මානවහිතවාදී ප්‍රාඥයා මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි | Page 2 | සිළුමිණ

මානවහිතවාදී ප්‍රාඥයා මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි

108 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

පුරාතන සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයට අමතර ව, සිංහල භාෂාව, ව්‍යාකරණ හා නූතන වාග්විද්‍යාත්මක ක්ෂේත්‍රයන්හි ප්‍රගමනයට කැපවූ විද්වතකු වශයෙන් ඩී.ඊ. හෙට්ටිආරච්චියන් හැඳින්විය හැකි ය. ඔහු 1909 මැයි මස 06 වැනි දින කොළඹට ආසන්න බුත්ගමුව ගම්මානයේ උපත ලැබුවේය. හෙට්ටිආරච්චිගේ පියා දොන් ඒබ්‍රහම් හෙට්ටිආරච්චි මහතා ය. මව පොඩිහාමිනේ විජේසිංහ මහත්මිය වන්නී ය. හෙට්ටිආරච්චි ශිෂ්‍යයා බුත්ගමුව රජයේ සිංහල පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ය. අනතුරුව, හේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වන්නේ ය. මේ ශිෂ්‍යයා ගණිතයට ඉතා හපනෙක් වූයේ ය. පසුකලෙක, තරුණ හෙට්ටිආරච්චි ලංකා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙයි. හෙතෙම, තම ප්‍රථම උපාධිය සඳහා ප්‍රාචීන භාෂා හා සාහිත්‍ය ආදී විෂයයන් හැදෑරුවේ ය. හෙට්ටිආරච්චි පාලි, සංස්කෘත හා ඉන්දු ආර්ය භාෂා පාඨමාලාව ඉතා හොඳින් හදාරා, ගෞරව සාමර්ථ්‍යයක් සහිත ව ප්‍රථම උපාධිය සමත් වෙයි.

වර්ෂ 1932 දී සිංහල ශබ්දකෝෂ කාර්ය මණ්ඩලයේ උප කර්තෘ තනතුරකට හෙට්ටිආරච්චි බඳවා ගැනිණ. එකල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළ ඩී.බී. ජයතිලකයෝ ඔහු තුළ තිබූ ඉංග්‍රීසි හා ප්‍රාචීන භාෂා පිළිබඳ කුසලතා සලකා උක්ත තනතුරට පත් කළහ. පසුව, හෙට්ටිආරච්චිහු වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළු වූහ. මේ තරුණ විද්වතා සංස්කෘත හා ප්‍රාකෘත භාෂා මැනවින් හදාරා අවසන් කොට ශාස්ත්‍රපති උපාධිය දිනාගන්නේ ය. ඩී.බී. ජයතිලක සූරීන්ගේ නිර්දේශය මත ශබ්දකෝෂ කාර්ය මණ්ඩලයට ඔහු යළි බඳවා ගැනිණ. වර්ෂ 1937 දී සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම භාගය නිකුත් කෙරිණ. ඒ අවස්ථාවේ හෙට්ටිආරච්චි උප කර්තෘවරයකු වශයෙන් ශබ්දකෝෂ කාර්යාලයේ සේවය කළේ ය. 1942 වර්ෂයේදී එතුමා ශබ්දකෝෂ කාර්යාලයේ සිට විශ්වවිද්‍යාල සේවයට සම්බන්ධ වෙයි.

1942 දී ලංකා විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයේ සහකාර කථිකාචාර්ය ධුරයක් හෙට්ටිආරච්චිට ලැබිණ. ආරම්භක අවධියේ දී සිංහල හා සංස්කෘත යන විෂය දෙක ම පළමු වසරේ සිසුනට උගන්වන ලද්දේ හෙට්ටිආරච්චි සූරීන් විසිනි. හෙතෙම සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථ ඉගැන්වීමෙහි චතුරත්වයක් දැක්වූයේ ය. හේ රඝු වංශය, මේඝදූතය, සකුන්තලා වැනි ග්‍රන්ථ සිසුනට ඉගැන්වූයේ ය. එතුමා සරසවි සිසුන්ගේ සාහිත්‍ය රසය වර්ධනය කිරීමට මෙන් ම, භාෂා දැනුම පුළුල් කිරීමට උත්සුක වෙයි. එබැවින්, බොහෝ සරසවි සිසුහු ඔහුට සුවිශේෂ ඇල්මක් දැක්වූහ. 1944 දී සිංහල අංශයට හෙට්ටිආරච්චි අනුයුක්ත කෙරිණ. එම අංශයේ එවකට සිටි ප්‍රධානියා වූ මහාචාර්ය එම්.ඩී. රත්නසූරිය මහතාගේ මාර්ගෝපදේශ මත තරුණ හෙට්ටිආරච්චි තම දැනුම, කුසලතා හා මිනිස්කම වර්ධනය කර ගත්තේ ය. මේ වියතා කලක් මහාචාර්ය මලලසේකරයන්ගේ නි‍ෙවසේ නැවතී සිටියේ ය. එහෙත් පීඨාධිපති තනතුර සඳහා රත්නසූරිය හා මලලසේකර තරග කරන අවස්ථාවල දී හෙට්ටිආරච්චි ඡන්දය ප්‍රකාශ කළේ එම්.ඩී. රත්නසූරිය මහතාට පක්ෂව ය. එයට හේතුව වූයේ ඔහු පීඨාධිපති තනතුර සඳහා රත්නසූරිය මහතාණන් මලලසේකරයන්ට වඩා සුදුස්සකු ලෙස සැලකීමයි. 1944 වර්ෂයේ සිට තරුණ හෙට්ටිආරච්චි සංස්කෘත අතහැර සිංහල පමණක් සරසවි සිසුනට ඉගැන්වූයේ ය. පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වන ධම්පියා අටුවා ගැටපදය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය ඇතුළු පැරණි සාහිත්‍ය ග්‍රන්ථ ඉගැන්වීම හෙට්ටිආරච්චිට පැවරිණ.

වර්ෂ 1951 දී මහාචාර්ය රත්නසූරිය හදිසියේ දැයෙන් සමුගත්තේ ය. එතැන් පටන් 1969 විශ්‍රාම ගත් අවස්ථාව දක්වා සිංහල අංශයේ ප්‍රධානියා හා මහාචාර්යවරයා වශයෙන් වසර දහඅටක් සේවය කරන ලද්දේ හෙට්ටිආරච්චියන් විසිනි. 1952 දී සිංහල අංශය කොළඹ මණ්ඩපයේ සිට පේරාදෙණිය මණ්ඩපයට ගෙනයෑම නිසා හෙට්ටිආරච්චි ද පේරාදෙණියට ගියේ ය. එතුමා භාෂා පීඨයේ පීඨාධිපති ලෙස ද, ඉතා කෙටි කලක් සේවය කළේ ය. 1969 - 1972 දක්වා කාලය තුළ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් ද හෙතෙම සේවය ‍කළේ ය. ඔහු දක්ෂ සිංහල මහ ඇදුරකු ලෙස පිළිගැනුණත්, පරිපාලකයකු වශයෙන් පිළිගැනීමකට ලක් නොවිණ.

හෙට්ටිආරච්චි භාෂා දහතුනක් දැනසිටි දුර්ලභ ගණයේ පඬිවරයෙකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි, ගුජරාටි, ද්‍රවිඩ, වංග, මරාටි යන පෙරදිග භාෂා මෙන් ම, ඉංග්‍රීසි ලන්දේසි, පෘතුගීසි යන අපරදිග භාෂා ද ඔහු ප්‍රගුණ කොට තිබිණ. මේ බහුවිධ භාෂා පටුත්වයන් නිසා ඔහු පුරාණ ග්‍රන්ථ සංස්කරණයට සුවිශේෂ ඇල්මක් දැක්වූයේ ය. එම නිසා හෙට්ටිආරච්චිහු අර්ථ ව්‍යඛ්‍යාන රචනා කළහ. එතුමා ප්‍රකාශයට පත් කළ ප්‍රථම ග්‍රන්ථය “පූජාවලිය” සංස්කරණයයි. (1936). ඩී.සී. දිසානායකයන්ගේ සහායෙන් රචිත මේ සංස්කරණයේ පූජාවලියේ මුල් පරිච්ඡේද එකොළහ ඇතුළත් ය. හෙට්ටිආරච්චිහු මේ ග්‍රන්ථයට අමතර ව, තනිව මෙන් ම, වෙනත් ලේඛකයන්ගේ සහාය ඇතිව ග්‍රන්ථ විස්සකට වැඩි සංඛ්‍යාවක් පළ කළහ. 1936 දී එතුමා චාර්ල්ස් කාටර්ගේ “ඉංග්‍රීසි සිංහල අකාරාදියේ” සංශෝධිත සංස්කරණයකට සහාය වූයේ. “පැරණි දඹදිව සාහිත්‍යය (1946) හෙට්ටිආරච්චි විසින් තනිව රචිත පළමු ග්‍රන්ථයයි. හෙතෙම “වෙසතුරු දා සන්නය” (1950) තනි ශ්‍රමයෙන් රචනා කළේ ය. මහාචාර්ය හෙට්ටිආරච්චි හා කථිකාචාර්ය එම්.ශ්‍රී රම්මණ්ඩල එකතුව “ජාතක අටුවා ගැටපදය (ද්විතීය භාගය) 1960 වර්ෂයේ දී සංස්කරණය කොට පළ කළහ. 1974 හෙට්ටිආරච්චිහු “ධම්පියා අටුවා ගැටපදය” සංස්කරණය කළහ. මෙහි ඇතුළත් දීර්ඝ ප්‍රස්තාවනාවේ ධම්පියා අටුවා ගැටපදය කෘතියේ වැදගත්කම සාකච්ඡා කර ඇත. හෙට්ටිආරච්චි හා පියදාස නිශ්ශංක එකතුව ශාකුන්තලයේ පරිවර්තනයක්: ශකුන්තලා (1962) නමින් පළ කළහ. පසුව, හෙට්ටිආරච්චි “සිංහල සිරිත් සංග්‍රහය” (1979) පළ කළේ ය.

සිංහල ශබ්දකෝෂයේ ප්‍රගමනය උදෙසා හෙට්ටිආරච්චිගෙන් අපරිමිත දායකත්වයක් ලැබිණ. වර්ෂ 1932 දී උප කර්තෘවරයකු වශයෙන් බැඳී 1942 දක්වා හෙතෙම ශබ්දකෝෂ කාර්යාලයේ (වසර දෙකක් හැර) සේවය කළේය. සරසවියේ මහ ඇදුරකු වශයෙන් සේවය කළ අතර ඔහු සිංහල ශබ්ද‍කෝෂයේ ප්‍රධාන සංස්කාරක ලෙස ද කටයුතු කළේ ය. 1942 - 1972 දක්වා කාලය තුළ ශබ්ද කෝෂයේ කටයුතු නිම කිරීමට ලංකා විශ්වවිද්‍යාලයට පැවරී තිබිණ. මහාචාර්ය රත්නසූරිය 1951 වර්ෂය දක්වා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි. 1951 වර්ෂයේ සිට ශබ්ද කෝෂයේ ප්‍රධානියා වශයෙන් හෙට්ටිආරච්චි වියතා තම දැනුම් සම්භාරය ශබ්දකෝෂයට සැපයූයේ ය. ඔහු මුල දී ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් සකසන ලද ශබ්දකෝෂ දෙකට ම තම නොමසුරු දායකත්වය ලබාදුන්නේ ය. හෙට්ටිආච්චිගේ අභිලාෂය වූයේ නව වචන හා භාෂා ප්‍රයෝග හැකිතාක් සොයා ගැනීම ය. ඔහු අලුත් වචනයක් හමුවූ විගස ම එහි නිරුක්ති හා අර්ථ සොයා ගැනීමට උත්සුක වන්නේ මහා නිදානයක් ලැබුණ දුප්පතකු සේ ය. 1983 වන විට කාණ්ඩ වශයෙන් නිකුත් කරන තිබුණේ ශබ්දකෝෂයේ තුනෙන් එකක් පමණි. 1977 - 1979 දක්වා කාලය තුළ 672 බැගින් යුත් කලාප තුනක් නිකුත් කර තිබිණ. හෙට්ටිආරච්චිගේ හා කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම නිසා සිංහල ශබ්දකෝෂය මේ ආකාරයෙන් වත් නිම කිරීමට හැකි විය. ‍

සිංහල විශ්වකෝෂයේ පෝෂණය සඳහාත්, හෙට්ටිආරච්චිගෙන් විපුල සේවාවක් සිදුවිය. හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ඒ. රත්නායකයන්ගේ යෝජනාවක් අනුව විශ්වකෝෂය ලිවීම 1955 දී ඇරඹිණ. එම කාර්යය පැවරුණේ ද හෙට්ටිආරච්චියන්ගේ උරහිස මතයි. ඩී.බී. ජයතිලක, ජුලියස් ද ලැනරෝල්, එම්.ඩී. රත්නසූරිය, ගුණපාල මලලසේකර යන මානවහිතවාදී ප්‍රාඥයන්ගේ ආලෝකයෙන් හෙට්ටිආරච්චි චරිතය ‍ගොඩනැගුණි. එබැවින් සිංහල විශ්වකෝෂය නිම කිරීම ඔහුට එතරම් අභියෝගයක් නො වී ය. පිටු 750 බැගින් කාණ්ඩ පහළොවකින් යුත් විශ්වකෝෂයක් සම්පාදනය කිරීමට යෝජනා වී තිබිණ. හෙට්ටිආරච්චි ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම නිසා 1983 වනවිට කාණ්ඩ හයක් නිකුත් කිරීමට හැකි විය.

හෙට්ටිආරච්චි සාම්ප්‍රදායික ව්‍යාකරණයට පමණක් සීමා නොවී නූතන වාග්විද්‍යාව වෙත ද තම අවධානය යොමු කළේ ය. ඔහු සිංහල අංශයෙහි වාග්විද්‍ය විෂයය ආරම්භ කිරීමට එම්.ඩබ්. සුගතපාල ද සිල්වාණන් ලන්ඩන් වශ්වවිද්‍යාලයට වැඩිදුර අධ්‍යාපනය සඳහා යැවුවේය. 1959 දී පේරාදෙණිය සරසවියේ වාග්විද්‍යා විෂය ඉගැන්වීම ආරම්භ කෙරිණ. හෙට්ටිආරච්චි ඓතිහාසික වාග්විද්‍යාව කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වූයේ ය. සිංහල කතා ව්‍යවහාරයට අදාළ උප භාෂා හැදෑරීමට හෙතෙම උනන්දු වෙයි. ඓතිහාසික වාග්විද්‍යා විෂයට අයත් වචන කෝෂවල පරිණාමය පිළිබඳවත් ඔහුගේ අවධානය යොමුවෙයි. හෙට්ටිආරච්චි අව්‍යපද හා යුගල පද පිළිබඳ ව විමර්ශනයක් කළේ ය. ඔහුට අනුව බඩු මුට්ටු යනු යුගල පදයකි. බඩු යනු සිංහල වචනයකි. මුට්ටු යනු දෙමළ වචනයකි. මේ දෙකේ ම අරුත එකක් ම ය. එතුමා ප්‍රකාශ කරන පරිදි සිංහල යුගල පදවලට දෙමළ, හින්දි, පෘතුගීසි, ඕලන්ද හා ඉංග්‍රීසි වචන සම්බන්ධ වී ඇත. සිංහලයේ වචන කෝෂය විකාශනය වූ ආකාරය හේ අධ්‍යයනය කළේ ය. ධම්පියා අටුවා ගැටපදය, ජාතක අටුවා ගැටපදය යන ග්‍රන්ථවල ප්‍රස්තාවනාවන්හි වචන කෝෂ අඩංගු ය.

හෙට්ටිආරච්චි ප්‍රාඥයකු මෙන් ම, හිත හොඳ මිනිසෙකි. තමා ගේ යහපතට වඩා ඔහු සිතුවේ සිංහල අංශයේ යහපත පිළිබඳව ය. ඒ නිසා ම, නිර්මාණ කුසලතාවලින් පරිපූර්ණ එදිරිවීඍ සරච්ච්න්ද්‍ර වැනි ජාතික සම්පතක් තම අංශයට අනුයුක්ත කරගැනීමට හෙතෙම පසුබට නො වී ය. කේම්බ්‍රිජ් සරසවියේ කාබන් කොපියක් වූ පේරාදෙණිය සරසවිය, දේශීය අනන්‍යතාවට ඔබිල ලෙස ගොඩනැඟීමට උරදුන් වියතුන් අතර හෙට්ටිආරච්චියන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. මේ විශිෂ්ට පඬිවරයා 1989 දී අභාවයට පත්විය.

Comments