958-1950 කාල වකවානුවේ ඉන්දියා පුරාවිද්‍යා ගවේෂණ දෙපාර්තමේන්තුවේ කේ සුබ්‍රමනියම්, කේ ක්‍රිෂ්ණමුර්ති විසින් කරන ලද කැණීම්වලින් ප්‍රතිමාවල කොටස් පුරාවිද්‍යාත්මක වටිනකමින් යුත් කොටස් සහ වෙනත් වැදගත් පෞරාණික භාණ්ඩ සොයා ගැනීමට හැකිවීම අරුමයක් නොවේ.

Comments