ස්මාර්ට් දුරකථනය හරිහැටි භාවිත කරන්නේ කොහොමද? | Page 5 | සිළුමිණ

ස්මාර්ට් දුරකථනය හරිහැටි භාවිත කරන්නේ කොහොමද?

 ලොකු ගාණක් දීලා නම්බර්පෑඩ් එකක් තිබෙන දුරකථනයක් වෙනුවට ටච් කරන්න පුළුවන් ස්මාර්ට් දුරකථනයක් ගත්තාට ඉන් ඔබ උපරිම ප්‍රයෝජනය ගන්නේ නැත්නම් මේ ලිපි මාලාවෙන් ඒ සඳහා හොඳ අත්වැලක් ඔබට ලැබේවි. පසුගිය අවස්ථාවේ කථා කළ බැටරිය සම්බන්ධ සැකසුම්වලින් අනතුරුව දුරකථනයෙන් භාෂා සහ දින සැකසුම් අඩංගු ජෙනරල් (General) හෝ ඇඩ්වාන්ස්ඩ් (Advanced) සෙටිංස් යන මෙනු අයිතමය දකින්නට ලැබෙනවා. මෙය විවිධ දුරකථන වල තිබෙන්නේ විවිධ නම්වලින්. මෙය තුළට පිවිසුණු විට ඩේට් ඇන්ඩ් ටයිම් (Date & Time) ලෙස සඳහන් විධානයක් තිබෙනවා. එය ටැප් කළවිට නව තිරයක් ලැබෙන අතර එහි ඇති ඔටෝමැටික් ඩේ⁣ට් ඇන්ඩ් ටයිම් (Automatic Date & Time) යන්න සක්‍රිය කිරීමෙන් ස්වයංක්‍රීයව දින සහ වේලාව සැකසුම් ඔබට ලබා ගන්නට පුළුවන්. මෙය ක්‍රියාත්මක වීම සඳහා ඔබ සිම්පතක් ඇතුලත් කර තිබිය යුතුයි. එවිට එමඟින් දුරකතන ජාලය භාවිතයෙන් හෝ අන්තර්ජාලය භාවිතයෙන් පද්ධතිය සඳහා දිනය සහ වේලාව සැකසුම් ලබාගන්නවා. එය අක්‍රීය කර ඔබට අවශ්‍ය නම් ඊට පහතින් ඇති සෙට් ඩේට් සහ සෙට් ටයිම් යන සැකසුම් භාවිතා කරමින් ඔබටම දින සහ වේලාව සැකසුම් ලබාදෙන්න පුළුවන්. ඔබට පැය 24 ඔරලෝසුවේ ආකාරයෙන් දුරකථනයේ වේලාව බලා ගැනීමට අවශ්‍ය ඊට පහතින් ඇති Use 24-hour format යන සැකසුම සක්‍රීය කරගත හැකියි.

ඉහත කී ඇඩ්වාන්ස්ඩ් සෙටිංස් හි ඇති Language & input මෙනු අයිතමය තුළට පිවිසුනු විට දුරකථන අතුරුමුහුණතේ භාෂාව වෙනස් කිරීමත්, ඔබ භාවිතා කරන යතුරු පුවරු ලයිස්තුව සහ ඒවායේ සැකසුම් සැකසීම සඳහා වූ විධානයන් ද දැකගන්නට පුළුවන්. බොහෝ නූතන සහ අපගේ කලාපයට සකසන ලද දුරකතනවල සිංහල භාෂාවද අතුරු මුහුණත වශයෙන් ලබා ගැනීමට පුළුවන්. මේ ඇඩ්වාන්ස්ඩ් සෙටිංස් මෙනුවේම හෝ ප්‍රධාන සැකසුම්වල Backup & Reset ලෙස සැකසුමක් ඔබට දකින්නට ලැබේවි. ඒ තුළට පිවිසුණු විට ඔබගේ දුරකතනයේ ඇති දුරකථන නාමාවලිය සහ දුරකථනය ඔබ දැනට කර ඇති සැකසුම් ඔබගේ google ගිණුමේම උපස්ථ කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. මෙය සාමාන්‍යයෙන් පෙරනිමි වශයෙන්ම සක්‍රීය වී තමයි තිබෙන්නේ. නමුත් එය පරීක්ෂාකර බලා සක්‍රීය කර ගැනීමෙන් ඔබ වෙනත් දුරකථනයක් මිලදී ගත්තද ඒ සඳහා ද ඔබට මේ දුරකථනයෙහි තිබෙන සැකසුම් නැවතත් ලබා ගැනීමට මේ විධානය බෙහෙවින් උපකාරී වෙනවා.

අපි මීළඟ අවස්ථාවේ සැකසුම්වල අවසාන අංගය සහ එය තුළ සැඟවී ඇති පරිගණක ක්‍රීඩාව ද සාකච්ඡා කොට දුරකථනය අනෙකුත් දේවල් ගැන කතා කරමු.

තඹරු විජේසේකර

Comments