මා පෘථිවියේ අනාගතය වෙනුවෙන් කළ පර්යේෂණයක කොටසක් වූයේද? | Page 6 | සිළුමිණ

මා පෘථිවියේ අනාගතය වෙනුවෙන් කළ පර්යේෂණයක කොටසක් වූයේද?

 සිංහල අනුවාදය බොබී ජී. බොතේජු විසිනි
අවසාන කොටස

අනතුරුව අවසාන සංගීත ස්වරයත් නැති වී ගිය අතර, ඉන් පසු දීර්ඝ දෝංකාරයක් විය. සංගීතය නතර වූ පසු යළිත් නිහැඬියාව රජයන්නට විය.

එහෙත් උපකරණයෙන් නිකුත් වූ නිල් පැහැ ගිනිදලු වියරුවෙන් මෙන් නටන්නට විය. හරිත රැස් වළල්ල පමණක් තවමත් පැවතිණ. පිපිරීමක් ඇසුණ අතර, ගිනි දලු වැඩි වන්නට විය. දුමාරය අඩු වූ පසු මට තණ බිමේ විශාල පැල්ලමක් දැක ගත හැකි විය. මම සැඟවී සිටි ස්ථානයෙන් ඉවත්ව විල දෙසට බඩ ගෑවෙමි.

එහි ජලය නැති තරම්ය. රිදී රැහැනේ කොටසක් ඉතිරිව තිබූ අතර මඩ අතරින් අස්වාභාවික පිපිරී යෑමේ සලකුණු දක්නට ලැබිණ. උපකරණයේ සහ සජීව බෝලයේ ඉතිරිව තිබුණේ අළු ගොඩක් පමණකි. කැඩී ගිය පයින් ගස සහ පිලිස්සුණ තණ කොළ හැරෙන්නට එහි අද්භූත දෙයක් සිදු වූ බවට කිසිදු සලකුණක් ඉතිරිව නොතිබිණ.

විලෙහි ජලයෙහි සහ අවට පසෙහි සාම්පල කීපයක් ගැනීමට මම උත්සාහ කළෙමි. එහෙත් ඒ සඳහා මගේ ගමන් මල්ල වෙත යා යුතුය. සමහර විට මා ලබාගෙන තිබූ සාම්පලවලින් කොටසක් එහි ඉතිරිව තිබිය හැකිය. සමහරවිට උල්කාපාතයේ කොටසක්ද මට සොයාගත හැකි වේයැයි සිතුවෙමි. මා ඉක්මන් කළ යුතුය. දැන් කළ යුතු වැදගත්ම දෙය එයයි.

එතැන් සිට කාලය බොහෝ සෙයින් ගෙවී ගොසිනි. උල්කාපාතයේ කුට්ටියක් මගේ ආයතනයේ ප්‍රදර්ශන කවුළුවේ තබා ඇත. රිදී රැහැනේ (එය රිදී රැහැනකි) කොටසක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, එය වඩාත්ම වටිනා ප්‍රදර්ශන භාණ්ඩය ලෙස සැලකිණ. එය පෘථිවියේ නැති ලෝහයකි. තණ කොළ සහ දැවී ගිය පොළොවේ කොටස්, කැඩී විනාශ වී ගිය පයින් ගසේ කොටස්, විලේ ජලය සහ අළු පරිස්සමෙන් විශ්ලේෂණය කෙරිණ.

සියලු කල්පිතයන් සහ මතයන් උසස් මට්ටමක පැවතියද අභිරහස අනාවරණය කර ගත හැකි නොවීය.

මගේ පෞද්ගලික විශ්වාසය මහාචාර්ය කිරොව්ගේ කල්පිතය වඩා පිළිගත හැකි බවයි.

ඔහුගේ මතයට අනුව අමුතු උපකරණය උල්කාපාතයක් සමග පොළොවට එවන ලද තොරතුරු සෙවීමේ අභ්‍යවකාශ විදිනයකි. ඔහු තම කරුණු සනාථ කිරීම සඳහා රිදී රැහැනේ කොටස් සහ තණ බිමෙන් සොයා ගත් අළු යොදාගෙන ඇත. රිදී රැහැනේ භාවිත කර ඇති ලෝහය පොළොවට ආගන්තුකය. අළුවල සොයා ගත හැකි වූයේ ආවර්තිතා වගු න්‍යාය සනාථ කෙරෙන සමහර මූලද්‍රව්‍ය පමණි.

මහාචාර්ය කිරොව්ට අනුව තොරතුරු ගවේෂණයට එවූ උපකරණය උල්කාපාතය අස්සේ සඟවා අයිස් කුට්ටියක් ලෙස පොළොවට එවා ඇත. උල්කාපාතය කැඩී ගිය පසු එය පිටතට පැමිණ ඇත. අයිස්වල රසායනික සංයුතියෙන් පෙනී යන්නේ විලෙහි ජලය කලින් සැලසුම් කර ඇත්තේ අභ්‍යවකාශයේ සිය ක්ෂුද්‍ර ජීවීන් ගෙන ඒමටයි.

අභ්‍යවකාශයේ ක්ෂුද්‍රජීවීන් පිළිබඳ කල්පිතය පැරණි එකකි. මහාචාර්ය කීරොව් මේ අදහස ඉදිරිපත් කර ඇත්තේ තවදුරටත් අනුමාන කිරීම්වලට ඉඩ ලබා ගැනීමටයි.

වෙනත් වචනවලින් කිව හොත් අයිස් කුට්ටියේ ඇති වූ රසායනික සම්මිශ්‍රණය විල් ජලයෙහි ආලෝක ධාරාවක් සහ පිපිරීමක් නිර්මාණය කිරීමට හේතු වී ඇති අතර, පෘථිවියේ සිටින විද්‍යාඥයෝ මේ තත්ත්වය දැන නොසිටියහ. මෙයින් අප නොදන්නා සත්ත්ව වර්ග ඉතා කෙටි කාලයක් තුළ විශාල වශයෙන් උත්පාදනය ලබා ඇත. කෘමීන්, සිහින් කටුස්සන් වැනි සතුන්, පුංචි අලි පැටවුන් සහ යෝධ වැහිලිහිණියන්, යෝධ කුරුල්ලන් සහ පියාඹන වලසා වෙන කිසිවක් නොව පර්යේෂණ කාර්යය සඳහා යොදා ගත් ජීව විද්‍යාත්මක රොබෝවරුය. උන්ව සැලසුම් කර ඇත්තේ පස්, ගල්, එළවළු, ජලය සහ වාතයේ සාම්පල රැගෙන යෑම සඳහායි.

මහාචාර්ය කිරොව් අනුමාන කරන්නේ මට ඇස නොගැසුණ තවත් සතුන් ජලයේ සිටින්නට ඇති බවයි. විල සහ මා අතර වූ දුර ප්‍රමාණය සහ උන් විලෙහි තොරතුරු සොයමින් සිටින්නට ඇති බැවින් මට දැකගන්නට ලැබී නැත. ජීව විද්‍යාත්මක රොබෝවරු, සෑම දෙයක් ගැනම උනන්දු වී ඇත. මෝටර් බයිසිකලයක්, වහලක්, කැලෑ ඌරකු රැගෙන ඒමෙන් ඒ බව පැහැදිලි වේ. පියාඹන වලසා මා ඉවතට තල්ලු කරන්නට ඇත්තේ පුංචි සීනුවෙන් මා පැහැරගත් සතාට අනතුරු අැඟවීමක් කර මා වෙතින් ඉවත් වන ලෙස දැන්වීමටයි. සිදුව ඇති ක්‍රියාදාමය දෙස බලන විට ඔවුන් මූලික සැලසුමක් සකස් කර තිබූ බව පෙනී යයි.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ජීව විද්‍යාත්මක රොබෝවරු අමුතු උපකරණය වෙත ආපසු පැමිණියහ.

දුම ගැන පරීක්ෂා කර තැබූ මහාචාර්යවරයා උපකල්පනය කරන්නේ පෘථිවියේ ස්වාභාවික පරිසරය වෘක්ෂලතාදිය සහ සතුන්ගේ රසායනික සංයුතිය පිළිබඳ තොරතුරු වාර්තා උපකරණය විසින් සම්ප්‍රේෂණය කර ඇති බවයි.

දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු කර ඇත්තේ ඇන්ටනා වැනි උපකරණ මගින්ද එසේ නැතිනම් ආලෝක ධාරා මගින්ද යන්න කිව නොහැකිය. දත්ත යැවුවාද නැද්ද උපකරණයෙන් ක්ෂිතිජය දක්වා එල්ල වූ ආලෝක ධාරා වෙනත් ස්ථානයක් සමග සම්බන්ධ වූයේද යන්න අපි නොදනිමු.

උපකරණයේ වූ රිදී රැහැන විලෙන් බලශක්තිය ලබා ගැනීමට යොදා ගන්නට ඇති බවත් විල පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා උපකරණයට බලශක්තිය අවශ්‍ය වන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය.

එතකොට සංගීතය?

මහාචාර්ය කිරොව් විශ්වාස කරන්නේ එය සංගීතයක් නොව, උපකරණයේ සිට ජීව විද්‍යාත්මක රොබෝවරුන්ට අණ දීමටත්, ජීව විද්‍යාත්මක රොබෝවරුන් විසින් රැගෙන එනු ලබන දත්ත එම රොබෝවරුන් ආපසු තණ බිමට පැමිණි පසු වාර්තා කිරීමටත් යොදා ගත් සංඥා විය හැකි බවයි.

මහාචාර්ය කිරොව්ගේ කල්පිතය කාලය විසින් සනාථ කරුනු ලැබේදැයි මම නොදනිමි. යටත් පිරිසෙන් සිද්ධිය පිළිබඳ සත්‍ය සේ පෙනෙන පැහැදිලි කිරීමක් එහි ඇත. කොතරම් විරෝධතා සහ විවේචන පැවතියද මා මුළු හදවතින්ම ඊට සහාය පළකළේ එබැවිනි.

එහෙත් තවමත් මා කරදරයට පත් කරන දෙයක් ඇත. මෙය කෘත්‍රිමව සකස් කිරීම තවමත් සිදු වෙනවා නම් එය වෙන කිසිවක් නොව පෘථිවියේ වෘක්ෂලතාදිය සහ සතුන්ගේ සංවර්ධනය සඳහා අනාගතයේදී සිදු කළ හැකි බරපතළ මැදිහත්වීමක් මිස වෙන කිසිවක් නොවේ. පෘථිවියේ අනෙක් පැත්තේ මහා පරිමාණ අත්හදා බැලීමකට ඔවුන් සංඥා යොදා නොගත්තේ ඇයි?

මේ සිතිවිල්ල මගේ මනසේ දැවෙන්නට වූයේ මා ඉමහත් සතුටට පත් කරවමිනි. එහෙත් හදිසියේම දැන් මම කලකිරීමේ අන්තයටම පත්ව සිටිමි. එහෙත් මාගේ සැකය වෙනත් අයකු සමග බෙදා ගැනීමට අදහස් නොකළෙමි. මන්ද යත් ඒ සඳහා සාක්ෂි නැති බැවිනි.

එබැවින් ඒ අවස්ථාවේ මගේ මනසේ තිබූ සිතිවිලි සහ මා දුටු දේ විස්තර කරමින් මා ලියූ අවිධිමත් සටහන් පොත ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි. සමහර විට මේ සටහන් කියවන කෙනකුට මේ අභිරහස අනාවරණය කර ගැනීමට හෝ වඩා නිවැරැදි පැහැදිලි කිරීමක් ලබා දීමටත් ආලෝකයක් ලබාදීමටත් හැකි වනු ඇත.

එම ස්ථානයට නැවතත් යෑමට මම පුරුදු වී සිටිමි. විල් තෙර කූඩාරමක් ගසාගෙන සති අන්තය එහි ගත කිරීමට මම තීරණය කළෙමි. මා තනිව සිටින විට ඒ දිනවල සිදු වූ සිද්ධියේ සියලු දර්ශන මට නැවතත් සිහිපත් වූ අතර, එහිදී ඇසුන සංගීතය නැවතත් මගේ සවනට ඇසෙන්නට වූයේ අවට කඳුකරයෙන් සහ කැලයෙන් නැගී එන නාදයක් ලෙසිනි.

වරක් මට සිතුණේ මට නුදුරින් ඇති තණකොළ කැලඹෙන බවත් පොළොවේ කුඩා ගොඩැල්ලක් හට ගන්නා බවත් හරිත වර්ණ කෝටුවක් මා ඉදිරියේ දර්ශනය වී මා දුටු නිමේෂයේ එය අතුරුදන් වූ බවත්ය. කුමක්ද? දන්නේ කවුද? බාගෙවිට....

සමාප්තයි. 

Comments