
ලන්ඩනයේ සපත්තු පොලිෂ් කම්හලක සේවයේ නියුතු 12 හැවිරිදි කොලු ගැටයෙකි. පහසුකම් කෙසේ වෙතත් මීයන්ගෙන් නම් අඩුවක් නැති මේ කම්හලේ පොලිෂ් ටින්වලට ලේබල අලවමින් සහ ඒවා ඇසුරුම් කරමින් ඔහු නිමක් නැතිව වැඩෙහි යෙදී සිටී. නිවසේ සිට කම්හලට සැතපුම් 5 ක දුරක් ඇවිද ආ යුතු විය. මේ දුර දිනපතා ගෙවා දැමීම අසීරු බැවින් ඔහු කළේ පැය 10 ක සේවා මුරයෙන් පසු බෝඩිම් කාමරයක නතර වීම ය. ඔහුට සිය පවුලේ අය සමඟ එක්වීමට හැකි වූයේ ඉරිදා පමණි. ඒ ද මාෂල්සී බන්ධනාගාරයේ සිරකරුවකු ලෙස ගත කරන සිය පියා බැලීමට එහි යන ගමනේ දී ය. පියා සිරදඬුවම් ලැබීමට හේතුව ණය ගෙවා ගත නොහැකිවීමකි.
19 වැනි සියවසේ බිහිවූ විශිෂ්ටම නවකතාකරුවා ලෙස සැලකෙන චාල්ස් ඩිකන්ස් ගේ නිර්මාණ ජීවිතයේදී හමුවන ඒ පුංචි කොලු ගැටයා අන් කිසිවකු හෝ නොව ඔහු ම ය. ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්, ඔලිවර් ට්විස්ට් වැනි කෘතියකදී පාඨකයා කියවන්නේ ඩිකන්ස්ගේ ම ජීවිතය බඳුයි. ඩිකන්ස් එවැනි කෘතීන් සාහිත්‍ය ලෝකයට දායාද කර වසර 150කට වඩා ගතවී ඇතත් ඒවායේ ජීවත්වන නොතකා හැරීමට හා අපයෝජනයට ලක්වූ දෙමවුපිය රැකවරණය ආදරය අහිමි ළමයින් ගැන මතක අදටත් පාඨක ලෝකයේ දෝංකාර දේ.
ආර්ථික අපහසුතා හේතුවෙන් ඩිකන්ස්ට හොඳ අධ්‍යාපනයක් ලැබීමට නොහැකි විය. ඔහුගේ ටියුෂන් ගාස්තු ගෙවීමට පියාට මුදල් නොමැතිවීම නිසා අවුරුදු 15 දී අධ්‍යාපනය බිඳ වැටිණි. ඉන්පසු ඔහු නීති සමාගමක කනිෂ්ඨ ලිපිකරුවකු ලෙස රැකියාවක් සොයා ගත්තේ ය. මේ කාලයේදී ඔහු ලඝු ලේඛනයේ ප්‍රවීණත්වයක් අත්කර ගැනීමට සමත්විය. එය චාල්ස් ඩිකන්ස් නම් සාහිත්‍යධරයාගේ වෘත්තීය ජීවිතයට විශාල පිටුබලයක් විණි. ලිපිකරු රැකියාවට පෙර ළමා ශ්‍රමිකයකු ලෙස සපත්තු පොලිෂ් කම්හලේ ගෙවා දැමූ තුන් අවුරුදු කාල සීමාව ඔහුගේ ජීවිතයට අත්දැකීම් රැසක් එකතු කර තිබිණි. එම වකවානුවේ හුදෙකලාව විසින් දැඩි ලෙස වෙළාගැනීම දරාගත නොහැකි තරම් විය.
ඩිකන්ස් ලිවීම පටන්ගත්තේ මාධ්‍යකරුවකු වශයෙනි. හෙමිංවේ, ජොර්ජ් ඕවල්, ජැක් ලන්ඩන් වැනි සාහිත්‍ය ලෝකයේ සෙසු විශිෂ්ටයන් මෙන් ම ඩිකන්ස් ද ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ. ඔහුගේ ලිපි ‘ද මිරර් ඔෆ්’ පාර්ලිමන්ට්, ‘ද ට්රූ සන්’ වැනි සඟරාවල පළ විය. 1833 දී පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස ඔහු සේවය කළේ ‘ද මෝනිං ක්‍රොනිකල්’ පුවත්පතට ය. එහිදී ඔහු භාවිත කළේ BOZ යන නාමයයි. ඩිකන්ස් විවාහ කරගත්තේ ඔහුගේ එක් සංස්කාරකවරයකු වූ ජෝර්ජ් හෝගාර්ත් ගේ දියණියක වන කැතරින් හෝගාර්ත් ය. ඒ, 1836 වසරේදී ය. මේ වසරේදී ම ඔහුගේ ‘ද පික්වික් පේපර්ස්’ කතා මාලාව ප්‍රකාශයට පත් විය. එය අතිශයින් ජනප්‍රිය වූ අතර ඩිකන්ස් ගේ නම ප්‍රචලිත විය.
දූ පුතුන් 10 දෙනකුගේ මවු පියන් වූ ඩිකන්ස් යුවළගේ විවාහය දික්කසාදයෙන් කෙළවර වූ පසු චාල්ස්, චලන් ටෙර්නාන් නම් නිළියක සමඟ සබඳතාවක් පැවැත්විය. ඩිකන්ස්, වාස්තවිකත්වයෙන් ඔබ්බෙහි ඇති දෑ ගැන උනන්දුවක් දැක්වීය. ඔහු ‘අවතාර සමාජයේ ‘ සාමාජිකයෙකි. 1865 දී සිදුවූ ස්ටේපල් හර්ස්ට් දුම්රිය අනතුරින් තුවාල නොලබා ගැලවී ගත් එකම පළමු පන්තියේ දුම්රිය මඟියා වූයේ ඩිකන්ස් ය. සහන සේවකයන් එහි ළඟා වනවිටත් තුවාල ලැබූ මඟීන් ගණනාවකට ඔහු පිහිට වී තිබිණි.
ඩිකන්ස් ලේඛකයකු පමණක් නොවේ. දේශකයකු ලෙස ද ඔහු විශාල කීර්තියක් මෙන් ම ප්‍රසිද්ධියක් ද ලැබී ය. ඔහුගේ අභාවය පිළිබඳ ‘ලන්ඩන් ටයිම්ස්’ පුවත්පත පළ කළ ලිපියක ඩිකන්ස් හඳුන්වා දී තිබුණේ ’19 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම උපදේශකයා’ යනුවෙනි. චාල්ස් ඩිකන්ස් සාහිත්‍ය ලෝකයේ පහළවූ පළමු සුපිරි තරුව ලෙස ද සැලකේ. මෙකී තරු ගුණය දේශකයකු ලෙස ද ඔහු කෙරෙන් පළ විය. ඔහු කොපමණ ආකර්ෂණීය චරිතයක් වීද යත් දේශන පැවැත්වීමට ඇමෙරිකාවට ගිය අවස්ථාවලදී රසිකයන්ගෙන් ඔහුට ගැලවීමක් නොවිණි. ඔහු නැවතී සිටි හෝටලය වටා පෙදෙස ඔවුන්ගෙන් පිරී යන අතර හෝටලයේ කවුළුවලින් එබී බලමින් ඔහු දැක ගැනීමට ඔවුහු පොර බැදූහ. රේල්වේ කාර් රථයෙන් ගමන් කරද්දී ඇතැම් විට රසිකයන් ඔහුට හිරිහැරයක් වන තරම් විය. ඔහු ඩිකන්ස් ලැබුවේ අද නොයෙක් ක්ෂේත්‍රවල සුපිරි තරු ලබනවාටත් වැඩි රසික ප්‍රතිචාරයකි. ඩිකන්ස් යනු සාර්ථකත්වය වේලාසනින් ම ළඟාකර ගැනීමට වාසනා මහිමයක් තිබූ ලේඛකයෙක් ද වේ. සිය නිර්මාණවලින් මුදල් ඉපැයීම ගැන ඔහු බෙහෙවින් ම සැලකිලිමත් විය. මේ නිසා ම පාඨක ප්‍රතිචාර ගැන ඔහු දැක්වූයේ විශේෂ අවධානයකි. ටර්ගිනිව්, දොස්තයෙව්ස්කි, තොල්ස්තෝයි වැනි රුසියානු සාහිත්‍යධරයන් ද ඩිකන්ස්ගේ නිර්මාණ අගය කොට සැලකීය. වරෙක තෝල්ස්තෝයි, ප්‍රකාශ කෙළ් ඔහුගේ කතාවල සියලු චරිත මගේ පෞද්ගලික මිතුරන් ය’ යනුවෙනි. සිය දිගු කෙස් කලඹ පිරිමදිමින් දර්පණයක් ඉදිරිපිටට වී බොහෝ වේලා කල්පනාවේ නිමග්නවීම ද ඩිකන්ස් ගේ සිරිතකි. දවසේ අවස්ථා කිහිපයකදී ම ඔහු එසේ කළේ ය. තරුණ ඩිකන්ස් කඩවසම් පුද්ගලයෙකි. එහෙත් මැදිවිය එළැඹි ඔහුගෙන් පළවූයේ වයසට වැඩි පෙනුමකි.
ඇවිදීමෙන් තොරව ලිවීමට නොහැකි බව ඩිකන්ස් සැලකුවේ ය. ඔහු ඇවිදීම ප්‍රිය කළ ලේඛකයෙකි. ඇතැම් විට ඔහු දවසට සැතපුම් 20 ඇවිද්ද බව සඳහන් වේ. ප්‍රංසය, ඉතාලිය හා ඇමෙරිකාවේ චාරිකා කරන අතරතුරදී ද ඔහු ඇවිදීමට කාලය වෙන්කරගත්තේ ය. ඩිකන්ස් ගේ කෘතීන් අතර ‘අ ටේල් ඔෆ් ටූ සිටීස්’, ‘ඔලිවර් ට්විස්ට්’, ‘ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්’, ‘අ ක්‍රිස්මස් කැරොල්’ වැනි කෘතීන් අග්‍රගණ්‍ය ලෙස සැලකේ. අ ක්‍රිස්මස් කැරොල් ප්‍රකාශයට පත්වූයේ 1843 දී ය. ලොව මුල් ම නත්තල් සුබපැතුම් පත යැවූ වර්ෂය ද එයයි.
සිය බිරිය කැතරින් හෝගාර්ත්ගේ සොයුරිය මාරි හෝගාර්ත්ට ද ඩිකන්ස් දැක්වූයේ විසල් සෙනෙහසකි. කැතරින් දෙවන ප්‍රසූතියට සූදානම් වන අතර මාරි හදිසි හෘදයාබාධයකින් මිය යාම ඔහු බලවත් සේ කම්පනයට පත් කළ කාරණයකි. ඇයගේ කෙස් රොදක් සහ ඇඳුම් කිහිපයක් මතක සටහන් ලෙස ඔහු සතුව තිබූ අතර වරින් වර ඒවා අතට ගෙන බැලීම ඔහුගේ සිරිතකි. තමා මිය ගිය පසු මාරිගේ සොහොන් ගැබ අසලින් ම මිහිදන් කරන්නැයි ඔහු ඉල්ලීමක් ද කර තිබිණි. ‘අ ටේල් ඔෆ් ටූ සිටීස්’ (දෙනුවර අන්දරය) කතාන්දරය තම සිත තුළ රෝපණය වූෙය් ‘නෙලී’ යන ආදරණීය නාමයෙන් හැඳින්වුණු එලන් සමඟ ප්‍රේමයෙන් වෙළී සිටි අවදියේ දී බව ඩිකන්ස් පවසා තිබේ. නෙලී සහ චාල්ස් අතර පැවැති ගැඹුරු සබැඳියාව හා ප්‍රේමය 2013 දී නිර්මාණය වූ ‘ද ඉන්විසිබල් වුමන්’ චිත්‍රපටයට ද පාදක විය.
නිවසේ තිබූ ගෘහ භාණ්ඩ නිසි පිළිවෙළට නොවිණි නම් වරින් වර ඒවා නිසි තැන තැබීම ද ඩිකන්ස්ගේ පුරුද්දකි. එසේ තබන තුරු ඔහු ට ඉස්පාසුවක් නොවී ය. තමා නිදියන ඇඳ නිසි දිශානතියට තිබීම ගැන ද ඩිකන්ස් සැලකිලිමත් විය. ඔහු චුම්භක ශක්තිය ගැන මහත් සේ කරදර විය. වාසනාව ගැන විශ්වාසය තබමින් ඔහු ඇතැම් වස්තූන් දිනකට තුන් වරක් ස්පර්ශ කළේ ය. ඩිකන්ස් පිරිසිදුකම හා පිළිවෙළ ගැන විශාල වශයෙන් අවධානය යොමු කළේ ය. තම නිවස මෙන් ම තමා සිටින කවර හෝ තැනක් පිරිසිදුව තබා ගැනීමට ඔහු වගබලා ගත්තේ එබැවිනි. ඩිකන්ස් සුරතල් නම් වලට ද ආශා කළේ ය. ඔහුගේ නවකතාවල චරිතවලට මෙන් ම දරුවන් දස දෙනාට ද ඔහු සුරතල් නාමයක් පටබැඳී තිබිණි.
ඩිකන්ස් අපස්මාරයෙන් පෙළුණු අතර ඔහුගේ කතාවල චරිත සමහරක් ද මේ රෝගයෙන් පෙළිණි. ඔලිවර් ට්විස්ට් ගේ සොහොයුරා ද අපස්මාර රෝගියෙකි. අපස්මාරය ගැන ඩිකන්ස් තුළ තිබූ දැනුම වෛද්‍ය විද්‍යාත්මකව කොපමණ නිරවද්‍ය ද යත් නූතන වෛද්‍යවරු පවා මවිතයට පත් වෙති.
ඔහු ප්‍රායෝගිකව කවටයෙක් ද විය. පොත් රාක්කයක් සේ විවෘතව පෙනෙන පරිදි ඔහු රහස් දොරක් පවා සකස්කර ගෙන තිබිණි. එම රාක්ක මායාකාරී පොත්වලින් පිරී පැවැතිණි. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ඩිකන්ස්ගේ සමීප මිතුරෙකි. ඇන්ඩර්සන් විසින් සිය පොයට් ඩේ ඩ්‍රීම් කෘතිය (1853) පුදනු ලැබුවේ ද ඩිකන්ස්ට ය.