
‘හරි වහරෙහි’ ලා අද ද විමැසුමට ලක් වන්නේ සංස්කෘත තත්සම කිහිපයෙකි. එ මෙන් ම සංස්කෘතය ඇසුෙරන් තනා ගැනුණු වදන් කිහිපයෙකි.
1. ජාත්‍යන්තර - සිංහල භාෂාවෙහි ඉතා බහුල වැ යෙදෙන අපව්‍යවහාර (වැරැදි වහර) අතුරින් මුල් තැනෙහි ලා සැලැකිය හැකි වදනෙකි. මේ ඉතා දිගු කලක් තිස්සේ පොත්පත්, පුවත්පත් ආදී මුද්‍රණ මාධ්‍යවලින් මෙන් ම විද්‍යුත් මාධ්‍යවලින් ද මේ අපව්‍යවහාරය ප්‍රචාරය කරනු ලැබේ. ඒ බහුල භාවිතය නිසා ම මෙය සාධු සම්මත කොට ගැන්මට ද ඇතැමෙක් තැත් දරති. බහුල භාවිතය නිසා වරද තවත් දැඩි වනු විනා එය නිවරද නොවන බව ඔවුනට නොපෙනීම අභාග්‍යයෙකි.
මෙහි වරද වනුයේ ශබ්දයෙහි හෝ රූපයෙහි හෝ නො ව, අර්ථයෙහි ය. ජාත්‍යන්තර යන්න විභේදනය කොට විග්‍රහ කිරීමෙන් එ බව මනා ව වටහාගත හැකි වෙයි. මෙය නිපැදෙනුයේ සංස්කෘත භාෂාවෙහි ‘ජාති’, ‘අන්තර’ යන දෙක සන්ධි වීමෙනි. ජාති යන්නෙන් වර්ගය යන අරුත ද ගැනෙන නමුදු මෙහි ලා මනුෂ්‍ය වර්ග ම ගැනේ. ‘අන්තර’ යන්නෙන් මෙහි ලා ගත හැක්කේ නොයෙක්, බොහෝ වැනි අරුත් ය. එ නයින් ගත් කල්හි ‘ජාත්‍යන්තර’ යන්නෙන් ලැබිය හැකි ‘නොයෙක් ජාතීහු, බොහෝ ජාතීහු’ යන අරුත් ම ය. එ වුව ද අද්‍යතන සිංහලයේ මෙය යෙදෙනුයේ ‘ජාතීන් අතර’ යන අරුත දෙනු පිණිස ය. වරද වන්නේ එ තැන්හි ය. අතර යන අරුත දෙනු පිණිස යෙදිය යුත්තේ සංස්කෘතයේ ‘අන්තර්’ යන්න යි. එ හෙයින් ජාතීන් අතර නොහොත් ලෝක මට්ටමේ ය. අරුත දීමට නම් ‘අන්තර්ජාතික’ යන වදන යෙදිය යුතු ය. ඉංගිරිසියෙහි එන ‘international’ යන්නෙහි අරුත ඉඳුරා ලැබෙනුයේ ඒ අන්තර්ජාතික යන්නෙනි. මෙ සේ නිවැරැදි අරුත් සරු වදනක් තිබියදීත් ‘ජාත්‍යන්තර’ යන අපව්‍යවහාරය ම භාවිත කිරීම සිංහලයෙහි මහත් අභාග්‍යයෙකි.
ජාත්‍යන්තරය, ජාත්‍යන්තර වශයෙන් වැනි යෙදුම් අන්තර් ජාතික යන්නෙන් නිපදවාගත නොහැකි යැයි ඇතැමුන් කියතුදු ඒ සැබෑවක් නො වේ. අන්තර්ජාතිකත්වය, අන්තර්ජාතික වශයෙන් ඈ ලෙසින් එබඳු යෙදුම් නිපදවා ගත හැකි යි.
මෙ බඳු අපව්‍යවහාර වහ වහා නිවැරැදි කළ වහරෙහි තිර වූ විට නිවැරැදි කිරීම ඉතා අපහසු වන බැවිනි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වැනි යෙදුම් අන්තර්ජාතික යන්න යොදා ඉතා පහසුවෙන් නිවැරැදි කැරගත හැකි ව තිබිය දීත් එසේ නො කරනුයේ ආචීර්ණකල්පය ම සත්‍යය යැයි සිතන හෙයින් විය යුතු ය.
කාලාන්තර (බොහෝ කල්), දේශාන්තර (බොහෝ දේශ) වැනි යෙදුම් හා සසඳා බලන කල්හි ජාත්‍යන්තර යන්නෙහි සාවද්‍යතාව මැනැවින් වැටැහෙනු ඇත.
2. ජාත්‍යන්ධ - මේ සංස්කෘත තත්සමය නිපැදෙනුයේ ජාති + අන්ධ යන දෙවදනෙහි සන්ධියෙනි. ති + අ = ත්‍ය විනා ‘ත්‍යා’ නො වේ. එ හෙයින් ජාත්‍යාන්ධ යන්න සාවද්‍ය ව්‍යවහාරයෙකි. ජාත්‍යන්ධ යනු ම නිරවද්‍ය වේ. අරුත ‘උපතින් ම අන්ධ’ යනු යි.