ගුරුකුල අගරුවෙන් මිදුණ නිදහස් සාහිත්‍යයක් කරා | Page 2 | සිළුමිණ

ගුරුකුල අගරුවෙන් මිදුණ නිදහස් සාහිත්‍යයක් කරා

මහාචාර්ය විමල් ජී. බලගල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවූ සම්මානනීය විද්වතකු වශයෙන් අපගේ ප්‍රශස්ත බුහුමන් ලබන්නෙකි. සිංහල භාෂා ශාස්ත්‍රය පිළිබඳ ව එතුමන් සතු ගැඹුරු විශාරදත්වය නිසා නිවැරැදි අක්ෂර වින්‍යාසය හා නිවැරැදි පද බෙදීම පිළිබඳ විද්වත් සම්මුතියක් හඳුන්වා දීමට මම ද ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී (අවස්ථා කිහිපයකම) එතුමන්ගේ සහාය ලබා ගත්තෙමි. ස්වභාවයෙන්ම මහාචාර්ය බලගල්ල සංවාදයට මිස විවාදයට යොමු වන්නෙක් ද නොවෙයි. එහෙත් ‘සත්මඬල’ පිළිසඳරකදී සුමුදු චතුරාණි ජයවර්ධන විසින් පේරාදෙණි ගුරුකුලය පිළිබඳ අසා ඇති විමසුමකට එතුමා විසින් දෙන ලද පිළිතුර දැන් විද්වතුන් අතර කතාබහට ලක්වී තිබේ. එය එතුමන් පේරාදෙණි සාහිත්‍ය විචාරය පිළිබඳ ව කරන ලද ගැඹුරු සඳහනකට වඩා සම්මුතිකාමී සරල පිළිතුරක් වශයෙන් මිස මම එය බරපතළ ලෙස ග්‍රහණය කර නොගත්තෙමි. එහෙත් පේරාදෙණි සාහිත්‍ය විචාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කිසිවකුට මෙවන් පිළිතුරකින් නිහඬ වීමට පුළුවන් කමක් නැත. මහාචාර්ය තුමාගේ එකී සරල පිළිතුරට ප්‍රතිචාර දක්වන බන්දුපාල ගුරුගේ “කාම සංස්කෘතියට අත වැනූ පේරාදෙණි ගුරු කුලය” නමැති ලිපිය නිසා දැන් කිසියම් ආකාරයක සංවාදයක් ඇවිළී ඇති බව පෙනෙයි.

පනහ හැට දශක තුළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අංශයක් නොවූ “පේරාදෙණි ගුරු කුලය” යනුවෙන් හඳුනාගත හැකි කල්ලියක් සිටි බව රහසක් නොවේ. එයට එදා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනකු සහ එක්තරා උපාධි අපේක්ෂකයකු ද සම්බන්ධ බවට කතා පවා අසන්නට ලැබිණි. මේ පිරිසට මාර්ටින් වික්‍රමසිංහ ද ඇතුළත් බවට සමහරු චෝදනා කළහ. එහෙත් මේ පේරාදෙණි ගුරුකුලයෙන් සිදු විය හැකි අනතුර ගැන කල් ඇතිවම අඟවන ලද්දේ ඔහු විසිනි.

මහාචාර්ය බලගල්ලගේ සම්මුතිවාදී පිළිතුර නිසා සත්මඬලෙහි පළවූ පහත සඳහන් ලිපි මගේ විශේෂ අවධානයට යොමු වෙයි.

. කාම සංස්කෘතියට අත වැනූ පේරාදෙණි ගුරුකුලය -බන්දුපාල ගුරුගේ

. පේරාදෙණි ගුරු කුලය අති සරල ප්‍රවේශයකින් විවේචනය කරන්න එපා - චින්තක රණසිංහ

. වැළලුණු ගුරුකුලයක නටබුන් ගොඩ ගැසීම - දයාපාල ජයනෙත්ති

. වික්‍රමසිංහට මුවා වී සරච්චන්ද්‍රට ගල් ගැසීම - ගාමිණි සුමනසේකර

මේ ලිපි අතරින් තරුණ විචාරකයකු වන චින්තක රණසිංහට පේරාදෙණි ගුරුකුලය පිළිබඳ ඇති අනවබෝධ තත්ත්වය නිසා ඒ ලිපිය හරසුන් තත්ත්වයක පවතී. එහෙත් ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ මාධ්‍යකරුවකු වන ගාමිණී සුමනසේකර ඉපැරැණි මඩ ගැසීමේ මාධ්‍ය ප්‍රතිපත්තියට මුවාවී මාර්ටින් වික්‍රමසිංහට ඉතාමත් අනුචිත බොලඳ දෝෂාරෝපණයක් කිරීමට දරන උත්සාහයක් පෙනේ. බන්දුපාල ගුරුගේ සහ දයාපාල ජයනෙත්තිගේ ලිපි දෙකම පේරාදෙණි ගුරුකුලයෙන් සිංහල විචාරයට සිදුවූ හානිය සිහිපත් කිරීමට උපකාරී වෙයි. දයාපාල ජයනෙත්ති පේරාදෙණි ගුරුකුලය වැළලුණු කල්ලියක් බවට කරන සඳහන සැබෑවකි. එය සිරි ගුනසිංහගේ පද්‍ය කණ්ඩයකින් කිවහොත් අද මස් ලේ නැති ඇට සැකිල්ලක් පමණකි. එහෙත් මේ මුවාවෙන් එදිරිවීර සරච්චන්ද්‍රට හෝ මාර්ටින් වික්‍රමසිංහට හෝ එරෙහි චෝදනා පැවරීමට හෝ නින්දා කිරීමට ‘සත්මඬල’ බිලි කර නොගන්නා ලෙස ‘සිළුමිණ’ සත්මඬල පාඨකයකු වශයෙන් මම ඉල්ලා සිටිමි.

මෙහිදී අපි එක් සත්‍යයක් පිළිගත යුතු වෙමු.

“පේරාදෙණි ගුරුකුලය නමැති සංවිධානයක් තිබුණ බව ය; සමහරු එය පිළිගනිමින් පාපොච්චාරණය කළ බව ය. 1961 වංශනාථ දේශබන්දු නමින් “සාහිත්‍ය කොල්ලය” නමැති පොත එය පේරාදෙණි කුලය, පේරාදෙණි කල්ලිය වශයෙන් හැඳින්වූ බව ය.

මාර්ටින් වික්‍රමසිංහ 1961 සිට ඔහුගේ ‘උපන්දා සිට’, ‘නවකතාංග හා විරාගය’ සහ ‘ජපන් කාම කතා හෙවණැල්ල’ යනාදි ග්‍රන්ථවල ඉතාමත් ඍජුවත් විචාරාක්ෂිවත් පේරාදෙණි ගුරු කුලය, නිකාය, ආදි වශයෙන් නම් කරමින් මේ පරාභව චාරිකාව නවතා දමන මෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් මේ අනතුරු ඇඟවීම් මුල් කාලයේ පේරාදෙණි ගුරුකුලයේ ඇතැමුන්ගේ සරදමට ලක් විය. ඔවුහු තම නිර්මාණ සහ විචාර මඟින් තරුණ පරපුරත්, බොදු සසුන් පතත් විනාශ කරනු පිණිස ස්වකීය අවි මුවහත් කරන්නට වූහ. පේරාදෙණි සාහිත්‍යයේ ශික්ෂණය පෙන්නා දෙන යොවුන් උදම් පාඨ කිහිපයක් සාහිත්‍ය කොල්ලයෙහි මෙසේ සඳහන් වේ.

“දන්නෝ දනිති අපි - කොල්ලෝ තමයි
අර ත්‍රෛයිලෝක පූජිත වාසිටියේ
කෙල්ලෝ සොයා යති - කොල්ලෝ මුළා වෙති
කඳු ගැට අතරේ හන්තානේ
බල්ලෝ මරා හරි - සල්ලි සොයා අපි
විස්කි ගහන්නේ - කෙල්ලො නිසයි
හැන්දෑ වෙලාවට - කෙල්ලො අරන් අපි
යන්නෙ විනෝදෙට - හන්තානේ
අනම් - මනම් වානා - අපිට අරක්කු තමයි ඕනා
අප්පට වැඩිය මේ පුතා - විස්කිද බ්‍රැන්ඩි ද ඇතා

(සාහිත්‍ය කොල්ලය පිටුව 22)

හැට හැත්තෑව දශකවල අසභ්‍ය පොත් පිටුදැකීමේ ව්‍යාපෘතියක් ද විය. එය දේශපාලන පක්ෂවල ද අවධානයට ලක් විය. සමඟි පෙරමුණු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය “අසභ්‍ය පොත් පත් විමසීම් කමිටුව” නමින් කමිටුවක් ද පත් කළේ ය. ලේඛකයන්ගේ සංවිධානයක් වශයෙන් පේරාදෙණි ගුරුකුලයට විරුද්ධව ජනතා ලේඛක පෙරමුණ ආක්‍රමණකාරී නොවූ බුද්ධිමය සංවාදයක් ද ගෙන ගියේ ය. මේ කාලයේ බිහි වූ ‘අමල් බිසෝ’ නමැති පේරාදෙණි ගුරුකුලයට අයත් පද්‍ය සංග්‍රහය දෙබරයට ගල් ගැසීමක් විය. රටේ ජනමතය තුළ අසභ්‍ය පොත් විරෝධයක් පැවතුණද ‘අමල් බිසෝ’ කවියා එයට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

“මූට නමක් තියාපියෝ - සැබියායැයි කියාපියෝ
මූට නමක් තියාපියෝ - හොර දෙටුවැයි කියාපියෝ
මූගේ බරවේ තව ගඳ එන්නේ
මූ කොහොමද එය උහුලා ගන්නේ
මූගේ හෙළුව කොතැන ද බලපන්නේ
ඇඟට ඇලීල ද නැත එය දන්නේ
මෑලි වෙලා එය මැලවී ගොස් දෝ
උපන් ගෙයිම එය නැතිවී වත් දෝ

(මරා ඉපැද්දුම - අමල් බිසෝ)

මේ ජනප්‍රිය පේරාදෙණි කවියා අමල් බිසෝහි බුද්ධ සංකේතයට නින්දා කළේ මෙසේ ය.

ගඟ ළඟ බවුන් වඩන භික්ෂුව අමතන කවියා මෙසේ කියයි.

“නාකි වෙලා ලොම් ගියදා
දෑත දෙපය පණ නැතිදා
අපිත් ඔහොම ගල් උඩ හිඳ
අව්ව තපින්නට එන්නම්.”

අනිත්තියේ මස් නැති ඇට
කටේ දාන් ලොඹු කර කර
හක්කෙන් හක්කට දමමින්
එතකොට භාවනා කරමු

(ගඟ ළඟ බුදු රුව)

තමාගේ අපදානය වශයෙන් ‘උපන් දා සිට’ නමින් මාර්ටින් වික්‍රමසිංහ 1961 දී ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථය ප්‍රශස්ත ප්‍රාඥයකුගේ ලේඛනයක් විය. පේරාදෙණි ගුරුකුලයට සම්බන්ධ පිරිස් ඉතා හොඳින් සහ ළඟින් ඇසුරු කළ මාර්ටින් වික්‍රමසිංහ ආරම්භයේ සිටම එකී ගුරුකුල ගමන පරාභව ගමනක් බව හඳුනා එය පෙන්නා දුන්නේ ඉත සිතිනි. පේරාදෙණි ගුරුකුලයේ ඇත්තන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ඔහු ඍජුවම විවේචනය කළේය.

“සරච්චන්ද්‍රගේ කතාවේ නායක සිත්තරා ලංකාවෙන් මයිල දහස් ගණනක් ඈත ජපානයේ ගණිකා නිවාසයකට යයි. ගුණදාස අමරසේකරගේ “යළි උපන්නෙමි” කතාවේ වීරයා වන රණතුංගත් සිරි ගුනසිංහගේ “හෙවනැල්ල” කතාවේ වීරයා වන ජිනදාසත් මරදානේ ගණිකාවක වෙත යන්නේ ගර්වයෙන් වටපිට බලමිනි.

(උපන් දා සිට - පිටුව 35, 1961)

“ගුණදාස අමරසේකර කාමය හා ස්ත්‍රිය වර්ණනා කරනු පිණිස රචිත පද්‍යාවලි කිහිපයක් ‘අමල් බිසෝ’ පද්‍ය සංග්‍රහයෙහි ඇත. ඔහු ආවේශ වුවකු ලෙස අස්ථානයේ දොඩන්නේ බුදුන් දෙසු මඟත් බෞද්ධ සංස්කෘතියත් අරබයා ඔහුගේ හිසට වැදුණු දුර්මතය නිසාය. විශ්වවිද්‍යාලයේදී මතුරා ජප කරනු ලැබු දුම්මල පහරක් වැන්න ඒ දුර්මතය. ඔහු ගූඪ කාම හැඟීම් කීමට තොවිල් කවි තාල හා අනුප්‍රාස වහල් කොට ගනියි. එය ඔහුගේ කාව්‍ය ශක්තිය හෙළි කරන්නකි. එහෙත් ඔහුගේ පද්‍යාවලි බාලයන් කාමාශාවෙන් නටවන බෙර වැයුමක් වැන්න.”

(නවකථාංග හා විරාගය පිටුව 242, 1965)

“සරච්චන්ද්‍ර වර්ණාත්මක විවේචනයෙන් ඉංගිරිසි උගතුන්ට හඳුන්වා දුන් සිංහල නවකතා තුනක් ඇත. එකක් ගුණදාස අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ කථාවය. දෙවැන්න කේ. ජයතිලකගේ ‘පරාජිතයෝ’ කථාවයි. තුන්වැන්න සුනන්ද මහේන්ද්‍ර මැල්ගේ ‘සෙවණැලි ඇද මිනිස්සු’ කථාවයි. මේ කථා තුනෙහි නායක චරිත එක් අංශයකින් මඳක් එක සමානය. යළි උපන්නෙමි කථාවේ රණතුංග, පරාජිතයෝ කථාවෙහි උදේනි, සෙවනැලි ඇද මිනිස්සුහි ජස්ටින් පෙරේරා යන තිදෙනාම තමන්ගේ බිරියන්ට දැන හා නොදැන ද පීඩා කිරීමෙන් සන්තෝෂ වන්නේය. ඒ කථා තුනේම නායකයෝ බුදු සමයට හා බෞද්ධ සංස්කෘතියට ද සරදම් කරති.”

(සිංහල නවකථාව හා ජපන් කාමකථා හෙවනැල්ල පිටුව 49, 1969)

“පේරාදෙණි ගුරුකුල නවකථා වට්ටෝරුවට පොදුවේ හිමි ද්‍රව්‍ය මේය. තරුණයකුගේ තරුණියකගේ හාදකම, සමලිංගික කාමාස්වාදය, තරුණයා වෙසඟනන් වෙත යෑම, බිරිඳගෙන් තෘප්ත නොවන සැමියා අනික් ගැහැනියකගෙන් කාමාස්්වාදය ලැබීම, ඔහු තම බිරියට අනෙක් පුද්ගලයන් ඇසුරු කරන්නට අනුබල දීම, බිරිඳ මානසික වධයට හෝ කායික වධයට හෝ හසුකොට සන්තෝෂ වීම, බුදු සමයට, බුදුනට බෞද්ධ ජීවිතයට සරදම් කිරීම.”

(සිංහල නවකථාව හා ජපන් කාමකථා හෙවනැල්ල පිටුව 70)

පේරාදෙණි ගුරු කුලය විසින් සිංහල සාහිත්‍ය විචාර ක්ෂේත්‍රය තුළ ආරම්භ කර තිබූ දුර්වාදයට ප්‍රතිපක්ෂ වූ එකම සංවිධානය වූයේ ජනතා ලේඛක පෙරමුණ පමණකි. ඊනියා පේරාදෙණි විෂම කල්ලියෙන් පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ ගෞරවය ආරක්ෂා කරනු පිණිස එයට එරෙහිවූ මහාචාර්ය, ආචාර්යවරු ද ගිහි පැවිදි ලේඛක විචාරකයෝ ද ජනතා ලේඛක පෙරමුණ ශක්තිමත් කිරීමට දායක වූහ. එදා ඒ සඳහා මාර්ටින් වික්‍රමසිංහගේ ද සහ‍යෝගය ලැබුවා පමණක් නොව ජනතා ලේඛක පෙරමුණ මහාචාර්ය සරච්චන්ද්‍ර හා ඔහුගේ ගුරුකුලයේ ඇතැමුන් සමඟ ද සංවාදයේ යෙදුණාය.

අමරසේකර තම නිර්මාණ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරගත්තේය. සරච්චන්ද්‍රගේ නොමඳ අගයට ලක්වූ කේ. ජයතිලක පසුව ජනතා ලේඛක පෙරමුණේ මතය වෙනුවෙන් පෙනී සිටියේය.

සරච්චන්ද්‍රත් වික්‍රමසිංහත් අතර හටගෙන තිබුණ විවාදය මිත්‍ර සම්මුතියකට පත් කිරීමට ඒ දෙපළම ජනතා ලේඛක පෙරමුණ සමඟ එකඟ වූහ. මේ සමුගැනීම 1972 ජුනි මාසයේ කොළඹ ආනන්ද විදුහල් ශ්‍රවණාගාරයේදී සිදු විය. එතෙක් හටගෙන තිබුණ විවාදය අවසන් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සරච්චන්ද්‍ර මහතා එදා රටේ පැවැති දේශපාලන සංවාදයට සම්බන්ධ විය.

ජනතාවටත් සමාජයටත් හිතකර වූ සාහිත්‍යයක් හා විචාරයක් ගොඩනැඟීමේ නව චින්තනයට ඇතැම්හු විරෝධය පළ කළහ. එකී ඊනියා පේරාදෙණි ගුරුකුලයේ අවසානයත් සමඟ ප්‍රබල ප්‍රගතිශීලී දේශපාලන බලයකට ද මේ දෙදෙනාගේ අනුග්‍රහය ලැබිණි. නූතන සිංහල නිර්මාණ සාහිත්‍යයට හා විචාරයට පේරාදෙණි ගුරුකුලයෙන් බලගතු පහරක් එල්ල වූ බව මම පිළිගනිමි. බන්දුපාල ගුරුගේගේ ලිපිය මඟින් ඒ අතීතය අපේ මතකයට කැඳවා ඇත. එය නැවතත් සිහිපත් කරන්නට අප පෙලඹවීම ගැන මහාචාර්ය බලගල්ල පැසසුම් ලැබිය යුතුය. මෙහිදී එක් කරුණක් සටහන් කළ යුතුව තිබේ. එම කාර්යයේදී ජනතා ලේඛක පෙරමුණ කිසිම පෞද්ගලික පදනමකින් එයට ප්‍රවේශ වූයේ නැත. පනහ හැට දශකවල පැවැති සිංහල සාහිත්‍ය විචාරය විමර්ශනයේදී ඇතැම් කෘතීන් ද පුද්ගලයන් ද නම් කරන්නට සිදු වුවද එය කිසිසේත් චරිත ඝාතනය සඳහා බිලි නොකිරීම අපගේ ශික්ෂණයයි. එම ශික්ෂණයට අප වඩාත් අනුගත වූයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ ප්‍රබුද්ධ වියත් ඍජු විචාරය නිසා ය.

Comments