කාන්තා අකුණු පහර | Page 2 | සිළුමිණ

කාන්තා අකුණු පහර

විශ්වාන්තරය

මුස්ලිම් ලෝකයට අසනි වර්ෂා මතු කළ අභීත ගත්කතුවරියක ලෙස මිසරයේ නවාල් එල්. සාදාවි ඉදිරියෙන් සිටී. ඇගේ කෝපදීප්ත දර්ශනය නම් ගැහැනිය මත බලහත්කාරයෙන් පුරුෂ බීජ වැපිරීමේ පුරුෂාධිපත්‍යය මෙලොවින් තුරන් කළ යුතු බවයි.

අගතා ක්‍රිස්ටි, බාබරා කාට්ලන්ඩ්, කැතරින් මෑන්ස්ෆීල්ඩ්, අරුන්දතී රෝයි, පර්ල් එස් බක්, කමලාදාස් කමලා මාර්කරන්ඩේය ආදි රචිකාවන්ගේ ජීවිත දර්ශනයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ එහෙත් පරම යථාර්ථවාදී දර්ශනයක් සාදාවි තුළින් ප්‍රතීයමාන වෙයි.

මුස්ලිම් ලෝකයේ කාන්තාවන්ට සිදුවන ලිංගික හා මානසික හිංසනය සාදාවි කදිමට ව්‍යවච්ඡේදනය කොට විවාදාපන්න මානයකට එක් කරයි.

සාදාවි අරාබි ලෝකයේ කාන්තාවන් ගැන පොත් රැසක් ලියා ඇත. ඒ අතුරින් ඒවගේ සැඟවුණු මුහුණ (1979), මරණ තීර්ථයේ ගැහැනිය (1973), ළදරු වටරවුමේ ගීතය, ප්‍රේමය සොයා යාම, වෛද්‍යවරියකගේ වෘත්තාන්තය වඩාත් කැපී පෙනෙයි.

මේ අභීත මිසර කතුවරිය කියන්නේ, කාන්තාවක් බස්රථයක ගමන් කරන විට පුරුෂයන්ගෙන් විඳින්නට වන අවමානයත්, මුස්ලිම් කාන්තාවක විවාහයට ඇතුළත් වන විට නිදියහනේදී විඳින්නට වන රමණයේ ශෝකාන්තයත් ගැනයි. ගැහැනු දරුවන්ට මුහුණ දීමට සිදුවන ලිංගික දූෂණය, ගණිකා වෘත්තිය දික්කසාදය, විවාහය, දෑවැදි ගැටලුව, පුරුෂාධිපත්‍ය ගැන සාදාවි තම ග්‍රන්ථ මඟින් සාකච්ඡා කර ඇත.

නවාල් එල්. සාදාවිගේ එඩිතර සාහිත්‍ය ව්‍යාපාරය නිසා ඇය සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ ධූරයෙන් සහ මිසරයේ සෞඛ්‍ය සඟරාවේ කර්තෘ පදවියෙන් නෙරපා හැරීමට ද හේතු විය. එය ඇයට වෙස්වළා පැමිණි ආශිර්වාදයක් මෙන් විය. ඇයට කාන්තාවන්ගේ ජීවන ගැටලු පිළිබඳ ව නිරත වන්නට බල කරනු ලැබුවේ මෙවන් වකවානුවකයි.

සාදාවි මිසරයේ ක්වන්තීර් බන්ධනාගාරයේ ජීවත්වූ කාන්තාවන් ගැන පර්යේෂණ ගණනාවක් සිදු කළා ය. “මිසරයේ මානසික රෝග සහ කාන්තාව” යන මාහැඟි ග්‍රන්ථය ඇය එළිදැක්වූවා ය.

ක්වන්තීර් බන්ධනාගාරයේ හමු වූ පර්දාවුස් නමැති අභීත ගැහැනියගේ ජිවිත කතාව අළලා ඇය “මරණ තීර්ථයේ ගැහැනිය” ග්‍රන්ථය ලිව්වා ය. එය ටිකිරි දිසානායක මහතා හෙළබසට නඟා ඇත.

මහලු කෙළතොල්ලකු සමඟ විවාහ වූ පර්දාවුස්ට, ඛේටය බේරෙන මුවින් තමන් සිපගන්නා මහල්ලා ගැන ඇතිවන අපුලත් ඔහු ලිංගික කාර්යයේදී දක්වන අතිශය ආවේගශීලී කෑදරකමත් නිසා ජීවිතය අපායක් බවට පත් විය. පර්දාවුස් අතින් අතට ගොස් අන්තිමේදී ගණිකාවක බවට පත් වේ. එහිදී ඇය පිම්පියකු මරා සිරගෙට එයි. Woman Point Zero ග්‍රන්ථයේ එන පර්දාවුස්ගේ කතාව ලෝක සාහිත්‍යයේ ගැහැනිය ගැන වූ දුර්මත සුනු විසුනු කරයි.

මුස්ලිම් ලෝකයේ මහල්ලන් හා ළාබාල යුවතියන් අතර විවාහයට සාදාවි කෝපයෙන් පිළිතුරු දෙයි. අරාබි ලෝකය කාන්තාව සලකන්නේ විටින් විට අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීමට ඇති ලිංගික භාණ්ඩයක් මෙනි.

කතුවරිය කියන්නේ කාර්යාලයේදී නිලධාරීන්ට වෛශ්‍යාවක වන ගැහැනියත්, නගරයේ වෘත්තීය වෛශ්‍යාවකත් අතර වෙනසක් නැති බවයි. කාර්යාලයේදී වෛශ්‍යාවක වන ගැහැනියට සමාජය තුළ ඇති ගෞරවය සාදාවි සදය හාස්‍යයට ලක් කර ඇත.

කඩතුරාවකින් වසා ඇති අරාබි ලෝකයේ නොපනත්කම් ගැන සාදාවි තරම් වේගවත් බසින් කියන කතුවරියක් ලොව තවත් නැත. ඇගේ යථාර්ථවාදී සත්‍යය අප නෙත් නිලංකාර කරයි.

ඇය ලිව්වේ අරාබි ලෝකයේ කාන්තාව ගැන නිසා මුළුමහත් ලෝකයේ ම කාන්තාවන් නියෝජනය නොකරතැයි කිසිවකුට තර්ක නැඟිය හැකිය. එහෙත් එය වැරැදිය. ඇගේ කතා තුළින් සැඟවුණු යථාර්ථය ප්‍රතීයමාන වෙයි.

“කාන්තාවක ලෙස මගේ සහයෝගිතාව හා ගෞරවය ගැන කිසිදු මොහොතක සැකයක් නැත. මගේ වෘත්තිය නිර්මාණය කරනු ලැබුවේ පුරුෂයන් බව මම දනිමි. ඒ මිනිස්සු අපේ ලෝක දෙක ම පාලනය කරති. එකක් මහපොළොව මතුපිට ලෝකයයි. අනික දෙව් ලොවයි. ඒ මිනිස්සු අපේ සිරුර විකිණීමට අපට බල කරයි. අඩු ම මිලක් ගෙවනුයේ සිය බිරියට ය. සෑම ගැහැනියක් ම එක්තරා අයුරකින් හෝ වෙනත් අයුරකින් වෛශ්‍යාවකි. (මරණ තීර්ථයේ ගැහැනිය - පරිවර්තනය ටිකිරි දිසානායක පිටුව 80)

ලෝකයේ පුරුෂාධිපත්‍ය සුචරිතවාදය, සුවිනිත භාර්යාව, පවුල් සංස්ථාව, විකෘති ආශාවන්ට සාදාවි පහර දෙයි.

සැබෑ නිර්මාණ කෞශල්‍යය පහළ වන්නේ කෝටි සියයක් අතුරින් එක් අයකුට ය. සාදාවි ද එවන් දුර්ලභ චරිතයක් බව මෙහිදී අවධාරණය කළ යුතුය.

Comments