නමින් අත්සන් නොකළ‍‍ ලේඛකයා‍ | Page 2 | සිළුමිණ

නමින් අත්සන් නොකළ‍‍ ලේඛකයා‍

අදෘශ්‍යාර්ධය

විලියම් ශේක්ස්පියර් යනු මෙතෙක් බිහිවූ විශිෂ්ටම ඉංගිරිසි සාහිත්‍යකරුවා මෙන් ම විශිෂ්ටම නාට්‍ය කරුවා ලෙස ද සැලකේ. ඔහු එංගලන්තයේ ‘ජාතික කවියා’ මෙන් ම ‘ඇවොන් හි සූර කවියා’ ලෙස ද ප්‍රකට ය. ශේක්ස්පියර්ගේ නාට්‍ය ලොව ඇති සෑම ජීවී භාෂාවකටම පාහේ පරිවර්තනය වී ඇතැයි ද සඳහන් ය. එහෙත් මෙතෙක් ලොව වැඩියෙන් ම වේදිකාගත වී ඇත්තේ ද ඔහුගේ නාට්‍යයය. ඔහුගේ හැම්ලට්, ඔතෙලෝ, නරපති ලියර්, මැක්බත් වැනි නාට්‍ය ඉංගිරිසි සාහිත්‍යට එක්වූ මහඟු දායාද ලෙස සැලකේ. 1564 අප්‍රේල් 26 වැනිදා (දිනය අවිනිශ්චිතය යුරෝපියානු දින දසුන මැයි 03) මෙලොවට බිහිව 1616 අප්‍රේල් 23 වැනිදා ජීවිතයෙන් සමුගත් ශේක්ස්පියර්ගේ නිර්මාණ ජීවිතයේ සාරවත්ම වකවානුව 1589 - 1813 වශයෙන් සැලකේ. ශේක්ස්පියර්, ‍ඈන් හැදවේ සමඟ ප්‍රේමයෙන් වෙළුණු අතර ඇය විවාහ කර ගන්නා විට 18 හැවිරිදි වියේ පසුවූ අතර ඇය 26 හැවිරිදි වියේ සිටි තුන් මස් ගැබිනියකි.

වර්ෂ 1585 - 1592 අතර වකවානුව ශේක්ස්පියර් ගේ ජීවිතයේ ‘අහිමි කාලසීමාව’ ලෙස සැලකිය හැකි බව ඇතැම් විචාරකයන්ගේ අදහස ය. ඒ, එම වකවානුවේ වූ සිදුවීම් අප්‍රකට බැවින් හෝ යථාභූත ඒවා නොවූ බැවිනි. කෙසේ වුව ද ශේක්ස්පියර්ගේ පළමු චරිතාපදානය ලියූ නිකොලාස් රෝව් පවසන පරිදි මුව දඩයම ගැන චෝදනා එල්ලවීම නිසා ඔහු ලන්ඩනයට පලා ගොස් ජීවත්වී ඇත. ශේක්ස්පියර් ගේ නාට්‍ය කිහිපයක් ලන්ඩනයේදී වේදිකාගත වූයේ ද 1592 දී ය. එම වකවානුවේ ඔහු ගුරුවරයකුව සිටි බවට ද මත පළව තිබේ. ශේක්ස්පියර් ගේ මුල් කාලීන නිර්මාණ බොහෝ විට හාස්‍යමය හෝ ඓතිහාසික පසුබිමක් සහිත ඒවා ය. ඉන්පසු ඔහු වඩාත් නැඹුරු වූයේ ඛේදාන්ත සහ රොමාන්තික නිර්මාණ දෙසට ය. විලියම් ශේක්ස්පියර් සිය නිර්මාණ ඔස්සේ පොදු මිනිසා මෙන් ම රැජින ද එම ලෙස ඇමතීමට සමත්වීම ඔහුගේ නිර්මාණ පිළිබඳ විශේෂ කාරණයකි. ඔහුගේ ප්‍රේක්ෂාගාරය සැදුණේ ලොව පුරා සිටින රසිකයන්ගෙනි.

ඔක්ස්ෆර්ඩ් ඉංගිරිසි ශබ්දකෝෂය සඳහන් කරන පරිදි, ශේක්ස්පියර් ඉංගිරිසි භාෂාවට හඳුන්වාදී ඇති වචන සංඛ්‍යාව 3000 ක් පමණ වේ. හැම්ලට් නාට්‍යයේ එන TO BE OR NOT TO BE? ඔහුගේ නිර්මාණ අතර හමුවන බෙහෙවින් ප්‍රකට යෙදුමකි. ඔහුගේ වාග් කෝෂය වචන 17000 සිට 29000 දක්වා පුළුල් වූවකි. එය සාමාන්‍ය සම්භාෂණයේදී කෙනකු භාවිත කරන වචන සංඛ්‍යාව මෙන් දෙගුණයකි.

ශේක්ස්පියර් සිය නාට්‍ය පිටපත් කෘති වශයෙන් ප්‍රකාශයට පත් කළේ නැත. ඒවා එළිදැක්වීමේ ගෞරවය හිමිවන්නේ ඔහුගේ සමකාලීන රංග ශිල්පීන් දෙදෙනකු වූ ජෝන් හෙමිංග්ස්ට සහ හෙන්රි කොන්ඩෙල්ට ය. ඔහු නාට්‍ය පිටපත් 37 ක් රචනා කර තිබේ. ‘සොනට’ යනුවෙන් හැඳින්වෙන පද්‍යාවලි 154 ක් ද රචනා කර ඇත. ඊට අමතරව ඔහු රංග ශිල්පියකු ද විය. ශේක්ස්පියර් 1 වැනි ජේම්ස් රජු සමඟ සමීප මිත්‍රත්වයක් තිබිණි. ඊට ගරු කරමින් ඔහු සිය නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය King’s Men යනුවෙන් වෙනස් කළේ ය. මුලින් එය හැඳින්වුණේ Grooms of Chamber යනුවෙනි. රජු ශේක්ස්පියර් ගේ ප්‍රබල අනුග්‍රාහකයකු ද විය. ජේම්ස් රජුගේ බයිබලයේ 46 වැනි ගීතිකාවේ 46 වෙනි වචනය Shake ය. එම ගීතිකාවේ ම අග සිට බලනවිට 46 වැනි වචනය Spear ය. මෙය ශේක්ස්පියර් ගේ උපත පිළිබඳ සැඟැවුණු පණිවිඩයක් බව ඇතැම් දෙනාගේ විශ්වාසයයි. ජේම්ස් රජුගේ බයිබලය ප්‍රකාශයට පත්වුණේ වර්ෂ 1611 දී ය. එනම් ශේක්ස්පියර් ගේ 46 වැනි උපන්දිනය යෙදුණු වසරයි.

ශේක්ස්පියර් ගේ අස්සන විමසා බලන විට ඔහු ආකාර කිහිපයකින් ම අත්සන් තබා ඇති බව හෙළිවේ. ඒවායේ අක්ෂර වින්‍යාසය ද විවිධය.

William Shakespe, Wm shakespe, willm shakspere ආදී වශයෙනි. එසේ වුව ද අද ඔහු දැන සිටින William Shakespeare යන නමින් ඔහු කිසිදු අත්සනක් තබා නැත.

ශේක්ස්පියර් ගේ සුපතළ ග්ලෝබ් රඟහල 1613 වසරේදී ගින්නකින් විනාශ විය. ගින්න ඇති වූයේ 8 වැනි හෙන්රි නාට්‍ය වේදිකාගත වෙමින් තිබියදී දැල්වුණු ආලෝකයක් එහි අතු සෙවිලිකළ වහලයට ඇවිළුණු බැවිනි.

සිය සමකාලීන නිර්මාණකරුවන්ගෙන් වෙනස්ව ශේක්ස්පියර් මිය ගියේ ධනවතකු වශයෙනි. ඔහු ශූර ව්‍යාපාරිකයකු ගේ ලක්ෂණ ද පළ කළේ ය. සිය නිර්මාණවලින් විශාල ධනස්කන්ධයක් ඉපැයීමට ඔහුට හැකිවිය. ඔහු උපන් ස්ට්‍රැම්ෆර්ඩ් ප්‍රදේශයේ ඔහු වඩාත් ප්‍රකට වූයේ ද ඉඩම් හිමියකු සහ ව්‍යාපාරිකයකු ලෙස ය.

ශේක්ස්පියර්ගේ කනේ රත්‍රං කරාබුවක්ද තිබිණි. එය බොහීමියානුවකුගේ ලක්ෂණයකි. ඔහු කරාබුව පැලැඳ සිටින අයුරු ජීවමානව සිටියදී අඳින ලද එකම ආලේඛ්‍ය ලෙස සැලකෙන දැනට බ්‍රිතාන්‍යයේ ජාතික අ‍ාලේඛ්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන සිතුවමෙහි ද දැක්වේ. එය චිත්‍ර ශිල්පී ජෝන් ටේලර් 1856 දී අඳින ලද්දකි.

ශේක්ස්පියර්, එලිසබෙතියානු නාට්‍ය රචකයකු බව පිළිගැනීම ය. එහෙත්, ඔහුගේ වඩාත් ප්‍රචලිත නාට්‍ය බොහොමයක් රචනා වූයේ එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුවය. එබැවින්, ඔහු ජාකොබියානු රචකයකු ලෙස සැලකීම වඩා සුදුසු බව ද ඔහුගේ නාට්‍ය බොහොමයකින් ජාකොබියානු නාට්‍යවල ලක්ෂණ පළ වූ බව ද ඇතැම් විචාරකයන්ගේ මතයයි.

‘ද ටූ නෝබල් කින්ස්මන්’ 1613 දී ලියන ලද්දක් වන අතර එය ඔහුගේ අවසන් නාට්‍ය ද වේ. ඔහු ලියූ කෙටිම නාට්‍ය ‘ද කොමඩි ඔෆ් එරර්ස්’ කි. එය ද පේළි 1770 කින් සමන්විත යි. ශේක්ස්පියර් ගේ නාට්‍යවල සියදිවි නසා ගැනීමේ අවස්ථා 13 ක් ඇතුළත් ය. 13 අසුබ සංඛ්‍යාවක් බවට මතයක් තිබේ. ඇන්තනී සහ ක්ලියෝපැට්රා නාට්‍යයේ ඉන් අවස්ථා 3 ක් ම දැකගත හැකි ය. රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ අවස්ථා 2 කි. ශේක්ස්පියර් පද්‍යයෙන් ලියා ඇත්තේ නාට්‍ය 2 ක් පමණි. ‘රිචඩ්’ සහ ‘කිංග් ජෝන්’ ය. සෙසු නාට්‍ය සියල්ල පාහේ ඒවායේ පිටපතෙන් අඩක් පමණ ගද්‍යයෙන් රචනා විය.

සිය අන්තිම කැමැත්ත මඟින් ඔහු විවිධ පුද්ගලයන්ට යම් යම් දෑ ප්‍රදානය කර තිබිණි. නමුත් දේපළ ලියා තැබුවේ දියණිය සුසානා ගේ නමට ය. බිරිඳ ඈන්ට ඔහුගෙන් ලැබුණේ ඔහු දෙවැනියට වඩාත් ප්‍රිය කළ ඇඳ ය. එය සෙසු ගෘහ භාණ්ඩ ද සමඟ ඈන්ට තිළිණ කරන බව ඔහු කියා තිබිණි. එය ගෘහ භාණ්ඩ යනුවෙන් ඔහු අදහස් කර තිබුණේ ඇඳ ඇතිරිලි, කොට්ටය ආදියය.

ධම්මික සෙනෙවිරත්න‍

Comments