කණ්ඩලම දේශපාලනයේ දිය කළ දඹුල්ලේ ලෝක උරුමය | Page 64 | සිළුමිණ

කණ්ඩලම දේශපාලනයේ දිය කළ දඹුල්ලේ ලෝක උරුමය

 දඹුලු විහාරය යනු මෙරටට මෙන්ම පොදුමහත් විශ්ව මානව සමාජයටම අයත් අගනා සම්පතකි. ඒ එසේ වන්නේ මානව ක්‍රියාකාරිත්වයේ එක්තරා කාලපරාසයක මානවයින්ගේ සිතුම් පැතුම් හා ක්‍රියා කාරකම් එමගින් පිළිඹිබු වන නිසාය. එනිසා මෙම ඓතිහාසික රංගිරි දඹුලු පූජා භූමිය මෙන්ම මෙරට ඓතිහාසික ස්ථාන කිහිපයක් ම ලෝක උරුමයන් යටතට පත්විය.

මීට වසර 37කට පෙරාතුව(1980 සිට 1997 දක්වා කාලය තුළ) යුනෙස්කෝ ආයතනයේ ආධාර ඇති ව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සංස්කෘතික ත්‍රිකෝණය වැඩසටහන භාරව කටයුතු කළ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් අනුරාධපුරය(අභයගිරිය හා ජේතවන විහාරය), පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන ස්ථාන පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කළේය. ඒ අනුව ඉහත ස්ථාන සංරක්ෂණය කොට පවත්වාගෙන යා යුතු ස්ථාන ලෙස හඳුනා ගත්තේය. මේ සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලතම සංස්කෘතික උරුම සංරක්ෂණ ව්‍යාපෘතිය බවට පත්විය. එසේම මෙය යුනෙස්කෝ ආයතනයේ ආධාර ඇති ව ක්‍රියාවට නංවන ලද වැඩසටහන් අතුරින් ඉතාම සාර්ථක වූ ව්‍යාපෘතියක් බවට පත් විය. මේ ව්‍යාපෘතියේ මූලික වැඩ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අරමුදල් අන්තර්ජාතික ප්‍රජාව වෙතින් ලබා ගැනීම පිණිස යුනෙස්කෝ ආයතනය මඟින් ප්‍රචාරක වැඩසටහනක් දියත් කෙරිණි. මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙතෙක් අධ්‍යනය කළ කරනු උපයෝගී කරගෙන මෙහි ඇති වැදගත් බව මේ ප්‍රචාරණ වැඩ සටහන සඳහා යොදාගෙන තිබුණි. ඒ අනුව, පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අදාළව මේ් කරුණු ඊට ගොණු කෙරිණි.

*සංරක්ෂණය හා විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ උරුමයන් රැක ගැනීම. (බිතු සිතුවම් හා අනෙකුත් අලංකාරමය නිර්මාණ)

*උරුමයන් පිළිබඳ තොරතුරු සැපයීම.

*උරුමයන් පවත්නා ස්ථානවල නරඹන්නන් සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.

*අදාළ ස්ථාන හා කෞතුකාගාර සංරක්ෂණය. ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ දී අදාළ ස්ථානයන් හී විශ්වීය මට්ටමේ කැපී පෙනෙන සාධක පැවැතිය යුතු අතර, ඒ සඳහා තෝරා ගන්නා නිර්ණායක දහය අතුරින් අඩුම තරමින් එකක් හෝ සපුරා තිබිය යුතු විය. ලෝක උරුම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශය මේ නිර්ණායක විස්තර වශයෙන් දක්වා තිබේ. (ලෝක උරුම ප්‍රඥප්තියට අදාළ ප්‍රධානතම ක්‍රියාකාරී සංකල්පවල ඇති වන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් අදාළ කමිටුව විසින් මෙකී නිර්ණායක කලින් කලට සංශෝධනය කරයි.) ඒ අනුව තෝරා ගැනීමේ නිර්ණායක පහත දක්වමි,

*මානව නිර්මාණ ප්‍රතිභාව සහිත විශිෂ්ට නිර්මාණයන් නියෝජනය කිරීම.

*විශ්ව සංස්කෘතිකමය ක්ෂේත්‍රයේ කලක් තිස්සේ පැවත එන ගෘහනිර්මාණ කලාව හා බැඳුණු, වැදගත් මානව හරයන්ගේ අනෙ‍න්‍ය එකතුව විදහා දැක්වීම.

*තාක්ෂණය, ස්මාරක කලාව, නගර නිර්මාණ හා භූමි පරිභෝජන සැලැසුම් හා බැඳුණු වැදගත් සංසිද්ධීන් වීම.

*ලෝකයේ දැනට දක්නට ලැබෙන හෝ අභාවයට ගොස් ඇති සංස්කෘතිකමය සම්ප්‍රදායන් හෝ ශිෂ්ටාචාරයන්වලට සාක්ෂි දරන විශේෂතා/ සිද්ධීන්.

*මානව ඉතිහාසයේ විශේෂිත අදියරයන් පෙන්නුම් කරනු ලබන ගොඩනැඟිලි, ගෘහනිර්මාණ හෝ තාක්ෂණයන් සමඟ බැඳුණු කැපී පෙනෙන උදාහරණයන් වීම.

*දැනට විනාශ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති, විශේෂිත වූ මානව අන්තර් ක්‍රියාකාරකම් හෝ සංස්කෘතීන් නියෝජනය කරනු ලබන සාම්ප්‍රදායික මානව ජනාවාස, භූමි, පරිභෝජන රටාව හා මුහුදු භාවිතයට ගැනීම යන ක්‍රියාකාරකම් හා බැඳුණු විශේෂිත උදාහරණයන් වීම.

*කැපී පෙනෙන විශ්ව මට්ට්මේ විශේෂත්වයක් සහිත කලා හා සාහිත්‍යමය කෘතීන්, සංකල්ප හෝ අදහස් නියෝජනය වන ඍජු හෝ ස්පර්ශමය වශයෙන් පවත්නා නිර්මාණ (කමිටුව විසින් මේ නිර්ණායකය අනෙකුත් නිර්ණායක සමඟ පොදුවේ යොදා ගනී.)

*විශේෂිත ස්වභාවික ප්‍රපංචයක් හෝ, ව්‍යතිරේකමය ස්වභාවික අලංකාරයක් හෝ සෞන්දර්යාත්මක ආකර්ශනයක් සහිත වීම.

ඓතාහාසිකමය ජීවන තොරතුරු/ වාර්තා

*ජලය, වෙරළ හා මුහුද ඇතුළත් පාරම්පරික පද්ධතියේ වෙසෙන පැළෑටි හා සත්ත්ව විශේෂවල සංවර්ධන හා පරිණාමනය හා බැඳුණු පාරම්පරික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නියෝජනය කරනු ලබන වැදගත් උදාහරණ වීම.

*විද්‍යාව හා සංරක්ෂණය යන දෘෂ්ඨි කෝණයන්ගෙන් විශේෂිත වූ විශ්වමය වටිනාකමක් සහිත දැනට විනාශ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ජීවමය ප්‍රභේදයන් ඇතුළුව සංරක්ෂණයක අවශ්‍යතාව පවත්නා ඉතා වැදගත් වූ ස්වභාවික වාසභූමි/ ජනාවාස වීම.

*භූමි විනාශය හා සම්බන්ධ භූ විද්‍යාත්මක සංසිද්ධීන්, හෝ වෙනත් භෞතිකමය පරිණාමයන් සහිත පෘථිවි ඉතිහාසයේ ප්‍රධාන අවස්ථා නියෝජනය කරනු ලබන කැපී පෙනෙන උදාහරණ වීම.

මේ නිර්ණායක සැලකිල්ලට ගෙන ඉහත සඳහන් ස්ථාන ලෝක උරුමයන්ගේ ලැස්තුවට ඇතුළත් කෙරිණි. මානව ශිෂ්ටාචාරයේ කඩයිම් ලෙස සලකුණු වී ඇති ලොව පුරා පවතින ඓතිහාසික වැදගත් කමකින් යුතු මෙවැනි ස්ථාන ලෝක උරුමයන් බවට යුනෙස්කෝව පත් කෙරන්නේ කිසියම් වූ හේතුවක් මතය. ඒ අනාගත පරම්පරාවට මානව ශිෂ්ටාචාරයේ විවිධ අවධීන් පිළිබඳව ගවේශනය කිරීම සඳහාය. ඒ අනුව මෙය ලෝක උරුමයක් සේ රැක ගැනීමට අන්තර්ජාතික ප්‍රජාව දක්වන උනන්දුව පිළිබඳව අප සතුටු විය යුතුය.එහෙත් පසුගිය කාලයේ පටන් විවෘතව බැලිය යුතු ලෝක තත්ත්වය දෙස ළිංමැඩි ආකල්පයක සිට බැලීමට කටයුතු කිරීම නිසා ක්‍රමයෙන් එතෙක් පැවත ආ තත්ත්වයන් උඩු යටිකුරු විය.

ඓතිහාසික දඹුලු රජමහා විහාරය සංරක්ෂණ කළ යුතු බව එහි ගිය ඕනෑම සංචාරකයකුට පෙනී යන කාරණයකි. එහෙත් එම සංරක්ෂණ කටයුතු කාලාන්තරයක් තිස්සේ පටන් සිදු නොවී තිබෙන බව එහි යන ඕනෑම කුඩා දරුවකුට වුවද දර්ශනය වන්නකි. දිනක් මා සමඟ එහි ඟිය මිත්‍රයකු පැවසූයේ “බලපන් මේ චිත්‍රවලට වෙලා තියන දේ, පුදුම අපරාදයක්නෙ දවසට කී දාහක් හම්බ කරනවද, අඩුම තරමේ හම්බකරන් කන දේ නේද කියල සැලකිල්ලක් තියෙන්න ඕන නේද. “. විනාශ වෙමින් පවතින සිතුවම් හා පිළිම දෙස බලා තමන්ගේ සිතේ නැඟුණ වේදනාව එදා මගේ මිත්‍රයා වචනවලට නැඟුවේ එලෙසය. ඒ කියූ දෙය අද දේශපාලන මාතෘතාවක් දක්වා උඩු දුවමින් තිබේ. මම පෙරලා විහිලුවට මෙන් මිත්‍රයාට මෙසේ පිළිතුරු දුනිමි. “අනේ දරුවො ඔය ඉතිං අනිත්‍ය තාවයනේ. බුදුන් පිරිනිවන්පාපු එකේ මේ ගුහා විතරක් පවතීවියැ‘‘ එසේ කීවද ඒ පිළිබඳව නොයිවසිලිමත්ව සිටි නිසා එහි වුන් ස්වාමින්වහන්සේ නමකගෙන් මේ පිළිබඳව විමසීමි. උන් වහන්සේ පවසා සිටියේ ඉක්මනින් එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. පසුව ‘දඹුලු විහාර ලෙන් චිත්‍ර විනාශය අභිමුව‘ යන හිසින් යුතුව ප්‍රවෘත්තියක් පළ කර මම සිත සනසා ගතිමි. මේ කියන කාල වකවානුව අයත් වන්නේ පසුගිය රජය සමයටයි. එවක අණ්ඩු බලය හෙබවූ අය මේ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්හ. අද රට ජාතිය ආගම තම දේශපාලන ගාමකය බවට පත්කරගෙන සිටින කිසිවකුත් එදා ඒ පිළිබඳව කටයුතු නොකළේ මන්දැයි විමසා බැලිය යුතු කරුණකි.

ලෝක උරුමයන් අතර දඹුලු රජමහ විහාරයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. මේ විහාරයේ පසුගිය කාලය පුරා සිදු වෙමින් තිබුණු විනාශය වලක්වා ගැනීම සඳහා මෙහි භාර කාර හිමිවරුන් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. මේ තත්ත්වය හමුවේ නව තාක්ෂණය යොදාගනිමින් දේශීය විදේශීය විශේෂඥයින්ගේ දැනුම යොදාගෙන මේවා අනාගත පරම්පරාවට ඉතිරි කර දීම සඳහා නව රජය කටයුතු කරමින් තිබුණි. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර සංරක්ෂණ විශේෂඥයකු වන මහාචාර්ය වර්නර් ස්මිත් යොදාගෙන සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තේය.

අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන ආකාරයට දඹුලු විහාරවාසී ප්‍රධාන ස්වාමීන්වහන්සේලා ලිඛිතව කළ ඉල්ලීමකට අනුව මේ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටත්, ඒ වගේම පහුගිය කාලය පුරාම විදේශීය සංචාරකයින්ගෙන් දඹුලු විහාරයට එකතු වූ රුපියල් කෝටි 800ත් 1250ත් අතර විශාල මුදල් ප්‍රමාණයට කුමක් සිදු වූයේ දැයි සොයා බලා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමටත් කටයුතු කළ බවයි.

ඒ අනුව විහාර දේවාලගම් පනත පරික්ෂා කර බලා අදාළ කටයුතු විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත්, ඒ අනුව විදේශීය සංචාරකයින්ට ප්‍ර වේශපත් නිකුත් කිරීමේ නීත්‍යානුකූල බලය හිමිව තිබූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එම කාර්ය පවරාදෙනු ලැබූ බවත්ය. එලෙස නීත්‍යානුකූල රාමුව තුළ අවශ්‍ය කටයුතු සිදු කරමින් යන අතරතුර, මේ කටයුතු සඳහා මැදිහත්වන ලෙස තමාට ලිඛිතව දැනුම් දුන් ස්වාමින් වහන්සේලාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ කටයුතුවලින් ඉවත් වන ලෙස ප්‍රකාශ කරන්නට පටන් ගත් බවත් එපමණක් නොව ප්‍රෙව්ශපත් මුද්‍රණය කර අලෙවි කිරීමේ කටයුත්තත් උන්වහන්සේලාටම පවරාදෙන්න යැයි ද ඉල්ලා සිටි බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

‘අනතුරුව පුරාවිද්‍යාඥයින් සියලු දෙනා රැස්වෙලා ඒක මතික තීරණයකට ආවා. මේ විහාරයේ සිතුවම්, පිළිම සහ ලෙන් කල්නොයවා ඉතා කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවට. මොකද එන්න එන්නම විනාශය වැඩි වන බව පෙනුණා. ඒ අනුව පුරාවිද්‍යාඥයින් සහ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු කණ්ඩායමක් විහාරවාසි හිමිවරුන් සමඟ සාකච්ඡාකර සංරක්ෂණ කටයුතු නිම කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරමින් තිබෙනවා. ගිවිසුමක් යටතේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දෙපාර්ශවයම මේ වන විට කැමැත්ත පලකර තිබෙනවා. ඒ ගිවිසුම ප්‍රකාරව ප්‍රවේශපත් අලෙවි කිරීමෙන් විදේශීය සංචාරකයින්ගෙන් හිමිවන මුදලින් යම් ප්‍රතිශතයක් විහාරස්ථානයේ නඩත්තු කටයුතු සඳහා ලබා දී ඉතිරි මුදල් මෙහි සංරක්ෂණ කටයුතු සඳහාත් අනෙකුත් වෙහෙර විහාර සංරක්ෂණ කටයුතු සඳහාත් යෙදවීමට එකඟත්වය ඇති කරගැනීමට තිබෙනවා.‘ ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.

දැනට ඇති තොරතුරු අනුව මසකට රුපියල් කෝටි පහළවක් විස්සක් අතර මුදලක් විදේශීය සංචාරකයින්ගෙන් මේ ස්ථානයට ලැබී තිබේ. සීගිරිය නැරැඹීමට එන සංචාරකයින්ගෙන්ද දිනකට කෝටියකට වැඩි ආදායමක් ලැබේ. මේ අරමුදල් යොදාගෙන පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදු කරන අතර, පසුගිය කාලයේ රුවන්වැලි සෑයද කෝටිදෙකක් යොදවා සංරක්ෂණය කළ බව දැන ගැන්නට ලැබිණි. එසේම විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීම සඳහා ඉදිරියේ දී මිලියන 400ක් ලබාදීමටත්, අඩුපාඩු සහිත වෙහෙර විහාර හා එහි නඩත්තු කටයුතු සඳහා මිලියන 50ක් ලබාදීමටත් සැලසුම් කර තිබේ. මේ ආදායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වුවහොත් මේ රටේ තිබෙන දෙලක්ෂ පනස්දාහක් පමණ වන පුරාවිද්‍යාත්මක වැදගත් කමකින් යුතු ස්ථාන විශේෂයෙන්ම බෞද්ධ වෙහෙර විහාර, සිද්ධස්ථාන, මාළිගා මේ සියල්ලක්ම සංරක්ෂණය කළ හැකිය. ඒවා පෙරලා රටට විදේශ විනිමය ගෙන දෙන ආදායම් මාර්ග බවට පත් කළ හැකිය.

පසුගිය කාලය පුරා මින් ලැබෙන ආදායම නිසි පරිදි විගණනය වී නැත. 2015 අවුරුද්දේ මෙහි ආදායම ලක්ෂ 25ක් ලෙසයි පෙන්වා දී ඇත්තේ.

මේ ලෝක උරුමය සංරක්ෂණය කර රැකගෙන එය ශ්‍රි ලංකාමාතාවගේ ආඩම්බරයට හේතුවක් බවට පත් කරගන්නවා වෙනුවට එය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදා ගන්නා මානසිකත්වයකට මෙහි බලධාරීන් කටයුතු කරමින් සිටීම අතිශය ශෝක ජනකය. මෙලෙස ඔවුන් හැසිරෙන්නේ පසුගිය කාලයේ දඹුල්ල කණ්ඩලම වැව් තාවල්ලේ හෝටලයක් ඉදිකරනවාට විරෝධය දක්වමින් ගෙනගිය විරෝධතා ව්‍යාපාරය ආශ්‍ර යෙන් ගොඩනඟා ගත් දේශපාලන බලය යොදා ගෙන බව පැහැදිලියි. එදා එය මහා සංස්කෘතික විප්ලවයක් ලෙස ප්‍රකාශ වූ නමුත් පටු අරමුණු මුදුන් පුමුණුවා ගැනීමට රට නොමඟ යැවූ ව්‍යාපාරයක් ලෙස එය ඉතිහාස ගත විණි. ඒ අත්තනෝමතික බව හෙවත් ‘කණ්ඩලම දේශපාලනය‘ අද බුද්ධාගමට හිමි තැන නැති කරනවාය කියන සටන් පාඨය ඉදිරියට දමා දියත් වෙයි. ඒ නිසා ආණ්ඩුව මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන්ට ඉඩ නොදීම රටේම සුබ සෙතට හේතු වනු ඇත.

අද රට ජාතිය ආගම ඉදිරියට දමමින් කෑගසන රාජපක්ෂ රෙජිමය එදා කළේ මේ ඓතිහාසික වටිනා කමකින් යුත් ලෝක උරුමයන් රැක ගැනීම නොව, මේ අයතා ක්‍රියාවන්ට උඩගෙඩි දෙමින් මේ බලධාරින්ගේ පෞද්ගලික පරිහරණය සඳහා මෙහි මුදල් අපයෝජනය සඳහා ඔවුන් පෙළඹවීමය. මෙහි යටි අරමුණ වූයේ ඕනෑම අවස්ථාවක මේ බලධාරින් තමන්ගේ ඉත්තන් බවට පත් කර තමන්ට අවශ්‍ය ආකාරයට ඔවුන් මෙහෙය වීමය. අද එය එළිපත්තටම පැමිණ තිබේ. කෙසේ හෝ මේ මුදල් ලබාගෙන අදාළ වගකිව යුතු ආයතනවලට ලබා දී මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගනිමින් ඒවා අනාගත පරම්පරාවට සුරක්ෂිතව දායාද කර දිය යුතුය. ඒ අතරම ලෝකය පුරා විසිරී සිටින සංචාරකයින්ගේ අවධානය තවතවත් මේ වෙත යොමු කර විදේශ විනිමය ඉපයීමට සැලසුම් කරන්නේ නම් විරැකියාවෙන් පෙළෙන රටේ තරුණ තරුණියන්ටද සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවර කර දිය හැකිය. පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ දී ඔවුන්ගේ සහය ලබාගත හැකිය. එමඟින් ක්ෂේත්‍රය පිළිබඳ යථාර්ථවත් පුරාවිද්‍යාත්මක දැනුමක් ඔවුන් සතුවනු ඇත. එය සංචාරකයින් දැනුවත් කිරීමේ දී මහත් රුකුලක් වන අතරම වඩා නිවැරදි තොරතුරු සමාජ ගතවේ. එමගින් සංචාරක කර්මාන්තය වඩා ඉහළ ස්ථානයකට ගෙනයා හැකිය.

මෙහි දී මාධ්‍ය ආයතන සතු විශාල කාර්යයක් තිබේ. ඒ අපක්ෂපාතීව මෙහි සත්‍ය අසත්‍යතාව ජනතාව හමුවේ නිරාවරණය කිරීමය. එසේ නැතිව ඔවුන් කළ යුත්තේ, තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරමින් ජනතාව නොමඟ යැවීම නොවේ.

කේ. ඩී. රසික 

Comments

Im agree with you 100%. As I remember Mr. Kushan Manju Sri ( LGT Manju Sri's son) started to preserve Dambulu paintings in 1990 with the help of the Cultural Triangle. But the chief monk of Dambulla avoided it After that no any conservation there.

පිටු