පොදු ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනයට ලක්වීමෙන් කතුන්ගේ සහ ළමුන්ගේ මානව අයිතිවාසිකම් කඩවෙනවා | සිළුමිණ

පොදු ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනයට ලක්වීමෙන් කතුන්ගේ සහ ළමුන්ගේ මානව අයිතිවාසිකම් කඩවෙනවා

කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර

* ලාංකීය කාන්තාවන්ගෙන් 90%ක් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති.
* පොලිසියේ රැකවරණය පතන්නේ ඉන් 4%ක් පමණි.
* ඔබේ සහායට පොලිසිය සහ කාන්තා කාර්යාංශය සූදානම්
* බිය නොවන්න. විරෝධය පළ කරන්න. අවට සිටින අයගේ සහාය පතන්න. 119 හෝ 1938 අංක අමතන්න.
* කාන්තාව දෙස කාමුකව බැලීම, අසැබි වදන් කීම, අසැබි ඡායාරූප හෝ අඟපසඟ පෙන්වීම, කුපිත වන සේ කතා කිරීම ද ලිංගික හිංසන වේ. ලිංගික හිංසනය දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි.
* ඉවත නොබලන්න! සහාය වන්න! ඇය ද ඔබගේ මව, දියණිය, සොහොයුරිය හෝ පෙම්වතිය වැනිම කාන්තාවකි.

පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවනට හා ළමුනට මුහුණ දීමට සිදුවන ලිංගික හිංසන දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින අතර එයින් කාන්තාවන්ගේ හා ළමයින්ගේ මූලික මානව අයිතිවාසිකම් කඩවන බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි. මේ තත්ත්වය වළක්වාලීම සඳහා වඩාත් තිරසාර පිළියමක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ ජාතික සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරිය කියයි. පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ පැවැති ‘පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනය’ පිළිබඳ ප්‍රතිපත්ති සංවාදයට සහභාගි වෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය.

2017 පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා එක්ව දියත් කළ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනෙහි දෙවැනි පියවර ලෙස මෙම ප්‍රතිපත්ති සංවාදය කැඳවන ලදී. ඉහත ගැටලුව ‍බිම් මට්ටමෙන් සාකච්ඡාවට හා අවදානයට ලක්කිරීම සඳහාත්, රජයේ සිවිල් සමාජයේ සහ මාධ්‍යයේ පාර්ශ්වකරුවන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කිරීම හා යෝජනා ඉදිරිපත් කිරීමත් මෙහි අරමුණ විය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 2015 දී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ලාංකික කාන්තාවන්ගෙන් 90%ක්ම පොදු ප්‍රවාහනයේදී හිංසනයට ගොදුරු වෙන බවයි. පොලිස් රැකවරණය පතන්නේ ඔවුන්ගෙන් 4%ක් පමණි. මෙම ගැටලුවෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ රැකියා සහ අධ්‍යාපනය සඳහා යන කාන්තාවන් සහ ගැහැනු ළමුන්ය. ඔවුන් අතරින් 50% රැකියා සඳහා යාමේදීත් 28%ක් ඉගෙනීම ලැබීම සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති.

සමීක්ෂණයට දිවයිනේ සෑම පළාතක්ම නි‍යෝජනය වන පරිදි වයස අවුරුදු 15 - 35 අතර පුද්ගලයන් 2500ක් සහභාගි වූහ. ඔවුන්ගෙන් බස්රථ හෝ දුම්රිය තුළදී 90%ක්ම කවර අන්දමින් හෝ ලිංගික හිංසනයට ලක්වී ඇති අතර 82%ක්ම වෙනත් අය එලෙස හිංසනයට ලක්වනු දැක තිබේ. මෙලෙස සිදු කරනු ලබන හිංසන අතර 74%ක් තම සිරුරෙහි සිතාමතා ශරීර කොටසක් ස්පර්ශ කිරීමට ලක් වූවෝය. 52%ක් ලිංගික අවයව තම සිරුරෙහි ඇතිල්ලීමට ලක්වෙති. 52.25% අශෝභන ලෙස අසුන් ගන්නා අතර නිදා වැටීම හෝ ස්පර්ෂය මඟින් අනෙක් පුද්ගලයාට හිරිහැර සිදු කරති. 60%ක්ම පුද්ගලික අවකාශ සීමාව ඉක්මවා ළඟට පැමිණීම, හේත්තු වීම මෙන්ම ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, කකුල පෑගීම, අතපය ඇල්ලීම, අනවශ්‍ය ලෙස සිරුරු නැරැඹීම, කාමුක බැලුම් හෙළීම, අසැබි වදන් කීම, දුරකථන අංකය ඉල්ලීම් මෙන්ම ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීම වැනි ලිංගික හිංසනයන්ට ගොදුරු වී තිබේ. මෙවැනි හිංසන පාසල් යන දැරියන්ට, කුඩා පිරිමි ළමුන්ට තරුණියන්ට මෙන්ම මහලු කාන්තාවන්ට ද සිදු කරනු ලැබේ. එහෙත් මේ හිංසනයන්ට එරෙහිව පොලිසියේ සහාය පතා ඇත්තේ 4%ක් පමණි. 74%ක්ම පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටියෝය.

මෙරට බහුතර ජනතාවකට පිහිට වන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. රටේ සමස්ත ජනගහනයෙන් 52%ක් වන කාන්තා පරපුරෙන් 34%ක් රැකියාවල නියුක්තව සිටිති. රැකියාවට යාමට ඒමට මෙන්ම වෙනත් අවශ්‍යතාවන් සඳහා ගැහැනු ළමුනට මෙන්ම කාන්තාවන්ට පොදු ප්‍රවාහනවල සේවා ලබා ගැනීමට සිදු වේ. පොදු ප්‍රවාහනය යනු රටක ඵලදායි ආර්ථික වර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එය කාන්තාවන්ට විශේෂයෙන්ම සුරක්ෂිත විය යුතුය. එහෙත් අපේ රටේ සෑම පොදු ප්‍රවාහන සේවාවක්ම කාන්තාවන්ට සුරක්ෂිත සේවාවක් සපයන්නේ නැත. මෙරට නීතිමය රාමුව විසින් ආරක්ෂා කර තිබෙන මූලික මානව හිමිකම් හා නිදහස මේ ආකාරයෙන් පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසන හේතුවෙන් උල්ලංඝනය වේ. වර්තමානය වන විට මෙරට බස්රථ හා දුම්රියවලදී දිනපතා කාන්තාවන් සහ ළමුන් හිංසනවලට බඳුන් වෙති. එය අධ්‍යාපන හෝ රැකියා කටයුතු සඳහා නිරවුල් සන්සුන් මනසකින් යොමු වීමට ඇති ඉඩකඩ අවුරාලයි. අතවර හෝ හිංසනයට බඳුන් වන තැනැත්තියට බලවත් අකැමැත්තෙන් වුව එය ඉවසා දරා ගැනීමට සිදු වන්නේ අවට සිටින්නන්ගෙන් ද ඇයට විශේෂ සහායක් නොලැබෙන හෙයිනි. බොහෝ තැන්හිදී සිදු වෙන්නාක් මෙන්ම බස් රථවල හෝ දුම්රියේදී හිංසනයට ලක් වී ඊට එරෙහිව නැඟී සිටින, කතාබහ කරන කාන්තාවගේ සහායට ඉදිරිපත් වන්නෝ අල්ප වෙති. හිංසනය සිදු කරන්නට පක්ෂව කතා කරන, වින්දිත කාන්තාව තව තවත් අපහසුවට පත් කරන්නට ඉදිරිපත් වන ‍පිරිස බොහෝය. ළමයි කතා කරන්නට බිය වෙති. බිය හා ලජ්ජාව නිසාත් රියැදුරු, කොන්දොස්තර හෝ අන් අයගේ සහාය නොලැබෙන නිසාත් වින්දිතයෝ බොහෝ විට නිහඬ වෙති. කොතෙක් අප්‍රසන්න වුවද හිංසනය ඉවසා දරා සිටිති. එහෙයින්ම වත්මන් සමාජයෙහි එය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. එහෙත් මේ තත්ත්වයට එරෙහිව නැඟී සිටිය යුතු බව කාන්තාවන් දැන සිටීම වැදගත්ය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය.

වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. මේ කොටස අනුව ලිංගික හිංසනය යටතට ලිංගික ස්වරූපයේ පහරදීම් සාපරාධී බලය යෙදවීම්, හිංසනයට ලක් වෙන පුද්ගලයා කුපිත කිරීමට හේතු වන වචන හෝ ක්‍රියා සිදු කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. පොදු ප්‍රවාහනයේදී සිදු වන ලිංගික හිංසනය ද මේ ගණයට අයත් වන අතර එය පිටු දැකීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කටයුතු යොදන බව කාන්තා කටයුතු ඇමැතිනිය පවසයි. ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම ඇරැඹිණි. කාන්තා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පොලීසිය, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ මේ පිළිබඳ උනන්දු වන සිවිල් සංවිධාන එක්ව මේ සඳහා කටයුතු කෙරේ.

මෙම ක්‍රියාකාරී සැලැස්මෙහි අංක 5.3 යටතේ පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසන කෙරෙහි අවධානය යොමු කෙරේ. සියලුම කාන්තාවන් සහ ළමයින් උදෙසා සුරක්ෂිත ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීමට මේ යටතේ කටයුතු කරන බව ද ඇමැතිවරිය පවසයි. කාන්තාවන් සහ ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමට මෙන්ම ඒ සඳහා දඬුවම් ලබා දීමට ද පියවර ගන්නා බව ද ඇමැතිවරිය කීවාය. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, මානව හිමිකම් නීති ක්‍රියාත්මක කිරීම, දැනුවත් කිරීම හා උපදේශනය යන පැතිකඩ හඳුනාගෙන ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරිය සහභාගි වූවන්ගෙන් ඉල්ලා සිටියාය.

කිසියම් දිනෙක පොදු ප්‍රවාහන සේවයකදී ඉහත සඳහන් කළ කිනම් ආකාරයකට හෝ ඔබත් හිංසනයට ලක් වී ඇතුවාට සැක නැත. එය කොතරම් අප්‍රසන්න පීඩාකාරී අත්දැකීමක්දැයි ඔබ දන්නවා ඇති. එහෙත් ලජ්ජාව හා බිය නිසා ඔබත් ඊට එරෙහිව නැඟී සිටින්නේ නැතිව සිටිනවා විය හැකිය. එහෙත් දැන් එලෙස සිටිය යුතු නැත. කිසියම් විටෙක ඔබ අපහසුතාවට පත්වන්නේ නම් ඒ පිළිබඳ විරෝධය පළ කරන්න. කොන්දොස්තරවරයා හෝ අවට සිටින අය දැනුවත් කරන්න. ඔබ සතුව දුරකථනයක් ඇත්නම් වහාම 119 හෝ 1938 යන අංක අමතා පොලීසියේ සහාය පතන්න. පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය හා මාර්ග අංකය ද සඳහන් කළ යුතුය. ඔබ යන රථය ගමන් කරන ස්ථානය අසලම ඇති පොලිසියේ සහාය ලබා දීමට පොලිස් සේවය සූදානම් බව සහකාර පොලිස් අධිකාරී මර්වින් රන්ජන් ළමාහේවා මහතා පවසයි.

පැමිණිල්ලක් නොමැතිව හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ හැකි බැවින් ඔබේ පැමිණිල්ල වඩාත් වැදගත් වන බව ද ඒ මහතා කියයි. පොලිස්පතිවරයාගේ අණ පරිදි මේ පිළිබඳ දැන් කාන්තා හිංසනය සම්බන්ධ ඉහත සඳහන් අංක මඟින් දැනුම් දුන් විට වහාම වැටලීම් සිදු කෙරේ. කාන්තා කාර්යාංශය මෙන්ම පොලීසිය ද මේ පිළිබඳ වැටලීම් සිදුකරන බව සහකාර පොලිස් අධිකාරිවරයා පවසයි.

කාන්තා හිංසනයට එරෙහි පැමිණිලි කිරීම සඳහා බස් රථ හා දුම්රියවල ක්ෂණික දුරකථන අංක සඳහන් ස්ටිකර ඇලවීමට ද කටයුතු යොදන බව ද ඒ මහතා කියයි. දැනට දුර ගමන් සේවා රථවල කාන්තා හිංසනයට එරෙහි ගුවන් විදුලි ප්‍රචාරක හඬ පට ප්‍රචාරය කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හා එක්ව පෞද්ගලික සංවිධානයක් කටයුතු යොදමින් තිබේ. දුර ගමන් සේවා බස් රථවලට මෙම හඬ පට සහිත සින්දු සහිත සීඩී තැටි 100ක් දැනට බෙදාහැර තිබේ. ඉදිරියේදී සියලුම ප්‍රාදේශීය සේවා බස්රථවලට ද මෙම සීඩී පට ලබා දීමට අපේක්ෂිතය.

ඔබට නොව වෙනත් කාන්තාවකට හෝ දැරියකට කිසියම් විටෙක හිරිහැරයක් හෝ හිංසනයක් වනු දුටු විට අහක නොබලන්න. බිය හෝ ලජ්ජාවට පත් නොවී ඊට එරෙහිව හඬ නඟන්න. අසරණ දැරිය හෝ කාන්තාව තනි නොකරන්න. බස් රථ හෝ දුම්රියවල කතුනට ලිංගික හිංසා කරන්නට තැත් කරන්නෝ මානසික රෝගීහුය. නැතිනම් බෙලහීනයෝය. ඇතැම් විට අද ඔබ හිංසනයට ලක් නොවුණ ද හෙට ඔබට එය අත්විඳින්නට සිදු වනු ඇත. පොදු ප්‍රවාහන සේවාවක් තුළ මෙලෙස හිංසනයට ලක් වන්නිය ඔබේ මව, දියණිය, සහෝදරිය හෝ පෙම්වතිය වැනිම තවත් කාන්තාවක් යැයි සිතන්නට ඔබට හැකිනම් නිර්ලජ්ජිත මානසික අසහනකාරයින්ගේ ග්‍රහණයෙන් ඔවුන් මුදවා ගැනීමේ සටන පහසුවෙන් ජය ගත හැකි වනු ඇත. මෙවැනි චර්යාවන් පිටුදැකීම එවැනි දුසිරිත් දුරලීමට ඇති හොඳම මඟ වන්නේය. යහපත් සිතිවිලි ගුණ දහම් මෙන්ම මානව හිතවාදී සංකල්ප තුළින් මිස නීතියෙන් හෝ දඬුවමින් පමණක් මෙවැනි සමාජ විරෝධී ක්‍රියා වළක්වා ගැනීම පහසු නොවන්නකි.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments