ලෙඩ ‍‍ගොඩකට සුවය ගෙනෙන චීන බෙහෙත් | සිළුමිණ

ලෙඩ ‍‍ගොඩකට සුවය ගෙනෙන චීන බෙහෙත්

චීනයේ සම්ප්‍රදායික ඖෂධ බෝ නොවන රෝග රැසකින් මිනිසා ආරක්ෂා කරන්නට සමත් බව චීනයේ ෂැංඩොන්ග් විශ්වවිද්‍යාලයීය රෝහලේ පර්යේෂකයෝ පිරිසක් පවසති. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රෝගවලින් මිනිසා ආරක්ෂා කරගන්නට මේ ඖෂධවලට හැකියාවක් ඇති බව අනාවරණය වී ඇත.

චීනයේ සාම්ප්‍රදායික ඖෂධ සකස් කෙරෙන්නේ පැළෑටි සහ නොයෙක් ශාකවල සාර ආශ්‍රය කරගෙනය. එලෙස සකස් කෙරෙන ඖෂධ, බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ වර්ග මෙන්ම කාර්යක්ෂම ප්‍රතිඵල අත්කරදෙන බව සනාතව තිබේ. මිනිස් සිරුරේ කොලෙස්ට්‍රෝල්, සීනි ප්‍රමාණ පහළ හෙලීම සඳහා භාවිතයට ගන්නා සාම්ප්‍රදායික ඖෂධ එහිලා සුවිශේෂ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කොලෙස්ට්‍රෝල් සහ සිනී මට්ටම් වැඩිවීම නිසා පීඩා විඳින රෝගීන්ට බටහිර ඖෂධ වෙනුවට චීනයේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතයට ගන්නට වුව බැරිකමක් නැති බව විද්‍යාඥයන්ගේ නිගමයයි. එමෙන්ම හෘද් තන්තු වාහිනී ආශ්‍රිතව හටගන්නා ප්‍රථමික සහ ද්විතීයික මට්ටම්වල රෝග තත්ත්වවලට වුව එකී ඖෂධ භාවිත කරන්නට හැකියාවක් ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. විද්වතුන් එකී නිගමනයට එළඹ තිබෙන්නේ දස වසරක් පුරා කරන ලද පර්යේෂණවලින් අනතුරුවය.

ෂෝන්ග්ෆාජියෑන්ග්, ටියැන්කුජියැජියා, ජියැජියාබෝ නමින් හැඳින්වෙන පැළෑටිවලින් ලබාගන්නා සාර, අධික රුධිර පීඩන තත්ත්වවලට ප්‍රතිකාර කිරීමේදී යොදාගත හැකි බව තහවුරුව තිබේ. මේ ආදී වශයෙන් බෝ නොවන සෙසු රෝග තත්ත්වවලට ගත හැකි ශාකමය සාර විශාල සංඛ්‍යාවක් චීනයේ සාම්ප්‍රදායික ඖෂධවල අන්තර්ගත වී තිබේ.

වසර දහස් ගණනකට පළමුව රෝග සුව කිරීම සඳහා චීනුන් භාවිතයට ගත් මෙවැනි ඖෂධ යුරෝපයේත්, උතුරු අමෙරිකාවේත් දැන් ජනප්‍රිය වෙමින් ඇත. චීනයේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතයට ගැනීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල මොනවාද යන්න සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් තවමත් සිදුව නැති බව මතු දක්වූ පර්යේෂණය සිදු කළ පර්යේෂකයෝ පවසති. 

මංජුලා විජයරත්න

Comments