
දිනය 1992-10-20 වැනිදා
වේලාව - පෙ.ව. 9.30ට පමණ ඇත.
ස්ථානය - සෙංකඩගල නුවර, වැවට ඉහළින් පිහිටි උද්‍යානය තුළ
උද්‍යානයේ ලොකු බංගලි රෝස මල් පඳුරකි. පඳුර ඉදිරියෙන් කිරි ගරුඬ බංකුවකි. එය මනා ලෙස නිමවා ඇත. රෝස පඳුර බංකු ඇන්දේ ගෑවී තිබේ. කිරි ගරුඬ බංකුවේ දකුණු පස හිඳ ගත් යුවතියකි. ඕ සුදු පැහැය වඩාත් ඔප් නැංවෙන ගවොමකින් සැරැසී සිටින්නීය.
හිසෙහි පැලැඳි තොප්පියකි. අතෙහි පහළට කර එල්ලා ගත් පත්වලින් වියූ බෑගයකි. යුවතියගේ නෙත් විටින් විට උද්‍යානයේ පිවිසුම් දොරටුව වෙතට යොමු වේ. නෙත් බැබැළේ. ඒවා බලාපොරොත්තුවලින් පිරී තිබේ. බංගලි රෝස පොකුරු ඇගේ හිසට ඉහළින් බලා සිටියි. ඒවා යුවතිය හිස පැලැන්දාක් වැනිය. ඕ සුරංගනාවක බඳුය.
'උද්‍යානයේ ඇති බංගලි රෝස මලකි
සුදු පැහැතිය
උද්‍යානයේ ලොකු බංගලි රෝස මල් ගොඩකි
රෝස පැහැතිය
ඒවා ප්‍රේමාන්විතය
බඹරුන්ගේ හාදු වලින් රෝස පැහැගෙනය
උද්‍යානයේ සුදු බංගලි රෝස මල බලා සිටියි
රෝස පැහැයෙන් බැබැළෙන්න.'
සුරංගනාව කවියක් මුනු මුනු ගෑවාය. එය පුවත්පතක පළ වූ ඇගේ ප්‍රථම කවියයි. එවකට ඕ සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් පසු වූවාය.
කවිය අගයා ලිපි දහස් ගණනක් සුරංගනාවට ලැබිණි. ලිපි විවිධය. ඇතැම් ඒවා බොළඳය. ඇතැම් ඒවා හරසුන්ය. ඒ අතර කවියට පිළිතුරු කවි ද විය.
'දයාබර මරියා, කවිය ගොඩක් සුන්දරයි, ඒත් දුකයි. එය වර්ණනා කරන්න තරම් කවි සිතක් මට නෑ. තව තවත් කවි ලියන්න. ඔබට දෙවි පිහිටයි!
- මම ජෝශප්'
කවියට එවූ ලිපි අතර ප්‍රේමාන්විත ලිපි ද තිබුණි. එහෙත් මරියාගේ සිත්ගත්තේ ජෝශප්ගේ කුඩා ලිපිය පමණි.
'ජෝශප්'
ඕ තොල් මැතිරුවාය. ජෝශප් නැත. උද්‍යානයේ පිවිසුම් දොරටුව දෙස බලා සිටීමෙන් සුරංගනාවගේ නෙත් කකියයි. එහෙත් ඈ බලා සිටියාය. ජෝශප් දැන් පැමිණෙතැයි දැන් පැමිණෙතැයි සිතමින් මරියා බලා සිටියාය. උද්‍යානයට පෙම්වතුන් තාමත් පැමිණ නැත. කිරි ගරුඬ බංකු හුදෙකලාවේය. උයන්පල්ලා, පොකුණෙහි දිය මල ක්‍රියාත්මක කළේය.
'මම මෙතනින් වාඩි වෙන්න ද?'
'කමක් නෑ. හැබැයි ටික වෙලාවකට විතරයි'
'.................'
'තව ටිකකින් ඔබට ඔතනින් නැඟිටින්නම වෙයි.'
'ඇයි?'
මරියා, කිරි ගරුඬ බංකුවේ වම් දිසාවට හිස හැරෙව්වා. අමුත්තා සිටියේ එතන හිඳගෙනය. ඈ, ඔහුව හොඳ හැටි දුටුවේ එවිටය. එහෙත් අමුත්තා තමාගේ මුහුණ වෙනතකට හරවාගෙන සිටියේය. මරියා, ඔහුගේ මුහුණ දුටුවේ නැත. සුරංගනාව තම චාම් ගවොම පිළිවෙළට සකසා ගත්තාය. ගවොමේ කීප පළක්ම පොඩි වී ඇත. ඕ දුක්වූවාය. මඟීන් පිරී ගත් කුඩා බස් රියෙන් ඇය එන විට තෙරපීමෙන් ගවොම පොඩි වන්නට ඇත.
'සමාවෙන්න.'
අමුත්තා, ඇය හා අල්ලාප සල්ලාපයකට සැරැසෙයි. මරියා උද්‍යානයේ පිවිසුම් දොරටුව දෙස බැලුවාය.
'ඔබ හරිම හැඩයි.'
සුරංගනාව අමුත්තා දෙස නොබැලුවාය. ඇය පිවිසුම් දොරටුව දෙසම බලා සිටියාය. උද්‍යානයට පෙම්වත්හු පැමිණෙමින් සිටිති. ඒ අතර ඈ ජෝශප්ගේ හැඩහුරුකමට සමාන තරුණ ඉලන්දාරින් ඇත්දැයි විමසිලිමත් වූවාය.
'ඔබ සුරංගනාවක් වගේ, ඔබ කවුරුන් හෝ බලාපොරොත්තුවෙන්ද?
'ඔව්!'
'මම හිතන්නේ ඔබේ පෙම්වතා.'
'ඔබ හරි. අද මගේ පෙම්වතා හමුවන පළමු දවස.'
'ඔහු ප්‍රමාදයි වගේ.'
'එයා එන්නේ ගොඩාක් ඈත ඉඳලා.'
සුරංගනාව අමුත්තා දෙස බැලුවේ නැත. අමුත්තා, කතාබහ කරන්නේ තම මුහුණ සඟවාගන්නට උත්සාහ කරන්නාක් මෙනි. ඔහුගේ ප්‍රශ්න ඇසීම ඇයට කරදරයකි. එහෙත් කිරි ගරුඬ බංකුවේ ඒකාකාරී ලෙස හිඳගෙන සිටින මරියාට අමුත්තාගේ කතාබහ එක් අතකින් සැනසීමකි. එසේම, තම පෙම්වතා ගැන ඇසීම පිළිබඳ ඇය සිටියේ මහත් වූ ප්‍රීතියකිනි.
'මම පුංචි කාලේ ඉඳලම කවි ලියනවා. ඒවා මං කාටවත් පෙන්නන්නෙ නෑ. ගොඩක් මං ලිව්වේ මල් ගැන. 'සුදු බංගලි රෝස මල' ගැන කවිය ලිව්වේ සරසවි පිවිසුම බලාපොරොත්තුවෙන් නිවසට වෙලා ඉන්න කාලේ. මම ඒ කවිය සති පතා පළවෙන පුවත්පතකට යොමු කළා. කවිය පළ වුණා.'
'මට කවි ලියන්න බෑ. ඒත් ඒවා රස විඳින්න කැමැතියි'
'ඔබත් හරියටම ජෝශප් වගේමයි'
'.................'
'පුවත්පතේ පළවුණු මගේ කවියට ගොඩාක් පිළිතුරු ලිපි ආවා. කවිය ගැන වර්ණනා කරලා හොඳම ලිපිය එවලා තිබ්බේ ජෝශප්. අනිත් ලිපි කමකට නැති වල්පල්... බොළඳ වර්ණනා...'
'මම කවිවලට කැමැති නෑ.'
'ඔබ?'
මරියා අමුත්තා දෙසට හැරුණාය. අමුත්තා ඉවත බලා ගෙනය.
'කවි, කාලය කා දමනවා.'
'ඔබ මහා නපුරෙක්.'
'මම නපුරු නෑ.'
'ජෝශප් තාමත් නෑ.'
'ඔහු එන්නැති වෙයි.'
'ඔබ අසුබවාදියෙක්.'
උද්‍යානය හුදෙකලාවක ගිලෙයි. අමුත්තා, දිගු කමිස අත ඈත් මෑත් කර ඔරලෝසුව බලයි. වේලාව පස්වරු 2.30 වශයෙන් එහි සඳහන්ව ඇත. උයන්පල්ලා, විටින් විට මල් පඳුරු අස්සෙන් මරියා දෙසත් අමුත්තා දෙසත් බලයි. ඈ හිස්වැසුම සකසා ගත්තීය.
'මම දිගින් දිගටම පුවත්පත්වලට කවි ලිව්වා. ඒ හැම කවියක්ම ජෝශප් අගය කළා. වර්ණනා කළා. එයාගේ හිත ගොඩක් සුන්දරයි. මම ආසාවෙන් ඉන්නවා ජෝශප් දකින්න. ඔබට හිතෙන් නැද්ද එයා සුන්දර ඉලන්දාරියෙක් කියලා...'
'මට එහෙම අනුමාන කරන්න බෑ.'
'ඇයි?'
'ඔහු විරූපියෙක් වෙන්නත් පුළුවන්.'
'ජෝශප්ට තියෙන්නේ සුන්දර හිතක්.'
'ජෝශප් විරූපියෙක් නම් ඔබ ඔහුව ප්‍රතික්ෂේප කරනවා ද?'
'ඒ ගැන මට කියන්න බෑ.'
අමුත්තා නිහඬ විය. මරියා තම අත බැඳි දුඹුරු පැහැති පටිය සහිත ඔරලෝසුවේ මුහුණතට එබුණාය. පස්වරු 5.30 ලෙසින් එහි වේලාව සටහන්ව ඇත. උද්‍යානය සිහින් අඳුරක ගිලෙමින් තිබේ. තණ බිස්සේ රැඳී සිටි අන්තිම පෙම්වතුන් යුවළත් පිවිසුම් දොරටුවෙන් පහළට බසිමින් සිටියහ. නගරය ආලෝකමත් වෙයි. උයන්පල්ලා එක්වරම මරියාත්, අමුත්තාත් ඉදිරියේ පෙනී සිටියේ ය.
'ඔබලාටත් පිටත්වෙන්න කාලය ඇවිත්.'
මරියා මලානික වූවාය. අමුත්තා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මුහුණ සඟවා ගෙන සිටියි. උයන්පල්ලා පිටත්ව ගියේය. ඔහු මල් පඳුරු අස්සෙන් නොපෙනී යන තුරුම සුරංගනාව බලා සිටියා ය.
'ජෝශප්...තාමත් නෑ.'
'ඔබ යන්න. ඔහු එන එකක් නෑ.'
මරියා හිස් වැසුම ගලවා නැවතත් පැලැඳ ගත්තීය. ඕ කිරි ගරුඬ බංකුවෙන් නැගී සිටියාය. උදයේ දෙනෙත් මත දිලිසුණු බලාපොරොත්තු දැන් නැත. ඒවා හැකිළී ගොසිනි.
'ඔබට බොහෝම ස්තූතියි. මගේ පාළුව නැති කළාට.'
'මගේ පුංචි කවිකාරිටත් බොහෝම ස්තූතියි.'
මරියා වහා උද්‍යානයේ පිවිසුම් දොරටුව වෙතට ගොස් හනි හනික පඩිපත් බැස ගත්තීය. අමුත්තා, කිරිගරුඬ බංකු ඇන්දේ හිස තබා ගත්තේය. ඔහුගේ උරහිස රිද්මයානුකූලව චලනය වන්නට විය.