කැලණිය විද්‍යාපීඨයෙන් මේ දේවල් ඉගෙනගන්න | සිළුමිණ

කැලණිය විද්‍යාපීඨයෙන් මේ දේවල් ඉගෙනගන්න

 කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට වසර පණහක් පිරුණේ නොබෝදාය. 'විද්‍යා 2017' නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඔවුන් උනන්දු වූයේ ඒ නිසාය. සාමූහිකත්වය පෙරදැරි කරගනිමින් පළමු වසරේ සිට අවසන් වසර දක්වා වූ ඉංජිනේරු සිසු-සිසුවියන් දහසකට ආසන්න පිරිසක් තමන් උගත් විෂයයන් ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් රැසක් එළිදැක්වීම විද්‍යා 50 ප්‍රදර්ශනයේ විශේෂ ලක්ෂණයක් විය.

විශ්වවිද්‍යාලයේ අවසන් වසර නිමැවූ සචිර නයන්ත සහකාර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. සචින්ත විදානපතිරණ 2 වැනි වසරේය. ඔවුහු කෘත්‍රිම බුද්ධිය ජනනය කිරීමේ කර්යයෙහි නිරත වූ අයයි. ඔවුන් ගේ අදහස් මෙසේය.

‍"අපේ අරමුණ කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ඉහළ ලංසුවක් ලබා දීමට කටයුතු කිරීමයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස මෙහි අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සොයුරු-සොයුරියන් පොලඹවා ගැනීමේ අරමුණ වෙනුවෙන් අපගේ පරිගණක අධ්‍යාපනය කොතරම්ද යන්න හඳුන්වාදීමට කටයුතු කිරීමයි. අපගේ ඉලක්කය කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ජනනය කිරීමේ අංශය වෙත වැඩි පිරිසක් එක් කරගැනීමයි. මෘදුකාංග සංවර්ධනයට වඩා ඉහළින් ඇති කෘත්‍රිම බුද්ධිය පිළිබඳ යොමු වීම අනගතයට වඩා වැදගත් වෙනවා. මිනිසාට කළ නොහැකි ක්‍රියාවන් කිරීමටත්, ළං නොවිය හැකි ස්ථානවලට ළඟා වීමටත් එමෙන්ම එවැනි අවස්ථාවලදී ක්ෂණිකව තීරණ ගැනීම සඳහාත් පහසුකාරකයක් ලෙස කෘත්‍රිම බුද්ධි ජනනය කිරීමේ ක්‍රියාවලිය වැදගත් වනවා. ඒ සදහා වූ විශේෂ උපාධියක් කැලණියේ අප විශ්වවිද්‍යාලයේ පවත්වනවා. විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන බොහෝ අය අතර අපගේ AI අධ්‍යයනය කිරීමේ අරමුණින්ම පැමිණෙන අයත් ඉන්නවා. (statistic and Information Communication Technology Department) උසස් පෙළ හදාරන අයට හොඳ අදහසක් ගැනීම සදහා අපගේ ව්‍යාපෘතිය අපි ගොඩ නඟා තිබෙනවා."

භෞතික විද්‍යා අංශය ඉතා කාර්යබහුලය. ඒ පරිශ්‍රය ඉතා අන්ධකාරය. විස්තර සඳහා එහි ඇතුළු වීමටත් එයින් ඔබ වෙතට විස්තරයක් ලිවීමටත් හැකියාවක් ලැබේදෝ යන සැකයක්ද මතු විය.

තැනින් තැන සියුම් ආලෝක දහරා නිකුත් කෙරෙන නිසා විද්‍යාත්මක දැනුවත් වීමක් එතැනින් සිදු විය. ආලෝකය හඳුන්වා දීමට අඳුර තිබිය යුතුය. මගේ සැකය දුරු විය. අඳුර අතරින් පැමිණි පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යාවකි. ඇය නමින් මධුමාලි නිශාමලීය. ඇයගේ විස්තරය සාමාන්‍ය ජනතාවට සහ පාසල් සිසුන්ට ඉතා වැදගත්ය. ඇයගේ විස්තරය මෙසේය:

"ස්වාභාවික ජීවිතයේදී විවිධ සංසිද්ධි ජනතාව තෝරාගන්නවා. ඒ අනුව ආලෝකය ගැන කතා කිරීමේදී වර්තනය, පරාවර්තය, විවර්තනය, නිරෝධනය සහ ධ්‍රැවණය යන දෑ වැදගත් වෙනවා. විද්යුත් චුම්භක ක්ෂේත්‍රය (Electro-Magnetic Radiation) අනුව අපට දෘශ්‍ය වන පරාසය ආලෝකයයි. මෙහි තරංග ආයාමය අඛණ්ඩව වෙනස් වෙනවා. ඒ අනුව විවිධ වර්ණ අපේ ඇසට පෙන්වනවා. තරංග ආයමයන් වෙනස් වීමෙන් අපට වෙනස් වර්ණ පෙනෙනවා. එයට හේතුව ආලෝකය විකිරණයක් වීමයි. සුදු ආලෝකය වර්ණ හතකින් සැදී ඇති බව පිළිගනී. සරලම උදාහරණයක් ලෙස දේදුන්නේ සියලු වර්ණ අන්තර්ගතයි. ඒ අනුව යම් වර්ණයකින් යුතු වස්තුවක් හෝ යමක් දකින්නේ වර්ණයට අදාළ වර්ණය පරාවර්තනය වන නිසයි. අනෙකුත් වර්ණ උරාගැනීම නැති නම් අවශෝෂණය වීම නිසයි. කළු සහ සුදු පාට නොවේ. වර්ණාවලියේ අඩංගු පාට නැති නිසා කළු සහ සුදු වස්තු වෙත සුදු ආලෝකය යොමු කළ විට සුදු ආලෝකයේ ඇති සියලු වර්ණ උරා ගැනීමක් පමණක් සිදු වෙනවා."

ප්‍රිස්මයක් තුළින් සුදු ආලෝකය ගමන් කිරීමේදී වර්ණාවලියක් දිස් වන්නේ ඒ ආකාරයට බව ඇය ප්‍රායෝගිකව පෙන්වා විස්තර කළාය. තවත් බොහෝ දෑ එම අංශයේ දැනුවත් කිරීම් සඳහා පෙළගස්වා තිබිණි.

ක්ෂුද්‍රජීව විද්‍යා (Micro-Biology Science) අධ්‍යාපන අංශය, අපේ රටට ඉතා අත්‍යවශ්‍ය මෙහෙයක් කිරීම සඳහා පිළියෙල කරන ලද පෙළ ගැසීම් රැසක් ප්‍රදර්ශනය සදහා එක් කරගෙන තිබිණි. ශාකවලට බෝ වන රෝග පිළිබඳවත් ඒවායින් වළකින සහ වළක්වාගත හැකි ක්‍රමවේද පිළිබඳවත් දැනුවත් කිරීම් ඉමහත් ප්‍රයෝජනවත්ය. ගීතිකා චන්ද්‍රසිරි, අනුෂ්ක ප්‍රසාද්, පිළිවෙළින් 3 වැනි සහ 4 වැනි වසර ඉංජිනේරු සිසුන්ය. පැහැදිලි කිරීම් සඳහා ප්‍රසාද් ඉදිරිපත් විය.

"ශාක වෙත විවිධ ආසාදන සහ වෛරස් රෝග බෝ වීම සිදු වෙනවා. කෘමීන්, දිලීර, විශේෂයෙන් ශාක වෙත බලපෑම් කරනවා. පොල්, කෙසෙල්, මඤ්ඤොක්කා, ගස්ලබු, ගොයම් ඉන් ප්‍රධානයි. පොල් අතු විනාශ කරන මයිටාවන් විනාශ කිරීමට සුදුසු වන්නේ තවත් මයිටාවන් යෙදවීමයි. විනාශකාරි මයිටාවන් විනාශ කරන මයිටාවන්ගෙන් මිනිසාට හානියක් නැහැ. එහි ප්‍රතිඵල උපරිමයි; රසායනික කෘමි නාශක යොදනවාට වඩා ප්‍රයෝජනවත්. ජනතාව මේ මයිටාවන් ගැන දැනුවත් කිරීම අපේ යුතුකමක්. කෙසෙල්, මඤ්ඤොක්කා, වෙත ඉලපෑම් සිදු කරන්නේ වෛරස් විශේෂයක් ඒ සඳහා ජෛව පාලන ක්‍රම තිබෙනවා. ප්‍රශ්නය ගොවීන් සහ ජනතාව නිසි අයුරින් දැනුවත්ව නැති වීමයි. වෛරස් නිසා වඳ පීදීම, පත්‍ර වියළී විනාශ වීම, පත්‍ර කහපාට වීම වැනි ලක්ෂණ දකින්න පුළුවනි. මෙවැනි නිරීක්ෂණයන් දුටු විට ශාක ඉවත් කර පුළුස්සා දැමීමෙන් වගාව ආරක්ෂා කරගන්න පුළුවනි. ගස්ලබු ගෙඩියට හානි සිදු කරන්නේ මැස්සෙක්. ඵලයේ මතුපිට වළලු ආකාරයට මුදු මෙන් (Ring Sport) දුඹුරු පුල්ලි ඇති කරණවා. මේ රෝගය නිසා ගස්ලබු නිරස වනවා. ඵලයේ යුෂ උරාබොන නිසයි මේ ආසාදනය සිදු වන්නේ. බැක්ටීරියා මාර්ගයෙන් කෘමින් මර්දනය කළ හැකියි. ඒ සඳහා ජනතාව දැනුවත් කළ යුත්තේ ජීව විද්‍යාත්මක කරුණු පිළිබඳව මනා අවබෝධයක් සහිතවයි.

"විද්‍යාත්මක පසුබිම නොදන්නා අය විරෝධතා ගොඩනැඟීම් මත සාර්ථක ක්‍රමවේද අත් හරින්න සිදු වනවා. පසුගිය කාලයේ ඩෙංගු මර්දනයට BTI වැනි බැක්ටීරියාවන් යොදන්න රජය තීරණය කළා. එය මිනිස් ශරීරයට අහිතකරයි කියා මානව සෞඛ්‍ය නොදැනුවත් ජනතාව නැඟී සිටියා. ඒ නිසා අපේ රටේ විශාල ප්‍රමාණයක් ඩෙංගු වෛරසය නිසා ජීවිතෙන් සමුගත්තා. රෝගීන් බේරාගන්න විශාල පිරිවැයක් දරන්න වුණා. දැනටමත් ප්‍රමාද නෑ. නිසි අයුරින් ජනතාව දැනුවත් කිරීම හරහා ඩෙංගු වසංගතයෙන් ජනතාව බේරාගත හැකියි. මදුරු නාශක ද්‍රව්‍ය නිපදවන ව්‍යාපාරිකයෝ මේ ක්‍රමවේදයට කැමැති නැහැ. ඒ අය ජනතාව විරුද්ධ මතවලට පොලඹවනවා. ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යාපනය නිසි ක්‍රමවේදයක් මඟින් ජනතාව වෙත රැගෙන යා යුතු වෙනවා. අපේ ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණත් එයයි."

දනුෂි තමාරා ද සිල්වා සහ තනිද්‍යා වීරකෝන් සිව්වැනි වසරේය. ඔවුහු ජෛව රසායන විද්‍යා (Bio-Chemical Science) අංශයේ නිපුණතාවන් ජනතාව වෙත දැනුවත් කිරීම වෙනුවෙන් සූදානමින්

සිටියහ. දියවැඩියාව සහ ඩෙංගු රක්තපාත වෛරසය නිසා ඇති වන බලපෑම් විස්තර කිරීම් ඔවුන්ගේ රාජකාරිය විය. මානව සෞඛ්‍යය රැකගන්නා ආකාරය සහ ඉන් මිදිමට උපකාරි වන බොහෝ දෑ

විසිතර කළේ මෙසේය:

"ඩෙංගු මදුරුවාගේ ගැහැනු සතා පමණක් ලේ උරා බොයි. පිරිමි මදුරුවා ලේ උරා බොන්නේ නැත. ගැහැනු මදුරුවාගේ අවශ්‍යතාව බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රෝටීන සහ යකඩ ලබාගැනීමයි. ඒ සඳහා සත්ත්ව ලේ උරා බොයි. හිසේ සිරස් ආකාරයට ඉරි කිහිපයකින් සහ උදර ප්‍රදේශයේ තිත්වලින් යුක්තය. ශරීරය සාමාන්‍ය මදුරුවාට වඩා කුඩාය. හඳුනාගැනීම අපහසු නැත. සාමාන්‍ය මදුරු බිත්තර මෙන් නොව ඩෙංගු මදුරුවාගේ බිත්තර එකට ඇලී පවතී; ඉලිප්සාකාරය. පිරිසුදු හෝ අපිරිසුදු සහ නිශ්චල ජලයේ බිත්තර දැමීම සිදු කරන අතර ජලයේ ප්‍රමාණත්මක බව බල නොපායි. වරකට බිත්තර 100ක් 150ක් පමණ දැමීමෙන් පසු ජලය නැති වුව හොත් සංරක්ෂණ ක්‍රියාවලියක් මත මාස 6ක්-7ක් පමණ විනාශ නොවී පවතී. නැවැතත් ජලය එකතු වීම මත බිත්තර පුපුරා කීට අවස්ථාවට පැමිණේ. ඒ අනුව ගෙවත්තේ ඇති ජලය රැඳවෙන තැන්වල ඇති භාජනවල ජලය නොතිබුණත් බිත්තර ඇලී මාස ගණනක් පැවැතිය හැකිය.

ජලය තුළ සිටින කීටයන් ඩෙංගු කියා නිගමනය කළ නොහැකියි. ඩෙංගු වෛරසය වැලඳුණු විට ඇස්ප්‍රින් ඩිස්ප්‍රීන් දෙන්න එපා කියන්නේ ලේ කැටි ගැසීම අඩු වී රුධිරය වහනය වැඩි වන නිසයි. රතු ලේ ඇටමිදුළුවලට වන හානිය වැඩියි."

අපි මේ ප්‍රදර්ශනයේ වගකීම් කරට ගත් ආචාර්ය මණ්ඩලයේ අදහස්ද විමසීමට සූදානම් වූයෙමු. එහිදී අපට මුණගැසුණේ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියයි. වසර විසිහයක් පුරා විශ්වවිද්‍යාලයේ කටයුතු කර ඇති ඇය අපට මෙසේ විස්තර කර සිටියාය:

"දැඩි තරග විභාගයකින් ඉහළ ලකුණු ලබමින් විශ්වවිද්‍යාලයට තේරෙන දරුවන්ගේ අනාගතය සුවිශේෂ මාවතකට යොමු කිරීම විශ්වවිද්‍යාල අධ්‍යයන පද්ධතියේ වගකීම සහ යුතුකමයි. වසර හතරක කාලය මිඩංගු කරන්නේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් තම හැකියාවෙන් සේවාවක් සැපැයීමටයි. විද්‍යා ක්ෂේත්‍රයෙන් විවිධ ක්ෂේත්‍රවලට අදාළව තාක්ෂණය බිහි කිරීමටත්, රටේ ලෝකයේ අවශ්‍යතාවන්ට නිපැයුම් මෙන්ම සේවා සැපැයීමටත් අවස්ථාව ලැබෙනවා. රටේ ජනතාව වෙනුවෙන්, පාසල් සිසුන් වෙනුවෙන් සහ ඒ පිළිබඳ උනන්දුව දක්වන්නන් වෙනුවෙන් විද්‍යාව ප්‍රචලිත කිරීම මේ ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණයි. නව නිපැයුම් එළිදැක්වීමේ ක්‍රියාවලියක්ද මේ ව්‍යාපෘතිය මඟින් ඉස්මතු වෙනවා. විද්‍යාව, කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු සහ තාක්ෂණය ඒ අතරින් ප්‍රධානයි.

විශ්වවිද්‍යාලයට සිසුන් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙනවා. ඒ අනුව ඔවුන්ගේ මානසිකත්වය ගොඩනඟන්න මුල් කාලයේදී වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එවිට සාමූහිකත්වය ගොඩනැ‍ඟෙනවා. විශ්වවිද්‍යාලයකට 'Team Work' අවශ්‍යමයි. අප පීඨයේ විශේෂවේදී උපාධි කිහිපයකටම ඇත්තේ විශාල ඉල්ලුමක්. අපි ඒ ගැන ආඩම්බරයි. අපේ දරුවන් නිවෙසින් බැහැරව අධ්‍යයන කටයුතුවල නිරත නිසා දෙමවුපියන්ටත් සොයා බැලීමේ යුතුකමක් තිබෙනවා. තරුණ ජවය විනාශ කිරීම සඳහා නොයෙක් බලවේග ඉතා තදින් ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ නිදහස් කාලය කලාව වෙත සහ වෙනත් සමාජීය මෙහෙවර සඳහා යොදාගැනීමට අපි උත්සාහ ගන්නවා. වසර 26ක් විශ්වවිද්‍යාලය සමඟ ගත කළ කාලයේ වගකීමක් මටත් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් නැඟී සිටිමයි. මටත් විශ්වවිද්‍යාලයේ ‍ඉගෙනීම ලබන දරුවෙක් ඉන්නවා."

ජනතාව දැනුවත් කිරීම පාසල් සිසුන් වෙත විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පෙලඹවීමක් ඇති කිරීමටත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු තමන් උගත් දෙයින් රටට ජාතියට ප්‍රයෝජනවත් යමක් ලබා දීමට අදහසක් ඇති කිරීමත් සම්බන්ධයෙන් මේ ප්‍රදර්ශනය වැදගත් විය. ඒ සම්බන්ධව ජාතික මාධ්‍ය ආයතනයක් ලෙස ජනතාව දැනුවත් කිරීමට 'සිළුමිණ' අපට හැකි වීමද භාග්‍යයකි.

අනිල් ලසත් පෙරේරා

Comments

Mehi ati samaharak karunu ath weradeemakin niwaradi nowana bawa matak karanna kamati.. examples engineers la naha Science faculty eke. e wagema Sudu and Kalu warna dekenma warna ura ganne na. kalu ura gannawa. sudu parawartanaya karanawa.

පිටු