![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/08/18/bus.jpg?itok=sMXR-ssm)
බස්රථ සඳහා හඳුන්වා දුන් විශේෂ මං තීරු ක්‍රමය යටතේ උදෑසනට හා රාත්‍රියට විශේෂ ශීඝ්‍රගාමී වායු සමනය කරන ලද බස් සේවාවක් ළඟදීම හඳුන්වා දීමට ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පියවර ගනී. මේ සඳහා දැනටමත් බස් රථ 100ක් චීනයෙන් ඇණවුම් කර ඇත.
මේ බස් රථ පෙරවරු 6.00 සිට පෙ.ව 8.00 දක්වාත් පස්වරු 4.00 සිට 6.00 දක්වාත්, රාත්‍රී 8.00 සිට රාත්‍රී 12.00 දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදනු ලැබේ.
මේ සුපිරි බස් රථ මඟින් දැනට කොළඹ නගරයේ ධාවනය වන මෝටර් රථ ඇතුළු සුපිරි වාහනවල ගමන් ගන්නා මඟීන් පොදු ප්‍රවාහන සේවාවට ඈඳාගැනීමට කටයුතු යොදනු ලබන අතර, රාත්‍රී කාලයේ බස් රථ ගමන් යෙදීමෙන් සාප්පු සවාරි සහ අත්‍යවශ්‍ය රාජ්‍ය කාර්යාල රාජකාරි ඉටු කරගෙන යෑමට හැකි වන පරිදි අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන විවෘත කිරීමටද යෝජනා කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ තම සංගමය මඟින් කරන ලද විශ්ලේෂණයකින් පසු බස් රථ මංතීරු වෙන් කිරීමට රජය කටයුතු කළ බවත්, මේ වන විට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් රාත්‍රි 11.00 වන තුරු විවෘත කර තැබීමට රජයට යෝජනා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජයේ සැලකිල්ල යොමුව ඇති බවත්ය.
බස් රථ 1000ක් චීනයෙන් ආනයනය කරනු ලබන්නේ බස් රථ මංතීරු ඔස්සේ ධාවනයට බවත් රාත්‍රී සේවාව මඟින් දිවා කාලයේ ඇති වන තදබදය අවම කිරීමට කටයුතු යොදන ලබන බවත් ඒ මහතා කීය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ පවසන්නේ පසුගියදා ආරම්භ කරන ලද බස් මංතීරු ව්‍යාපෘතිය අතිසාර්ථක වූ බවත් ඒ අනුව ඉදිරියේදී අනෙකුත් මාර්ගවලද මේ මංතීරු ක්‍රමය කඩිනමින් ආරම්භ කරනු ලබන බවත්ය.
ඉදිරියේදී මේ මංතීරු ක්‍රමවේදය හරහා වෙනම මංතීරුවක ශීඝ්‍රගාමි බස් රථ සේවාවක්ද පැවැත්වෙන අතර, දැනට බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුව බොරලු පැහැයට හුරු රතු පැහැයෙන් වර්ණ ගැන්වීමටද අදහස් කර ඇත.