රටට සෙත් පතා පිරිත් කී පාසල් දරුවෝ | සිළුමිණ

රටට සෙත් පතා පිරිත් කී පාසල් දරුවෝ

උසස් පෙළ ඉගෙන ගන්නා දරුවෝ 24ම පිරිත් කිව්වා.

ගොඩනැගිල්ලක් පාසලක් වන්නේ දරුවන්ගෙනි. දරුවන් නැති තැන එය පාසලක්ද නොවන්නේය. එහෙයින් දරුවන් යනු පාසලකට අගනා සම්පතක්ද වන්නේ ය. ඒ පාසලේම සිප්සත හදාරන දරුවන්ම පාසලට සෙත්පතන්නේ නම් එවැනි දරුවන් පාසලකට අගනා රත්නයක්ම වන්නේ ය. මේ එවන් වූ දරු පිරිසක් සිටින පාසලකින් අපට කලාතුරකින් අසන්නට ලැබුණු කතාන්තරයකි.

පාසල් දරුවන් ක්‍රීඩාවලින් ජය කෙහෙලි නංවමින් විවිධ නිර්මාණ බිහි කරමින් කරන්නාවූ විවිධ හපන්කම් ගැන කතා කරන යුගයක මේ කතා පුවත අපේ කනට වැටුණේ මහා දුර බැහැර පාසලකින් නොවේ. කොළඹට ආසන්නයේ පිහිටි මේ පාසල හෝමාගම පිටිපන මහා විදුහලයි. දරුවන් 361 ක් පමණ අධ්‍යපනය ලබන මේ පාසලට පැමිණෙන්නේ කිසිම ජනප්‍රිය පාසලකට හෝ නගරයේ පාසලකට ඇතුළත් වීමට වරම් අහිමි දරුවෝය. එහෙත් මේ දරුවන්ට තම පාසල තරම් වටිනා තැනක් තවත් නැත්තේය. ඒ නිසාම මේ දරුවන් මෙතෙක් කිසිම පාසලක දරු පිරිසක් විසින් නොකළ ආකාරයෙන් පසුගියදා පාසලේ පිරිත් සජ්ඤායනයක් පැවැත්වූයේ තම පාසලට සෙත් පතමිනි.

මෙය පාසල් ඉතිහාසයේ වාර්තාගත සිදුවීමක් විය. උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 24 දෙනෙක් නොවැම්බර් මස 10 වැනිදා සවස් යාමයේ සිට රැය පහන් වී එළිවන තෙක් නොකඩවා පිරිත් දේශනාව පැවැත්වූයේ පාසලට පමණක් නොව රටටම ආශිර්වාද ගෙන දෙන්නටය.

“ අපේ පාසලේ ගුරුවරුන් තිදෙනකු තමන්ගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ කේවළ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතුව තිබුණා. මගේ ව්‍යාපෘතියට මම තෝර ගත්තේ පාසලේ පිරිත් පිංකමක්. අනිත් ගුරුවරු දෙදෙනාගේ ව්‍යාපෘති වුණේ දේශීය කැටයම් හා ගොක්කොළ කලාවන් ගැන දරුවන් දැනුම්වත් කිරීමත්, පාසලේ ඉතිහාසය ඇතුළත් පුවරුවක් සකස් කිරීමත්. මේ ව්‍යාපෘති 3 එකට එකතු කර එළි දැක්වූ අවස්ථාවක් තමයි මේ පිරිත් පින්කම.

පිරිත් කියන්න අපි ගත්තේ උසස් පෙළ කලා අංශයේ ඉගෙන ගන්න දරුවන් 24 දෙනායි. මේ අය කැමැත්තෙන්ම එයට ඉදිරිපත් වුණා. දරුවෝ මාස එක හමාර පමණ වනතෙක් මේ සඳහා පුහුණු වීම් කළා. ඒ පුහුණු වීම් කාලයේ දරුවෝ රෑ ආවහම පාන්දර වෙනකම් පිරිත් කියන්න පුහුණු වුණා වගේම මස් මාළු නොකා මාස දෙකක් පමණ පේ වුණා හරීම භක්තියෙන්. දෙමවුපියන්ගෙනුත් ලැබුණේ විශාල සහයෝගයක්. ඒ අය පුහුණු වන දිනවල විවිධ කෑම වර්ග හදාගෙන ඇවිත් අපිත් එක්ක නිදි මැරුවා. කිසිම දෙමවුපියෙක් වස් වදීවියැයි බියෙන් දරුවන් නොඑවා හිටියේ නැහැ. ගිහි පිරිත් කියන පිටිපන සමන්ත, හේමචන්ද්‍ර, මංචනායක මෙන්ම මහින්ද යන මහත්වරු දරුවන් පුහුණු කළා. පිරිත් මණ්ඩප්පය තැනුවේ පාසලේ ශාලාවේ. සවස 6.30 ට පිටිපන පුරාණ විහාරාධිපති හෝමාගම සීලවංශ හිමියන් මෙන්ම හබරකඩ ධර්ම විජයාශ්‍රමණාධිපති පඤ්ඤාකිත්ති හිමියන් වගේම දරුවන් විසි හතර දෙනා පෙරහරින් වැඩම කරවා ගෙන ආවා. පිරිමි ළමයින් පිරිත් මණ්ඩප්පයේ වාඩි වුණා. ගැහැනු දරුවන් පිරිත් මණ්ඩප්පයේ පිටතින් ද වාඩි වුණා. භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පසු දරුවනුත් මමත් විදුහල්පතිතුමාත් පිරිත් සජ්ඤායනාව කරගෙන ගියා. යුගාසන කීමේදි දරුවන් දෙදෙනා බැගින් එළිවෙනකම් පිරිත් කිව්වා. පාන්දර වෙද්දි නැවතත් සියල්ලෝම එකතුවෙලා පිරිත් කියලා පාසලටත් දරුවන්ටත් අශිර්වාද කළා. මේ හැම දේම කළේ අපේ පාසලේම දරුවන්. සංග්‍රහ, පසුදින දානය වගේම ශබ්ද පූජාව පවා කළේ අපේ දරුවන් ” අප හා එසේ ප්‍රකාශ කළේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති එල්. පී. එම්. ඩී.ටී. කුමාර මහතා ය.

“මෙවැනි පිරිත් පින්කමක් මීට පෙර කිසිම පාසලක සිදුවී නැහැ. ඒත් අපිට උවමනා වූයේ කිසිම පාසලක සිදු නොවූ දෙයක් කරන්න නෙමේ. මේ පාසලට එන්නේ ගමේ දෙමවුපියන්ගේ දරුවන්. නගරයේ පාසලකට යන්න බැරිවුණු දෙමවුපියන්ගේ දරුවන් එන්නේ මේ පාසලට. මේ නිසා අපිට උවමනා වුණා මෙවැනි දෙයක් කරලා අපේ පාසල යම් තැනකට ගේන්න. අපේ පාසල ගැන මෙතෙක් වූ සංකල්පය වෙනස් කරන්න අපිට හැකිවුණා වගේම ගමත් පාසලත් අතර සම්බන්ධයක් ගොඩ නඟන්නත් මේ හරහා අපිට හැකිවුණා. ඇත්තෙන්ම මෙය අපට අශිර්වාදයක් වුණා.“ විදුහල්පති වයි.ඒ.ආර් පද්මසිරි මහතා පැවසීය.

අද පාසල් දොරකඩින් වියැකී යන අපේ බොදු හැඟීම් පාසල තුළින්ම මතුකළ මෙවන් සිද්ධි රටටම ආදර්ශයක්ය. වාසනාවක්ය.

Comments