දෙවියන් පය නොතබන තැන බඩපිනුම් ගැසීම | Page 2 | සිළුමිණ

දෙවියන් පය නොතබන තැන බඩපිනුම් ගැසීම

“ලිංගික අල්ලස” විවිධ කලා නිර්මාණයන්හි අතරින් පතර යොදා ගැනෙන සාමාන්‍ය සිදුවීමක් වශයෙන් සුලබව දක්නට ලැබුණ ද එය ප්‍රධාන තේමාව කොට ගත් සාහිත්‍ය කලා නිර්මාණ විරල ය. මෙවැනි වාතාවරණයක් තුළ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසින් පද රචනය කළ මේ ගීතය එකී සුලබ සිදුවීම කලාත්මක ආකාරයෙන් ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයක් ලෙස හඳුන්වා දිය හැකිය.

දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟ හැර
රැගෙන යන්නම් කුමරි බඹසර
පුරා සූසැට කලා භූෂණ
රන පදක්කම් දිනා ගෙල පලදන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස් මත
තිබෙන කඩතොළු තැන්
උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ දෙවොල ඇතුළේ පහන් සොරකම්
කරන බව දෙවියන් - දේවතා එළියෙන්

පද රචනය - නන්දසිරි කීඹියහෙට්ටි

සංගීතය - සමන්ත පෙරේරා

ගායනය - ශානිකා සුමනසේකර

සුලබ සිදුවීමක් දුලබ ආකාරයකින් ඉදිරිපත් කරන්නට උත්සාහ ගෙන තිබීමේ කලාත්මක වටිනාකම මේ පද රචනයෙහි දැකිය හැකිය. එහෙත් ඒ තුළ උපමා - උපමේය ගළපන්නට යාමේදී පද රචකයා වරදවා ගෙන තිබෙන බවක් පෙනී යයි. “කෙලෙස අදහා ගනිම්දෝ, දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන් - දේවතා එළියෙන්” යන්නෙන් රචකයා අදහස් කරන්නේ විශ්වවිද්‍යාලය නමැති දෙවොලේ දෙවියන් සේ සැලකිය හැකි ආචාර්යවරුන්, දේවාලයේ පහන් සේ සැලකිය යුතු සරසවි (සිසු) සිසුවියන්, ආචාර්යවරු විසින් තමන් සතු බල පරාක්‍රමය යොදාගෙන අපයෝජනයට ලක්කරන බවයි. මෙහිදී සරසවි සිසුවියන් විශ්වවිද්‍යාල දෙවොලේ දෙවියන්ට පූජා කළ පහන්වලට සම කළ නොහැකි බව රචකයාට අවබෝධ වී නැත්තා සේය. පන්සලේ හාමුදුරුවන්ට පූජා කරන දානය එතැන් සිට අයිති වන්නේ සංඝයාටයි. උන්වහන්සේලාට එය එසේම වැලඳීමට හෝ එයින් කැඳක් සාදා පානය කිරීමට හෝ දුගියන්ට හෝ තිරිසන් සතුන්ට දීමට හෝ දානය පූජා කළ දායකයාගේ කැමැත්ත අවශ්‍ය නොවේ. දේවාලයකට කරන පහන් පූජාවද එසේ ම ය. පූජා කළ පහන හො පහන් අයත් වන්නේ දෙවියන්ට ය. දෙවියන් එයට කුමක් කරන්නේ ද යන්න දෙවියන්ට මිස අන් කිසිවකුට අදාළ වන්නක් නොවේ. එබැවින් සිසුවියන් විශ්වවිද්‍යාල දෙවොලේ දෙවියන්ට පූජා කරන පහන්වලට උපමා කිරීම ගේය පද රචනයෙහි යෙදෙන විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගෙන් සිදු නොවිය යුතු වරදකි.

කෙසේ වුවද ගායිකා ශානිකා සුමනසේකරගේ ගායන කුසලතාව සහ සමන්ත පෙරේරාගේ සංගීතය මේ පද රචනයේ ඇතුළත් ඉහත සඳහන් කඩතොළු මකාලන්නට සමත් වී ඇත. එහෙත් පොදු වශයෙන් ගත් කල එය සුභාවිත ගීත ගොන්නට ඇතුළත් කළ හැකි ද යන්න ගැටලුවකි.

මේ ගීතයෙන් ඇතිවිය හැකි බලපෑම කෙබඳු ද යන්න විමසා බැලීම වටී. වර්තමානයේ විශ්වවිද්‍යාල සිසු ප්‍රජාවෙන් 75%කට වඩා වටින්නේ සිසුවියන් ය. එනිසා හොඳ ම ප්‍රතිඵල ලැබීමට වැඩි ම ඉඩකඩක් ඇත්තේ සිසුවියන්ට ය. එවැනි අවස්ථාවක විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසු කණ්ඩායමේ සිසුවිය හොඳම සිසුවිය වූයේ තමන් යැයි හඬගා කීමට ඔවුනට ඇති හැකියාව මෙමඟින් නැති වන්නේ නොවේ ද? එසේත් නැතිනම් හොඳ ම ප්‍රතිඵල ලබා ගත හොත් කන්‍යාභාවය පූජා කළ එකියක සේ හංවඩු ගැසීමට ඉඩ ඇති නිසාම ඊට පහළ ප්‍රතිඵලයක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටව යෑමට සිසුවියන් නොපෙලඹෙනු ඇතැයි කිව හැකි නොවේ ද? තව ද විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේ දී ද ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඉහළම ලකුණු ලබා ගත් අයට ය. ඒ අනුව විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලයේ සිටින සියලු ආචාර්යවරියන් තමන්ගේ ගුරුවරුන් සමඟ යහන්ගත වූවන් ද යන සැකය මෙමඟින් ඇති නොවේ ද?

ලිංගික අල්ලසක් පිළිබඳ චෝදනා එතොත් ඒ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ට මිස පෞද්ගලික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නොවේ. එවැනි අවශ්‍යතාවක් ඇතත් ඔවුන් එය පාලනය කරගෙන සිටිනු ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල රැකියා සුරක්ෂිතතාව මෙවැනි චෝදනාවලින් නැතිවිය හැකි බැවිනි. ඒ අනුව, ඒ අනුව රාජය විශ්වවිද්‍යාලයකට තෝරා ගැනුණත් තම දියණිය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යැවීම මවුපියන් පෙලඹවීම මෙමඟින් සිදු නොවන්නේ ද?

කලාකරුවන් තමන්ට පැවරි ඇති කාර්යභාරය වටහා ගත යුතු වේ. නන්දසිරි කීඹියහෙට්ටි බදු අංකුර කලාකරුවකුට එය විශේෂයෙන්ම අදාළ වේ. එබැවින් සියල්ල සැලකිල්ලට ගන්නා විට කනගාටුවෙන් වුවද කීමට සිදුව ඇත්තේ දෙවියන් පය නොතබන තැනක කීඹියහෙට්ටි බඩ පිනුම් ගසා ඇති බවයි.

Comments