![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/24/colvalentina-tereshkova173141120_5437385_24032017_SSA_CMY.jpg?itok=seopGAgu)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහත්වරුන් අතර පැවැත්වුණු නිල හමුවීම ප්‍රධාන කොට ගත් රුසියානු නිල සංචාරය, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සම්මුතිවාදී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් ලබා දීමට සමත් වෙයි. මොස්කව් අගනුවර රතු චතුරශ්‍රයේ, ක්‍රෙම්ලිනයේ පිහිටි ජනාධිපති මන්දිරයේ දි ඉකුත් 23 දා දහවල් ජනාධිපතිවරුන් දෙදෙනා අතර නිල හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පත්වීම පිළිබඳ සතුට පළ කළ රුසියානු ජනාධිපතිවරයා වසර හැටක ද්විපාර්ශ්වික සබඳතාව තර කරමින් ඉදිරියට ගෙනයෑමට සහාය දෙන බව එම හමුවේදී පැවසීය. රුසියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ තම පක්ෂයේ නායකයා බවත් වසර හැටකට පසුව තමාට එම පක්ෂයේ නායකයා ලෙස දෙරට අතර සම්බන්ධය ඉදිරියට ගෙන යෑමට ලැබීම සතුටට කරුණක් බවත් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු වර්ධනය කිරීමට සහන ණයක් ලබා දීම, අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට බලපාන ගැටලුවලදී උදව් කිරීම ඇතුළු රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර ගණනාවකට ආධාර ලබා දීමට නායකයන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා එකඟ විණී.
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ණය ප්‍රදාන, ශ්‍රී ලංකාවට රුසියානු ගුවන් සේවය නැවත ආරම්භ කිරීම, බල ශක්තිය සඳහා සහාය දීම, තේ වතු සංවර්ධනයට විශේෂ අනුග්‍රහයන් ලබා දීම, ධීවර කටයුතු ප්‍රවර්ධනය එම කරුණු අතර වෙයි.
ලොව බලවත් රටවල් අනුගමනය කරන රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධීයට යොදා ගත හැකි මඟ, සමබර වීම හෙවත් නොබැඳි පිළිවෙත බව මෙම සාකච්ඡා සහ සමස්ත සංචාරය වෙතින් ඉස්මතු විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුසියාවෙන් ලැබුණු ඉහළම රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීම වෙතින් එම පණිවිඩය අන්තර්ජාතික දේශපාලන ලෝකයට දක්නට හැකි විණි. ශ්‍රී ලංකාව බටහිර දේශපාලන කඳවුරට නැඹුරු රටක් බවට කෙරෙන හැඳින්වීම් නිවැරැදි නැති බව ද මෙම සංචාරය මඟින් තහවුරු කෙරිණි. 23 වැනිදා උදේ රතු චතුරශ්‍රයේ පිහිටි, දෙවන ලෝක යුද්ධයෙන් මියගිය සෙබළුන් සිහිකරන ‘නාඳුනන සෙබළාගේ සොහොන‘ ස්මාරකය අබියස හමුදා උත්තමාචාර හා තූර්ය වාදන සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෞරව පිදූ ගාම්භිර අවස්ථාව ඓතිහාසික ද වෙයි.
මෙවැනි නිල ආරාධනයක් හා පිළිගැනීමක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. මීට වසර 43ට පෙර එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට රුසියාවෙන් ලැබුණු නිල ආරාධනයට පසුව ලැබුණු පළමු නිල ආරාධනයද මෙයයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙම නිල ආරාධනය කරනු ලැබුවේ පෞද්ගලිකවයි. ඒ පසුගිය වසරේදී ඉන්දියාවේ ගෝවේ හිදි ජනාධිපතිවරුන් දෙදෙනා මුණ ගැසුණු අවස්ථාවක දීය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව නියෝජනය කරන ‘BRICS‘ නමැති ආර්ථික සංසදයේ සමුළුවක් ගෝවේ දී පැවති අතර ඊට සමගාමීව ‘BIMSTEC‘ නමැති තාක්ෂණික ආර්ථික සහයෝගිතා සංවිධානයේ සමුළුවක්ද පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලා දේශය, මියන්මාරය හා තායිලන්තය යන රටවල් මෙම සංවිධානය නියෝජනය කරයි. එහිදී ජනාධිපතිවරුන් දෙදෙනාගේ හමුවීමෙන් තවත් දින දෙකක් ඇතුළත නිල වශයෙන් වූ ආරාධනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දීම ද විශේෂ සිද්ධියකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වූවාට පසුව ඉන්දියාව, චීනය, එංගලන්තය, ඇමෙරිකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කළ නිල සංචාරවලදී හිමිවුණු ඉහළ පිළිගැනීම රුසියානු සංචාරයත් සමඟ එහි ඉහළම තලයට පැමිණුණි.
24 වැනිදා දහවල් රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙව් මහතා ද හමු වූ අතර එරට ආයෝජකයන්ගේ හමුවකට ද ජනාධිපති තුමා සහභාගී විය.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර තානාපති සබඳතා ආරම්භ කර වසර හැටක් සපිරීම සැමරීම නිමිත්තෙන් මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලයේ විශේෂ ප්‍රදර්ශනයක් හා සංස්කෘතික සංදර්ශනයක් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සංවිධාන කර තිබුණි.
විදේශ කටයුතු ඇමති මංගල සමරවීර, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග, විද්‍යා හා පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති මහින්ද සමරසිංහ, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමති එස් බී නාවින්න, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහත්වරු සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
ධීවර අංශය, සංස්කෘතික කටයුතු, සංචාරක ක්ෂේත්‍රය හා විද්‍යා හා පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් වන සහයෝගිතාව පිණිස ද්විපාර්ශ්වික ගිවිසුම් ද අත්සන් කෙරිණි.