හේම­පාල මුනි­දාස සූරීන්ගේ ලේඛන මඟ සකස් වූ හැටි | Page 2 | සිළුමිණ

හේම­පාල මුනි­දාස සූරීන්ගේ ලේඛන මඟ සකස් වූ හැටි

සෝමසිරි කස්තුරිආරච්චි

 

එතුමාගේ ලිපි, කෙටිකතා ආදිය පළ වූයේ වර්ෂ 1924දී ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාගේ කර්තෘත්වයෙන් පළවූ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ ය. මේ අතර විවේක දිනවල අගනුවරට පැමිණ වික්‍රමාරච්චි මහතා හමු වූ හේමපාල මුනිදාස තරුණයා ප්‍රධාන කතුවරයාගේ සිත දිනාගත්තේ එතුමාගේ දිරි ගන්වන වදන් ද නිසා ය. එහි ප්‍රතිඵලය වූයේ 1926දී ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ උපකතුවරයකු වෙනුවෙන් පැවැති විවෘත තරගයකින් හේමපාල මුනිදාස තරුණයාට එම අවස්ථාව හිමි වීම ය.

 

වර්ෂ 1903 ජූනි 22 වැනිදා වැලිමඩ අඹගස්දෝවේ කුලගෙයක ඉපදී උඩගෙයි කරෝලිස් අප්පුහාමි නම් වූ සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කාත හා දෙමළ භාෂා දැනුමින් යුතු පියාණන්ගෙන් එම භාෂා පිළිබඳ මූලික අධ්‍යාපනය ලබා පසුකලෙක අගනුවරට පැමිණ එවකට ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා පිහිටුවා තිබූ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයෙන් පේෂකර්මය පිළිබඳව මනා ලෙස ඉගෙන පේෂකර්ම ගුරුවරයකු ලෙස වෘත්තීය සමාජයට අවතීර්ණ වූ හේමපාල මුනිදාස තරුණයා ඉන් පසු ‘සරසවි සඳරැස’, ‘සිංහල බෞද්ධයා’, ‘සිංහල ජාතිය’ පත්තරවලට කෙටි ලිපිත් වී.ඩී. ද ලැනරෝල් මහතාගේ ‘කවීන්ද්‍රයා’ සඟරාවට කාව්‍ය පන්තිත් සපයමින් ලේඛක ජීවිතයට පිවිසියේ ය.

ප්‍රථමයෙන් මඩකලපුවේ කාන්තන්කුඩි පේෂකර්ම විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් පත් වූ තරුණ හේමපාල මුනිදාස ඉන් අනතුරුව හොරේතුඩුවේ දොස්තර ‍ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා විසින් පිහිටුවා තිබු පේෂකර්මාන්ත විද්‍යාලයේ ආචාර්යවරයකු බවට පත් වුණේය.

තමා විසින් ලියන ලද ‘වනචාරිකාව’ නම් වූ නවකතාවේ අත්පිටපත එවකට සාහිත්‍යධරයකු වශයෙන් ප්‍රකටව සිටි මුදලිඳු එඩ්මන්ඩ් ගුණරත්න මහතා වෙත විවරයක් ලිවීම උදෙසා බාර දෙන ලද නමුත් එය එතුමන් අතින් නැති වූ බව දැනගන්නට ලැබිණි. එයින් තරමක් අධෛර්යයට පත් සෝමපාල මුනිදාස තරුණයා ඩබ්ල්යු.ඒ. සිල්වා මහතාගේ ‘ලක්ෂ්මී’ නවකතාව කියැවීමෙන් ලද උත්තේජනය අනුව වර්ෂ 1922 දී ‘ප්‍රසාද්සිංහ’ නම් නවකතාවත්, පළමු ලෝක මහා සංග්‍රාමය පසුබිම් කරගෙන වර්ෂ 1923 දී ‘වයලා’ නම් නවකතාවත් ලියා නවකතා කතුවරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය.

ඉන් පසු එතුමාගේ ලිපි, කෙටිකතා ආදිය පළ වූයේ වර්ෂ 1924දී ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාගේ කර්තෘත්වයෙන් පළවූ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ ය. මේ අතර විවේක දිනවල අගනුවරට පැමිණ වික්‍රමාරච්චි මහතා හමු වූ හේමපාල මුනිදාස තරුණයා ප්‍රධාන කතුවරයාගේ සිත දිනාගත්තේ එතුමාගේ දිරි ගන්වන වදන් ද නිසා ය. එහි ප්‍රතිඵලය වූයේ 1926දී ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ උපකතුවරයකු වෙනුවෙන් පැවැති විවෘත තරගයකින් හේමපාල මුනිදාස තරුණයාට එම අවස්ථාව හිමි වීමය. මේ අවස්ථාවේදී එතුමනට වඩා සත්වසකින් වැඩිමහල් තැනැත්තකු වූ ජුලියස් ද ලැනරෝල් මහතා පවා දෙවැනි තැනට පත් කරවමින් මුනිදාස තරුණයා එම අවස්ථාව ලබාගත්තේ එකල ද පැවැති දක්ෂතාව ද මනා සේ දක්වමිනි.

ඉන්පසුව ඔහු විසින් ලියන ලද ‘අධිකරණ ප්‍රවෘත්ති’ නම් වූ සමකාලීන අපරාධ පිළිබඳ විචිත්‍ර ලිපිය නිසා හේමපාල මුනිදාස නාමය පාඨක ලෝකයෙහි බැබළෙන තරුවක් බවට පත් කරන්නට ද සමත් විය. ඒ සමඟ ම නවක ලේඛකයන්ට අත දීම මෙන් ම නිසි ගුරුහරුකම් දීමට ද නිර්ලෝභීව පසුබට නුවූ ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාගෙන් හේමපාල මුනිදාස තරුණයා ලද්දේ මුළු ජීවිත කාලය තුළදීම ලේඛනයත්, පත්‍ර කලාව ‍උදෙසාත් මහානර්ඝ මුතු මැණික්වන් මහා ගුරුපදේශ රාශියකි. කලින් එතුමා සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, දෙමළ දැනුමින් යුතු ප්‍රවීණයකු ලෙස ගත කළ යුගය තුළ තමන් ලැබූ පත්‍රකලා අත්දැකීම් ද, ජීවන අත්දැකීම් ද ඇතිව සිටි හේමපාල මුනිදාස උපකතුවරයා වෙත එතුමෝ අවස්ථාවක් ලද හැම විටෙක ම පෙරඅපර දෙදිග පොත්පත්වල අනුසාරයෙන් රස උද්දීපනය කරගත යුතු ආකාරයත් පත්‍ර කලාවෙහි තිබෙන උත්තරීතර භාවය රැකගැනීම උදෙසා කළ යුතු කටයුතු පිළිබඳවත් මනා අධ්‍යයනයක් පෞද්ගලිකවම පහදා දෙන්නට වන්නෝය.

මෑතදී බිහි වූ විශිෂ්ට පත්‍ර කර්තෘවරයකු වශයෙන් ලංකා පත්‍ර කලා ඉතිහාසයෙහි සඳහන් වන ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මැතිතුමෝ පත්‍ර කලාවට පමණක් ද ‍නොව සිංහල ලේඛනයේ දියුණුව පිණිස ද නොයෙක් ලෙස පර්යේෂණ පවත්වා කටයුතු කළ පුද්ගලයෙකි. රාජ්‍ය සේවයෙහිදී වඩාත් ම ප්‍රයෝජනවත් වන පරිද්දෙන් ද ‘වික්‍රම ලඝු ලේඛනය’ නම් වූ අකුරු විශේෂයක් ද එතුමෝ තම පර්යේෂණ මඟින් හෙළි කර දක්වා සිටියහ. එසේ ම ඉතිහාසයෙහි සැඟවී පවතින යම් යම් සංසිද්ධීන් පැරණි ග්‍රන්ථවලින් පුස්කොළ පොත්වලින් උපුටාගෙන එයින් තම දැනුම් සම්භාරය වැඩිදියුණු කරගැනීමටත්, ඒ මඟින් නව සංකල්පනාවන්ට මඟ පෑදීමටත් එතුමෝ කටයුතු කළහ.

පසුකලෙක එතුමන් අතින් ලියවී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වුණු ‘පැසිලියාගේ කුමාරයා’ නවකතාව ද එවන් ප්‍රබන්ධයකි. ඉතිහාසයෙහි සැඟවී පැවැති තොරතුරු එක්ලස් කර, ඒ මඟින් තම ප්‍රබන්ධ නිර්මාණය කිරීමටත්, ඉතිහාසයේ නියම තතු හෙළි-පෙහෙළි කිරීමටත් මුනිදාස මහතාට ද පසුකලෙක ගුරුපදේශ වූයේ වික්‍රමාරච්චි මහතා‍ගේ එවන් තතු දැක්වීම් ය. ඓතිහාසික නවකතාවක් ලිවීමට ද හේමපාල මුනිදාස මහතාට වික්‍රමාරච්චි මහතාගේ එම පැහැදිලි කිරීම මැනැවින් පිටුබල විය. එතුමා අතින් ‘පුනරා‍ලෝකය’ නම් වූ ඓතිහාසික ප්‍රවෘත්ති පසු කලෙක ලියැවුණේ ඒ ආදර්ශය අනුව යි.

මෙකල හේමපාල මුනිදාස තරුණයාට මෙන් ම බොරලැස්ගමුවේ ජී.එච්. පෙ‍ෙර්රා කවීන්ද්‍රයාණන්ට ද වික්‍රමාරච්චි මහතාගේ එම ඓතිහාසික තොරතුරු සොයා විමසා බලා ලේඛනගත කිරීම පිළිබඳව වූ කතාබහ බොහෝ විට ප්‍රයෝජනවත් විය. ජී.එච්. පෙරේරා මහතාණෙන් පසුකලෙක හේමපාල මුනිදාසයන් ‘සිංහල බෞද්ධයා’ ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරන සමයේදී ලියූ ‘හෙළදිව් පුරාණය’ හා ‘සිංහල බලය’ කතුකම් කරන යුගවල ලියූ ‘හෙළ දිව් පුවත’ නම් වූ අනර්ඝ ලිපි සම්භාරයට හේතු වූයේ මේ දිනවල වික්‍රමාරච්චි මහතාත් සමඟ කළ කතාබහේ ප්‍රතිඵලය යි. එසේ වූ වික්‍රමාරච්චි මහතාණන්ගේ ගුරුපදේශ තමනට මහත් සේ මහෝපකාරි වූ බව පසුව ජී.එච්. පෙරේරා සූරීන් ද පළ කර ඇත.

මේ හා සමඟ ම හේමපාල මුනිදාස තරුණයා වෙත වික්‍රමාරච්චි ප්‍රධාන කතුතුමා පළ කල තවත් ගුරුපදේශයක් නම් පත්‍රකලාවෙහිදී ප්‍රධාන කතුවරයකු සතු වගකීම හා බැඳී කටයුතු කළ යුතු බව ය. එය පත්‍රයේ පළ කෙරෙන රටට ප්‍රධාන වශයෙන් ම බලපාන පුවතක වගකීම හා ගරුත්වය කතුවරයාට තිබෙන බව යි. එහෙයින් යම් යම් පුවත් තම පුවත්පතේ පළ කරන විට ඒ පිළිබඳව නිසි දැනුම් තේරුමින් යුතුව වගකීම තමන්ට පැවරෙන ලෙස අභීතව කටයුතු කළ යුතු බව යි.

 

 

එසේ ම යම් යම් අවස්ථාවල එමඟින් නීති ගැටලුවක් ඇති වුව ද තමන් සතු ප්‍රධාන කතුවරයකු සතු ‘නිෂේධ බලය’ පාවිච්චි කර එහි නිවැරැදිභාවය තේරුම් ගෙන සමහර නීති ප්‍රශ්නවලට වුව මුහුණ දිය හැකි බව යි. එය ප්‍රධාන කතුවරයකු සතු බලයක් ලෙස හඳුන්වා උසාවියකදී වුව එසේ ම ගණන් ගත හැක්කේ සමාජයේ පැවැත්ම උදෙසා එවන් කෙනකු තුළ පවතින වගකීම් සම්භාරය මතු කිරීමක් ද වශයෙනි. එසේ කටයුතු කිරීමෙන් ප්‍රධාන කර්තෘ කෙනකු සතු වගකීමද, පත්‍රයක් සතු බලයද තහවුරු වන අතර පාඨකයා රැකීමක් ද සිදු වෙයි. පසුකලෙක පුවත්පත් කලා ආචාරධර්ම පද්ධතියක් වශයෙන් සකස් වූයේ ද, එදා වික්‍රමාරච්චි මහතාණෝ පළ කළ අදහස් ය.

මේ අත්දැකීම් තමන් ලැබුවේ ‘දිනමිණ’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ හා කළමනාකරු වශයෙන්ද සිටිනා යුගයේ බව ද එතුමෝ එදා කියා සිටියේ ය.

තමන් ප්‍රධාන කර්තෘ ධුරය දරන පත්‍රය හමුවේ ඇති වූ නීති ප්‍රශ්නවලදී පසුකලෙක හේමපාල මුනිදාස සූරීහු එම වික්‍රමාරච්චි අවවාද අනුශාසනා මැනැවින් ක්‍රියාවෙහි යොදවා සාර්ථක ප්‍රතිඵල ලැබූහ. එය වෙනම කිව යුතු කතාවකි.

එකල කලක් ම දකුණු ආසියාවේ විශිෂ්ටතම පත්‍රය ලෙස සම්මානයට ද පාත්‍ර වූ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රය සංස්කරණයේදී ඊට ලිපි සපයන ලේඛකයන්ට මුදල් ගෙවීමට ද කටයුතු කරමින් එදා ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි ප්‍රධාන කර්තෘවරයා පත්‍රය අධිකාරිවරයා වශයෙන් ද විශිෂ්ට සේවාවක් සිදු කළ බව ද වාර්තාගතය. එකල ලංකාවේ ‘සිංහල භාෂාවෙන්’ පළ වන වෙනත් ඉරිදා පත්‍රයක් නුවූ හෙයින් වික්‍රමාරච්චි සූරීහු නවක ලේඛකයන්ට කවීන්ට කලාකරුවන්ට සිය පත්‍රය මඟින් අතහිත දෙන ගමන් ම විවිධ වාද-විවාදවලට ද එය තෝතැන්නක් බවට පත් කළහ.

කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව්.ඇෆ්. ගුණවර්ධන වැනි යුගයේ පඬිවරුන් ද ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයෙන් තම අදහස් ප්‍රකාශ කර ජය කෙහෙළි නැඟූහ.

ලංකාවේ ප්‍රථම වරට පුවත්පත් මඟින් වෙසක් අතිරේකයක් නිකුත් කරවීමේ ගෞරවය ද දිනාගන්නේ ‘ස්වදේශ මිත්‍රයා’ ය. වර්ෂ 1925 මැයි 15 ඉරිදා ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට අතිරේකයක් ලෙස පළ වූ ඉතිහාසයේ පළමු වෙසක් කලාපය ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පිටු 52කින් සමන්විත විය. යථා වර්ණයෙන් මුද්‍රිත බුද්ධ පින්තූරයක් ද සමඟ නිකුත් කරන ලද මේ ‘ස්වදේශ මිත්‍රයා’ වෙසක් අතිරේකය ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි ප්‍රධාන කතුතුමාගේ නමින් පළ වුව ද, එහි සියලු කටයුතු සම්පාදනය කරන ලද්දේ හේමපාල මුනිදාස උපකතුවරයාණන් විසිනි. විශේෂ ලිපි, කවි හා වෙළෙඳ දැන්වීම් රාශියක් ද සතු එය වෙසක් කලාපවලට පූර්වාදර්ශයක් ද විය.

ඉන් පසුව වසරේ - 1928දී පසු කලෙක අන් අයට ද පූර්වාදර්ශයක් වෙමින් ‘වෙසක් කලාපයක්’, ‘ස්වදේශ මිත්‍රයා’ මඟින් නිකුත් කෙරුණේ ද ඉන් පසුවය.

එම කලාපය ආදර්ශයට ගෙන පසුකලෙක ‘සිංහල බෞද්ධයා’, ‘දිනමිණ’, ‘මැකලම්’ ගුණරත්න ආදි ආයතන මඟින් වෙසක් කලාප නිකුත් කෙරිණි. එයින් ද වෙනස් ම කලා සාහිත්‍යයක් ගොඩනැංවුණු බව යළිත් එම වෙසක් කලාප පෙරලා බලන විට කෙනකුට සිතෙනු නියත ය.

අනුකරණීය ඕජෝ ගුණයකින් යුතු භාෂා ව්‍යවහාරයකින් යුතු හේමපාල මුනිදාස මහතාගේ ලේඛන ශෛලියෙන් එතුමෝ අපූරු රස වින්දනාත්මක පාඨක ප්‍රසාදයක් ලබා ගත්හ. එය ද වැඩි දෙනකුට නිවැරැදි බස් වහරක් අනුව ලේඛනයේ යෙදවීමට පූර්වාදර්ශයක් ද විය. 

 

 

 

 

Comments