
2017 නොවැ. 26 වෙනි දින සිළුමිණ සත්මඬලේ අප දන්නා හිතවත් දයාපාල ජයනෙත්ති මහතා විරාගයේ අරවින්ද පිළිබඳ ලිපියක් පළ කර තිබුණි. ඒ ඔක්තෝබර් 22 වැනි දින මා සත්මඬලට ලියූ “නොහැර ගිය විරාගයේ අරවින්ද ජයසේන” නම් වූ ලිපියට පිළිතුරක් හැටියටයි. සංස්කාරකතුමිය මගේ ලිපිය සංවාදයට විවෘත කර තැබීම පිළිබඳ ව මම සතුටු වෙමි. මන්දයත් නූතන පරපුරේ උසස් පෙළ සිංහල විෂය කරන දරුවන් පවා විරාගය දන්නා නමුත් බහුතරයක් එය කියවා නැති හෙයිනි. කියැවූවන්ට ද විරාගය හරිහැටි නොවැටහේ.
විරාගයේ අරවින්ද ජයසේන, කුලසූරිය තැපැල් මහතා, බතී ගම්පෙරළියේ සිට යුගාන්තය දක්වා සිටි තිස්ස මෙන් ම නන්දා අනුලා යළිත් පණ උපදවා අප ඉදිරියට ගෙන ආ යුතු යැයි මම සිතුවෙමි. එහෙයින් කල්ගත වී හෝ දයාපාල මහතා මගේ ලිපියට අදහස් දැක්වීම පිළිබඳව මම සතුටු වෙමි. ඇතැමකු එතුමාගේ ලිපිය නිර්දය සහ දෙන්නම් බැටේ ප්‍රාථමික විචාර කලාවට ළංවන්නේ යැයි කීව ද එය මම නොපිළිගනිමි. එය එතුමාගේ වින්දනයේ සීමාවය. කෙසේ වුවද දයාපාල මහතා වික්‍රමසිංහයන් ගේ නාමය රකිනවා සේ ම අරවින්දව මතක තිබීම ද මට විස්මිත සතුටට හේතුවකි.
දෙන්නම් බැටේ විචාර සම්ප්රදාය ගැන ද, යමක් කිව යුතුය. වික්‍රමසිංහයන් බව තරණය ලියූ පසු දකුණේ ඇතැම් භික්ෂුහු එයට එරෙහි වූහ. යක්කඩුවේ හිමියන් එයින් එක් හිමි නමකි. උන්වහන්සේලා බව තරණය නවකතාව විචාරයට පත් කළේ එතුමාගේ පෞද්ගලික ජීවිතය අපහාසයට පත්කරමින් ය. එසේම එතුමා බුදු දහම පිළිබඳ නොදන්නා තැනැත්තකු සේ හැඳින්වී ය. එය දෙන්නම් බැටේ ප්‍රාථමික විචාර ක්‍රමය යි.
වික්‍රමසිංහයන් අවංකව සිදු කළේ බුදුන් වහන්සේ ගේ උත්තර “මිනිස් ස්වාභාවය” යථාරූපීව දැක්වීම ය. ඒ සඳහා එතුමා හීන යානය සහ මහා යානයේ සූත්‍ර පිටක පරිශීලනය කළේය. සියලු නින්දා අපහාස මැද එතුමා අවසන් වශයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “උන්වහන්සේලාට මාව තේරුම් ගන්න බෑ.”
දයාපාල මහතා ද මට චෝදනා කරන්නේ ය. ඒ අනුව මා විරාගය කියවා නොමැත. මගෙ බස දුබල ය. කියන දේ තේරුම් ගැනීම අසීරු ය. එසේම අමරසේකරයන් සහ තවත් යුරෝපීය විද්වතකුට අනුව අරවින්ද ථෙර ගාථාවක් සේ සම්මත කර අහවර ය.
මේ චෝදනා හේතු කොට ගෙන මගේ සිතේ ශෝකයක් උපන්නේ බාගදා මගේ අපරිණතකම නිසා විය හැකිය.
මට ප්‍රථමයෙන් බේගල්, උපාලි, ජින්නා ලිපිකාර අරවින්ද සහ දොස්තර අරවින්ද හමුවන්නේ හතේ අටේ පන්තිවලදී ය. මෙයින් යුගාන්තයේ අරවින්ද දොස්තර මම ප්‍රිය කළෙමි. එහෙත් විරාගයේ අරවින්ද වැන්නකු ඒ දක්වා මට හමුවී නොතිබුණි. එහි වීර වික්‍රමාන්විත ශෘංගාරාත්මක සිදුවීම් නොවීය. ඒ වන විටත් මා කියවා තිබූ කළු දළමල, රොබින්සන් කෘෘසෝ, ගලිවර් සෝයර්, හකල්බරී, මනුතාපය, සම්පත් දූපත, කොරල් දූපත සහ ආතර් රජුගේ වටමේස නයිටුව වැනි කතාවල අනගි සිංහල පරිවර්තන කියවා තිබූ මට අරවින්ද පිළිබඳව උපන්නේ ළමා ශුන්‍යතාවයි. ඒ චරිතය විග්රහ කිරීමට තරම් දැනීමක් එකල මට නොතිබුණි.
එයින් පසු මා වයසින් වැඩෙන අතර විරාගය විටින් විට කියවද්දී මට හමුවූයේ වෙනස් වෙනස් අරවින්දයෙකි. උසස් පෙළ ජීව විද්‍යා අංශයේ වසරක් උගෙන ඉන්පසු හයවසරක් ආතක් පාතක් නැතිව ඉබාගාතේ ඇවිද යද්දීත් අරවින්ද මගේ සිතින් බැහැර නොවීය. රජයේ පිරිවෙන් උපාධිධාරි ගුරු සේවයෙන් විශ්‍රාම ගොස් අට අවුරුද්දක් ගෙවී යද්දීත් මට අමතක නොවූ චරිත අතර අරවින්ද ද විය.
මා දැන් කියවමින් සිටින්නේ විරාගයේ 2012 මුද්‍රණය යි. 1956 සිට ඒ දක්වා මුද්‍රණ 30 කි. එහි දී නිකුත් කළ පොත් ප්‍රමාණය කොතෙක් දැයි මම නොදනිමි. එහෙත් එහි ප්‍රමාණයේ අඩුවීමක් නිසැකව ම තිබිය යුතුය.
වැඩිහිටි ශිෂ්‍යයකු සේ මා කලා උපාධිය කරන කාලය මෙරට සංවාදාත්මක සුභාවිත කලාවේ සමාප්තිමය කාලය විය. වික්‍රමසිංහයන් එකල පේරාදෙණි ගුරුකුලය සමඟ තනිව හැප්පුණි. “ජපන් කාම කතා හෙවණැල්ල” නම් අනගි කෘතිය බිහිවීමට එය නිමිත්තක් විය.
1956 දී විරාගය ජනගත වීමත් සමඟ ම එහි චරිත අයිති වූයේ භාරකාර මණ්ඩලයට නොව පොදු සහෘදයන්ට ය. ඒ සඳහා මග පෙන්වූයේ විචාරකයන් ය. එය කෝලාහලයක් තරම් ය. එහෙත් පාඨකයා උද්යෝගිවත්ව දැනුවත් වීමට එය හේතු විය.
මේ නිසා 60 - 70 දශකවල කලා ශාස්ත්‍ර පීඨයේ ඉගෙන ගන්නා දරුවන්ට අරවින්ද අපූරු පූර්වාදර්ශයක් විය. සාහිත්‍ය උපාය අපේක්ෂකයන්ගෙන් අරවින්ද වැනි උදාසීන අපිස්වතින් යුතු සගයන් මම දැක ඇත්තෙමි.
අරවින්ද, සරෝජනී සහ බතී කතාවෙන් පසු මා ගියේ ජයලත් ගේ සුගත් සහ දම්මි වෙත ය. ගොළු හදවත ඩීමන් ආනන්දගේ ශත හැත්තෑපහේ පොත් අෙලවිය ද පහත හෙළීය. ‘ගොළු හදවත’ කියවූ ඇතැම් තරුණෙයා් විහින් බූට් කා මත්පැනට ගොදුරු වූහ. ප්‍රථම වරට අපේ ආදරය ආදරණීය කළේ ගොළු හදවතයි. එහෙත් බිඳී ගිය පෙම නිසා සුගත් මත් ලෝලියකු කිරීම ගොළු හදවතේ ඌනතාවක්ද? මෙහිදී අමරසිරි පීරිස් ගයන හන්තානට පායන හඳ ලස්සනයි ද බලන්න යන ගීතය මට සිහිපත් වේ.
දයාපාල මිතුරා අසාවත් නැති මකුණා සහ ප්රංස රස (රති නොවේ) තහනම් කළ පොත් දෙකකි. 60 දශකයේ දී යටිබිම් පාඨකයන් අතර එය ජනප්‍රිය විය. එයින් මකුණා කාන්තාවන් ගේ ඇඳුම්වලට මාරු වී ඔවුන්ගේ ලිංගික කටයුතු පමණක් කියයි. එහි නිර්මාණාත්මක ස්වරූපයක් විය. මේ පොත කියවා තවමත් මතක අය දැන් දැන් හමු නොවන තරම් ය. මෙකල සිල්වා සූරීන්ගේ සුචරිතවත් ඉරණම්වාදී ප්‍රේම කතා තව පැත්තකින් ජනප්‍රියව තිබුණි.
විශ්රාමයෙන් තව තවත් කියවමින් සහ නිර්මාණශීලීව සිතීම හේතුකොට ගෙන මා නොහැර ගිය අරවින්ද යළිත් මට සිහිපත් විය. සැබැවින් ම අරවින්ද කවුරුන් විය හැකිද?
අරවින්දගේ කතාව නිර්මාණශීලීව සකස් කර අපට ඉදිරිපත් කරන්නේ සැමී හෙවත් වික්‍රමසිංහයන් ය. “උපන්දා සිට” ස්වයං ආපදානයට අනුව එතුමාට හැබෑ අරවින්ද හමුවන්නේ පාණදුරේදී ය. මෙහි දී සැමී අපට මෙසේ කියයි.
“ඔහු ළංවන්නේ ථෙර ගාථවෙන් තමා ගේ අධ්‍යාත්මය හෙළි කළ පැරණි තෙර නමකට හෝ..... තවුසෙකුටයි.... මනුෂ්‍ය චරිතය විනිවිද දකින ඉවැසක් ඔහුට වූ නමුදු ඔහු ලෝකයත් ජීවිතයත් ගැන බොළඳ ඇත්තෙකු වූ බව නිසැකය (පිටු 11)
එයට පෙර සැමි අපට මෙසේ ද කියයි. “අරවින්ද ගේ චරිතය කිය වූ පසු ඔහු කවරෙක්දැයි නිශ්චය කළ දැනුමක් මම නොලැබීමි”
“ඔහු කවරෙක් දැයි යන ප්‍රශ්නයට මෙය කියවා අවසානයේ ඔබට උත්තරයක් දෙන්නට පුළුවන් වුවහොත් ඔබ මනුෂ්‍ය ජීවිතයත්, මනුෂ්‍ය චර්තයත් තේරුම් ගත්තෙකු වෙයි” (පිටු 10)
දයාපාල මහතා උරණ විය යුතු නැත. ඒ අයිතිය අපට දී ඇත්තේ සැමී ය. ඒ අනුව අරවින්ද ප්‍රථමයෙන් පරාජිතයකු විය. ඉන්පසු විචාරයේදී අරවින්ද ථෙර ගාථා මුනිවර තත්ත්වයට පත් විය.
මෙහිදී අමරසේකරයන්ගේ ප්‍රකාශය වේද පාඨ්යක් සේ ඒකමතිකව ගත යුතු නැත. කාලය මිනිසා මිනිසාව තේරුම් ගන්නා ආකාරය වෙනස් කරයි.
උයනක හිඳ, කරුමක්කාරයෝ, යළි උපන්නෙමි, ගුරුළුවත ලියූ අමරසේකරයන් අද සොයා ගැනීමට නොහැකි තරම් ය. අද සිටින දේශ ජාති හිතෛශී දොස්තර අමරසේකර මහතා අරවින්ද පිළිබඳව කෙසේ සිතනු ඇති ද?
විරාගයේ බතී පිළිබඳ ව ලියා ඇති දේට එහායින් සබීතා රංගනයෙන් සිනමා සිත්තමේ දී ඒ කාරිය ඉටු කළා ය. මම බතී පිළිබඳ ව තවත් සිතුවෙමි. ඉන්පසු “බතී” නම් වූ කෙටි කතාවක් ම විසින් ලියූ අතර එය සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ පසුගිය වසරේ පළ විය.
එපමණක් නොව ඒ කාලයේදී ම මම “සාදා” නම් කෙටිකතාවක් ද ලියුවෙමි. එය ද සත්මඬලේ පළ වූයේ ය. බතී ගැන ලියන්නට මට අනුබලයක් වූයේ ඇලෙක්සැන්ඩර් කැප්රින් ගේ “රත්මිණි වළල්ල” නම් කෙටි කතාවයි. ගැහැනියකගේ සිතේ ඇති උතුම් සුහද ප්‍රේමය බාගදා පිරිනමන්නේ තම ස්වාමියට නොවේ. එය දිගට ම සතු කර ගැනීමට කිසිම පිරිමියකුට බැරි ය.
චෙකොෆ් ගේ චෙරි උයනේ ප්රවේණිදාසයාගේ ඉරණම අපට නිගමනය කළ හැකි වුවද ගම්පෙරළියේ මහගෙදර ප්රවේණි දාසයා වූ සාදා ගේ ඉරණම අපට නො පැහැදිලි ය. ඒ අනුව මම සාදාව පියල් ලවා ගොඩකවෙල පන්සලකට පිටත් කළෙමි. එයට තිස්සගේත් නන්දාගේත් කැමැත්ත තිබේ. එහෙත් රෝගීව යහන්ගතව සිටින අනුලා තමාගේ තරුණ කාලයේ සිට දුටු සාදා ගේ වෙන්ව යෑමෙන් කම්පාවට පත් වේ.
අවශ්‍ය නම් “නො කියවා” වික්‍රමසිංහයන් ගේ නිර්මාණවල චරිත සොරා ගෙන මා නිර්මාණය කළ ඒ කෙටි කතාවන් හි මුද්‍රිත පිටපත් ඔබ තුමට ලබා දිය හැකිය. ඒ පිළිබඳ ව ඔබතුමා දක්වන ප්‍රතිචාරය මාහට අමන්දානන්දයට හේතුවන බව ද මම දනිමි.
වික්‍රමසිංහයන් ගේ කෘති අතුරින් ශාස්ත්‍රීය ලියවිලිවල ඇති ඇතැම් නිගමන දැන් අපි නොපිළිගන්නෙමු. එතුමා සතුව පැවැති අනන්ත නිර්මාණ ශක්තිය සමඟ විද්‍යාව බුදු දහම සහ මිනිස් සිතේ ස්වභාවය බොහෝ දැන සිටියත් එතුමා ගේ ඉතිහාස නිගමන ශක්තිමත් නොවේ.
මහ පොළොවේ සිහි කල්පනාව ඇති සියලු මිනිසුන් මෙහෙයවන මහා පොදු සාධකය වන්නේ “ලිංගිකත්වය ය” යන මතය දැන් මම පිළිගතිමි. අරවින්ද මාර්ග ඵලලාභියෙක් නොවී ය. බෝ සතාණන් ගේ අවසාන පාරමිතාව වූ වෙස්සන්තර ආත්මයේදීත් එතුමාට ලිංගික ජීවිතයක් විය. ජාලිය ක්‍රිෂ්ණජිනා එහි ප්රතිඵලයකි. සිදුහත් කුමරුගේ ලිංගික දිවිය රාහුල කුමරුත් කිසාගෝතමියගේ නිබ්බුත පදත් අපට කියා දෙයි.
අරවින්ද ථෙර ගාථාවකට ළංවන්නේ අතපය දුබලව සිහිකල්පනාවෙන් ගිලන් ව ඇඳේ වැතිර සිටියදීය. එහෙත් එය ලෞකික සමාධිය මිස ලෝකෝත්තර සමාධියේ සමාප්තිය නොවේ. එහෙත් ඔහු ඒ තැනට රැගෙනා ආ ඔහු ගේ පූර්ව ලිංගික දිවිය කෙබඳුවන්නට ඇද්ද? එසේ විමසීම සංස්කෘතියේ ඊනියා විළිබිය තිරයෙන් වසා දැමිය යුතු ද? දයාපාල මහතාට අවශ්‍ය නම් අරවින්දගේ ගේහ සිත පිළිබඳ ව පරමත්ථ දේශනා ඇසුරින් අපට සාකච්ඡා කළ හැකිය. එතුමා, මගේ මතවාදයේ මේ ප්රමුඛ සාධකය මඟ හැරියේ ඇයි?
ඔබ ලිපිය අවසන් කිරීමට පෙර තවත් අපූරු කියමනක් දක්වයි. ඒ අනුව විරාගය නවකතාව බිහි වී 61 වසරක් ගත වුවද එයට ළංවිය හැකි එක ම නවකතාවක් වත් බිහි වී නැත.
නිධානය රකින නාගයා දන්නේ තමන් රකින නිධානයේ තරම පමණි. දයාපාල මහතා එසේ නොවිය හැකිය. එහෙත් වික්‍රමසිංහයන් ගේ සමකාලීනයන් සහ පශ්චාත්ගාමීන් එතුමාට විෂය නොවුණු ඉසව් සාර්ථකව ලියා ඇත්තේ ය. සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුමිත්‍රා රාහුබද්ධ ආදීන්ගේ නිර්මාණ විවිධ ක්ෂේත්රයන්ගෙන් විරාගය පසුකර තිබේ.
විරාගය වූ කලී මනමේ සහ රේඛාව වැනි ය. ඒ හැරවුම් ලක්ෂ්‍යයන් ය. ඒ නිසා එය බුද්ධිමත් සහෘදයන්ට පමණක් විෂයට විය. පශ්චාත්ගාමීන් ද විශිෂ්ට වූ බව සැබෑ ය. එයට මඟ පෙන්වූයේ විරාගය ප්‍රධාන අර නිර්මාණ ය.
විශේෂයෙන් සාහිත්‍යකරුවන් පිළිබඳ භාරකර මණ්ඩල ඒ උත්තමයන්ගේ පොත් පළ කිරීමටත් වාර්ෂිකව ප්‍රතිමාවට මල් මාලයක් දමා හේ ගිය උත්සවයක් පැවැත්වීමටත් හැමදාම එක ම දේ ඇති ලිපි දෙක තුනක් පළ කිරීමට පමණක් ලඝු නොවිය යුතුය. ඒ පිළිබඳ ව නිරන්තර සංවාදයන් ඇති කළ යුතුය. එසේ නැතුව සුහද සිතින් ඒ කෘති පිළිබඳ ව අලුතින් සංවාද කරන්නන් බැණ අඬ ගසා පන්නා දැමීම නොකළ යුතුය.
නැතහොත් තව කලක් ගතවන විට ඒ උත්තමයන්ගේ අනුස්මරණ උත්සව හතර පස් දෙනෙකුගේ ලේ දන්දීමකට පමණක් සීමාවනු ඇත.