වඩා වටිනා දෑ | සිළුමිණ

වඩා වටිනා දෑ

 මගේ අතින් වටිනා වීදුරු කෝප්පයක් බිඳුණි. එය චින්තාගේ ප්‍රධානියා වූ ප්‍රියන්ති විසින් අපට තෑගි කරන ලද්දකි. උතුරන වතුර දැමූවත් හානියක් නොවන, දශකයකට වැඩි කලක් පාවිච්චි කළ වීදුරු කෝප්ප යුගලයෙන් එකක් එලෙස අහිමි වීම නිසා මම කණස්සල්ලට පත් වීමි.

'හ්ම්... ඔහොම දේවල් ද නැති වෙලා තියෙන්නෙ' චින්තා සැහැල්ලූවෙන් කීවාය. මට එකෙණෙහිම තාත්තා සිහියට නැගුණි.තාත්තා වියෝ වූයේ කිසිදු වේදනා විඳීමකින් තොරව වුවත් අපට එය තදබල වේදනාවක් ගෙන දුන්නේය. පමා වී එහි පැමිණ තාත්තාගේ සිරුරට අත තැබූ මට ඒ වන විටත් සිරුරේ උණුසුම දැනුණි. මම තාත්තාගේ කෙස් රොදක් කපාගෙන සුරැකිව මා ළඟ තබා ගතිමි.

තාත්තාගේ ආදාහන කටයුතු අවසන් වූ පසු සුසාන භූමිය තුළ තැන්පත් කිරීමට ඉඩකඩ තිබුණත් මම එය නොතකා භස්මාවශේෂ ගෙදර ගෙන ආවෙමි. එය නුසුදුසු බව කී අය පෙන්වා දුන්නේ එයින් ගෙවල් පාළු වෙන බවයි. මම එය තැකීමක් නොකෙළෙමි.

එය නොකටයුත්තක් යැයි තමා සමග සිල් සමාදන් වන අය කී බව අම්මා කීවාය. ඒ කිසිවෙකුත් නිශ්චිත හේතුවක් නොදැක්වූ බැවින් මම අම්මාට කාලාම සූත්‍රය සිහිපත් කොට ඇය නිරුත්තර කෙළෙමි.

තාත්තාගේ භස්මාවශේෂ මම අපේ ගෙදරින් මගේ නවාතැනට ගෙන ආවෙමි. එදින රාත්‍රී දුරකථනයෙන් මා ඇමතූ චින්තා එය සුසාන භූමියේ තැන්පත් කිරීමට මා එකඟ කරවා ගත්තාය. පසු දින උදෑසන මම භස්මාවශේෂ භාජනය ඇර බලා ඒවා ස්පර්ශ කළෙමි. එයින් ටිකක් මා ළඟ තබා ගැනීමට සිතුණත් එසේ නොකෙළෙමි.

චින්තා පැමිණි පසු මම නිශ්ශබ්දවම භාජනය ඇය ඉදිරිපිට තැබීමි. මඳක් සැක මුසු බැල්මකින් මා දෙස බැලූ ඇය 'ටිකක් තියා ගත්තාදැ' යි ඇසීය. මම හිස සලා එය නොකළ බව ඇඟවීමි.

සුසාන භූමියට යන අතරමගදී චින්තා මෝටර් රථය නවතා මල් පැළයක් මිල දී ගත්තේ භස්මාවශේෂ මිහිදන් කළ පසු එහි සිටුවීමටයි. ඒ ස්මාරක තැනීම තාත්තා අනුමත කරන්නක් නොවූ බැවිනි. අපට අපේ ම යැයි කිව හැකි කිසියම් දෙයක් වේද? අපි භෞතික දෑ අත්පත් කරගැනීමට ආශා කරමු. ඒවායේ හිමිකම වෙනුවෙන් සටන් වැදීමටද පෙලඹෙන්නෙමු. නමුත් යම් දිනෙක අපට ඒ සියල්ල අහිමි වනු ඇත. ඉතිරි වන්නේ මතක සටහන් පමණි. ඒ සියල්ල මිහිරි මතක සටහන් නම් අපේ ජීවිත සුන්දර වනු ඇත.

පාසල් සමයේදී මගේ ඉල්ලීම පරිදි සමරු පොතේ තාත්තා ලියූ කවියක් වෙයි. පොත් පත්, සිහිවටන ආදී භෞතික දෑ එක්රැස් කිරීම පිළිබඳ මගේ තුබූ ඇල්ම තාත්තා දැන සිටියේය. ඒ කවියෙහි තේරුම මා දැන සිටියත්, අර්ථය වැටහුණේ තාත්තාගේ වියෝවෙන් පසුවයි.

දිරන නැසෙන දිවි කෙටි කාලෙකදි ඉතා
පුදන ලදොත් හැම සත් වග සුවය පතා
සහන සිතින සාමය දුන් අයුරු සිතා
කුමන මොහොත වුව සැනසිය හැකිය පුතා

දර්ශන කරුණාතිලක

Comments