වෙසක් | Page 2 | සිළුමිණ

වෙසක්

“කවුරු අතිනුත් වැරදි වෙනවා තමයි. ඔය කියන හැටියට මේ ප්‍රශ්නෙදි දෙන්න ම වැරදියි. ජයසූරිය මහත්තයා නෝනට ගහපු එකත් වැරදියි. නෝනා මෙහෙම ආව එකත් වැරදියි. දරුවොත් දීගතල දිලා ඉන්න එකේ දැන් ඔය දෙන්නට දෙන්නා විතරනේ ඉන්නේ. නෝනා තව ටිකක් හොඳට හිතලා බලන්නකෝ... මගෙ නම් අකමැත්තක් නැහැ මෙහෙ හිටියට... ඒත් ඉතිං ජීවිතේ කලකිරිලා පැවිදි වෙන්න තරම් දෙයක් මෙතන වෙලා තියෙනවා කියලා මම නම් හි‍තන්නේ නැහැ.”

ආරාමයේ ලොකු මෑණියන් සුජාතා සමඟ කතා කරන්නට සිතුවේ එහි පැමිණ තුන්වන දිනයේ ය. සුජාතා ලොකු මැණියන් දැන හඳුනන්නෙ වසර ගණනක් තිස්සේ සිට ය. ඇය තම සැමියා ජයසූරිය සමඟ ඉඳහිට එහි ආවා ගියා ය. ඇතැම් දිනවල ඇය දවසක් දෙකක් ආරාමයේ නතරව සිටියා ය. එහි නතර වුණ හැම වරකම ඇය සියලු ආගමික කටයුතු වලට උනන්දුවෙන් සහභාගි වූවා පමණක් නොව ලොකු කුඩා සියලු මැණීයන්ගේ ඇප උපස්ථාන කටයුතුවලට ද සහභාගි වූවා ය. සුජාතාගේ වයස අවුරුදු පනස් දෙකකි. ඇය යුග දිවියට එළැඹියේ අවුරුදු විසිදෙකේදීය. එය හිතුවක්කාර විවාහයකි. එවකට ජයසූරිය අලුත් පත්වීමක් ලබා පැමිණියේ තම පියා විදුහල්පති ධුරය දරමින් සිටි පාසලට ය.

“අලුත් හාදයෙක් ඇවිත් ඉන්නවා. නතර වෙන්න තැනක් ගමේ ම බැලුවා. ඒත් නැහැ. මං කිව්වා ඇවිත් මෙහෙ ඉන්න කියලා.”

සුජාතාගේ පියා ජයසූරියට තම නි‍ෙවසේ නවාතැන් දුන්නේ සිය බිරියට එසේ පවසමිනි. උසස් පෙළ විභාගය ලියා අවසන් ව නිවෙසට වී සිටි සුජාතා ජයසූරියගේ බැල්මට හසුවුණේ එයින් ගැලවී යා නොහැකි ලෙස ය. වසරකට පමණ පසු ජයසූරිය සිය ගම්පළාතට මාරුවක් ලබා ගියේ හොර රහසේ ම සුජාතා ද රැගෙන ය. පළමුවැනි දරුවා ලැබීමෙන් පසු සුජාතාට සිය මවුපියන්ගේ නිවෙසේ ‍දොර හැරිණි. ඔවුහු ජයසූරිය සිය දියණිය හා විවාහ වනවාට අකමැති වූයේ ඔහු අඩු කුලයේ කෙනකු බැවිනි. ගුරුවරයකු වූ ජයසූරිය සෙමෙන් ගොඩනැඟුණේ ය. ඔහු සිය බිරියට සෙනෙහස දක්වනවාට වඩා මුදලට සෙනෙහස දැක්වූයේය. දරුවන් එක්කෙනා දෙන්නා වීමෙන් පසුව ජයසූරිය අමතර පන්ති පවත්වන්නට වූයේ ය. ඒ දරුවන් දෙදෙනකුගේ විය පැහැදම් ගුරු වැටුපෙන් පියවා ගත නොහැකි වු බැවිනි. ඔහු මුදල් පොදි ගසන්නට වුයේ තම දරුවන්ට පිටරටකදි අධ්‍යාපනය ලබාදීමට තිබු මහත් ඕනෑකම නිසා ය.

ඔවුහු ගොඩනැඟුණහ. දරුවන් උස් මහත් වී ඉගෙනුම ලබා විවාහ ජීවිත වලට ද පිවිසියේ ය. අවසානයේ දුවත් පුතාත් දෙදෙනා ම තම තමන්ගේ අනාගතය උදෙසා විදේශ ගත වූහ. යළිත් ජයසූරියත් සුජාතාත් හුදෙකලා වන්නට වූයේ ය.

“අපි දරුවෝ හැදුවා. උන් අපිව දාලා ගියා. හරියට කුරුල්ලෝ කූඩුවෙන් පිටවෙලා යනවා වගේ.”

සුජාතා ජයසූරියට ඇසෙන්නට ඒ කතාව නොකීවද ඔහුට එය ඇසුණේ ය.

“මොනවා කරන්නද? ඔහොම තමයි සුජා අපි හිතන විදිහයි දරුවෝ හිතන විදිහයි වෙනස්.”

ජයසූරිය දැන් දැන් සියල්ල දෙස ම බලන්නේ මැදහත් ව නොවෙදැයි සුජාතාට ඔහු කියන එවදන් ඇසුණ විට සිහි විය. ඇයට ජීවිතය ගැන මහා පාළුවක් දැනිණි. ඒ පාළුව මකා ගන්නට කුමක් නම් කළ යුතුද?

ජයසූරිය තවමත් පාසලෙන් විශ්‍රාම ගෙන නැත. ඔහුගේ සේවා කාලය තවත් ‍වසර දෙකක් ඉදිරියට ඇත. දරුවන් කුඩා වියේදි කොතරම් අඩුපාඩුකම් තිබුණ ද ජයසූරිය සුජාතාට රැකියාවකට යාමට නොදුන්නේ ය. එනිසා උසස් පෙළ විභාගය හොඳින් සමත් වුවද සුජාතා රැකියාවකට නොගියාය. දරුවන් නැති නිවෙස ඇයට පාළු ය. ජයසූරිය පාසලට ගිය පසු ඊටත් වඩා පාළු ය. ඇගේ තනිකම හඳුනා ගන්නට ජයසූරියට නුපුළුවන් විය.

‘අද ගෙදර ඉන්නවද’

ඇතැම් දිනෙක සුජාතා ජයසූරියගෙන් අසන්නේ ඇයට ඔහු හා කොහේ හෝ යාමට ඇවැසි විට ය.

‘අද කො‍හොම ඉන්නද? විභාගයට වාඩිවෙන දරුවන්ට උගන්වන්නත් ඕන. එකෙක් හරි විභාගයෙන් අසමත් ව‍ුණොත් වැඩක් නැහැනේ.’ ජයසූරියගේ වදන් සැර ය. සුජාතා එවිට කරබාගෙන කුස්සියට යන්නී ය.

දරුවන් නැති ගෙදර පාළුව දරා ගැනීමට බැරි තරම් ය.

සුජාතාගේ හිත එහෙ මෙහෙ දුවන්නට වූවා ය. ඇය තම පාළුව හුදකලා බව නැතිකර ගැනීමට මං සෙව්වා ය. ජයසූරිය පාසල නිමාවීමෙන් පසු අමතර පන්ති සඳහා ද ගියේය. ඔහු නිවෙසට ආවේ බොහෝ රෑ බෝ වීය. තනිවුණ සුජාතාගේ හිත ළඟට සිරිදාසගේ කවටකම්, දොඩමළු බව වෙනසක් ගෙන ආවේ ය. සිරිදාස ජයසූරියගේ මිත්‍රයකි. බිරියගේ අභාවයෙන් පසු තනිවූ ඔහු නිතර ජයසූරියගේ නිවෙසට ආ‍ෙව් ය, ගියේ ය. මුලින් ජයසූරිය සිටින විට පමණක් පැමිණි ඔහු පසුව ජයසූරිය නැති විටද එහි එන්නට වූයේ ය. සිරිදාසගේ පැමිණීම සුජාතාගේ සිතට සතුටක් ගෙන ආවා ය. සාලයේ තබා ඇති පුටු දෙකක වාඩිවෙන ඔවුන් ආගිය කතා කීවේ ය. සුජාතා සිරිදාසගේ කවටකම්වලට හඬ නඟා හිනැහුණා ය.

‘අදත් සිරිදාස ආවද?’

දිනෙක ජයසූරිය ප්‍රශ්න කළේ තරහෙනි.

‘ඔව්’

‘ඔය යකා මොකට එනවද මං නැති අතරේ. ගෙන්න ගන්නේ එහෙම නැහැ. මිනිස්සු කයි කතන්දර කියනවා.’

‘අර මොකට ද?’

‘අර මොකටද අහන්නේ. හිතන්න එපා මං නොදන්නවා කියලා. ඒ මිනිහා මෙතන ඇවිත් වරු ගණන් ඉන්න බව අවට එවුන් දන්නවා.’

‘වරු ගණන් හිටියට අපි කතා බහ කරනවා විතරයි.’

‘කතා බහ කරනවද....? වෙන මොනවද වෙන්නේ කියලා දන්නේ උඹයි සිරිදාසයි විතරයි. ආයේ එහෙම ගෙන්න ගන්නවා නෙමෙයි.’

‘එන්න එපා කියන්න මට බැහැ.’ සුජාතා උත්තර දුන්නේ ආවේගයෙනි.

‘උඹට කියන්න බැරි නම් මං කියන්නම්. පරට්ටි.... දවල් තිස්සේ මඟුල් නටනවා.’

ජයසූරිය අතදිග හැර සුජාතාගේ කම්මුලට ගැසුවේ ය. කවදාවත් නැතිව ජයසූරිය මත්පැන් පානය කර ඇති බව ඇයට ඒ ‍මොහොතේ දැනුණා ය.

‘මං වරදක් කළේ නැහැ.’

සුජාතා රෑ පුරා හීල්ලුවා ය. රාත්‍රිය බොහෝ දිගු යැයි ඇයට සිතුණි. ජයසූරිය සුපුරුදු හෝරාවේ නැගිට සූදානම් වී බුම්මාගෙනම පාසල් ගියේ ය.

ඔහු ගිය සැණින් සුජාතා ද සූදානම් වූවාය. ඇය මඟ ගිය ත්‍රිරෝද රථයක් නතර කරගෙන නගරයට ගියා ය. එතැනින් බසයේ නැග ආරාමයට ගියා ය. රාත්‍රිය පුරා හැඬීම නිසා ඇගේ මුහුණ තඩිස්සි වී තිබිණ.

ලොකු මෑණියන් කිසිවක් නොඅසාම ඇයට ගිමන් හරින්නට ඉඩ හැරියා ය. මෑණියන්ගේ නිහඬ බව ඉදිරියේ සුජාතා මහ හඬින් හඬා වැටුණා ය.

‘මං වරදක් කළේ නැහැ මෑණියෝ...’ කතාකර ගත හැකි වූ මොහොතේ ඇය ඉකිය අතරේ පැවැසුවා ය.

‘‘සැකය කියන එක පවුල් ජීවිතයට හොඳ දෙයක් නෙමෙයි. අපි බලමුකෝ... හිත හදාගන්න. ජයසූරිය මහත්තයා දන්නවද සුජාතා නෝනා මෙහි ආ බව.’’

සුජාතා හිස දෙපසට වනා නැතැයි හැඟවූයේය. දවස දෙක සතිය ගෙවී ගියේය. දෛනික ආගමික කටයුතු, ආරාමය අතුපතු ගා පිරිසුදු කිරීමේ කටයුතු සමඟ සුජාතාගේ සිත කෙමෙන් සන්සුන් වන්න වූවා ය.

එක අතකට මමනේ එයා ගැන සැක හිතන්න ඕන. දරුවෝ පුංචි කාලේ එයා කීදෙනෙක් එක්ක යාළුවෙලා හිටියද? මං ඒ හැමදේම වහගෙන හිටියේ ලැජ්ජාවට.

‘සුජාතා නෝනා’

අතීතය කරා යමින් සිටි සුජාතාගේ හිත ලොකු මෑණියන්ගේ හඬ ඉදිරියේ නතර විණි.

‘ගිහි ජීවිතය, භෞතික සැප සම්පත් අතහරින එක පෘථග්ජන මිනිස්සුන්ට පහසු නැහැ. වෙසක් පෝයට තව සතියක් විතර තියෙනවානේ. සුජාතා නෝනා තවත් හිතන්න. මං ජයසූරිය මහත්තයට දැනුම් දුන්නා. මුලින් නම් ටිකක් සැරෙන් කතා කළේ. නමුත් පසුව සන්සුන් වුණා.’

සුජාතාගේ දෑස් කඳුළින් බොඳ ව ගියේ ය.

මම දරුවන්ගේ යුතුකම් කළා මෑණියෝ. ඒ දරුවෝ කවදාවත් ආයේ අප ගාවට එන එකක් නැහැ. මහත්තයා කවදාවත් මාව තේරුම් ගත්තේ නැහැ. සැප සම්පත් තිබුණට මානසික සුවයයි අවශ්‍ය.

මම මහත්තයට ලිපියක් යැව්වා. සුජාතා මෙතෙක් දවස් සිතේ සඟවාගෙන සිටි යමක් කීවා ය.

ඇය ආරාමයේ තුරු සෙවණකට වී සිතන්නට වූවා ය. නැවත නැවතත් සිතන්නට වූවා ය. අතරින් පතර කෙස් ගසක් ඉදී තිබුණ ද ඇගේ දිගු කෙස් කලඹ කපා දමන්නට ඇයට ලෝභකමක් සිතිණි.

‘අත්හැරීමයි සිතට සැනසීම ගෙනෙන්නේ. ආශාවන් අඩු වුණ තරමට ජීවිතේ සැනසිල්ලයි.’

මෑණියන් නිතර නිතර කියන දෙය දැන් ඇයට කටපාඩම්ය. වෙසක් පොහොයට ඇත්තේ කිහිප දිනකි. ඇය ගිහි ජීවිතයෙන් මිදෙන්නට යන බව කිසිවෙක් නොදනිති. මේ වන විට ජයසූරියට ලිපිය ලැබී ඇතැයි ඇය සිතුවා ය.

තරුණ වියේ දී ආදරයෙන් බැඳුණු ජයසුරිය හා තමා අතර පසුකාලිනව තිබුණේ දරුවන් නිසා ඇති වු බැඳිමක් බව දැන් සුජාතාට පැහැදිලිය. ගෙවි ගිය කාලය තුළ ඔහු නිසා තම සිත රිදුණ තරම දන්නේ ඇය පමණි. සිත රිදුණ වාර ගණනද ඇයට මතක නැත. ඒ රිදීම රිදවීම ම තමන් සිරිදාස වෙත සිතෙන් මෙන්ම පසුකාලිනව ගතින්ද බැඳෙන්නට හේතුවක් වන්නට ඇතැයි සුජාතාට සිතේ.

“එක අතකට මේ හැමදෙයක් ම දාලා අපි කොහේ හරි දුරකට ගිහිල්ලා ජීවත් වෙමු සුජා”

සිරිදාස සුජාතාට ඒ යෝජනාව ගෙන ආවේ වරක් දෙවරක් නොවේ.

“අපි කොහොමද එහෙම කරන්නේ. මිනිස්සු මොනවා නොකියාවිද? ඊටත් මගෙ දරුවෝ... අනික ජයේ ට මුහුණ දෙන්නේ කොහොමද?”

සුජාතා හැම විටෙක ම සිරිදාස මඟ හැර ගියේ එලෙසිනි. ඕනෑවට වඩා ජිවිතේ බලාපොරොත්තු ගොඩ ගසා නොගත්තද සුජාතා හැම විටම සැහැල්ලුවෙන් දවස ගතකිරීමට පැතුවාය. එහෙත් ඇගේ ඒ සැහැල්ලුව නැතිකර දැම්මේ ජයසුරිය විසින් ම ය.

පසුගිය දා ජයසුරිය තමන් හමුවන්නට පැමිණි ගමන සුජාතාට නැවත නැවතත් සිහිපත් වන්නට වුවා ය. ජයසුරිය දුටු මෙහොතේ ඇගේ දෑසේ කඳුළු පිරිණි. ඔහු දෑසේද කඳුළු පිරිණි .බොහෝ වේලා ජයසුරියත් සුජාතාත් මුනිවත රැක්කේ ය. අවසානයේ ඒ නිහඬ බව බින්දේද ජයසුරිය ම ය.

“මට සමාවෙන්න සුජා. වෙච්ච හැමදේකට ම මමත් වග කියන්න ඕන. මම සල්ලි පස්සේ දිව්වා. දරුවෝ ඒ අයගේ ලෝකවල. මට ඔයා ගැන හිතන්න බැරි වුණා.ඔයාගේ තිරණය වෙනස් කරන්න කියලා මම කියන්නේ නැහැ. ඒත් ඔයා දැන් හරි එනවනම් මම මගෙ ජීවිතේ ම ඔයා වෙනුවෙන් වෙන් කරනවා”.

ජයසුරිය වචන ගළපන්නට වුයේ ය.

යොවුන් වියේදීද තමන් ජයසුරිය සමඟ හොර රහසේ පැමිණියේ මේ වචන වලට ම රැවටී නොවේදැයි සුජාතාට සිතුණේ ය. බොහෝ වේලා නිහඬ ව සිටි සුජාතා ආරාමය තුළට ගියේ ජයසුරියට යන්නම් වත් නොකියා ය. ජයසුරිය ආරාමයෙන් පිට ව ගියේ කොයි මොහොතේදැයි කියන්නට ඇය නොදනි. සන්ධ්‍යාවේ බෝ මළුව ඇමැද මල් පහන් පුදා බුදුන් වැඳීමෙන් භාවනා කිරිමෙන් ලද සැනසුම කෙතෙක් දැයි කියන්නට ඇය‍ට නොහැකිය. දැන් ඇගේ මතකයේ කිසිවෙක් නැත . ජීවිතයේ අත් හැරිම කොතරම් නම් සුවයක් ගෙන එන්නේදැයි යන්න සුජාතා අවබෝධ කර ගත්තා ය.

“සක්විති රජකමට උරුමකම් කියපු සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැර ගියේ උන් වහන්සේගේ මිදිම වෙනුවෙන් පමණක් නොවෙයි. මේ සංසාරේ අනන්ත දුක් විදින සත්වයන් දුක් සසරින් එතෙර කරවීම සඳහා. පෘථග්ජන අපෙන් වැරදි ‍වෙනවා තමයි. එත් මේ උතුම් වු චීවරය දරාගත්තට පස්සේ සිතින් කයින් වචනයෙන් වැරදි වෙන්න බැහැ...”

ලොකු මෑණියන්ගේ කාරුණික වදන් සුජාතාට යළි යළිත් සිහිපත් වන්නට විය.

“මම ප්‍රමාද වුවා වැඩිද?”

සුජාතා මැණියන් ගේ මුවින් ඒ ප්‍රශ්නය නැඟුණේ ආරාමයේ බුදුරුව අබියස මල් දෝතක් පුජා කරමිනි.

Comments