දඹදෙණි යුගයේ සාහිත්‍යය -VII | Page 2 | සිළුමිණ

දඹදෙණි යුගයේ සාහිත්‍යය -VII

අවසාන කොටස

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය මෙසේ පළ කරන්නෙමු. අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය ත්‍රෛමාසික සඟරාව’ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘සත්මඬල’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමි වේ. මේ ඓතිහාසික ලිපිය ශාස්ත්‍රාභිලාෂී මතු පරපුරට කියවා ගැනීම සඳහා මෙලෙස පළ කරනු ලබන්නේ, දැන් එහි පිටපතක් සොයා ගැනීම අතිශය උගහට බැවිනි.

ඓතිහාසික සාහිත්‍ය දේශනය - 1958

මහාචාර්ය සෙනරත් පරණවිතාන

මේ සරස්වතී මණ්ඩපය නමින් තිබුණත් සරස්වතී කියල කොඩියක් හිටවපු බවක් කියල අපි කොහොම ද ඒ රජතුමාගේ කියා කියන්නෙ. ඉතින් ඒ වගේ සරස්වතී බිසව නමින් ඇළක් කළහයි කියල අපට හිතන්න බැරි ඇයි? සරසවි ශිරෝමණි මහ පැරකුම්බාවන් කව්සිළුමිණ කළ බව කියන්න පුළුවන්. තවත් එකක් විසුද්ධිමග්ග සන්නය බලන විට එහි භාෂා ශෛලියත්, කව්සිළුමිණේ බසත් දෙක අතර ලොකු පරතරයක් තිබෙනවා. ඒ අනුව අපට කියන්නට පුළුවන් කව්සිළුමිණ මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කෘතියක් බව. 2 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කෘතියක් කියා ඔප්පු කරන්නට කිසිවකුට ඉඩක් නැහැ.

මූලාසනය: මීළඟට චාල්ස් ද සිල්වා මහත්මයා,

චාල්ස් ද සිල්වා මහතා : ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි පින්වතුන්ගෙන් අවසරයි. මා මේ ප්‍රශ්නය නඟන්නට පැමිණෙන්නේ මහාචාර්ය පරණවිතාන මහතාගෙන් එක්තරා කරුණක් දැනගැනීමට යි. ඒ මහතාගේ කථාවෙහි කියවෙනවා, මේ මාඝගේ කාලිංග වංශයෙක. සෙනඟ ලබා ගත්තේ මලයාලයෙන් හෝ කේරලෙන් නොව ඈත පිහිටි ජාවක ප්‍රදේශයෙන් කියල. හොඳයි කලිඟු රට මිනිහෙකුට සෙනඟ ලබා ගන්ට පහසු වන්නෙ මූදෙන් එතර පිහිටි ජාවක රටෙන් ද එහෙම නැතිනම් තමන්ගේ රටට යාව පිහිටි රටකින් ද යන ප්‍රශ්නය. මා අසනවා, අපට අනික් කරුණු කියල දෙන්නට කීවේ කාලිංග මාඝයන්ට සෙනඟ ලබාගන්ට කවර උවමනාවක් තිබුණ ද කියල මූදෙන් එතර යන්ට.

පරණවිතාන මහතා: ඒ අහපු එක බොහොම හොඳයි, එක් කාරණයක් කාලිංග යන සමයේ ඒ කාලයේ දී ඉන්දියාවේ කාලිංග ප්‍රදේශය පමණක් නො වෙයි ඔය මලය අර්ධද්වීපයටත් කාලිංග කියන නම තිබුණා. චීන පොත්වලත් හෝලිං කියල තියෙනවා සමහරක් තැන්වල මුළු ප්‍රදේශයට ම කාලිංග කියල තියෙනවා. මලය අර්ධද්වීපයේ තවත් සිංගප්පූරුවට කාලිංග කියල කියනවා. මාඝ එසේ ආ කාලිංගයත් තවත් කාලිංග කියල එකක් දෙකක් තියෙනවා. පුරාණයේ සිට ම තියෙන කලිඟු රටයි. ඔය පැත්තට කියන නමයි කලිඟු කියල.

ඔත්තාපිටියේ සුමන හිමියෝ: මූලාසනාරූඪ නායක මාහිමියන් ප්‍රමුඛ මහා සංඝ සභාවෙන් අවසරයි, මහත්වරුනි නෝනාවරුනි, ඇසිය යුතු දේත් කිව යුතු දේත් බොහොමයි. අපේ බෙලිගල හාමුදුරුවන් කියනවා බෙලිගල විහාර ස්ථානයටත් විජයසුන්දරාරාමය කියල ව්‍යවහාර කරනවා කියා මෙතනටත් විජයසුන්දරාරාමය කියල ව්‍යවහාර කරනවා. දෙතුන් පළකටම ව්‍යවහාර කරනවා. ඉතින් මේ දෙතුන් පළ ම විජයසුන්දරාරාමය ද? එහෙම නැතිනම් එක පළක් පමණක් විජයසුන්දරාරාමය ද? මොකක් ද? විජයසුන්දරාරාමය? මෙතනත් දඹදෙණි සාහිත්‍ය සම්මේලනය පවත්වනවා. බෙලිගල සම්මේලනයක් නැහැ. අපේ පරණවිතාන මහතා පිළිගන්නවා ඇති බෙලිගලත් විජයසුන්දරාරාමයක් තියෙන වග. ගරුතර අපේ නායක ස්වාමින් වහන්සේ ගෙන් අවසර ලැබෙනවා නම් මේ 3 වැනි විජයබාහු රජ්ජුරුවන්ගේ කතා ප්‍රවෘත්තියේ දී දැක්වෙනවා විජයසුන්දරාරාමය නමින් බෙලිගල සිය නමින් පහයක් කරවා එහි අග්‍ර කියන හාමුදුරුවන්ට වැඩ සිටින්නට පූජා කළා කියල. තව තැනක ඊට පසු ඒ රජ්ජුරුවො දෙවුන්දර පූජා විධි පවත්වා, ඇවිත් පරාක්‍රමබාහු රජ්ජුරුවන් ස්වකීය පියාණන් වෙනුවට විහාරයෙහි චෛත්‍යයක් කෙරුව. එමෙන් ම විහාරයෙහි ප්‍රාකාරයක් කෙරෙව්ව. ඔය විධියට ආයෙ තැනක බෙලිගල පිරිවෙනක් කෙරුවා කියල. ඔය විධියට වචන දක්නට ලැබෙනවා. ඒ අනුව විජයසුන්දරාරාමය කියන මේකේ ඇත්ත හරි හැටියට කොයි තැනට කියා පිළිගන්නදැයි කියන එකයි. වෙන කවුරුවත් හරි නම් පිළිතුරු දෙන එකක් නැහැ. අපේ පරණවිතාන මහතාවත් නිරවුල් කර දුන්නොත් හොඳයි.

පරණවිතාන මහතා: විජයසුන්දරාරාමය කියල තියෙන්නෙත් බෙලිගලට විතරයි නේ ද? මට හරියට කියන්ට මතක නැහැ. මහාවංශය බලන්න ඕනෑ. බෙලිගල ඉඳලා මාලිගාවක් කළා. මෙතන මේ පරාක්‍රමබාහු රජ්ජුරුවන් දළදා මාලිගාව කරලා තියෙනවා ඒ රජතුමාගේ මාලිගවේ.

මට මතක තිබෙන්නේ රාජාංගණයේ කියලයි. ඒක එතරම් ගැටලු ප්‍රශ්නයක් නොවෙයි. මහාවංශය කියවපුවාම විහාරයට නමක් තියෙනවා. ඉතින් කවුරුත් කියනවා නම් විජයසුන්දරාරාමය කියල ඉතින් ඉවර නෙව. බෙලිගලටත් කියනවා විජයසුන්දරාරාමය කියල.

මූලාසනයේ කථාව: මේ වාරයේ සාකච්ඡා අවසාන කරන්ටයි බලාපොරොත්තු වන්නේ. මේ සම්මේලනය සාහිත්‍යය විනෝදයෙන් අවසන් වූ බව කාටත් පෙනී යනවා. අද බොහෝ ගිහි පැවිදි පිරිසක් මේ සම්මේලනයට රැස්වූයේ මෙහි තත්ත්වය කුමක් ද කියා බලාගෙන එයින් ප්‍රීති වීමට සන්තෝෂ වීමට නොවෙයි. අද මේ පැවැත්වූ මේ කථාවෙන් හා ඒ සඳහා නැඟි ප්‍රශ්නවලින් හා යම් යම් ප්‍රකාශ කළ මතභේදයන් ගෙන් අපට බොහෝම ලොකු විනෝදයක් ඇති කරගන්නට ලැබුණා. ඒ පඬිවරුන්ගේ කථා, ප්‍රතිවාද කථා, තර්ක විතර්ක ආදි ඔව්වා මෙව්වා ප්‍රකාශවලින් කවුරුත් බොහොම සන්තෝෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අතර සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් වර්ෂයකට කෙසේ වෙතත් මාස කීපයකට වරක්වත් මේ වැනි සම්මේලන පවත්වනවා නම් එය සාහිත්‍ය රසික කාගේත් ප්‍රබෝධයට හේතු වන දෙයක්.

මේ පැවැත් වූ සාකච්ඡා වාරය ඉතාමත් ප්‍රයෝජනවත් වන අන්දමින් වැදගත් අන්දමින්, කාගේත් චිත්තවල ඇ‍ඳෙන ප්‍රතිරූපයක් මෙන් චිත්තවල ඇ‍ඳෙන අන්දමට මේ සම්මේලන වාරයේ කටයුතු බොහොම ගෞරවයෙන් සාර්ථක ව සිද්ධ වුණු බව කියන්නට පුළුවන්. කව්සිළුමිණේ කර්තෘ තුමා පිළිබඳ මතභේදයක් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඒ පිළිබඳ නිගමනයක් ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නොවේ. ඒකට නොයෙක් විධියට කරුණු සාධක ගෙන හැර පාමින් සාකච්ඡා කිරීම පඬිවරුන්ට භාර වැඩක්. අනික් සාකච්ඡා වාරයේදී මේ කරුණු කල්පනා කරලා කව්සිළුමිණ පිළිබඳවත් අනික් ග්‍රන්ථ පිළිබඳවත් ප්‍රශ්න නැ‍ඟෙනවා. ඒ කතාවලදී සමහර විට ඉතා වැදගත් අදහස්වලින් කව්සිළුමිණ කර්තෘ කොයි පරාක්‍රමබාහු රජතුමා ද කියන එක නිරාකරණය කරගන්ට ඒ පඬිවරුන් කතා කරනවා ඇති. ඒ අවස්ථාවේ දී ප්‍රශ්න අසන්නට කවුරුත් බලාපොරොත්තු වෙන්නට හොඳයි. දැන් මේ සෑම පින්වතුන්ටම මේ සාහිත්‍ය සම්මේලනයේදී ශාස්ත්‍රීය විනෝදයක් ලැබුණා. ඒ විනෝදය ම මතුවටත් ඒ වගේ ම ශාස්ත්‍රීය අවබෝධය ලැබෙන අන්දමින් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් සම්මේලන පවත්වාවි කියන ආශිංසනයෙන් මගේ වචන ස්වල්පය අවසන් කරනවා

 

Comments