බෝයිං සිහින පියාසැරිය සූදානම් | Page 3 | සිළුමිණ

බෝයිං සිහින පියාසැරිය සූදානම්

 අධිතාක්ෂණය ඉහළින්ම භාවිත වන සුවපහසු ගුවන් ගමනක අපේක්ෂා දන්වමින් බෝයිං 787 - 10 නවතම ගුවන් යානය සිය කුලුඳුල් ගුවන් ගමන සාර්ථකව නිම කළේය. එම යානය බෝයිං ගුවන් යානාවල විශාලතම යානයද වේ. එය බෝයිං සමාගම මඟින් හඳුන්වා දී ඇත්තේ ඩ්‍රීම්ලයිනර් මාදිලියේ යානයක් ලෙසය.

කාබන්-ෆයිබර් මිශ්‍රණයකින් යුතු එය සිය පළමු පියාසැරිය සාර්ථකව නිම කළ බව ගුවන් නියමුවෝ සනාථ කළහ. “අපි විශිෂ්ට පියාසැරියක අත්දැකීමක් ලැබුවා. අප අපේක්ෂා කළ පරිදිම යානය හරියටම තම කාර්යය ඉටු කළා...“ කපිතාන් ටිම්බර්ග් පුවත්පත් සාකච්ඡාවකදී එසේ පැවසුවේ එම කුලුඳුල් ගුවන් අත්දැකීම සම්බන්ධව තම අදහස් ඉදිරිපත් කරමිනි. බෝයිං 787 - 10 ඩ්‍රීම්ලයිනර් යානයේ කුලුඳුල් ගමනට පැය 5ක පමණ කාලයක් ගත වී තිබේ.

බෝයිං 787 - 10 ඩ්‍රීම්ලයිනර් යානය මිල කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 312.8කටය. එහි විශාලත්වය හේතුවෙන් එය තැනීමට විශේෂ කර්මාන්ත ශාලා අවශ්‍ය වූ අතර, දකුණු කැරොලිනාහි උතුරු චාල්ස්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ බෝයිං කර්මාන්ත ශාලාවේදී මේ යානය නිපදවීමට සමාගමේ බලධාරීහු කටයුතු කළහ. මේ කර්මාන්ත ශාලාව වොෂිංටනයෙන් බැහැර පිහිටි බෝයිං ගුවන් යානා එක්ලස් කරන එකම කර්මානන්ත ශාලාවද වේ.

ඉකුත් වසරේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බෝයිං කම්හලේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී එහි නිපදවමින් තිබුණු මේ නවතම යානය ලෝකයේ අවධානයට පාත්‍ර විය. මේ සංචාරයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අමෙරිකාවේ නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවයි. ඒ සඳහා දිරි ගැන්වීම් නොකරන සමාගම්වලට දුර්විපකවලට මුහුණ දීමට සිදු වනු ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.

කෙසේ වුවද මේ වන විට ජපානය, චීනය, ඉතාලිය, ස්වීඩනය, ප්‍රංසය හා බ්‍රිතාන්‍යය යන රටවල් සමග තරග කිරීමට බෝයිං 787ට සිදු වී තිබේ. එහිදී යානයේ රාමුව තටු සහ මෙහෙයුම් සිද්ධාන්තය එම එකිනෙක යානා අතර වඩාත් තරගකාරීය. මේ යානාවලට අවශ්‍ය එන්ජින් අමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමෙන් හෝ බ්‍රිතාන්‍යයේ රෝල්ස් රොයිස් සමාගමෙන් ලබා ගැනේ.

මේ යානය බෝයිං 787-9 එනම් මීට පෙර මාදිලියට වඩා මීටර් 5.5ක් දිගින් වැඩිය. මගී ධාරිතාවද 330 දක්වා වැඩි වී තිබේ. එය 787 - 9ට වඩා 40ක සහ 787 -8ට වඩා 88ක වැඩි වීමකි.

බෝයිං 787 යානාවලට ලොව විශාල ඉල්ලුමක් තිබේ. එහි ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වීමද එම ඉල්ලුමට හේතුවකි. සමාගම් 1200කින් 787 යානාවලට ඇණවුම් ලැබී තිබේ. 787 -10 යානය A330 නියෝ යානයට විශාල තරගයක් දෙනු ඇතැයි අපේක්ෂිතය. මේ දෙවර්ගයම කෙටිදුර ගුවන් ගමන් සඳහා නිර්දේශිත යානා වේ.

දැනටමත් 787 -10 යානයට ගනුදෙනුකරුවන් 9කගෙන් ඇණවුම් 149ක් ලැබී ඇතැයි වාර්තා වේ. එය සමස්ත ඉල්ලුමෙන් සියයට 12කි. 787 - 9 යානයට තිබුණේ මේ ඉල්ලුමෙන් අඩකි.

787-10 මේ වර්ෂය තුළ සිදු කරන අත්හදාබැලීමේ ගුවන් ගමන්වලින් පසු 2018 වර්ෂයේ සිට ගුවන් ගමන් අරඹනු ඇත.

ගුවන් සේවා ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇතැයි දැනටමත් ලකුණු පළ කර ඇති බෝයිං 787 -10 යානය පිළිබඳ වැදගත් දත්ත කීපයක් මෙසේය:

මුලින්ම බෝයිං සමාගමේ අදහස් වී ඇත්තේ 787 ඩ්‍රීම්ලයිනර් යානය 7E7 යනුවෙන් නම් කිරීමටය. එහි E අක්ෂරයෙන් කාර්යක්ෂම බව (Efficiency) අදහස් කෙරිණි. එහෙත් 787 ලබා ඇති ප්‍රසිද්ධිය නිසා එය එලෙසින්ම නම් කිරීමට තීරණය විය.

යානයේ මංගල ගමන සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි වූයේ අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසි ක්‍රමයටය. අසුනක් අමෙරිකානු ඩොලර් 34000ක ඉහළම ඉල්ලුමකට අලෙවි විය.

බෝයිං 787 යානයට වඩා මේ යානය සියයට විස්සක ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුක්තය. ඩ්‍රීම්ලයිනර් යානයේ එන්ජිම GE සමාගමේ GENX හෝ Rolls - Royce Tvent - 1000 එන්ජින්ය. ඒවා ආරක්ෂිත බව අතින්ද ඉහළය.

අධිතාපයක් ඇති වීම වැළැක්වීමට අනුගමනය කරන ක්‍රම යොදාගැනීම අනවශ්‍ය වන්නේ තාක්ෂණික අතින් ඉහළ වන බැවිනි.

787 ඩ්‍රීම්ලයිනර් යානය කලාගාරයක් බඳුය. යානයේ කාර්ය මණ්ඩලයට එහි සිට දිවා කල දීප්තිමත් හිරු එළිය මෙන්ම රාත්‍රී අහසේ සුන්දරත්වය විඳීමටද හැකියාව තිබේ. යානයේ ජනේල අඳුරු වීදුරු සහිත නොවේ. මගීන්ට අලෝකය පාලනය කළ හැකි පහසුකම් සලසා ඇත. 242 සිට 335 දක්වා මගී ධාරිතාවක් එය සතුව පවතී. සාමාන්‍ය යානයක මෙන් පන්ති තුනකට එම ආසන පෙළ ගස්වා ඇත.

මේ යානය අතිශයින්ම පරිසර හිතකාමීය. සියයට විස්සක ඉන්ධන කාර්යක්ෂමතාවට අමතරව තවත් පරිසර හිතකාමී විධික්‍රම එහි ඇතුළත් වේ.

යානයේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 650ක් පමණ වේ.

නාවික සැතපුම් 8500ක පරාසයක එනම් නොනවත්වා ලන්ඩනයේ සිට නිව්යෝර්ක් බලා යෑමට මෙන්ම ඒමටද ඊට හැකියාව පවතී.

ඩ්‍රීම්ලයිනර් යානය සතුව smooth ride තාක්ෂණය තිබේ. ස්වයංක්‍රීයව එහි තටු අවශ්‍ය පරිදි හැසිරවීමට හැකියාව ඇත. සමස්ත යානය පුරා සංවේදක පිහිටා තිබේ.

මගීන් රහිතව යානයේ බර කිලෝ ග්රෑම් 117 617කි. එය අලින් 29 දෙනකුගේ බරට සමානය. තටු අතර පරතරය අඩි 197කි. තටුවල දිග අඩි 186කි. යානයේ උස අඩි 56කි.

බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයේ උපාංග මිලියන 2.3ක් තිබේ. බෝයිං 737 යානයේ තිබුණේ උපාංග 400 000ක් පමණි.

ධම්මික සෙනෙවිරත්න

Comments