
මම, මගේ පුංචි අම්මාගේ, නිෙවස පිහිටි දෙහිවල ‘විජය ඇවනිව්’ නමින් හැඳින්වෙන පටු මාවෙත් සිට ගාලු පාරට පැමිණියෙමි. කිසියම් වුවමනාවක් නිසා මට බම්බලපිටිය පැත්තට යෑමට සිදුවී තිබිණි. මම හෙමින් ගමන් කළෙමි. එක් වරම මගේ නම කියා අමතන හඬක් මට ඇසිණ. මම නතර වීමි. මුහුද පැත්තේ නිෙවසක හිඳ එළිමහනට ආ කිහිප දෙනකු අතර සිටි පුද්ගලයා කවුදැයි මම හඳුනා ගතිමි. ඔහු ඊට පෙර එක් වතාවක් පමණක් හමුවූ තිස්ස අබේසේකර බව මම හඳුනා ගතිමි. මම, ගමන නතර කොට ගෙමිදුලක හිටගෙන කතා බහ කරන පිරිස අතරට ගියෙමි. තිස්ස විසින් මා ඔවුන්ට හඳුන්වා දෙන ලදී. ප්‍රථම වතාවට තිස්ස, මට ලෙස්ටර් ජේම්ස් පීරිසුත් හඳුන්වා දුන්නේ ය. ඊළඟට එතැන සිටියේ නීල් අයි. පෙරේරා ය. නීල් සමඟ සිටියේ ඒ වනවිටත් මා දැන හඳුනා සිටි මා මිත්‍ර පුවත්පත්කරුවා වූ බෙනඩික්ට් දොඩම්පෙගමයි. බෙනඩික්ට් ළඟ සිටියේ සිරිල් බී. පෙරේරා ය. ඊළඟට සිටියේ කවුරුන් දැයි මට දැන් මතක නැත. ඔවුන් මෙසේ ලෙස්ටර් ආචාර්යවරයාගේ නිවසට පැමිණ ඇත්තේ කිසියම් චිත්‍රපට කතාවක් නිර්මාණශීලීව ගොඩනැංවීමට ය.
මේ නිර්මාණාත්මක කාර්යයට කුඩා කණ්ඩායමක් සහාය කරගැනීම ලෝක ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සිරිතක් බව ද මට පැහැදිලි කර දුන්නේ තිස්ස අබේසේකරයන් ය. ඒ අනුව තමන් විසින් ලියන ලද බොහෝ තිරනාටක ලෙස්ටර් ආචාර්යවරයා ඇතුළු කීප දෙනකුට කියවීමත් ඉන් පසුව තවදුරටත් ප්‍රතිරචනය කිරීමත් තිස්ස අබේසේකරයාණන්ගේ සිරිතක් විය. මා, මේ කියන කාලය 1965 අවසන් භාගය විය යුතුයැයි මම සිතමි. මෙ කියන දිනයේ මටත් මේ පිරිසට එක්වීමට (ඉතා සුළු වෙලාවකට) ලැබීම මා කල්පනා කළේ දුර්ලභ අවස්ථාවක් ලෙසිනි. තිස්ස අබේසේකර මට මුල්වරට හමුවූයේ ගාලු පාරේ, කොල්ලුපිටියේ මුහුද පැත්තේ එකල පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිල (British Council) පුස්තකාලයේදී ය. අප දෙදෙනා අතර අපූරු මිත්‍රත්වයක් ගොඩනැඟිණ. ඔහු එකල වඩාත් නැඹුරු වී සිටියේ දැන්වීම්කරණය (Advertising) කෙරෙහි ය. මට ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොවීය. මගේ ළැදිකම අපේ රංග කලාව වෘත්තාන්තවේදය හා සිනමාව ය. මට වුවමනා වී තිබුණේ සිනමා තිරනාටකයක් ලිවීමට ය. මම ඒ සඳහා ගුරුහරුකම් ලබාගත්තේ තිස්සගෙනි. මේ වනවිට ඔහු තිරනාටක කීපයක් ලියා තිබිණි.
තිස්ස අබේසේකරයන් සතුවූ ගුණාංග අතර මා හඳුනාගත්තේ ඔහු සියුම් පරිකල්පනයෙන් සුසැදි මනැසින් යුතුව ව්‍යක්ත නිර්මාණයන් බිහි කළ හැකි කුසලතා පූර්ණ ලේඛකයකු බව ය. ඒ වග ඔහු ලොවට පෙන්නුම් කළේ ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘ඉපනැල්ල’ මගිනි. මෙහි එන බොහෝ කෙටිකතා ඔහු දෙතුන් වතාවක් නැවත නැවත ලියූ බව මම දනිමි. මෙසේම ඔහු මේ වනවිට රෙජි සිරිවර්ධනයන් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ‘ගම්පෙරළිය’ තිර නාටකය සිංහලෙන් සංවාද සහිතව නැවත ලියුවේ ය. ඉන් පසුව ස්වීය නිර්මාණයක් ලෙස ‘දෙලොවක් අතර’ ලියුවේ ය. මට මතක හැටියට ඉන්පසුව තිස්සට වුවමනා කර තිබුණේ තමන් විසින් ම නිමවන ලද තිරනාටකයක් අධ්‍යක්ෂණය කිරීමට ය. මට වතාවක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කී පරිදි ‘තිස්ස තරම් සිනමා කලාව ප්‍රගුණ කිරීමට ඇප කැපවූ කෙනකු සොයාගත නොහැකි ය. ඔහු ලෝක සම්මානයට පාත්‍ර වූ හැම චිත්‍රපටයක් ම නරඹා තිබිණ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ‘කලාමැදිරියෝ’ නමින් එක් අපූරු චිත්‍රපට පිටපතක් ලියුවේ ය. ඉන් පිටපතක් මට ද එකල කියවීමට බාරදුන්නේ ය. සංගීත කණ්ඩායමක් පසුබිම් කොට ගත්ත ද සියුම් සිතක් ඇති තරුණ ගායකයකුගේ ජීවිතයේ පැතිකඩ කීපයක් විවරණය වන පරිදි ඒ තිරනාටකය නිමැවි තිබිණ.
“මට සුනන්ද ලවා පුංචි උපකාරයක් ලබාගන්ට වෙලා තිබෙනවා.”
“මොකක්ද?”
“මේකේ කතානායකයා නිතර නිතර ගයන ගීතයකට ගැළපෙන ගීත රචනයක් ඕනෑ”
ඔහුට අවශ්‍ය වන සිනමා ජවනිකා රැසක් ම මගේ මනැසේ ජනිත කරවීමට තිස්ස අතිශයින් සමත් විය. මෙකල මා සේවයේ නිරතව සිටියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ. සිංහලාංශයේ සංගීත අංශයේ නිබන්ධ සම්පාදකවරයා වශයෙනි. ගීත රචනයට ළැදිව කලක්ම මා එහි නිරතව සිටි බව තිස්ස වටහාගෙන සිටියේ ය. එබැවින් විය යුතුය, ඔහු මට ඒ කාර්යභාරය පැවරුවේ. මා ලියූ ගීත රචනය, තිස්ස අගය කළේ ය. මට එහි වදන් පෙළ අමතක වී තිබුණ ද තිස්සට අමතක නොවී ය. ඔහු මේ ගීය ගායනා කර වූයේ සුප්‍රකට ගායක නෙවිල් ප්‍රනාන්දු මඟිනි. මේ වදන් නැවත සිහිකොට ලියා දුන්නේ මා බිරිඳ සීතා ය.
“සෙනෙහසින් ඉදි කළ ලොවයි
මදහසින් හෙළි කළ ලොවයි
සියල් යසසුරු එකට කලතා
මා පැතූ මගෙ රන් ලොවයි...
මා හිත මිතුරු තිස්ස අබේසේකරයන් සිහිගන්වනු වස්, ඔහුට ප්‍රණාම පිණිස මගේ ගී රචනයෙන් කොටසක් මෙසේ බහාලන්නට සිතුවෙමි. එහෙත් මෙතකින් තිස්සගේත් මගේත් කතාව කෙළවර නොවේ.
ඉතා කෙටි කලක් ඔහු පදිංචිව සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් වැටුණු මහ මාවතේ එගොඩමුල්ල පැත්තේ පී. එම්. පෙරේරා මාවතේ කුඩා නිවහනකය. නිතර නිතර තිස්ස හමුවීමට යෑම මගේ සිරිතක් වූයේ ඔහු හා සමඟ කතා බහින් බොහෝ දේ උගත හැකි බව හැඳිනගත් බැවිනි. වතාවක් මම ද ‘දවසින් දවස’ යනුවෙන් තිර නාටකයක් ලීවෙමි. එය තිස්ස ලවා අධ්‍යක්ෂණය කරවා ගැනීම මගේ අරමුණ වීය. එහෙත් අප දෙදෙනාටම ඒ කාර්යය මුදුන් පමුණුවා ගත නොහැකි විය. තිස්ස එක් වතාවක් කී දෙයක් මට මතකය. මගේ කලාමැදිරියෝට ඔබ ලියූ ගීතය ඉතිරි වුණා. චිත්‍රපටය ආවේ නෑ. ඔෙබ් ‘දවසින් දවස’ කවදා කෙරේද දන්නේ නෑ.