
උදෑසන ම අවදි වී දවස ආරම්භ කළ පසු ඒ දිනයේ කටයුතු උපරිම හොඳින් ඉටු කිරීමට කැපවීම මා කුඩා කල තුබූ පුරුද්දකි. දහවල් වන විට ඒ උනන්දුව දියාරු වීමට කටයුතු සැලසෙන බැවින් එය පහසු කටයුත්තක් නොවීය. එකල මා චරිත කතා කියැවීමට යොමු වී තිබුණු කාලයකි. යම් හෙයකින් මා මළ පසු කිසිවෙකු මගේ කතාව ලියුවහොත් ඇදක් කුදක් නැතිව සියල්ල නූලට රූලට තිබිය යුතුය. හැම මොහොතක්ම පාඨකයින් රැසක් මා දෙස බලා සිටින්නාක් වැනි හැඟීමක් එකල විය. නොදරුවකු ලෙස එසේ සිතුවත් කාලයාගේ ඇවෑමෙන් යථාවබෝධය ලැබෙන විට මම ඒ කල්පනාව අත් හළෙමි. තවමත් ඉපදී නැති පාඨකයකු වෙනුවෙන් මේ දුක විඳින්නේ ඇයි?
අපට සෑම පැය විසි හතරකට වරක්ම අලුත් උදෑසනක් ලැබේ. උදෑසනක් යනු අලුත් වැඩක් ආරම්භ කිරීමට සුදුසු ම මොහොතකි. අප කුඩා කාලයේදී දෛනික වශයෙන් තිබූ මෙහෙයුම් පසුව සතිපතා හෝ මාස්පතා වශයෙන් විශාල වෙයි.
ජීවිතය මාසික ලෙස ගෙවී යද්දී මෙවැනි ආරම්භක අවස්ථා සුලබ නොවේ. විශේෂයෙන් ම විභාගවලට පාඩම් කිරීමට සිදු වූ විට කාමර උෂ්ණත්වය ඉහළ යාම හෝ පහළ යාම, සුළඟේ වේගය ආදිය පවා බලපාන නිසා පාඩම් කිරීම ඇරඹීම අසීරුය. ඒ හැරුණු කොට පළමුවැනිදාවක් ලැබෙන්නෙ දවස් තිහකට වරකි.
කාර්ය බහුල වූ විට ජීවිතය ගෙවී යන්නේ වාර්ෂික වශයෙනි. එවිට පළමුවැනිදාවක් ලැබෙන්නෙ දවස් තුන්සිය හැට පහකට වරකි.
ජනවාරි පළමුවැනිදා යනු බොහොමයක් දෙනාට අනුව හොඳ ආරම්භයක් ලබා ගැනීමට ගැළපෙන දිනයකි. ඒ දින දසුනේ මුලින්ම සටහන්ව ඇති දිනය නිසාය. හිතවතුන් සුබ පතන දිනය නිසාය. එදිනට අලූත් ඉරක් පායන නිසාය. තිරිසන් සතුන්ට පවා හිංසා වන සේ රතිඤ්ඤා දල්වා වැඩ ආරම්භ කිරීමට තරම් උත්සවශ්රීයක් ඇති නිසාය. ඒ දින එළඹෙන තුරු බොහෝ අය බලා සිටිත්.
ඕනෑම කටයුත්තකට අදාළව මිනිස්සු කරන වැරැදි දෙකක් තිබේලූ. එනම් එම කාර්යය අවසානය දක්වා අඛණ්ඩව කරගෙන නොයෑම සහ එම කාර්යය ආරම්භ නොකිරීමයි.
ඕනෑම කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි නම් දරා සිටින්නෝ වෙමු. ජනවාරි පළමුවැනිදා කී දෙනෙක් නම් එලෙස තමන්ගේ කටයුතු ආරම්භ කරනවාද? සමහරු දුම් පානය අතහැරීම, සුරා පානය අතහැරීම ආදිය සඳහා ජනවාරි පළමුවැනිදා එළැඹෙන තෙක් බලා හිඳිති. යහපත් ආරම්භයක් ලබා ගත්තත් කාලය ගතවෙද්දී නොයෙක් හේතු නිසා ඒ තීරණය එහා මෙහා කරන්නට සිදුවෙයි. ඉන්පසු ඔවුහු ඒ දුම් පානය හෝ සුරා පානය නැවතත් අතහැරීමට දින තුන්සිය හැට පහම ගතවී තවත් ජනවාරි පළමුවැනිදාවක් එළඹෙන තෙක් බලා සිටිති.
බුද්ධ දේශනාවට අනුව නම් හොඳම වෙලාව මේ මොහොතයි. දින දර්ශනයේ පෙන්නුම් කරන දිනයකට ඒ තීරණය කරන්නට ඉඩ නොදෙමු. කළ යුතු දෑ මේ මොහොතේ ම පටන් ගනිමු. සෑම පසුබෑමකින් අනතුරුව තවත් ආරම්භ අවස්ථාවක් අපට ලැබේ. දින දර්ශනය පසු කර ඉදිරියට යමු!
දර්ශන කරුණාතිලක