‘තුරු මිහිර’ විඳගන්න සබරගමුවට එන්න | සිළුමිණ

‘තුරු මිහිර’ විඳගන්න සබරගමුවට එන්න

අප සිහිවටන ලෙස පැළ සිටුවන ජාතියක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උපන්දිනවලදී, නව ගොඩනැඟිලි විවෘත කිරීමේදී පරිසරයෙන් අප ලබාගන්නා සම්පත් වෙනුවෙන් සොබාදහමට කෘත ගුණ පුදනු වස් පැළයක් සිටුවීමට අපි හුරු වී සිටින්නෙමු. එ් නිසා රුක් රෝපණ වැඩසටහන් අපට අලුත් දෙයක් නොවේ. එහෙත් වෙනස් හේතුවක් මත ගස් සිටුවීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එ් නැවුම් අරුත සොයා බැලීමද අපේ පුරුද්දකි. ගොඩකවෙල නියංගමදී ගෙවුණු 25 දා සිකුරාදා ඇරැඹුණු ‘තුරු මිහිර’ සබරගමු රුක් රෝපණ මහජන ව්‍යාපෘතිය පිළිබඳ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගෙන් අප විමසුවේ ඒ නිසාය.

‘‘අපට රට පුරා ඕනෑ තරම් පැළ සිටුවීමේ ව්‍යාපෘති දකින්න පුළුවන්. ඒත් ගහකොළ සමඟ ඒකාත්මික වෙමින්, ගහකොළ ආරක්ෂා කරගෙන එය ජීවන විලාසිතාවක් බවට පත් කරගත් වැඩසටහන් බොහොම අඩුයි. ඒ නිසා අපි ‘තුරු මිහිර’ නමින් වැඩසටහනක් සබරගමු ප්‍රදේශයේ ආරම්භ කළා, ගස් සිටුවන අතර මේ කියන පාරිසරික සෞන්දර්යාත්මක චාරිකාවක් වගා-දිගා කරන්නයි උත්සාහ කරන්නේ.

‘‘මෙහිදී හුදෙක් ගස් සිටුවීමට වඩා එහි අරමුණ, පරමාර්ථ පිළිබඳ සිතා අවබෝධ කරගැනීම, ඒ පිළිබඳ විචාරාත්මකව සොයාබැලීම සාමූහිකව ඇති කිරීම අපේ අපේක්ෂාවයි. නිරන්තර කතාබහට ලක් වන ගෝලීය පාරිසරික ප්‍රශ්න මෙන්ම අපේ රටේ ප්‍රමුඛව පවතින දේශගුණික හා පාරිසරික ගැටලු අවබෝධ කරගෙන ඒ අනුව අප හැඩගැසිය යුතු ආකාරය පිළිබඳ යම් අවබෝධයක් සැම දෙනකු තුළම තිබීමත් වැදගත්.

‘‘විශේෂයෙන් සබරගමු කලාපය මේ රටේ ප්‍රධාන ජල ප්‍රභව පවතින භූමි ප්‍රදේශයක්. සමනොළ ගිරෙන් පැනනඟින ප්‍රධාන ගංගා ඇතුළු ජල පෝෂක ප්‍රදේශයක් හැටියට පවතින සබරගමුව මෑත අතීතය දක්වාම ඉතා හොඳින් තෙත් කලාපීය ලක්ෂණ පෙන්වූවා. එහෙත් දැන් එය වියළි තත්ත්වයට පත් වෙමින් පවතිනවා.

‘‘මානව ක්‍රියාකාරකම් නිසාත් ස්වාභාවික ආපදා නිසාත් මේ තත්ත්වයට සබරගමුව නතු වී තිබෙනවා. අපේ රටේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳ පවා වැදගත් සාධක ඇති මෙහි පරිසර පද්ධතිය ඒ අයුරින් පවත්වාගැනීම ඉතා වැදගත්.

‘‘පසුගිය ගංවතුර සමයේ මෙන්ම නායයෑම්වලදී වැඩි ජීවිත සංඛ්‍යාවක් අහිමි වුණේ සබරගමුවෙන්. ඒ නිසා එවැනි ආපදා කළමනාකරණය කරගැනීමට, නායයෑම් වැළැක්වීමට වන වැස්ම වැඩි දියුණු කිරීමට හා ජල මූලාශ්‍රය නොනැසී පවත්වාගැනීමට කඳුකරයේ විධිමත් වන වගාවක් අවශ්‍යයි.

‘‘මෙය රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල කටයුත්තක් නොවේ. ප්‍රදේශයේ ජීවත් වන වැසියන්ගේ සහභාගිත්වයෙන්, ඔවුන්ගේ සුරක්ෂිතතාව සඳහා කරන්නක්. ඇත්තෙන්ම මෙය පරිසර ප්‍රශ්න විසඳීමට වඩා ඔබ්බට ගිය වැඩසටහනක්. ඒ නිසා අප උත්සාහ කරන්නේ ඉතා පුළුල් වපසරියක් ඔස්සේ මේ වැඩසටහන ගෙන යන්න.

‘‘මේ සඳහා පැල්වාඩිය බෝධිගිරි විහාරස්ථානාධිපති හිමියන් ඇතුළු අසල්වැසි ප්‍රජාව, රජයේ නිලධාරීන්, පාසල් පරිසර භට කණ්ඩායම් වැනි පිරිස් එක් රැස් කර දැවැන්ත ජාලයක් අප ගොඩනඟා තිබෙනවා. ඒ යටතේ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතරින් ගස් සිටුවීම ප්‍රධානයි. 2017-18 වසර ඇතුළත කුඹුක් පැළ ලක්ෂයක් සිටුවීම ප්‍රමුඛ අරමුණයි. මේ සඳහා කුඹුක්ම තෝරාගන්නේ ගසට ඇති දැවමය, ඖෂධීය, ජලය පිරිසුදු කිරීමේ වටිනාකම් සියල්ල සලකා බලායි. කුඹුක් මුල් පාංශු ජලයේ ඇති කැඩ්මියම් වැනි විෂ බැර ලෝහ උරාගෙන ජල පවිත්‍රකරණයේ යෙදෙනවා. කුඹුක් ගස් ඇති තැන්වලට ජලය උනන බවට තහවුරු වූ විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම මෙය සංරක්ෂිත ශාකයක්.

‘‘ස්වාභාවිකව මෙහි වැඩුණු මෙවන් ශාක දේශපාලන අනුග්‍රහය ලත් දැව ජාවාරම්කරුවන් විසින් තොග පිටින් කපාදමා විනාශ කිරීම නිසා ප්‍රදේශයේ ළිං ආදිය සිඳී යන්න පටන්ගත්තා. මේ හේතු සලකා ජලාධාර ආශ්‍රිතව මෙන්ම ගංගා, ඇළ, දොළ, ළිං, දෙණි මංකඩ ආශ්‍රිතව කුඹුක් සිටුවීම අතිශයින්ම වැදගත්. ආරම්භයක් ලෙස කළු ගඟ හා අතුගංගා දෙපස මුලින්ම මේ පැළ සිටුවනවා.

‘‘තුරු ලතා රෝපණයේ සෞන්දර්යය දරුවන්ගේ සන්නිවේදන හැකියා වර්ධනයට රුකුලක් වීමට අවස්ථාව සපයමින් කථික හා රචනා තරග ඔස්සේ අපේ පාරිසරික ප්‍රශ්න ස්වාභාවික විපත්, ඒවා කෙරෙහි මිනිසාගේ බලපෑම ආදිය ප්‍රායෝගිකව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙනවා. මෙයින් අප බලාපොරොත්තු වන්නේ ගසක් දෙස බලා හයිකු කවියක් ලියන ජපන් ජාතිකයන්ගේ වැනි සංස්කෘතියක් ගොඩනැඟීමේ පදනම ඇති කිරීමයි. ගසක් දෙස බලා එහි සෞන්දර්යය විඳින්න මා ඉගෙනගත්තේ ලාල් හෑගොඩ මහතාගේ කවි කියවීමෙන්. එවැනි අත්දැකීමක් ලබන පුද්ගලයකු කිසි දිනක ගසක බැනර් එල්ලීමට, ගස් කපා විනාශ කිරීමට පෙලඹෙනු නැතැයි මා විශ්වාස කරනවා.

‘‘රුක් රෝපණයට ඍජුවම සම්බන්ධ නැතත්, පොලිතීන් තහනමට විකල්ප වශයෙන් ගමන් මලු තැනීම, පන්සල්වලට පැළ පූජා කිරීමේදී පාත්‍ර තැනීම, කසළ විධිමත්ව බැහැර කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ඖෂධ වර්ග පිළිබඳ ප්‍රචාරයක් ලබා දීම මේ වැඩපිළිවෙළට සමගාමීව කෙරෙනවා.

‘‘අපේ කර්මාන්ත ලෙස පවතින, දැනට සුළුවෙන් කෙරෙන පන්, වැටකෙයියා ආදියෙන් නිර්මාණ කිරීම ප්‍රවර්ධනයටද ඉදිරියේදී පියවර ගන්නවා. අප ආරාධනා කර සිටිනවා රට පුරා සිටින තුරුලියට ආදරය කරන්නන්ට මේ තුරු මිහිර විඳගන්න අප හා අත්වැල් බැඳගන්න කියා.’’

Comments