මහ සෙනඟ මැද හුදෙ­ක­ලා­වක්... | Page 2 | සිළුමිණ

මහ සෙනඟ මැද හුදෙ­ක­ලා­වක්...

අරුණෝදය පැමිණියේ පමා වීය. තරු වලාකුළු රහිත අහසේ තවමත් දීප්තිමත් ව බැබළුණේ ය. තුරු අගිසි පවා තවමත් අඳුරේ ය. කිසිදු කුරුල්ලකුගේ හඬක් තවමත් නො ඇසේ. වෙනදා සිය විරහ ගීයෙන් දවස ආරම්භ කරන පොල්කිච්චන් පවා අද නිසල ය; නිහඬ ය; කොහේ හෝ සැඟවී ගොස් ය. රාත්‍රිය මුළුල්ලේ අණසක පැතිරූ වවුලන් හෝ බස්සන් ද පෙනෙන්නට නැත. ඈතින් ඇසෙන මුහුදේ ගර්ජනාව හැරෙන්නට අරුණෝදය පුදුමාකාර තරම් නිශ්චල වීය; ගුප්ත වීය; අඳුරු සෙවණැලි මවන්නේ වීය. අලුයම පිපි සේපාලිකා මල් හි සුගන්ධය දිරාගිය කොළ වැටී පොළොවේ සුගන්ධය හා මිශ්‍ර ව අමුතු ම ගන්ධයක් ව මඳ සුළගේ එතී පාව ආවේ ය. මහ පොළොව පමණක් නොව තුරු මුදුන් අග ළපටි ම පත්‍ර හා මල් කෙමි ද අරුණෝදය සමඟ උදාවෙන දහවල බලාපොරොත්තුවෙන් සිටියේ ය.

මේ සන්සුන් නිහඬ පරිසරය පුරා විහිදී පැතිරී තිබුණේ ආදරයයි. එය යමෙක හෝ යමකුගේ හෝ ආදරය නොවීය. එය රූප, වචන සංකේත හෝ චිත්‍ර ද නොවීය. ඒ රංජනයෙන්, හැඟීමෙන් තොර අයිතිකර ගැනීමෙන් හෝ තොර ආදරය ම වීය. කිසිදු හැඟීමකින් අපවිත්‍ර නොවූ පැහැදිලි සුන්දර ආදරය ම වීය. ආදරය ඇතිවිය හැක්කේ සම්පූර්ණ හිස් බව ඇතුළතින් ම පමණී. ඈත ක්ෂිතජය මතින් අරුණෝදයේ අළු පැහැ උදාවෙමින් තිබිණි. උදාවෙන හිරු සමඟ තරු මැලවී ගොස් වලාකුළු අවදි වී තිබිණි. ආදරයේ ඉමිහිරි ම අරුත දනවමින් උදා හිරු තුරු අගිසි සිප ගන්නට පටන් ගත්තේ ය. මුළුමනින් ම හිස් වූ හුදෙකලාවක ගිලී ම සිත හැඟීමෙන් තොර පූර්ණ නිශ්චලත්වයට පත් වූයේ ය.

ඔබ දන්නවාද අප මනසට මෙවැනි හුදෙකලාවක්, තනිකමක් දැනෙන්නේ මනස සිතිවිල්ලෙන් නිදහස් වූ විට බව. ආශාවන්ගෙන් මනස ලුහුබඳින විට, අතීතය හෝ අනාගතය හෝ පිළිබඳ මතකයන්ගෙන් සිත පිරෙන විට හුදෙකලාවක් දැනෙන්නේ නැත. නිශ්චල, රහසිගත බව ඇතුළතෙහි වන තනි බව ගැන කියන්නට වදන් මේ ලොව බිහි වී නැත්තේ ය. ඔබ කිසිවිටෙකත් තනිවී එකලා ව හැම දෙයකින් ම දුරස්ථ ව; සෑම සිතිවිල්ලකින් ම විනිර්මුක්ත ව තනිවී ඇත්දැයි මම නොදනිමි. එහෙත් මම එක දෙයක් දනිමි; ඒ ඔබට, මට, අප හැමෝට ම එසේ තනිවන අවස්ථා උදාවන බවයි. ඔබ ඇසුරු කරන, නිරන්තරයෙන් ඔබ හා ගනුදෙනු කරන සියල්ල ඇසුරු කරනා ගමන් ම, කිසිදු වෙනසක් සිදු නොවී තනි වීමට හැකිනම්; එසේ නම් ඔබ තනිකමෙන් බොහෝ ඈතට ගිය අයෙකි. එවැනි දුරස්ථ බවක් සිතේ ඇතිවූ විට මේ පූර්ණ නිහැඬියාවෙහි එක ම පුෂ්පය බවටත්, එක ම ආලෝකය බවටත් චින්තනය පත් වෙයි. ආදරය නම් කිසිවකුත් නොදන්නා හැඟීමට ජීවයක් ලැබෙන්නේ එවැනි තත්ත්වයකදී ය. එය ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයකි. එබැවින් එය විස්තර කිරීමට යෑම ඔබට එක් කරන්නේ අනර්ථකාරී, වෙහෙසකාරී බවක් ම පමණී. එය දැනෙන්නක් ම පමණී.

මේ සිතිවිලි කෙසේදැයි තවකකුට කියන්නට උත්සාහ කිරීම ඒ සිතිවිලි වලින් ඔබ මුදා සිතට දැනුණු සැනසිලි සහගත හැඟීම නැතිකරන්නක් විය හැකිය.

කලාවේ උත්තුංග මෙහෙය ගැන අවබෝධයෙන් කලා කෘති නිමැවූ බොහෝ දෙනෙක් මේ නිශ්ටාව යම් තරමකින් හෝ විඳි අය යැයි සිතේ. උත්තම කලා කෘති බොහොමයක් පිටුපස වේදනාකාරී සිතක් ඇත. ඒ සිත වේදනාකාරී වී ඇත්තේ හුදෙකලාවේ ආශ්චර්යය නොවිඳිනතාක් පමණී. ඒ සංවේදනාව වදන්වලට පෙරළන ඉනික්බිති ඔවුහු වේදනාවෙන් පෙළෙන්නට පටන් ගනිති. එය ආත්මය කොට රසයක් කර ගන්නා තැනැත්තා දාර්ශනිකයකු වෙයි; නිවුණු තැනැත්තකු වෙයි; පශ්චාත්තාප නොවන්නකු වෙයි. නිශ්චල සිතක් ගැන ඔබට වුව අවබෝධ කරගත හැක්කේ එවැනි දේ මඟිනි. අප නිවුණු සිතැත්තේ යැයි සිතන බොහෝ දෙනකුට වඩා සිත නිවුණු තැනැත්තන් මේ ලොව සිටින්නේ එබැවිනි.

ඔබ කියවා ඇති චිංගීස් අයිත්මාතව් ගේ ලෝක පූජිත අවිහිංසාවාදී නවකතාව වන 'Farewell Gyulsary' නම් කෘතිය. මෙය චූලානන්ද සමරනායක විසින් " සමුගනිමු ගුල්සාරි" නමින් සිංහලට නඟා තිබේ. සෝවියට් පාලන කාලයේ බිහිවූ නිර්මාණකරුවන් අතරින් විශිෂ්ටතම ගනයේ ලා සලකන ලේඛකයකු වන චිංගීස් අයිත්මාතව් සිය පන්හිඳ මෙහෙය වූයේ මානව දයාව, ආලය, විරහව ආදී මිනිස් ගතිවල අසිරිමත් බව කියාපාන්නට බව ඔබ දනියි. මිනිසකු හා අශ්වයකු අතර ඇති වන අපූරු සබඳතාවක් ගැන කියවෙන මේ කෘතිය හුදෙකලාව විසින් පුද්ගලයකු කෙතරම් සංවේදී බවට පත් කරන්නේද යන්නට කදිම නිදර්ශනයකි.

"හැලහොල්මනක් නැතිව ගිනිමැලය අද්දර වැතිර උන් ගුල්සාරිගේ හිස බිමට පතිත ව තිබිණි. කෙමෙන් කෙමෙන් ජීවිතය උගේ සිරුර නික්ම යමින් පැවතිණි. ගුරු ගුරු හඬක් හා හතියක් උගුරෙන් මතු ව ආ අතර ඇසිපිය නොහෙළා ගිනිදලු දෙස බලා සිටින විට උගේ පුළුල් ව ඇරී අඳුරු වී ගියේ ය. වියළි ලී දඬු මෙන් දිගුව පැවැති පාද දරදඬු වන්නට පටන් ගෙන තිබිණි.

මෙසේ තනබායි තම අශ්වයාට සමුදෙමින් සිටියේ ය.

මේ ඔහුට ගුල්සාරි හා කතාකිරීමට ඇති අවසාන අවස්ථාවයි.

"ගුල්සාරි! උඹ හොඳ කදිම අශ්වයෙක්. මගේ යාළුවා වෙලා සිටියෙත් උඹ තමයි. මේ විදියට උඹ ‍මගෙන් වෙන් වෙලා යනකොට මගේ ජීවිතේ හොඳ ම කාලෙත් උඹත් එක්කම යන්න යාවි. මම කවදාවත්, කවමදාවත් උඹ ව නම් අමතක කරන්නේ නැහැ."

" උඹේ ඔය කදිම කුර හඬ ජීවිත කාලය පුරා ම මම වැඩියෙන් ම අහන්න ආශා කරපු ගීතය වේවි.."

ස්ටෙප්ස් තණ බිම් පුරා හුදෙකලාවත් සමඟ ගනුදෙනු කළ තනබායිට ඒකාත්මික බැඳීමක් තිබුණේ ගුල්සාරි සමඟ පමණී. ඌත් නික්ම යමින් සිටින කල ඔහුට සිය මුළු මහත් ජීවිතය ම එක මිටට මතක් වීමට පටන් ගැනීම අරුමයක් නොවේ. ඔහු හුදෙකලාවේ අසිරිය වින්දේ ගුල්සාරිගේ කුර හඬත් සමඟ ය.

"සමුගනිමු ගුල්සාරී" විදාරණය කරන්නේ අයිත්මාතව් ගේ හදවතේ අසිරියයි; ඔහු පෙළුෑ ආශ්චර්යවත් හුදෙකලාවයි. සිතේ හුදෙකලාව ඇතිවීමට ඔබේ නිශ්චල බව විනා වෙනයම් කිසිම දෙයක් අවශ්‍ය නොවන්නේ ය. මහ සෙනඟ මැද පවා අපට යම් විටෙක හුදෙකලාබවක් දැනෙන්නේ එබැවිනි. ඒ හුදෙකලාව අතරින් ම තනබායි ට මෙන් ම ඔබට ද දූෂිත නොවූ ආදරයේ පහස ලැබෙයි. එවන් හදවතක් ලැබීමට අපහසු නැත; අවශ්‍ය වන්නේ නිහඬ, නිසල, ගැඹුරු තැන්පත් බව ම පමණී.

Comments