
සිගරට් දුමාරයෙන් කැකෑරෙන අවන්හල කෙළවරේ අඳුරු මුල්ලකට වී මධුවිත තොලගාන සාලියගේ මනස් කවුළු සිය බිරිය කුසුම්ගේ හඬින් විවර විය. “ඔයාට පිස්සු ද? මම එනකොට අරගෙන ආව රත්තරං බඩු උකස් කරල නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ඉල්ලන්නේ?”
“ඔයා කල්පනා කරන්න. මට හොඳට විශ්වාසයක් තියෙනවා, මේ පිටපත නිෂ්පාදනය කළොත් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි කියලා. මට ඕනේ මේ ප්‍රපාතයෙන් වේදිකාව ගොඩ අරගෙන උඩුගං බලා පීනන්න.”
“ඔයා උඩුගං බලා පීනන්න හදන්නේ ළමයිනුයි, මාවයි බඩගින්නේ තියල ද? ඔන්න ඔය වැඩක් බලාගෙන තියෙන හකුර රැකගන්න.”
සාලිය සිරිවර්ධනගේ නාට්‍ය පිටපත කියවූ බොහෝ මිතුරන් හා මහාචාර්යවරුන් කීවේ එය මහඟු කෘතියක් බවයි. සාලිය දිවා රෑ නෙත් සඟළ රිදවා එළිදැක්වූ සිය කුලුඳුල් නාට්‍ය පිටපතින් ලුහුබඳින්නේ, ඔහු වසර පනස් හතක් පමණ කාලයක් මුළුල්ලේ පොතපතින් හා වේදිකාවෙන් උකහා, මිරිකාගත් අත්දැකීම් ය. නාට්‍ය නිපැයීමට දායකත්වයක් ලබා ගැනීමට කිහිප දෙනෙකු ම හඹා ගොස්, අවසානයේ අවන්හලේ අඳුරු මුල්ලකට වී සුසුම්ලන සාලිය, වරෙක මන්දෝත්සාහී චෛතසිකයක වහලකු විය, වරෙක ස්වාමියකු විය. එනමුත්, කවර නම් භවතකු හෝ මෙම කුලුඳුල් නාට්‍යය එළිදැක්වීමට අනුග්‍රහ දක්වාවි දැයි යන පැනයට පිළිතුරක සේයාවක්වත්, මධුවිත හෝ කල්පනා සයුර බිඳුවකින් හෝ දායක නොවීම ගැන ඔහු තමාට ම දොස් නඟා ගත්තේය.
මධුවිතේ අන්තිම බින්දුව තොලගෑ සාලිය, දල්වාගත් දුම්වැටිය අතැති ව අවන්හලින් පිට විය. ඔහු නාරාහේන්පිට හන්දිය දක්වා ගමන් කොට, මරදාන දෙසට යන බසයකට ගොඩනැඟුණේ සේදවත්තට යාමට ය. බසයෙන් බැස ඔහු මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන සාප්පු පේළිය දිසාවට ඇදුණේය. තම මිතුරකු විසින් දානපතියකු ලෙස හඳුන්වා දෙනු ලැබූ සාප්පු හිමියාගේ නම සිය මතකයට නඟා ගත්තේය.
ගරුසරු බවක් සිය ගතට ගත් සාලිය සිනහවකින් මුව සරසා ගත්තේය. “මොකද මහත්තයා, නාට්‍යයක සුවනියර් එකක් ද? අපෝ මහත්තයා, මේ අවුරුද්දේ බජට් එක ඉවරයි. ඇඩ්ස් නම් මතක් කරන්න එපා”
“නැහැ මහත්තයා, ඇඩ් එකකට නොවෙයි. මේ නාට්‍ය පිටපත මං ලීවේ. බොහෝ දෙනෙක් ඉතා හොඳ නාට්‍යයක් කියලා රෙකමදාරු කරලා තිබෙනවා. මට ඕන කරනවා මේක නිෂ්පාදනය කරන්න අර්ථපතියෙක්.”
“කෝටිපතියෙක්? අනේ මහත්තයා, කෝටිපතියෙකු තියා මං තාම දහස්පතියෙක්වත් නෙවෙයි. මේ අනූනවය සියය කර ගන්න බැරිව ළතවෙනවා. මං කියන්න ද? අර ඉස්සරහ ටයර් සාප්පුවට ගිහිල්ල අහන්න.”
“අනේ මහත්තයෝ මේකට බාගයකින්වත් දායක වෙන්න.”
“මං මහත්තයෝ පන්සලේ නම් දායකයෙක්. බොරු නම් ගිහිල්ලා බිම්බාරාමේ ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න. ඒ ඇරෙන්න මං දායක වෙන්න කැමති නැහැ.”
සාලිය ඉදිරියට ඇදුණේය. පාර හරහා ගමන් කොට ටයර් සාප්පුවට ගොඩ වැදුණේය. “මේ... මේ... සාප්පුවේ අධිපති මහත්තය ද අර කාමරේ ඉන්නේ?”
“කියන්නකො, මහත්තයාට ඕනේ ටවුන්එස් බඩු ද? එයිඑස් බදු ද? ලයිට්එස් ද? අපි තමයි බඩු විකුණන්නේ.”
“නැහැ, නැහැ, මට මේ සාප්පුවේ අයිතිකාර මහත්තයාට කතා කරන්න ඕනෑ පොඩ්ඩක්. නාට්‍යයක් නිෂ්පාදනය කරන්න උදව්වක් ගන්න.” සාලිය ඔහුගේ අණ පිළිපැදීය. මුවගට සිනහවක් නඟා ගෙන කුඩා කුටියට ඇතුළු විය.
“මහත්තයෝ, මම මේ නාට්‍යයක් ලිව්වා. මට කරුණාකර පුළුවන් ද මේ නිෂ්පාදනයට බරපැන දරන්න.”
“බරපැන කිව්වේ මහත්තයෝ බෝල් පොයින්ට් පෑනට ගහන්න පෑනක් තියෙනව ද?”
“නැහැ, මම මේ කිව්වේ, මේ නාට්‍ය නිෂ්පාදනයට මුදලක් යොදලා වේදිකාගත කරන්න උදව් වෙන්න.”
“ආ... ආ... දුවයි... කොමිට් කෑලි තියෙනව ද? අර තම්බි ඩාන්ස් කෑලි තියෙනව ද?”
“මේක මහත්තයෝ ප්‍රබුද්ධ පිටපතක්. හුඟක් දෙනෙක් උසස් නිර්මාණයක් කියලා අගයලා තියෙනවා.” සාලිය සාප්පු හිමියාට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත‍්තේය.
“නිර්මාණයක් උසස් කියල කොහොමද දැන්ම කියන්නේ. දුවන්න ඕනෑ බැඳගෙන. එතකොටයි උසස් වෙන්නේ. දැන් කවුද ප්‍රධාන නිළියට ගත්තේ?”
සාලිය තුළ බලාපොරොත්තුවක සේයාවක් මෝදු වන්නට පටන් ගත‍්තේය.
“චාරුලතා උමයංගනා”
“කවුද ඒ ?මොනවත් කරන්න පුළුවන් එක්කෙනෙක් ද?”
“අයියෝ මහත්තයා, බොහොම ආධුනිකයෙක් වගේ. මහත්තයාගේ නම මොකක් ද?”
“මම සාලිය සිරිවර්ධන”
“ආ... නම නම් අහලා තියෙනවා. මහත්තයානේ අර බැලුන් බෝල්ස් ඇඩ් එකේ ඉන්නෙ?”
“නැහැ, මම ඇඩ්ස්වලට ඉඳලා නැහැ.”
එහෙනම් මම කියන්න ද? අපි ඉස්සර වෙලා ඇග්‍රිමන්ට් එකක් සයින් කරමු. මහත්තයා මං අඳුරන දෙන්නෙක්වත් හොයාගන්න. මං මගේ එක්කෙනෙක් පත් කරනවා සල්ලි වියදම් කරන්න. මහත්තයා සුමාන දෙකකින් නාට්‍ය හදලා බාර දෙන්න ඕනේ. ඊට පස්සේ මං මහත්තයාගේ නමට රුපියල් පන්සියයක ගෙවීමක් කරනවා. මුළු මුදල ඔක්කොම මට. නාට්‍යයට ගන්න නිළිය කවුද කියලා මට හඳුන්වලා දෙන්න. නාට්‍ය පටන්ගන්න ඉස්සරවෙලා ඒ ළමයින්ව ට්‍රාන්ස්පෝට් කරන්න මම භාර ගන්නම්. මහත්තයා ඒකට කරදර වෙන්න එපා. මං මහත්තයා ඒකෙන් නිදහස් කරන්නම්. කැමති ද? හෙට ම හොයාගන්න මහත්තය මට රෙකමන් කරන්න පුළුවන් මගේ යාළුවෝ දෙන්නෙක්.
“බොහොම ඉස්තූතියි, මං ගිහිල්ලා එන්නම්.”
සාලිය වාඩිවී හුන් අසුනින් නැගිට, රිංගා එළියට වන්නේය. ඔහු සාක්කුව අතගා සිල්ලර කාසි කිහිපයක් එළියට ගත්තේය. සේදවත්ත කෙළවරට ම ගමන් කොට, දුම්වැටියක් දල්වා ගත්තේය. තේ බීලා ම මේක බිව්වොත් හොඳයි. ඔහු භෝජනාගාරයක් සොයමින් ඉදිරියට ඇදුණේය.
දහඩිය පිස දමමින් නිවසට ගොඩවන සාලිය දුටු ඔහුගේ බිරිය කුසුම් “මොකද දාහට අරං පන්සීයට දීලා වගේ” යි විමසුවාය.
“මේ ළමයාගේ ඇඟ රත්වෙලා. ඒක බලන්නවත් කෙනෙක් නැහැ. සෙනසුරාදා - ඉරිදා ගෙදර, නාට්‍ය කෙහෙල්මලක් කිහිල්ලේ ගහගෙන රට පුරා ම රස්තියාදු වෙනවා.” සාලිය නිසොල්මන් ව නිදන කාමරයට පියමං කළේය. ‘උදේ ඉඳන් යකඩ කෑලි අතගාන එවුන් දන්නවද සියුම් නිර්මාණයක අගය. මොකක්ද අර මුදලාලියා ඇහැව්වේ. නිළියගෙන් මොනවත් කරගන්න බැරිද කියලා. මොනවා කරන්න ද? ඒ දක්ෂ කෙල්ල චරිතය රඟපානවා ඇරෙන්න’. සාලිය තොල් මැතුරුවේය. කුසුම් කාමරයට එනු දුටු සාලිය, “දුවට මොකද? උණ බැහැලද? බලන්නකෝ කුසුම්, අර සේදවත්තේ මුදලාලිලා දෙන්නෙක් මුණ ගැහුණා. නාට්‍යයට කාගෙන් හරි උදව්වක් ගන්න කියලා. ඒ මිනිස්සු යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලෙ පොල් කීවා.”
“මං කිව්වනේ සාලිය ඔන්න ඕක දුම්මැස්සට දාලා හැන්දෑවට ඕවර්ටයිම් ටිකක් හදා ගෙන කරන්න කියලා. දැන් නාට්‍යයක් නැති එකේ ඔයාට රිහර්සල් යන්නත් ඕෙන් නැහැනේ? මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවලට මිනිසුස්නට නාට්‍ය බලන්න සල්ලි කොහෙන්ද? ඕනෑ ගේක ටීවී එකක් තියෙනවා. ඕක හතර වටේට ම කැරකෙව්වාම ඕගොල්ලන්ගේ ඔය ප්‍රබුද්ධ නාට්‍ය කැලේ. සල්මන් ඛාන්ලා, මධුරි දික්සිත්ලා පෙන්නන රටක, ඔය නාට්‍ය රස විඳියි ද? අනික, එක අවුරුද්දකට සැරයක් ඔය පවත්වන නාට්‍ය උත්සවයක්වත් මිනිස්සු භාර ගන්නේ විහිළුවක් කියලනේ? චිත්‍රපට උත්සව පවත්වනවා. ඒවට ආරාධනා යවන්නේ ක්‍රියාකාරිත්වයේ නියැළී ඉන්න ශිල්පීන්ට නෙවෙයිනේ? සබන් කොම්බැනියට ගස්ලබු කිරි එකතු කරලා දෙන මිනිස්සුන්ටනේ? ඔන්න ඔය මනස්ගාත අත්හැරලා දාලා සල්ලියක් උපයන වැඩක් කරන්න.
අවුරුදු පනස් හතක් තිස්සේ වේදිකාවේ, චිත්‍රපටයේ බඩගානවා. අඩු තරමේ පොල් පරාල කෑල්ලකට තහඩු කෑල්ලක් අලවපු සම්මානයක් ලැබුණ ද?”
අද දිනයේ අර මුදලාලිලාගෙන් ලැබුණු ප්‍රතිචාරය හා තම බිරියගෙන් ලැබුණු උපදේශය අතර ඉතා සමීප බවක් ඇතැයි සාලිය සිතුවේය. ඔහු ඇඳුම් උනා තුවාය පටලවා ගෙන නාන කාමරයට පිය මැන්නේය. කෙසේ හෝ නාට්‍ය එළිදක්වමියි තරයේ අදිටන් කරගත් සාලිය කරාමය කරකවන්නට පටන්ගති.
දින ගණන් සති ගණන් ඉක්ම ගියේය. හේ හැම දිනක ම නින්දට යාමට පෙර කියවීම පුරුද්දක් කොට ගත්තේය. නළු නිළියන් සිය රංගනයන් කරන විලාසය ඔහුගේ මනසේ රජකරන්නට විය. නාට්‍ය පිටපත කාහට හෝ දෙන්නට ඔහු සිතුවේය. එනමුත් ඒ සිතුවිල්ල උපන් ගෙයි ම වළලා දැම්මේය. මේක කාටවත් දුන්නොත් මිනිහා මේක උඩ යට පෙරළලා දාවි. මේ යන රැල්ලට මේ කෘතියත් එකතු කරාවි. එතකොට මගේ කුලුඳුල් නිර්මාණය බොළඳ හාස්‍ය රැල්ලට ගසා ගෙන යාවි.”
ඔහු තම නාට්‍ය පිටපත රැගෙන ප්‍රසිද්ධ නාට්‍යකරුවන් කිහිප දෙනෙකු ළඟට ද ගියේය. “පිස්සු ද සාලිය? මේ නාට්‍ය කරන්න පුළුවන් කාලයක්ද? අපිත් මේ අයින් ගහලා ඉන්නේ. අනිත් එක ස්වතන්ත්‍ර නිර්මාණයක්. මං හොඳ ඉංග්‍රිසි කොමික් පොතක් දෙන්නම්. ඔයා කරන්න දුවන්න පුළුවන් අනුවාදයක්. ඕන්නම් පොලියට අරගෙන දෙන්නම් රුපියල් දාහක් දෙදාහක්. ඊට වැඩිය නම් බැහැ.”
ප්‍රවීණ නාට්‍යකරුවන් සෑම දෙනකුගෙන් ම පාහේ සාලියට ලැබුණේ සමාන උපදේශයන්ය. තම කුලුඳුල් නිර්මාණය කෙදිනක හෝ එළිදක්වා, අාගාධයට වැටී ඇති වේදිකා නාට්‍යය ඉන් ගොඩ ගන්නවා යැයි දැඩි සිතුවිල්ලෙන් මඬනා ලද සාලිය දවස් ගෙවන්නට පටන් ගත්තේය. කාර්යාලයේ ඉන්නා තම සගයන් කිහිප දෙනෙකුගෙන් ම ඔහු ගත හැකි උපකාරයන් පිළිබඳව පිළිවිසුවේය.
“මේ, පිස්සා නොවී ඕක පැත්තකට දාලා වරෙන් ඩ්‍රින්ක් එකක් දාන්න” ඇතැමෙක් කීහ. සාලිය කාලයක් නිසොල්මනේ හුන්නේය. එහෙත් ඔහුගේ සිහිනය සැබෑ කර ගන්නේ කෙසේ දැයි ඔහු නිරතුරුව මසිතට වද දුන්නේය.
“මහත්තයා අර නාට්‍ය කොහොමද? කළා ද?” බෙන්ස් රථයකින් ගමන් කළ තැනැත්තෙකු සිය රථයේ වීදුරුව පහතට දමා සාලියගෙන් විමසුවේය. කල්පනාවේ නිමග්නව පදික වේදිකාවේ ගමන් කළ සාලිය, අන්දමන්ද වී ගියේය. දිනෙක රාජකාරි කටයුතු නිමා කොට සාලිය ගෙදර ආවේ පිටපත රැගෙන තමාගේ පාසල් මිතුරෙකු මුණ ගැසීමට කතිකා කර ගෙනය.
“කවුද මේ ළමයට මේ නාට්‍ය පිටපත දුන්නේ ඉරලා දාන්න.” මේඝ ඝර්ජනාවක බඳුව සාලිය බෙරිහන් දුන්නේය.
“මම” කුසුම්ගේ කටහඬ වාතලයට එක්විය.