‍කොසඹෑ නුවර භික්ෂූන්ගේ කලහ වත | Page 2 | සිළුමිණ

‍කොසඹෑ නුවර භික්ෂූන්ගේ කලහ වත

සංහිඳියාව සොයා යන ජාතියකට සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලැබිය හැක්කේ අපමණ පිටුබලයකි. විරසක පිරිස් සංහිඳියාවට පත් කරලීම උදෙසා සාහිත්‍යයට කළ හැක්කේ විශාල කාර්යභාරයකි. විශේෂයෙන් සාහිත්‍යයෙන් කියා දෙන විරසක බවේ ආදීනව ප්‍රබල වන බැවිනි. අප සුන්දර රටක උරුමකරුවන් වුව කාලයෙන් කාලය තුළ එකිනෙකා තුළ ඇති වූ විරසක භාවයන් මහත් වූ යුද ගිනි දක්වා පැතිර ගිය අයුරු දැකිය හැකිය. මෑතම අවධියෙහි අප මුහුණ දුන් ගිංතොට සිදුවීම් ද විරසක බවේ ආදීනත්වයන්ය. තිස් වසක බිහිසුණු යුද පසුබිමක ජීවත් වන අප නැවත වරක් ඒ කෲර අත්දැකීම් නොලබන්නට සහජීවන පාඩම් හොඳින් උගත යුතුය.

දඹදෙණි යුගය ද දහනව වසක බිහිසුණු මාඝගේ යුද පසුබිමක ගොඩනැඟුණු යුගයකි. එම කාලයෙහි ද දෙවන විජයබාහු මාඝ පරාජය කළ ද මාඝගේ අනුගාමිකයන් එක් වරට අවසන් වූයේ නැත. ඔවුන් හා නිතර නිතර අන්‍යොන්‍ය අවිශ්වාසයෙන් බැලූ ජනතාවකට ධර්මසේන හිමියෝ කොසඹෑ නුවර වහන්දගේ කලහ වත ගෙන හැර දක්වති. විරසක බවේ ආදීනව ප්‍රබලව කියමින් සහජීවනය ම වැදගත් බව අපූර්වයෙන් ජනගත කරන්නට උන්වහන්සේ දැරූ වෑයම අති සාර්ථක බව පෙනෙන්නේ නැවර මාඝලා බිහි නොවීමෙනි. අප ජීවත් වන යුගය ද ඒ අනුව දඹදෙණි යුගයට සමාන වෙයි. ඒ අනුව කොසබෑ නුවර වහන්දැගේ කලහ වත නූතනයටත් අදාළ වෙයි.

කතාකරුවා කතාව අරඹන්නේ “කලහ කිරීමෙන් වන බොහෝ ආදීනව ද, කලහ නොකිරීමෙන් වන්නා වූ බොහෝ අනුසස් ද හඟවන පිණිස කොසඹෑ නුවර වහන්දැගේ වයිනව කියමු” යනුවෙනි. කලහය සිදුවන්නේ කොසඹෑනුවරය. එහි ඝෝෂක සිටාණන් කළ ඝෝෂිතාරාමයේය. එහි ධර්මධර හා විනයධර භික්ෂූන් දෙපළක් පන්සියය බැගින් වෙන වසති. ධර්මධරයෝ ධර්මය ගැන විමසති. විනයධරයෝ විනය විමසති. එක් දිනෙක ධර්මධරයන්ගේ එක් නමක් වැසිකිළියට ගොස් ශරීරකෘත්‍යය කරවා ඉතිරි වූ ජලය කොටසක් ජල බඳුනෙහි ම තබා එයින් පිටතට පැමිණේ. එහිදි වැසිකිළිවත භාවිතා කළේ නැත. ඉක්බිති විනයධර නමක් ද වැසිකිළිගෙට පිවිසි අතර වළදෙහි තිබූ ජල කොටස දැක පෙර පැමිණි ධර්මධර භික්ෂුව වරදක් කළ බවට මතයක් ගොඩ නගයි. එය ඇවැතක් කිරීමක් ලෙස තර්ක කෙරෙන අතර එහිදී පිරිසුදු වීම පිණිස ඇවැත් දෙස, ගැනීම හා නොකිරීම ආදිය මුල් කොට විවාදයක් හට ගනී. ඒ සඳහා පළ වූ එක් චෝදනාවක් ධර්ම සේන යතිවරයන් ලියන්නේ මෙසෙය්. “මේ ධර්ම කථිකයාණෝ අනුන්ට බණ කියා ඇවිදිනා පමණක් මුත් පාන්කන්ද මුල අඳුරු නොහැරෙන්නා සේ තමන් ආපත්තියට පැමිණි නියාත් නොදනිති” යනුවෙනි. පහන් කනුවක ආලෝකය දසත විහිදෙත් මුත් කනුව මුලට එම එළිය නොවැටේ. එහි ඇත්තේ අන්ධකාරයකි. කතුවරයා මෙවැනි උපමාවකින් අපූර්ව රසයක් කථාවට එකතු කරයි. අවසන විනයධරයෝ ධර්මධර භික්ෂුවට උක්ඛේපනීය විනය කර්මය කළහ. එනම් වෙන් කළහ.

මෙතැන් සිට ධර්මධර විනයධර විරසක බව ඇරඹෙන අතර එතැන් පටන් උපාසක උපාසිකාවෝ ද දෙපක්ෂ වූහ. ඝෝෂිතාරාමයෙහි සමගිය බිඳ වැටුණි. බුදුරදහු මෙහි වැඩමවා සමගි වන්නැයි දෙවාරයක් ම වදාළහ. තෙවෙනි වාරයෙහි ලටුකික ජාතකය ගෙන හැර පාමින් කැට කිරිල්ලක තම බිඩුවට පාගා විනාශ කළ හස්තියෙකුගේ ඇසට කොටා වසුරු දමා ඇස් අන්ධ කරවා ඇතා මරා දැමූ අයුරු කියවෙන ලටුකික ජාතකය ද, වැද්දෙක දමු දල ඔසවා දිවි බේරා ගත් වටු රංචුවක් පසුව එක් වටුවෙකුගේ කකුලක් තවෙකකුගේ වැදීමෙන් ඇති කළ කලහ දුර දිග ගොස් එකෙකු ‍හෝ දැල ඔසවන්නට නොපැමිණීමෙන් වැද්දා සියලු වටුවන් මරා දැමූ ආකාරය කියවෙන වට්ටක ජාතකයද, පුත දීඝායු දුර බලව, ළඟ නොබලව වෛරයන් වෛරය නො සන්සි‍ඳේ අවෛරයෙන් ම වෛරය සංසිඳේ යනුවෙන් පියෙකු කළ කථාවක් අසා දීර්ඝ මරණ වැලක් වලක්වා ලු දීඝායු කුමාරයාගෝ කතාව ඇතුළත් දීඝිත කෝසල ජාතකයත් දෙසා වදාළහ. එයින් සමගි නොවූ කලහකාරීන් වෙතින් ඉවත් වූ බුදුහිමියෝ පාරිලෙය්‍ය වනයට පලා ගියහ.

බුදුහිමියන් සොයන උපාසකවරුනට බුදුන් වනගත වූ බව කියා පෑ ආකාරය ධර්මසේන හිමියන් කියා පාන්නේ “කලහ නම් භයක් ලජ්ජාවක් ඇතිව කරන දෙයක් නොවන හෙයින් ලජ්ජා නැතිව ම කී සේක” යනුවෙනි. කවර තැනෙක හෝ ගැටුම, ලජ්ජ බය නොමැත්තවුන්ගේ ක්‍රියාවක් ලෙස කතුවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙයි. එහෙත් එහි ද ඇත්තේ කරුණාවෙන් කරුණු කියා දෙන ගුරුවරයකුගේ ම විලාසයකි. කෙසේ වතුදු කොසඹෑනුවර උපාසකවරුනගේ විරෝධය භික්ෂුන් වෙත පළ කෙරෙන්නේ විහාරස්ථානයට සියලු දාන මාන රැගෙන ඒම නතර කිරීමෙනි. ආහාර නැති වූ තැන සියලු කැරලි අවසන් බවට සෝපහාසව සහ ව්‍යංග්‍යයෙන් කියා පාන කතුවරයා බුදුන්ගේ වදන ද නොපිළිගත් ධර්මධර විනයධර උඩඟු මතවාදීනට පහර දෙන්නේ සමාව ගන්නට පාරිලෙය්‍ය වනයට ආනන්ද තෙරුන් සමඟ යන භික්ෂුනට තිරිසන් සතුනගේ පවා උපස්ථානයට ලක්වූ බුදුහිමියනගේ ශ්‍රේෂ්ඨත්වය කියාපාමිනි. එහිදී එක් රිළවකු පවා බුදුන්ට මී වද පිළිගන්වා ඒවා පණු පිලවුන් හැර වළඳනු දැක සතුටුව සතුට දරා ගත නොහැකිව ගසින් ගසට පැන යන ගමනේ බිම වැටී මිය ගොස් දිව්‍යරාජයෙකුට උපත ලද අයුරු ද පෙන්වා දෙමිනි. ඒ සියල්ල ධර්මධරයන්ට හා විනයධරයන්ට එල්ල කළ පහරකි.

අනතුරුව බුදුරදුන් පාරිලෙය්‍ය වනයෙන් බැහැරව දෙව්රම් වෙහෙරට වැඩම කළ විට කලහ පිරිසේ දෙපාර්ශ්වය ම බුදුන් වෙතින් ක්ෂමාව ඉල්ලා සිටියහ. එම අවස්ථාව කතාකරුවා දක්වා සිටින්නේ මෙසේය. “කොසඹෑනුවර කලහකාරී වහන්දෑ කොයිදැයි බුදුන් විචාරන සේක. වහන්දැත් මූ ඌද මූ ඌදැයි ඇඟිලි ඇසට පානා සේක. ඒ වහන්දෑත් ආදි වූ ලජ්ජාවටත් වඩා ලජ්ජාව ගොසින් බුදුන් වැඳලා ක්ෂමා කරවු සේක” යනුවෙනි. අනතුරුව කලහයේ ආදීනම දෙපාර්ශ්වයට ම දේශනා කරමින් නුවණැත්තන් කලහයේ අනිටු විපාක දැක එයින් මිදෙන බවත් කිඹුල්වත් නුවර තම ඥාතීන් එක් ලක්ෂ සැට දහසක් සටන් ගඟ රෝහිණී ගංගාව ලේ ගඟක් කරන්නට සූදානම් වූයේ ජලය මුල් කොට බවත් ඔබ ද ජලය මුල් කොට ඇති කර ගත් මේ ඩබරය මෙතැනින් අවසන් නොකළහොත් මරණින් ම අවසන් ම වන බවත් පෙන්වා වදාළහ. දෙපාර්ශ්වය එතැන් පටන් සමගි සම්පන්න වූහ.

ධර්මසේන හිමියන් තම කතාව අවසන් කරන්නේ “සත්පුරුෂයන් විසින් කලහ නමුත් කුසල් සිතකින් කරන දෙයක් නොවන බැවින් අකුසල් නියාව දැන රෑ දුටු වළ දවල් පැනහෙන්නා සේ නොව කුසල්හි හැසිරීමෙන් චිත්ත ශුද්ධිය කටයුතුය” යනුවෙනි.

කලහකරන්නා රෑ දුටු වළෙහි දාවල වැටෙන්නෙකු ලෙස දැක්වීමෙන් ම කතාකරුවා ඉතා ප්‍රබල ප්‍රකාශනයක් කලහයට එරෙහිව ගොඩනංවයි. සියුම්ව කියවා බලන, රස විඳින පාඨකයාට කොසඹෑ නුවර වහන්දෑගේ වත අනිවාර්යෙන් කලහ සිත වළකාලන්නට මග කියන්නා වූ ප්‍රබල ධර්මාභියෝගයකි.

Comments