මම දවසකට කොහොමහරි වචන 1000ක් ලියනවා | Page 2 | සිළුමිණ

මම දවසකට කොහොමහරි වචන 1000ක් ලියනවා

ලිවීමෙන් ධනපතියකු බවට පත් ලොව පළමු ලේඛකයා ජැක් ලන්ඩන් ය. මාර්ක් ට්වේන් හැරුණු විට ජැක් ලන්ඩන් වැනි රොමෑන්තික ජීවිතයක් ගත කළ අන් ලේඛකයකු නොවූ බව ලන්ඩන්ගේ අකල් වියෝව ගැන සටහනක් තබමින් අර්නස්ට් හෝකින් පවසා තිබේ. තිස් හැවිරිදි වියට එළැඹෙන විට ඔහු ලෝ පතළ ලේඛකයකුව සිටියේය. ලන්ඩන්ගේ නිර්මාණ ජීවිතයේ අග්‍ර ඵල වශයෙන් සැලකෙන කෝල් ඔෆ් ද වයිල්ඩ්, ද සී වුල්ෆ්, වයිට් ෆෑන්ග් වැනි ප්‍රබන්ධ කෘතීන්ට ලොව පුරා විශාල ඉල්ලුමක් තිබිණි. මේ කෘතීන් භාෂා 70කට පමණ පරිවර්තනය වී ඇති අතර අදට ද ජනප්‍රිය ය. පෞද්ගලික ජීවිතයේ ඔහු පළ කළ වික්‍රමාන්විත බව හේතුවෙන් ද ඔහු ප්‍රචලිත විය. ඔහුගේ ජීවිතය වර්ණවත් ය. එමෙන් ම ආන්දෝලනයට තුඩු දුන්නේ ය. මේ නිසාම ඔහු නිතර පුවත් මැවූ චරිතයක් ද විය. ලන්ඩන් විනෝදයට බර මිනිසෙකි. සෑම ආකාරයකම අයුක්තියට එරෙහිව ඔහු නැඟී සිටි අතර සමාජයේ පීඩිත කොටස් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු සමාජවාදියෙක් ද වේ. ව්‍යක්ත කථිකයකු ද වූ ඔහු සමාජවාදය, දේශපාලනය, හා ආර්ථිකයට අදාළ මාතෘකා ඔස්සේ දේශන ද පැවැත්වීය. පුද්ගලාර්ථවාදයට එරෙහි ජීවමාන සංකේතයක් ලෙස බොහෝ දෙනා ඔහුට ගරු කළහ.

‘ජැක් ලන්ඩන්’ යනුවෙන් සාහිත්‍ය ලෝකයේ ප්‍රකට වුවද 1876 ජනවාරි 12 වැනිදා ඔහු උපත ලැබුවේ කැලිෆෝනියාවේ මුඩුක්කු පරිසරයකය. උපතින් ඔහු ලද නාමය ජෝන් ග්‍රිෆිත් චෙනී වුවද තරුණ වියේදී ඔහු ‘ජැක් ලන්ඩන්’ යනුවෙන් භාවිත කිරීමට පටන් ගත්තේය. එවක් පටන් ඔහු ප්‍රචලිත වූයේ එනමිනි. ඔහුගේ ළමාවිය සුන්දර එකක් වූයේ නැත. ලන්ඩන්ගේ මව ආධ්‍යාත්මික දේ මත විශ්වාසය තැබූ කාන්තාවකි. පියා නක්ෂත්‍රඥයෙකි. ඔහු 15 හැවිරිදි වියේදී මුහුදු බෙල්ලන් කොල්ල කෑවේය. ජීවන අරගලයට මුහුණ දුන් තරුණ ලන්ඩන් රන් ආකර කම්කරුවකු, නෞකාවක මාළු ටින් කිරීමේ සේවකයකු ආදි වශයෙන් අසීරු රැකියා කිහිපයකම නියැළී තිබේ. මුහුදු ගමන්වල යෙදීම ඔහුට විනෝදාංශයක් බඳු වූ නමුත්, ඇතැම් අත්දැකීම් අතිශය ත්‍රාසජනක ඒවා විය. බොහෝ විට ඔහුගේ කෘතීන්වලට පාදක වී ඇත්තේ ඔහුගේ ම එවැනි අත්දැකීම් ය. ජනමාධ්‍යකරුවකු ලෙස ද ජැක් ලන්ඩන් කාලයක් කටයුතු කර තිබේ. ඒ අතින් ද ඔහු හෙමිංග්වේ, ජෝර්ජ් ඔවල් ආදි විශ්ව කීර්තියට පත් සෙසු ලේඛකයන්ට සමාන වේ. ලන්ඩන් වේගයෙන් ලේඛනයේ යෙදුණු නිර්මාණකරුවකු ලෙස ද ප්‍රකට ය. ඔහුගේ දෛනික ඉලක්කය වචන 1000 කි. මේ වචන සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට ඔහු සෑම විටම වග බලාගත්තේ ය. මේ වේගවත් බව හේතුවෙන් 1900 - 1916 වකවානුව තුළ කෘතීන් 50ක් (ප්‍රබන්ධ හා ප්‍රබන්ධ නොවන) කෙටිකතා සිය ගණනක් හා විවිධ ලිපි ලේඛන රාශියක් ලියා නිම කිරීමට ඔහුට හැකි විය. අවුරුදු 40 දී ජීවිතයෙන් සමුගත්ත ද ඔහු ඉතිරිකොට ගිය සාහිත්‍යමය දායාදය විසල්ය. ඔහුගේ කෘති වලට කොපමණ පාඨක ප්‍රතිචාර ලැබුණේ ද යත් වසරකට ලිපි 10,000ක් පමණ ලැබිණි. ලන්ඩන්, The Crowd නම් සාහිත්‍ය කවයක සාමාජිකයෙක් ද විය.

ජැක් ලන්ඩන් ස්වාභාවික සුන්දරත්වයට බෙහෙවින් ඇලුම් කළ ලේඛකයෙකි. සොනෝමා නිම්නයේ රමණීය සෞන්දර්යයෙන් ඔහු ඇලළී ගියේය. සිය දෙවැනි බිරිය වූ ඩාවියාන් සමඟ සොබාවිකත්වයේ මිහිරියාව විඳ ගනිමින් ජීවත්වීමට ඔහු තෝරාගත්තේ අක්කර 130 කින් යුතු ගොවිපළක පිහිටි නිවෙසකි.

“මට සැම විටම වුවමනා වුණේ ස්වභාව සෞන්දර්යයත් විඳ ගනිමින් ලේඛන කටයුතුවල යෙදීමට තැනක්...” ඔහු පසු කලෙක පැවැසීය.

ලන්ඩන් අපූරු මෙන්ම මිහිරි සිහින දුටු මිනිසෙකි. ඔහු ඒවා සැබෑ කරගැනීමට වෙහෙසුණේය. 1906 - 1907 වකවානුව ඔහු ගත කළේ Snark යනුවෙන් හැඳින්වුණු සිය නාවික යාත්‍රාව ඉදිකරනු දකිමිනි. 1910 - 1913 වකවානුවේ ඔහු සිය සිහින නිවස වූ Wolf house ගොඩනැඟීය. 1905 දී ඔහු සිය ගොවිපළේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කළේය. Wolf house යනු ගිම්හාන නිවහනක් නොවු බව ද වසර පුරාම එහි ජීවත්වීමට හැකි අයුරින් එය ඉදිකරන බව ද ඔහු සිය ප්‍රකාශකයාට යැවූ ලිපියක දැක්වේ.

මීට පසුව ද ඔහු තවත් ගොවිපළ කිහිපයක් මිලට ගත්තේය. ගම්බද ජිවිතයට ප්‍රිය කළ ලන්ඩන් 1911 දී දැවයෙන් නිම වූ කුඩා ප්‍රමාණයේ නිවසක් පදිංචියට තෝරා ගත්තේය. ගම්බද ජීවිතය ඔහුගේ කෘතී කිහිපයකටම පසුබිම්ව තිබේ. ලන්ඩන්ගේ සිහින නිවහන වූ Wolf house සැලසුම් කළේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ඇල්බර්ට් ෆාර් විසිනි. එය මුල් අදියර ෆාර්ගේ අධීක්ෂණය යටතේ සිදුවිණි. එය වසර 1000ක් වුව පවතිනු ඇතැයි ඔහු ඊට සහතිකයක් ද දුන්නේය. 1913 වන විට ලන්ඩන් මේ නිවස ඉදිකිරීමට ඩොලර් 50,000ක් වැයකර තිබිණි. ඔහුට සැලසුම් කළ ගෘහභාණ්ඩ මෙන් ම පොත්පත් දහස් ගණනක් ද එහි විය. ලන්ඩන්ගේ වීර චාරිකා පිළිබඳ මතක සටහන් ද එහි සුරැකිව තිබිණි. එක් රාත්‍රියක නිවසට සැතපුම් 1/2ක් පමණ දුරක සිටි ඔහු නිවස දෙසින් අහසට දුම් වළා නැ‍ඟෙන අයුරු නිරීක්ෂණය කළේය. වහා එහි ළඟා වන විට Wolf house නම් මේ සිහින මන්දිරය ගින්නෙන් දැවී අළු වෙමින් තිබිණි. කළ හැකි දෙයක් ඉතිරිව තිබුණේ නැත. ගින්න සිදුකළ විනාශය බරපතළ ය. ලන්ඩන් ඒ දෙස දාර්ශනිකව බැලුවේය. එහෙත් මූල්‍යමය වශයෙන් ඔහුට අත්වූ හානිය විශාල විය. තමන් දුටු සිහිනය දැවී වැනසී යාම ගැන කම්පාවක් තිබුණ ද ඔහු නිවස යළි ඉදිකිරීමට වෑයම් කළේය. එහෙත් 1916 දී ජීවිතයෙන් සමුගන්නා විටත් එය දිස්වූයේ අදට ද එය දිස්වන අයුරින්මය යන්නට බලපෑ හේතු ගැන කටකතා පැතිරිණි. කෙසේ වුවද 1995 දී නිවස පරීක්ෂාවට ලක්කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් අනාවරණ කරගත්තේ ගින්න සේවකයන්ගේ අතපසු වීමකින් සිදු වූවක් බවය.

මේ විනාශයෙන් පසුව ද ඔහු ලිවීම අත්හළේ නැත. අහිමි වූ දේපළ වෙනුවට අක්කර දහසට වැඩි ගොවිපළ අත්කර ගැනීමට තරම් ධෛර්යක් ඔහු තුළ තිබිණි.

1914 දී ලන්ඩන් යුද වාර්තාකරුවකු ලෙස මෙක්සිකෝවේ ගත කළේය. කෙසේ වුවද ඔහු වඩාත් ප්‍රිය කළේ ගොවිපළ ජීවිතයයි.

මේ සියල්ල අතර තුර, වැඩ රාජකාරි හෝ සෞඛ්‍යය ගැන නොතකමින් ඔහු දිනපතා වචන 1000ක් ලිවීමේ ඉලක්කය සපුරා ගනිමින් නිර්මාණ කටයුතු පෙරට ගෙන ගියේය. මෙහිදී ප්‍රමාණාත්මක බව ගුණාත්මක බව යටපත් කළේ ද යන කාරණය ගැන පවා ඔහු තැකීමක් නොකළේය.

ලන්ඩන්ට සිය කෘතීන්වලින් හොඳ ආදායමක් ලැබිණි. 1900 දී ඔහු ඉපැයූ ආදායම ඩොලර් 2500 කි. (අද නම් එය ඩොලර් 72000ක් පමණ වේ)

ලන්ඩන්ගේ පළමු විවාහය එලිසබෙත් බෙසී මැඩර්න් සමඟය. 1900 අප්‍රේල් 07 වැනිදා එය සිදුවූ දිනම The son of the Wolf කෘතිය ප්‍රකාශයට පත් විය.

18 හැවිරිදි වියේදී පාදඩකම්වල යෙදීමට වරදකරුව ඔහු සිරදඬුවම් ද ලබා තිබේ.

ලන්ඩන්, බොහිමියානු සමාජයේ ගරු සාමාජිකයෙක් ද විය. ඔහු සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකයකුව ද සිටියේය. ලන්ඩන්ගේ මව ඔහු මෙලොවට බිහිවීමට පෙර ගබ්සාවක් කරගැනීමට ද වෑයම් කර ඇත. එය අසාර්ථක වූ විට දෙවසරක් සියදිවි නසා ගැනීමට ද වෑයම් කළාය. ඉන් එක් අවස්ථාවකදී හිසට වෙඩි තබා ගත් අතර ගිනිඅවිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් එය ද ව්‍යර්ථ විය. ලන්ඩන්ගේ මරණය ද සියදිවි නසා ගැනීමක් බවට මත පළ වුවද ඔහු මියගියේ රෝගී තත්ත්වය හා මෝපින් විෂ වීම නිසා බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. මෝපීන් සිතා මතාම ලබාගත්තා ද යන්න සැකයකි. හැඩිදැඩි මිනිසකු වුවද ඔහු ශිතාද රෝගය, වකුගඩු රෝගය ආදි රෝගී තත්ත්වවලින් පීඩා වින්දේය. මත්පැන්වලට ද ඇබ්බැහිව සිටියේය. එය අත්හරින ලෙසට හා ව්‍යායාමවල යෙදෙන ලෙසට ලද වෛද්‍ය උපදෙස් ඔහු නොතකා හැරීය.

Comments