කෙටිකතාවක හැම වචනයක් ම වටිනවා | Page 2 | සිළුමිණ

කෙටිකතාවක හැම වචනයක් ම වටිනවා

තුරුණු මඬල

සිත්තරා සහ සිතුවම (කෙටිකතා - 2013) ප්‍රගාමී (විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා 2013) VirginWife (ඉංග්‍රීසි කාව්‍ය විශේෂ ඇගයීම් සහතික සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන 2014) සුළඟ සහ රතු මල් ගස (කාව්‍ය 2015) කර්මක්ෂ (කෙටිකතා 2016) නම් වූ සාහිත්‍ය කෘති නිර්මාණය කරමින් සාහිත්‍යකරණයේ නිරත කාංචනා ප්‍රියකාන්ත නම් ඇය සිය වපසරිය තුළ නව මානයන් සොයා යන යෞවන ලේඛිකාවකි. මෙවර තුරුණු මඬල සංලාපය කාංචනා ප්‍රියකාන්ත නම් වූ ඈ සමඟ ය.

• සීමිත අවකාශයක දිගහැරෙන කෙටිකතාවකින් ජීවිත විවරණයක් සිදුකිරීමට ඇති හැකියාව කෙබඳුද?

කවිය, කෙටිකතාව, නවකතාව කියන මේ කුමන සාහිත්‍ය මාධ්‍යයක් ඔස්සේ වුණත් ගැඹුරින් ජීවිත විවරණයක් සිදු කරන්න හැකියාව තිබෙනවා. මේ කුමන මාධ්‍යයක් වුණත් එය අපි පරිහරණය කරන ආකාරයත් එය ගොඩනඟන ආකාරයත්, සමාජගත කිරීමට උත්සාහ කරන කාරණාවත් අනුව තමයි ජීවිත විවරණයකට තිබෙන ඉඩ තීරණය වෙන්නේ. මුළු ජීවිතය ම නෙවෙයි ඉන් පරිච්ඡේදයක් හෝ යම් කොටසක්වත් මේ සෑම මාධ්‍යයකින් ම නිරූපණය කරන්න පුළුවන්. ඇතැම්විට නවකතාවකින් ලැබෙනවාට වඩා ප්‍රබල ලෙස කෙටිකතාවකින් ජීවිතය කියවා ගන්න පුළුවන්. ඇන්ටන් චෙකොෆ් වැන්නන්ගේ කෙටිකතා ඊට කදිම උදාහරණ සපයනවා. එයින් මා නවකතාව අවප්‍රමාණය කරනවා නෙවෙයි.

• ඔබගේ “කර්මක්ෂ” හා “සුළඟ සහ රතු මල් ගස” කියන කෘති කියවන විට, ඔබ විශේෂයෙන් සමාජයේ පීඩනයට ලක්වූ කාන්තාව පිළිබඳව කතා කරන බවක් පෙනෙනවා.

එත­ැනදි කාන්තාව පමණක් කේන්ද්‍රගත කර ඔබ කතා කරන්නේ ඒ කෘතිවල ප්‍රධාන චරිතවලට කාන්තා චරිත යොදාගෙන තිබන නිසා විය හැකියි. එහෙත් ගැහැනු පිරිමි බේදයක් නැතිව කවුරුත් සමාජය තුළ පීඩනයට ලක්වී සිටිනවා. බොහෝදෙනාට කාන්තාව පමණක් පීඩනයට පත්වන බවක් පෙනුණට පිරිමියාත් බොහෝ පීඩාවන්ට ලක්වෙනවා. එතනදි පිරිමියා කාන්තාවත්, කාන්තාව පිරිමියාත් අන්‍යොන්‍ය වශයෙන් පීඩනයට ලක්කරගන්නවා. මට මතුකරන්න අවශ්‍ය වුණේ එයයි. මගේ “කමකට නැති ගැහැනියක” කෙටිකතාවත් “කැරකෙන ජීවිත” කෙටි කතාවත් ගත්තම එතනදි මා කතා කරන්නේ සිදුවීම් දෙස බලලා කෙනෙක් වැරදියි කියන තැනකට නොයා හැම කෙනෙක්ගෙම ජීවිත අභ්‍යන්තරයට ගොස් බැලුවම කවුරුත් පීඩාවට පත්වී සිටින ආකාරයයි. ඇයි කෙනෙක් වරදට පෙලඹෙන්නේ? අපට නොපෙනෙන පරාසයන් තුළ මිනිසුන් පීඩනයට පත් වෙනවා. අපි ඒවා දෙස මානුෂිකව බලන්න පුරුදු වෙලා නැහැ.

• ඔබගේ චින්තනය එසේ වුවත්, කර්මක්ෂ වැනි කෙටිකතා සංග්‍රහයක ඔබ වඩාත් උනන්දු වන්නේ කාන්තාවගේ පාර්ශවයෙන් ම බැලීමටයි. එහිදී ඔබ ස්ත්‍රීවාදී චින්තනයකින් නිර්මාණකරනයේ යෙදී තිබෙනවා?

ස්ත්‍රීවාදී කියන තැනට මම කැමති නෑ. උදාහරණයක් විදියට “හොඳ එකීගේ කතාවේ” බලු පැටික්කි ගමු. ගැහැනු ළමයෙක්ගේ උපතත් පවුලකට බරක් කියලයි පිළිගැනුනේ. පසුව ඒ මතය වෙනස් වුණත් අපට බැහැ ඒ චින්තනයෙන් වෙනස් වෙන්න. ඒකයි බැල්ලිපැටියකට අකමැති වෙන්නේ. මොකද ඌ පැටව් ගහනවා කියලා. ඒත් ලෝකයේ පැවැත්ම තීරණය වන තැනත් එතනයි. ඒත් මේ කෙටිකතාව තුළ බැල්ලිපැටියව ප්‍රතික්ෂේප වෙන්නේ කාන්තාවක් අතින්මයි. බොහෝවිට වෙන්නේත් ඒකමයි. මම උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ අභ්‍යන්තර චරිත ස්වභාවය විස්තර කරන්නයි. ඒවා සමාජීය වශයෙන් සාධාරණීකරණය කරන්න බැහැ. “රේල් පීලි” කතාවේත් චාරුණී කියන චරිතය අසාධාරණයට ලක් වෙනවා කියලා හිතුනට ඇගේ පෙම්වතාත් සැබැවින් ම අසාධාරණයට ලක් වෙනවා. එතන චාරුණී උත්සාහ කරන්නේ ඇත්ත මනුස්සයා පිළිගන්න නෙවෙයි. ඇය සිතින් නිර්මාණය කරගත් සීමා ඇතුළේ සිටින කෙනා බිහිකරගන්නයි. අපි කවුරුත් හොයන්නේ එයමයි. අපි නිතර ම මනුෂ්‍යයා නෙවෙයි දකින්නේ. ඔහු කරන කාර්යයයි. ළඟදි ප්‍රවෘත්තියක් මා දුටුවා ජාත්‍යන්තර පාසල් ගුරුවරියකගේ නිවසක ආයුධ තිබුණා කියලා. අපට මොකටද ඇයගේ වෘත්තිය? අපට බැරිද ඒ නාමකරණයන් වෙනුවට වැරැද්ද හුදෙකලා කරලා විවේචනය කරන්න?

• අපේ ලේඛිකාවන් පිරිසක් කාන්තාව පිළිබඳව ම නිර්මාණ කරනවා මෙන් ම ප්‍රසිද්ධියේ ඒ වෙනුවෙන් පෙනීසිටිනවා. මෙසේ කාන්තාව වෙනුවෙන් කාන්තා දෘෂ්ටියෙන් බිහි වන නිර්මාණ ඔස්සේ කාන්තා දුක විකුණන සාහිත්‍යයක් අනාගතයේ බිහි වේවිද?

කාන්තාවකට පිරිමියකු සිතන ආකාරයට වඩා කාන්තාවකගේ සිත වැඩ කරන ආකාරය පිළිබඳ සමීපයි. ඒ මත අපේ කතාවක කාන්තා චරිත ප්‍රධාන චරිත වන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ඒකෙන් පිරිමි කාන්තාවන්ගෙන් පීඩනයට ලක්වන අවස්ථා නිරූපණය නොවෙනවා නෙවෙයි. පුරුෂවාදී කියලා වචනයක් භාවිතා නොවුණත් බොහෝ ලේඛකයන්ගේ කතාවල ප්‍රධාන චරිත වෙන්නේ පිරිමියි. කාන්තාව පිළිබඳ ලිවීම කාන්තාවගේ කඳුළු විකිණීමක් වෙන්නේ නැහැ. “කාන්තාරයේ කසුම” වැනි නිර්මාණයක තිබෙන්නේ කාන්තාවක් වීම තුළ ඇයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමයි. බටහිරට වඩා ආසියාවේ හා අරාබි රටවල මේ තත්ත්වය වැඩියි. ඒ නිසා කාන්තාව පිළිබඳව කතා කළ යුතුයි. ඇය ස්ත්‍රීත්වය නිසා අසාධාරණයට ලක් විය යුතුද?

• ඔබ ආමන්ත්‍රණය කරන ලංකා සමාජය තුළ මෙසේ කාන්තාව ස්ත්‍රීත්වය නිසාම අසාධාරණයට ලක්වෙනවා යයි ඔබ සිතනවාද?*

ඇතැම් අවස්ථාවල අනියම් සේවාවලදී කාන්තාවන්ට දෙන වැටුප් අඩුයි, පිරිමින්ට සාපේක්ෂව. ඒ වගේ ම කාන්තාව වීම තුළ විවිධ අවස්ථා අහිමි වන අවස්ථාත් තිබෙනවා. එයින් දක්ෂතාවලින් හෙබි කාන්තාවන්ගේ සේවය රටට නොලැබී යනවා.

• මේ ආකාරයට කාන්තාව, කාන්තාව පිළිබඳව ලියන ආකාරයට පිරිමියා, පිරිමියා පිළිබඳවත් ලිවීමට ගියොත් අපේ සාහිත්‍යයට මොකද වෙන්නේ?

කොහොමත් අපේ නිර්මාණවල ඉන්නේ ගැහැනු පිරිමි උපකල්පන ම තමයි. ඒකෙන් අපට ගැලවෙන්න බැහැ. ඒත් පරිකල්පනයයි අත්දැකීමයි මත ඒ නිර්මාණවල විවිධත්වයක් ඇතිවෙනවා. රුසියානු සාහිත්‍යය වැඩි වශයෙන් කතා කරන්නේ සමාජය පිළිබඳව වුණත් ඒ කතා ගොඩනැගෙන්නෙත් ගැහැනුන් සහ පිරිමින් වටා. මොනදේ ලිව්වත් ගැහැනු පිරිමි දෙපාර්ශ්වය ම ඉන්නවා.

• කෙටිකතාවට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ලැබෙන්නේ කුඩම්මගේ සැලකිල්ල ද?

නවකතාවට සාපේක්ෂව කෙටිකතාවට ලැබෙන ප්‍රචාරයේ අඩුවක් තිබෙනවා. ඒ වගේ ම ඇතැම්විට කෙටි කතා පොතේ ප්‍රමාණය කුඩායි. පාඨකයා කුඩා පොත්වලට වඩා ලොකු පොත්වලට ටිකක් කැමතියි. ඒ නිසා අලෙවියෙත් අඩුවක් තිබෙන්න පුළුවන්. ඒත් කෙටිකතාවට පාඨක අවධානය අඩු වී තිබෙන බවක් නම් දකින්න නෑ. පුවත්පතක වුණත් කෙටිකතාවට ඉඩක් වෙන්වී තිබෙනවා. ඒවට ඕන තරම් කෙටිකතා ලියැවෙනවා. අපේ රටේ දක්ෂ කෙටිකතාකරුවන් ඉන්නවා.

Comments