ජනවාරි 29 වැනිදා පළ වූ ‘නිසි ලෙස නොවිමැසුණු හෙළ හවුල් කවි මග’ ට ඌනපූරණයක් | Page 2 | සිළුමිණ

ජනවාරි 29 වැනිදා පළ වූ ‘නිසි ලෙස නොවිමැසුණු හෙළ හවුල් කවි මග’ ට ඌනපූරණයක්

ශ්‍රීනාත් ගණේවත්තයන්ට පිළිතුරක්

දිරි දෙන සවි දෙන මඟක් නොපාදා ‘පිරිහුමක්’ ගැන පැවසුම කොතරම් නැණවත් ද?

‘සත්මඬල’ සිළුමිණ විශේෂ සාහිත්‍ය අතිරේකය මඟින් වරින් වර සාහිත්‍යධරයන් ගැන සාහිත්‍ය කලා සංවිධාන ගැන විමර්ශන කලාප නිකුත් කිරීම ඉතාම පැසසුම් කටයුතු ය. 2017 ජනවාරි 29 වැනිදා නිකුත් කළ අතිරේකයේ හෙළ හවුල විමර්ශනය මඟින් හෙළ නොයෙක් පැති පිළිබඳ ව කළ විමර්ශනය ඉතා අගෙයි. එහි නිසි ලෙස නොවිමැසුණු හෙළ හවුල් කවි මඟ ලියමන බොහෝ සරුවට ලිවීමට ගත් තැත පාඨක අපට සොම්නස දනවන්නකි. මේ ලියන මා එය රුචි ඇත්තෙක් මිස ඒ මග යන්නෙක් නොවේ. එසේ වුව ද එය කියවූ පසු යම් අඩුවක් දක්නට ලැබිණි. මෙය එම ‍ඌනපූරණය සඳහායි.

ලේඛකයා මනාව ලිපිය ලියාගෙන විත් අවසන් කරන්නේ හෙළ හවුල පමණක් නොව ඒ ආරේ ගමන් යන අනාගතය ද දුර්වල කරමින් ය. එය මෙසේ ය.

“වර්තමානයේ හෙළ හවුල් කවියෙහි එක්තරා පිරිහීමක් දක්නට ලැබේ. එහෙත් දැනුදු තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි, අමරසිරි පොන්නම්පෙරුම, තාරක රණසිංහ වැනි කවීන් කීපදෙනෙකු ඒ මගෙහි පිහිටා කාව්‍යකරණයේ යෙදෙන බව දක්නා ලැ‍ෙබ්.”

මෙය සැබෑවක් ද? මෙය ලියා ඇත්තේ වත්මන් හෙළ හවුල් නායකයා බව ද පැහැදිලි ය. එසේ නම් ඔහු දුබලතා දෙකක් ඇත්තෙකි. පළමුව නායකයා පසු බසින කාරණයයි. දෙවැන්න ඒ මඟ යන අය වැට්ටවීමයි. මෙය කුමරතුඟු මඟ ද?

“දෑ ගති සලකවු හෙළයෙනි - දෑගති සලකවු”.

මගෙ බස හෙළ
මගෙ දැය හෙළ
මගෙ රට හෙළ
හෙළ හෙළ හෙළ
නුවණත් හෙළ
නිවනත් හෙළ
ඉදිරියට මැ යවු!

කුමරතුඟුවන් එවැනි දිරියක සිටිය ද අද හෙළ හවුල් නයුවෝ හුදු තනතුරෙහි එල්ලී පසුබාන හැටි? කුමරතුඟුවන් ගේ දිවිමග කෙටි වුව ද ඔවුන්ගේ සේවය දිගය. යුග යුග අගැයෙන සුලු ය. එතුමන් ඒ මඟ යන නිවහල් පරපුරක් පෑ දෙන මං තැනීය.

එහෙත් අද කෝ එබඳු තැනක්?

අරීසෙන් අහුබුදු සූරීහු හෙළ ගී කලාවේ නො මැකෙන ලකුණ තැබූහ. මහනාම දිසානායකයෝ පත් කලා ලොව හරහා කවිය නැඟූහ. හෙළ මඟ ගිය පත් කලාගුරු ඩී. ඇෆ්. කාරියකරවන සූරීහු වියරණ සැකසූහ. කුමරතුඟුවන් තැනූ ගුරු පරපුර හෙළය පුරා විසිර බස රැස නැඟුමට මහ මෙහෙවරක යෙදුණේ ය. අද කොතනකවත් බස නැගුමට, හැඳුමට, විඳුමට තැනක් තිබේද? හෙළ බස රජ බස වී සැම වසරක් පිරුණත් හෙළ හවුල හෝ අනෙක් පිරිසක් තැකීමක් කළෝ ද? කුමරතුඟුවන් උපන් සියවස පිරුණු දා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් එහි ගරු අමාත්‍ය වි‍.ජ‍.මු. ලොකු බණ්ඩාර සූරීහු මෙහෙයුමෙන් කළ අගැයුම කෙතරම් ඉහළ ද?

හෙළ හවුල් කවියෙහි එක්තරා පිරිහීමක් ඇතැයි කියන ලේඛකයා දැනුදු කීප දෙනෙකු සිටින බව ද කියයි. නමුත් ඒ අයවත් හරිහැටි හඳුන්වා නොදීම ගැටලු සහගත ද?

මෙහිදී අපට පළමු කොට සිහිවන්නේ සෝමපාල බුලත්සිංහල කවියායි. ඔහු දිගු කලෙක සිට හෙළ හවුලේ ඇතුළ‍තකු බව මා දන්නෙකි. ඔහු අද සිටින හෙළ හවුල් කවියන් අතර ප්‍රමුඛ කවියෙකි. නිතර පුවත් සඟරාවලට ලියන ඔහු රජයේ සේවයෙන් ඉසඹුලැබ නැතහොත් විශ්‍රාම ලැබ සිටින්නෙකි.‍ ඉසඹුවෙන් පසු හෙළ කිවිමඟ යමින් ගත් කීපයක් ම මේ වනවිට නිකුත් කර ඇත්තෙකි.

ඔහුගේ පළමු පොත ‘සිත් වෙණැ බිඟුසර’ නිකුත්ව ඇත්තේ 2012 වසරේදී ය. පිටු ගණන 281 කි. මිල රුපියල් 500 කි. සාර්ථක ලෙස එය අලෙවි වී ඇති අතර එයට පෙර වදනක් සපයන කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දර්ශන රත්නායකයන් නිදර්ශන ගණනාවක් ම උපුටා දක්වමින් රස සුමුඟුවක් ලෙස හඳුන්වා ඇත. එයටම එක්වන මහාචාර්ය විනී විතාරණ සූරීන්ගේ පැවසුම මෙසේ ය.‍

මේ ‘සිත් වෙණැ බිඟුසර’ අදින් 60 වසරකට පෙර පහළ වී එදා සිටි ආධුනිකයනට ආදර්ශයක් වූයේ නම් ඒ ප්‍රතිශතයේ යහපත් වෙනසක් මේ වන විට දැක්වෙන්ට අවස්ථාව පැවතිණැයි අපට සිතේ.

විරිත් විසිහයකින් ද කවි එක් දහස් දෙසීයකට වැඩි ‘සිත් වෙණැ බිඟුසර’ පිළිබඳව ශ්‍රීනාත් ගණේවත්ත වියතාණෝ මෙසේ දක්වති:

‘හෙළ හවුල් පැදි ආරක් කොළඹ කවීන් නමින් ගැණෙන කිවියන්ගේ පැදි ආරක් මැනවින් මුසු කොට පොදු සිංහල රසිකයන්ගේ රස මනසට ගැළපෙන පරිදි මෙය පබැඳී ඇති බව කිය යුතු යි. මේ පැදි එකතුවෙහි දක්නා ලැබෙන ඉතා ම වෙසෙසි කරුණ ලෙස පෙනෙනුයේ නොයෙක් විරිත් යෙදුමෙහිලා සෝමපාල කිවියාණන් දක්වන ඉහළ සමත්කම යි. හෙළ පැදි උයනෙහි නව නව කුසුම් මේ කිවියාණන් අතින් පිබිදෙන සැටියෙකි.

එවන් අගැයුම් ලද කිවියකු ගේ නම අමතක විය හැකි ද? එපමණක් නොව ඔහු අතින් ඉන්පසු පළවුණු ‘මා පිය සමර’ (2014) ‘දෑසට දෑස’ (2014) කෘතීන් යුගල ද උසස් ‍ප්‍රතිචාර ලැබූ පද්‍ය සංග්‍රහ දෙකකි.

තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියන් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ සූරීන් ද ‘මා පිය සමර’ මහත්සේ අගයා ඇත.

එසේ ම බුලත්සිංහලයන් ගේ ‘දෑසට දෑස’ කෘතියට පෙර වදනක් සපයන කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් “කුමාරතුංග, තෙන්නකෝන් හා අහුබුදු මෙන් ම බුලත්සිංහල කවියා ද පැරණි කව් බස හා බැඳුණු වදන් අර්ථපූර්ණ ලෙස පරිහරණයහි කුසලතා ප්‍රකට කර ඇති අයුරු’ පද්‍යයක් උදාහරණයට ගනිමින් දීර්ඝ පෙරවදනක් ලියා ඇත. සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකරයන් ‘දෑසට දෑස’ ගැන ලියා ඇත්තේ මෙසේ ය:

සෝමපාල බුලත්සිංහල මහතා ගේ සාර්ථක නිර්මාණ මේ කරුණ වටහා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මම දකිමි.”

හෙළ හවුල් ආර ඇසුරේ යමින් සෝමපාල බුලත්සිංහල කවියා දක්වා ඇති දස්කම් විචාර මඟින්ද පාඨකයා දැක ඇතුවාට සැක නැත. හෙළ හවුල් මඟින් කවි ලියන තවත් නවකයෙකි ජයත් පියදසුන්. එසේ ම ‘කුමර මිහිර’ ලියූ කොන්සි හපුආරච්චි ද කුමරතුඟු මඟ අගයන කිවිඳියකි. එවැන්නන්ට දිරිදෙන සවිදෙන මගක් නොපාදා ‘පිරිහුමක්’ ගැන පැවසුම කෙතරම් නැණවත් ද?

“හෙළ හවුල් මඟ යන පරපුරක් නැත; පිරිහීමක් ඇත” කීම නොව, එවැනි පරපුරකට මං සැලස්විය යුතු වන්නේ කුමරතුඟු කවි රස විඳින දරුවන් සොයා ඔහු නව උඩ තබා දිරිගැන්වීම අද විය යුතු කාරියකි. ගිය කල විමසා එන කල සැරසිය යුතු ය. එසේ නොවුණු කල බස, දෙස, රස සියල්ල කාලයේ වැලිතලාවේ සැඟවී යනු ඇත.

Comments