
ලන්ඩන් පාලම යනු ලෝකයේ පාලම් කර්මාන්තයේ අනගි නිමැවුමකි. අමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට පාලම්වලට නොදෙවැනි ලෙස මෙය ඉදි කොට තිබේ. දිගින් අඩි 1000ක් නොඉක්මවා තිබුණද මේ පාලම ලන්ඩනයට ගෙනඑන්නේ ආකර්ෂණීය පෙනුමකි.
ලන්ඩන් පාලම ඉදි කොට ඇත්තේ ලන්ඩන් නගරය සහ සවුත්වොක් ප්‍රදේශය සම්බන්ධ කරමිනි. පිහිටීම අනුව බැලුවොත් මේ පාලම ලන්ඩන් නගරය මධ්‍යයේ පිහිටා ඇතැයි පැවසිය හැකිය. ඉදි කිරීමෙන් පසු දෙවැනි එලිසබෙත් රැජන විසින් වාහන ගමනාගමනය සඳහා මෙය විවෘත කර ඇත්තේ 1973 වසරේදීය. ලන්ඩනය හරහා ගලා යන තේම්ස් ගඟ මැදි කර ගනිමින් මේ පාලම ඉදි කර තිබේ.
තේම්ස් ගඟ තරණය කිරීම අතීතයේ ඉතා දුෂ්කර කටයුත්තක් විය. වර්තමාන ලන්ඩන් පාලම ඉදි කිරීමට පෙර විවිධ වෙනස්කම් සහිත සරල පාලම් මේ ගඟ මතින් ඉදි කර තිබිණි. කාලයේ අවශ්‍යතාව අනුව පාලමේ ස්වභාවය තීරණය විය.
තේම්ස් ගඟ හරහා අතීතයේදී ලී පාලමක්ද, ගල්වලින් තැනූ පාලමක්ද ඉදි වී තිබුණු බවට වාර්තා වේ.
මේ පාලම මතින් අශ්ව කරත්ත, මෙන්ම යුද උපකරණ සහිත කරත්ත අදියට ගමන් කර තිබේ. මේ ඉපැරණි ලන්ඩන් පාලම (1209 - 1831) අතර කාලයේදී භාවිතයට ගෙන තිබේ. දෙවැනි හෙන්රි රජුගේ කාලයේදී මේ පාලම ස්ථාපිත කළ බව වාර්තාවල සඳහන්ය. මෙය සම්පූර්ණයෙන්ම ගල් වැද්දුම් යොදා නිර්මාණය කරන ලද්දකි. මෙහි වැඩකටයුතු ආරම්භ කරන ලද්දේ 1176දීය. මෙහි වැඩ අධීක්ෂකවරයා ලෙස පීටර් නමැත්තකු කටයුතු කර තිබේ. මේ ගල් වෑද්දුම් පාලමේ වැඩ කටයුතු අවසන් කිරීමට හැකි වූයේ 1209දී ජෝන් රජුගේ කාලයේදී බවද සඳහන්ය. වසර තිස් තුනක් තිස්සේ මේ ගල් පාලම නොයෙක් ප්‍රතිසංස්කරණයන්ට මෙන්ම අඛණ්ඩ ඉදිකිරීම්වලටද භාජනය වී තිබේ.
එම ඉපැරණි පාලම මීටර් අටක් එනම් අඩි 26ක් පළලින් යුක්ත විය. අඩි 900ක් දිගින් යුක්ත විය. අර්ධ කවාකාර ආරුක්කු 19ක් මෙයට ඈඳා තිබිණ. මේ පාලම පසුකාලීනව ආක්‍රමණිකයන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශ වූ බවටද වාර්තා තිබේ.
ලන්ඩන් පාලම විශ්ව සාහිත්‍යයටද එක්ව ඇත්තේ ලෝකය පුරා ළමයින්ගේ ප්‍රසිද්ධ ළමා ගීයක් හේතුවෙනි. එම ළමා ගීතයෙන් කියවෙන්නේ ලන්ඩන් පාලම කඩා වැටෙන බව රැජිනට පවසන අන්දම සහ ඇය එය යළිත් ගොඩ නැගීමට උපදෙස් දෙන අන්දමයි. එම ළමා ගීතයෙන් පෙන්නුම් කරන තවත් සාධකයක් වන්නේ ඉතිහාසය පුරා කොතරම් වාර සංඛ්‍යාවක් ලන්ඩන් පාලම ප්‍රතිසංස්කරණයන්ට ලක්ව ඇත්තේද යන්නයි.
නව ලන්ඩන් පාලම ඉදි කිරීමට උපස්තම්භක වූයේ ගඟ දෙපස අධික ලෙස ජනාවාස වීමත් නාගරිකයන්ගේ අවශ්‍යතා පුළුල් වීමත්ය. එසේ හෙයින් පුළුල් සහ ශක්තිමත් පාලමක අවශ්‍යතාව දැනෙන්නට වූයෙන් ලන්ඩන් පාලම වඩත් පුළුල් සහ කාලයට ගැළපෙන තරමේ ශක්තිමත් ලෙස නිර්මාණය කිරීම ආරම්භ විය.
එලෙස ඉදිකෙරුණු නව ලන්ඩන් පාලම 1831 සිට 1967 දක්වා ගමනාගමනයට යොදා ගත් බවට සාධක හමු වී තිබේ. එහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 1824දීය. පාලම මතින් ගමනාගමනයේදී පහසුව පිණිස මං තීරු යොදා තිබූ බවට වාර්තා හමු වේ. මේ පාලම ඉදි කිරීම සඳහා පවුම් මිලියන 2.5ක් වැය වී තිබේ. මේ සඳහා මූලධනය බ්‍රිතාන්‍ය රජය සහ corporation of London නමැති සමාගමක් මගින් ලබා දුන් බවට වාර්තා තිබේ. එම පාලම අඩි 49ක් පුළුල් විය. මෙය විවෘත කරන ලද්දේ 1831 අගෝස්තු පළමුවැනිදාය.
1896 වන විට ලන්ඩනය ලෝකයේ ප්‍රධානතම නුවරක් බවට පත් වී තිබිණ. එකල පවා ලන්ඩන් පාලම මගින් දිනකට වාහන 900ක් ගමන් ගත් බවට වාර්තා තිබේ.
වර්තමානයේ දක්නට ලැබෙන ලන්ඩන් පාලම ඉදි කිරීමට උපස්තම්භක වූ කරුණ වී අැත්තේ ලන්ඩනයට ඇඳී එන වාහන සංඛ්‍යාව අධික වීම සහ අතිනවීන පාලමක අවශ්‍යතාව දැනීමය.
වර්තමානයේ දක්නට ලැබෙන ලන්ඩන් පාලම සැලසුම් කරන ලද්දේ Lord Holford විසිනි. ඉංජිනේරුවන් වූ Mott Hay සහ Anderson නම් වූ පුද්ගලයන් දෙදෙනා මේ සඳහා ඔහුට සහාය වූ බවටද වාර්තා තිබේ. මේ පාලමේ ඉදි කිරීම කටයුතු සිදු කරන ලද්දේ John Mowlam and company නම් වූ සමාගමක් විසිනි. මේ වර්තමාන ලන්ඩන් පාලම දෙවැනි එලිසබෙත් රැජින විසින් 1973 මාර්තු 17වැනිදා විවෘත කරන ලදී. කොන්ක්‍රිට් මෙන්ම ශක්තිමත් වානේ යොදා මේ අතිනවීන පාලම් ඉදි කිරීමේ තාක්ෂණයට අනුව නිර්මාණය කර තිබේ. මෙය අඩි 928ක් දිගින්ද අඩි 105ක් පළලින්ද යුක්ත විය.
මෙහි අනෙක් සුවිශේෂීත්වය වන්නේ පළමුවැනි ලන්ඩන් පාලම ඉදි කර තිබූ ස්ථානයේම මේ පාලමද ඉදි කිරීමය. එමෙන්ම තේම්ස් නදියේ යාත්‍රා කරන නැව් සඳහා බාධාවක් නොවීම පිණිස විශේෂ අවශ්‍යතා මත පාලම එසවීමට සහ යළි වාහන ගමනාගමනය සඳහා පාලම පහත් කිරීමේ සුවිශේෂී තාක්ෂණික හැකියාවන්ගෙන්ද ලන්ඩන් පාලම සමන්විතය. මෙහි වාහන ගමනාගමනය සඳහා මංතීරු පහක් පවතින අතර නොයෙකුත් ආරක්ෂක විධි විධානවලින්ද සමන්විතය. එසේ වුවද 2017 ජූනි 3වැනිදා ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වූයේද ලන්ඩන් පාලම මතදීය.
තිලක් පුෂ්පකුමාර