මළගිය ආත්ම රජයට විකුණූ මිනිහෙක් | Page 2 | සිළුමිණ

මළගිය ආත්ම රජයට විකුණූ මිනිහෙක්

පොතක මහිම, ඒ කියන්නේ හොඳ පොතක මහිම, කියන්නට පොත් කිහිපයක් ලියුවත් මදිය. මන්ද යත්, ලොවේ හැම කල්හිම හොඳ පොත් අ‍ාශ්චර්යවත් නිර්මාණ වන හෙයිනි. තමා සතු හැම හොඳ දෙයක් සම්බන්ධයෙන්ම, තමා ණයගැති වන්නේ පොත්වලට යැයි මක්සිම් ගෝර්කි පැවස‍ුවේ ඒ නිසා ය.

හරියට කියවා ගත්තොත්, කියවා ගත් දේ හරියට දිරවා ගත්තොත්, අප කාට කාටත් ණයගැති වන්නට සිදුවන පොතක් ගැන පුංචි සටහනක් තබනු රිසියෙන් මම මෙසේ ලියමි.

ඒ පොත නිකොලායි ගොගොල්ගේ “මළ මිනිස්සු” ය. ගො‍ගොල්ගේ රුසියානු පි‍ටපතේ නම මා දන්නේ නැත. එහෙත් එය කතුවරුන් කිහිප දෙනෙකු අතින් ම ඉංගිරිසියට නැඟුණේ Dead souls යන නමිනි. එය හරියටම සිංහලට නැඟුවහොත් කියන්නට සිදුවන්නේ “මළ ආත්ම” කියාය. මගේ මතකයේ හැටියට මේ අපුරු නවකතාව ගැන මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කළ අවස්ථාවලදී ඔහු එය හඳුන්වා තිබුණේ. “මළ පෙරේත අ‍ාත්ම” කියාය.

“මළ මිනිස්සු” අමුතු තාලයේ පොතක් වන්නේ, එය අවසන් නොකළ නවකතාවක් වන නිසාය. ඉංගිරීසිය ඇතුළු ලෝකයේ නොයෙක් භාෂාවන්ට අනුවාදය වී ඇතද, අදත් තුන්වැනි ලෝකයේ නොයෙක් භාෂාවන්ට අනුවාදය වී ඇතද, අදත් තුන්වැනි ලෝකයේ නොයෙක් භාෂාවන්ට අනුවාදය වෙමින් පැවැතියද, මේ නවකතාව අසම්පුර්ණ කෘතියකි.

ගොගොල් මේ නවකතාව අවසන් කළාදැයි දන්නා කෙනෙක් නැත. ඔහු එය අවසන් කෙළේ නම්, මුල් පිටපතේ අවසාන භාගය සොයාගත් කෙනෙක්ද නැත. මේ නවකතාව අවසන් නොවුණාට එයින් පැවසෙන සන්දේශය ප්‍රබලය.

මේ වූකලී මහා සම්ප්‍රදායට අයත් වන සම්භාව්‍ය ගණයේ සාහිත්‍ය කෘතියක් බව සාහිත්‍යවේදීනගේ පිළිගැනීමයි.

ෙම් නවකතාවේ අනෙක් විශේෂත්වය නම්, එය දෙතුන් වතාවක් ඉරා දමමින්, පුලුස්සා දමමින් ලියන ලද කෘතියක් වීමය.

සාහිත්‍ය යනු තමාගේ හෘදයසාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් බව ව‍ටහාගෙන ලියු අති විශේෂ ලේඛකයකු හැටියට ‍ගොගොල් ‍ලෝක සාහිත්‍යයට එක්වෙයි. “රහස් කොමසාරිස්” වැනි නාටක ඇතුළු ගොගොල්ගේ මුල් කෘතීන් සියල්ල, සමාජය විවේචනය කරමින් ලියන ලද හාස්‍යෝත්පාදක නිර්මාණ විය. මෙයද එවැන්නකි.

එතෙකුදු වුවත්, පොත ලියාගෙන යන අතරතුරේදී ගොගොල් මානසික විපර්යාසයකට ගොදුරු වෙයි. අන්තිමේදී උමතු දේවවාදියකු වන තැන දක්වා වැටුණු ගොගොල්ගේ ආධ්‍යාත්මික විමතියද ෙම් නවකතාවේ අවසාන භාගය කෙරෙහි බලපෑවේය. ඔහුට ෙම් නවකතාව ඉරමින්, ඉවත දමමින්, පුලුස්සා දමමින් සකස් කරන්නට සිදු වුයේ ඒ නිසාය.

“මළ මිනිස්සු” අපූරු සාහිත්‍ය කෘතියක් වන්නේ, අන්තිමේදී එය එහි නිර්මාතෘ විසින් ප්‍රතික්ෂේප කළ ද, මුළු මහත් මානව ප්‍රජාව විසින්ම භාරගත් සාහිත්‍ය රත්නයක් වීම නිසාය.

සාහිත්‍ය ලෝකයේ එවැනි දේවල්ද සිදුවෙයි. තම නිර්මාණවලින් තෘප්තිමත්ව සිටි ලේඛකයා කවරෙක්ද?

“මළ මිනිස්සු” සාහිත්‍ය ලෝකයේ දුර්ලභ නිර්මාණයක් හැටියට අපට පිළිගන්නට සිදුවන්නේ, ඒ හැම කාරණයකටම වැඩියෙන් එහි කථානායකයා නිසාය.

ගොගොල්ගේ වීරයා චිචිකෝෆ් නමැති අණ්ඩපාල, අනාදි, නොම්මර එකේ ලෝක හොරෙකි. චිචිකෝෆ් නමැති මේ මිනිහා කරන්නේ කුමක්ද ? චිචිකෝෆ් කරන්නේ ඉඩම් හිමි රදළයන්ට අයිතිව සිටි මළ දාසයන් ආණ්ඩුවට විකුණා, වංචාවෙන් මුදල් හම්බ කරන්නට වෑයම් කිරීමය.

ගොගොල් වූ කලී සම්භ්‍යාව්‍ය රුසියානු ලේඛක පරපුරට අයත්ව සිටි මුල්ම ලේඛකයෙක් විය. ඔහු පුෂ්කින්ට බාල වුයේ අවුරුදු දෙක තුනකින් පමණි. රුසියානු කාව්‍යයෙහි පුරෝගාමියා, ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වන තරමටම, නිකොලායි ගොගොල් රුසියානු නවකතාවෙහි පුරෝගාමියා විය. දෙදෙනාම ප්‍රාණසම මිත්‍රයෝද වුහ.

ස්වකීය කල්‍යාණ මිත්‍ර පුෂ්කින්ගෙන් ගොගොල් ලැබූ අනර්ඝතම ත්‍යාගය වූයේ ‘මළ මිනිස්සු’ නවකතාවේ වස්තු බීජයයි. එකරුණ හෙළි කරමින් ගොගොල් මෙසේ පවසයි.

“අන්තිමේදී තමා මහා කාව්‍යයක් රචනා කිරීමට වස්තු බීජය වශයෙන් තබා ගෙන සිටි කතාවක් පුෂ්කින් මට කීවේ ය. ඒ කතාව මා හැර අන් කිසිවකුට නොදෙන බව ද ඔහු වැඩි දුරටත් කීය. එය ‘මළ මිනිස්සු’ පිළිබඳ මේ කතාවයි”

පුෂ්කින්ට ද මළ මිනිස්සු පිළිබඳ කතාව අසන්නට ලැබුණේ ඔහුගේ මිත්‍රයකුගෙනි. දිනක් මොස්කව් නුවර තුරඟ තරගයකට සහභාගි වු පුෂ්කින්ට එහිදී මිත්‍රයෙක් හමු විය. මේ මිත්‍රයා පුෂ්කින්ට, ජේත්තුවට ඇඳ පැලඳගත් මහල්ලකු පෙන්නා ඔහු මළ මිනිසුන් මිලයට ගෙන අනතුරුව රජයට උගස් තබා විශාල ධනයක් හම්බ කළ හැටි කීය. “මේක ලස්සන නවකතාවක්; ලියන්න සුදුසු කතාවක්” යයි කියමින් පුෂ්කින් හඬ නඟා සිනා සුණේය.

ගො‍ගොල් ගේ පරිකල්පනය තුළ රෝපණය කරන ලද මේ බීජය වැඩෙමින් මල් පල දරන්නට විය. මළ මිනිසුන් උගස් තබා පොහොසත් වූ මිනිසකු ගැන කතාවක් ඔහුට ද ගමේදී අසන්නට ලැබිණි. මෙවන් කතා ඇතොත් තමාට ලියා දන්වන ලෙස ඔහු හිතමිතුරන්ට ලියා යැව්වේය. “ මේක දිග හාස්‍යජනක නවකතාවක් ලියන්න හොඳ විෂයයක්. ම‍ට මගේ වීරයාත් සමඟ රුසියාව පුරා යමින් රුසියන් ජන ජීවිතයේ හැම පැතිකඩක් ම විස්තර කරන්න පුළුවනි. මුළු රුසියාවම නවකතාවෙන් පිළිබිඹු වෙනවා ඇති. මට අපුරු චරිත ටිකක් නිරූපණය කරන්නත් පුළුවනි.” ගොගොල් කීය.

1835 දී නවකතාව ලියන්නට ආරම්භ කළ ගොගොල් එ් වර්ෂය අවසානයේ දී පළමු වන කෙටුම්පත පුෂ්කින්ට කියෙව්වේ ය. “......මම නවකතාවේ පළමු වන කෙ‍ාටසේ මුල් පර්ච්ඡේද කීපය පුෂ්කින්ට ඇසෙන්නට කියෙව්වෙමි. පුෂ්කින් සිනාසීමට කැමති පුද්ගලයෙකි. වෙනදා මා කියවන දෙය අසා සිනාසෙන පුෂ්කින් මෙදා නිහඬ විය. අනතුරුව ශෝකාකූල විය. අන්තිමේදී ඔහුගේ මුහුණ අඳුරු විය. මා කියවා අවසන් වු පසු ‘අනේ දෙයියනේ අපේ රුසියාව කොතරම් දුක්මුසු තැනක්ද! යි ඔහු විඩාපත් කටහඬකින් කීය. මගේ නවකතාව නිසා පාඨකයන් තුළ සිත් වේදනාවක් ඇති වන බවත්, ඒ සිත් වේදනාව අඩු කළ යුතු බවත්, මම ඒ අවස්ථාවේ දී තේරුම් ගතිමි.”

ස්වකීය මහා නවකතාව සඳහා ගොගොල් තෝරාගත්තේ චිචිකොෆ් නමැති අමුතුම චරිතයකි. මේ මිනිහා සමාජයේ ලොකු මිනිසුන‍්ගේ හිත දිනාගැනීමට සමත් අතිදක්ෂ අනාදියෙකි. ඔහු ගැන ගොගොල් මුල් අවස්ථාවේදීම අඳින චරිත සිත්තම මෙසේය.

හෙතෙම දුටු දුටු අය ගේ සිත් ගැනීමෙහි සමත් විය. බොහෝ දෙනෙක් ඔහු පිළිගත්තේ උගතකු හැටියටය. ඊට හේතු වුයේ ඔහුට හැම විෂයයක් ගැන ම කතා කළ හැකි වු හෙයිනි. ගව පට්ටි ගැන කතා බහක් ඇති වුවහොත් ඔහු ගේ දැනුම ඉතා පුළුල් විය. තමා නීතියෙහි ඇති නොයෙක් ප්‍රයෝගයන්ට අමුත්තකු නොවන බව ඔහු හැඟෙව්වේ මිනිමැරුම් නඩුවක් ගැන ප්‍රකාශයක් මතු වු විට ය. බිලියඩ් ක්‍රීඩාව ගැන සාකච්ඡාවක් ඇති වු විට ඔහු ඊට ද සහභාගි විය. පරාර්ථ සේවය ගැන ඔහු ව්‍යක්ත දෙසුමක් කළේ දෑසෙහි පිරුණු කඳුළින් යුතුව ය. මත්පැන් පෙරීම ගැන ද ඔහුට මනා දැනුමක් තිබිණි. ඔහු සිවිල් සේවය ගැන කී කරුණු අසා සිටි අය ඔහු සිවිල් නිලධරයෙක් ව සිටින්නට ඇතැයි සිතන්නට ඇත. හෙතෙම විනීතබවත් සමඟ තම වැදගත්කම පෙන්නු සැටි නම් ඉතා විශිෂ්ට ය; අපුරු ය! වඩා උස් හඬිනුත් නොව, පහත් හඬිනුත් නොව ඔහු කතා කළේ තැනට උචිත ප්‍රමාණයට සකස් කළ කටහඬිනි. මෙසේ හැම දෙයකින් ම පිරිපුන් මේ මඟියා සම්භාවනීය පුද්ගලයකු ලෙස පිළිගනු ලැබීම පුදුමයක් නොවේ. හැම නිලධරයෙක් ම ඔහු ගැන පැහැදීමක් ඇති ව සිටියේය. දැන උගත්කමින් පමණක් නොව ඔහු හැම දෙයකින් ම පිරිපුන් මහතකු බව ආණ්ඩුකාරතුමා විසින් කියන ලදී. ඔහු ක්‍රියාශීලී පුද්ගලයකු බව පවසන ලද්දේ රජයේ චෝදකයා විසිනි. ආරක්ෂක හමුදාවේ සේනාධීනායක තුමා චිචිකෝෆ් උගතකු බව කීය. ඔහු වැදගතකු පමණක් නෙ‍ාව ගුණවතකු බව ද කියන ලද්දේ පොලිස්පති විසිනි. චිචිකෝෆ් කරුණාවෙන් පිරි හදවතක් ඇත්තකු බව පොලිස්පතිතුමාගේ බිරිය කීවාය. වෙනකක් තබා කිසි කලක කිසි ම කෙනෙකු ගැන කිසිම හොඳක් නොකියන සොබාකිවිච් පවා එදා රෑ ඔහුගේ දර ඉපලක් වැනි සිහින් බිරියත් සමඟ සයනයට වැටී නිදා ගැනීමට සුදානම් වන අතර චිචිකෝෆ් ගැන මෙසේ කීවේ ය.

“මගේ පරෙවි ධේනුව! අද මා සවස් කාලය ගත කෙළේ ආණ්ඩුකාරතුමා සමඟයි. රාත්‍රී‍ භෝජනය ගත්තේ පොලිස්පතිතුමා ගේ ගෙදරිනුයි. එහි දී මට පැවල් ඉවාන්නොවිච් චිචිකෝෆ් නමැති බොහොම හොඳ වැදගත් මහත්මයකු හැඳින ගැනීමට ලැබුණා.”

චිචිකෝෆ් මුදල් ඉපයීම සඳහා සොයා ගන්නා අපුරු උපක්‍රමය, එද‍‍ා සාර් රුසියාවේ ඉඩම් හිමියන් සතුව සිටි මිය ගිය දාසයන් මිලට ගැනීමය. ඒ සඳහා එදා මුළු රුසියාව පුරාම අැවිදියි. ඇත්ත වශයෙන්ම පෙ‍ාතේ කතුවර ගොගොල් විසින් ඇවිදවනු ලබයි.

මැරුණු දාසයන් මිල දී හෝ මිලක් නොගෙවාම හෝ ලබාගැනීමේ සුත්‍රය නිසාවෙනි, චිචිකොෆ් නමැති මේ ආනාදි චෞරයා ලෝක සාහිත්‍යයට එකතු වන අපුර්වතර චරිතයක් වන්නේ.

මළ දාසයන් මිලට ගන්නට ඔහු රුසියාව පුරාම කළ චාරිකාවේ තතු ඊළඟ සතියේදී කතාබහට ගනිමු. 

Comments