නොනිමි අරගලයක රිදී රේඛාව නීර්වේ පොන්නයියන් | Page 2 | සිළුමිණ

නොනිමි අරගලයක රිදී රේඛාව නීර්වේ පොන්නයියන්

උතුරුකරයේ පීඩිත ජනතාවගේ ජීවිත මත පැටවී තිබෙන කුල පීඩනය දිළිඳුභාවය, නූගත්කම හා අවිද්‍යාවේ බර පොදියෙන් ඔවුන් මුදා ගනු වස් සිය ලේඛන කුසලතාව කැප කළ දෙමළ ප්‍රගතිශීලී ලේඛක ලේඛිකාවන් අතර නීර්වේ පොන්නයියන් සිටිනුයේ පෙරමුණේම ය. එමතු ද නොව ඔහු උතුරේ පරම්පරා ගණනාවක් ම නියෝජනය කිරීමේ දුබල වාසනාමහිමය ලද ලේඛකයා ද වෙයි‍.

යාපනය අර්ධද්වීපය පසුබිම් කරගෙන උපත ලද වෙනත් බොහොමයක් ලේඛකයන් මෙන් ම නීර්වේ පොන්නයියන් මෙලොව එළිය දකිනුයේ ද පීඩිත ගොවි පවුලක සාමාජිකයකු ලෙසිනි. ඔහුගේ තිඹිරිගෙය වනුයේ යාපනයේ නීර්වේලි නම් ගොවි බිමයි. 1930 මාර්තු 24 දිනය උතුරේ සාහිත්‍ය වංස කතාවේ අනුස්මරණීය දවසක් වනුයේ මතු දවසක සිය සහෝදර ජනතාව අවදි කරනු පිණිස පන්හිඳ මෙහෙයවූ මෙම අසහාය ලේඛකයාගේ උපත සිදුවූයේ එදින බැවිනි.

රැකියාවක් කළ හැකි මට්ටමේ සුදුසුකම් සපුරාගත් සැණින් පොන්නයියන් ගුරු පත්වීමක් ලබා ගත්තේ ය. ඒ 1951 දී ය. ඔහුට ප්‍රථම පත්වීම ලැබුණේ මඩකලපුවේ සමන්තුරෙයි ගම්මානයේ පිහිටි පුංචි පාසලකට ය.

ගුරු වෘත්තියට පිවිස වසරක් ගතවෙද්දී දෛවය ඔහුට අත වැනී ය. ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ විරල ගණයේ අවස්ථාවක් ඔහුට උදා විණි. මෙය ඔහුගේ ජීවන චාරිකාවේ මෙන් ම නිර්මාණ ජීවිතයේද හැරවුම් ලක්ෂ­්‍යයක් සටහන් කළේ ය. පීඩිත ජනයා වෙනුවෙන් අරගල කිරීමට අවැසි දේශපාලන පන්නරයක් සාහිත්‍යකරුවකුට නැතිවම බැරි ජීවන දෘෂ්ටියක් පොන්නයියන්ට හිමි වන්නේ කල්කටාවේදී කොමියුනිස්ට් ව්‍යාපාරයට එක්වීමට අවස්ථාවක් උදාවීමත් සමඟිනි.

මැක්සිම් ගෝර්කිගේ පොත් ඔහුගේ තෙවැනි ඇස පාදා දුන්නේ ය. ලු ශුන්ගේ අරගලකාරී ලේඛන ඔහු මුවහත් කළේ ය. අප්පාස්, මුල්ක් ‍රාජ් ආනන්ද් හා ක්‍රිෂාන් චන්දන් පොන්නයියන්ට නව මාවතක් හෙළි පෙහෙළි කර දුන්හ. බෙංගාල ප‍ීඩිතයන්ගේ අධ්‍යාත්මය අවදි කළ ලේඛකයා ලෙස ප්‍රකට වණික් බන්ධෝපාද්‍යයය සමඟ මිතු දම් ගොඩනඟා ගත් අප ලේඛකයා ඔහු ඇසුරෙන් ප්‍රගතිශීලී ලේඛන කලාව යනු කුමක්දැයි මනා ලෙස උගත්තේ ය.

කල්කටාවේ අධ්‍යාපන කටයුතු නිමා කොට යළි උපන් ගමට පැමිණි පොන්නයියන්ට අගනුවර රැකියාවක් ලැබිණි. රැකියාවෙන් පමණක් තෘප්තිමත් නොවූ ඔහු කොමියුනිස්ට් පක්ෂයට‍ බැඳී සිය පන්තියේ විමුක්තිය වෙනුවෙන් කැප වීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. පක්ෂයේ කටයුතුවලදී ඔහු‍ට මෙරට විසූ අග්‍රගණ්‍ය ප්‍රගතිශීලී නායකයකු වන දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සේම තවත් සටන්කාමී විප්ලවවාදියකු වූ එස්. ෂන්මුගම් ඇසු‍රු කිරීමේ භාග්‍යය ද හිමි විණ.

දේශපාලන අරගලයත් සමඟම සාහිත්‍ය මෙහෙවරක් බද්ධ කරගත් පොන්නයියන් දෙමළ ජනතාවට ලොව උසස් ප්‍රගතිශීලී සාහිත්‍ය නිර්මාණ හඳුන්වා දීමට මුල පිරීය. ඒ අනුව ජනතාව වහල් බවෙන් මුදා ගැනීම පිණිස ලෝක ප්‍රකට ලේඛකයන් ලියූ කෙටිකතා හා පද්‍ය රචනා ආදී නිර්මාණ දෙමළ බසට නඟා පුවත්පත් වෙත යොමු කළේ ය. එවකට යාපනයේ පළවූ ඊළනාඩු හා සුදන්දිරම් ආදී ජනප්‍රිය පුවත්පත්වල පොන්නයියන් ලේඛකයාගේ නම බැබ­ෙළද්දී උතුරුකරයේ නව සාහිත්‍ය ප්‍රබෝධයකට ද ඉන් මග පෑදිණ. නීර්වේ පොන්නයියන් ඉතා කෙටි කලක් ඇතුළත සාහිත්‍යකරුවකු හා පුවත්පත් කලාවේදියකු වශයෙන් කොපමණ දුරක් ගමන් කළා ද කිවහොත් කොමියුනිස්ට් පක්ෂයේ සිංහල පුවත්පත වන ‘දේශාභිමානී’ ප්‍රකාශනයේ කර්තෘ ධූරය ඔහුට පිරිනැමිණ.

අගනුවර ඔහු නිරත වූ වෘත්තිය ද කලාවට සම්බන්ධ එකක් වූයෙන් සිය ලේඛන කටයුතුවලට ඉන්ද මහත් පිටුවහලක් සැලසුණේ ය. 1973 සිට 83 දක්වා පොන්නයියන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සේවය කළේ ය. ඒ භාෂා පරිවර්තකයකු වශයෙනි.

83 කළු ජූලිය හමුවේ නීර්වේ පොන්නයියන් නම් කොමියුනිස්ට්වාදියා හා මානවහිතවාදී ලේඛකයා උපතින් කළු හමක් සහිත දෙමළකු වීම හේතුවෙන් ම කුරිරු ජාතිවාදීන්ගේ රුදුරු ඇස්වලට හසු විය. ඔහු පදිංචිව සිටි කොළඹ නිවෙස ද ගිනි රකුසාට ගොදුරු විණ. ඔහු එහි විසුවේ සිය බිරිය හා දියණියන් දෙදෙනා ද සමඟ ය. ඔවුන්ගේ ජීවිත මරුවාගෙන් ගැලවුණේ අනූනවයෙනි. මේ භූමියේ මින්මත්ත තමන්ට රැකවරණයක් හිමි නොවෙතැයි බියපත් වූ බිරිය හා දියණිවරු රට හැර යමුයි පොන්නයියන්ට කන්නලව් කරන්නට වූහ. කුටුම්බය හමුවේ ඔහු අසරණ විය. අවසානයේ ජීවිතාරක්ෂාව පතා සිය පවුලත් කැටිව විදේශගත වීමට පොන්නයියන් ලේඛකයා තීරණය කළේ ය.

තාවකාලිකව විදෙස්ගත වුව ද නීර්වේ පොන්නයියන්ගේ සිත නිබඳව ම රැඳී තිබුණේ උපන් බිමෙහි ය; වෙඩිවරුසා හා තාඩන පීඩන මැද, අනාථයන් බවට පත්ව සිටින සිය ජනතාව සමඟ ය. කොමියුනිස්ට්වාදියකු ට හා ප්‍රගතිශීලී ලේඛකයකුට මෙසේ පලා යා නොහැකි යයි ඔහුගේ හෘදය සාක්ෂිය චෝදනා නඟනු පොන්නයියන්ට ඇසිණ. ආපසු ලංකාවට ඒමට ඔහු හිත හදා ගත්තේ ය. පවුලේ සෙසු සාමාජිකයන් ද අසීරුවෙන් ඊට එකඟ කරගත්තේ ය. සබ්බ සේසතම අහිමි වී මාර මුඛයෙන් ගැලවී ආ සරණාගතයන් ලෙස සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් විදේශගත සුරක්ෂිත ජීවිතයක් ගෙවීමට වරම් ලැබී තිබියදීත් සිය ජනතාවත් උපන් බිමත් වෙනුවෙන් ඉටු කිරීමට පැවරී තිබෙන කාර්යභාරයට උරදීම පිණිස ඔහු යළිත් දුෂ්කර මාවත තෝරා ගත්තේ ය. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන අභියෝගාත්මක නිගමනයට ඔහු එළඹුණේ එසේ ය.

1996 දී නීර්වේ පොන්නයියන් සිය කුටුම්බය ද රැගෙන යළිත් මවුබිමට සැපත් විය. සාහිත්‍යකරුවකු හා කොමියුනිස්ට්වාදියකු ලෙස තමා ඇරඹූ ගමන ආපසු හැරවීමට ඔහු කිසිසේත්ම සූදානම් නොවීය. ඔහු මෙවර සංස්කෘතික හා කලා අංශයේ ව‍ෘත්තියක් තෝරා ගත්තේ ය. ඒ එකල ලංකාවේ ක්‍රියාත්මක ව‍ූ විකල්ප සංස්ක‍‍ෘතික ආයතනයක් ව‍ූ විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ ය. ඊට අමතරව පොන්නයියන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ලේඛන සංගමයේ ද පු‍රෝගාමී සාමාජිකයකු ලෙස දෙමළ සාහිත්‍යයේ උන්නතිය මෙන් ම ජාතීන් අතර සහජීවනය පතන සහෝදර ලේඛක ලේඛිකාවන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළේ ය.

නීර්වේ පොන්නයියන් දෙමළ සාහිත්‍යයේ වඩාත් ප්‍රකටව සිටිනුයේ සූර කෙටිකතාකරුවකු වශයෙනි. නවසිය පනස් ගණන්වල සිට පුවත්පත් සඟරා ආදියට ලියූව ද ඔහුගේ මුල්ම කෙටිකතා එකතුව වන ‘මේඩුම් පල්ලවුම්’ (කන්ද සහ බෑවුම) ප්‍රකාශයට පත් වනුයේ 1961 දී ය. මුලින් කෙටිකතාවට ප්‍රමුඛත්වය දුන්න ද පසුව ඔහු සෙසු සාහිත්‍යාංග වෙත ද යොමු විය. උදයම්, මුවර් තෛදගල්, පාදෛ, වේට්කෛ, උලගත්තු නාට්ටාර්, කදෛහල්, ජෙනමම්, නිනෛවුහල් ආලික්කවිල්ලෛ, නිමිර්වු, කාල වෙල්ලම්, මුට්පෝත්තු ඉලක්කය මුන්නෝඩිගල් ආදි කෘති පොන්නයියන් ලේඛකයාගේ සෙසු ග්‍රන්ථ අතර වේ. ළමා කතා, විචාර හා සංස්කරණ වශයෙන් විවිධ සාහිත්‍යාංගවලට අයත් වන මෙම ස‍ෑම කෘතියකින් ම පාහේ ඔහු අවධාරණයට ලක් කිරීමට උත්සාහ දරනුයේ සමාජ සාධාරණය, යුක්තිය හා මානවහිතවාදය බඳු තේමාවන් ය. නීර්වේ පොන්නයියන් විසින් රචිත ‘නාම් ඒන් එළුදුහිරෝම් (අපි කුමකට ලියමුද?) නම් කෘතිය දෙමළ සාහිත්‍යධරයන් හා විද්වතුන් අතර මහත් කතා බහකට ලක්වූ විචාර සංග්‍රහයකි. දයාසේන ගුණසිංහ හා අජිත් තිලකසේන මෙන් පොන්නයියන් ද නවකතාවක් රචනා නොකිරීම සුවිශේෂ ලක්ෂණයකි.

නීර්වේ පොන්නයියන් ලේඛකයා සිංහල පාඨක සමාජයට හඳුන්වා දෙනු ලැබුවේ සරත් ආනන්ද පරිවර්තකයා විසිනි. පොන්නයියන්ගේ තෝරාගත් කෙටිකතා එකතුවක් සරත් ආනන්දගේ පරිවර්තනයක් ලෙස 2006 වස‍රේදී ප්‍රකාශයට පත් වූ අතර ඊළඟ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී ඊට සම්මානයක් ද හිමි විණ. එහෙත් ඔහුගේ දැඩි මතවාද නිසාදෝ දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ සම්මානයක් මෙතෙක් ඔහුට ලැබී නැත.

දකුණු සිරිලක සාහිත්‍යකරණයේ යෙදෙන සෙසු දෙමළ, මුස්ලිම් හෝ සිංහල සාහිත්‍යධරයන්ට සාපේක්ෂව බලන කල උතුරුකරයෙන් බිහි වූ පොන්නයියන්, ඩොමිනික් ජීවා හා ඩැනියෙල් වැනි ලේඛකයන්ගේ සටන්කාමී පන්නරය ඉතා ඉහළ ය. ආර්ථික හා දේශපාලන කොන්දේසිවලට බාහිරව අදත් උතුරේ දක්නට ලැබෙන කුල පීඩනය මීට හේතු වශයෙන් දැක්විය හැකිය. නීර්වේ පොන්නයියන් ලේඛකයා සිය ජීවන ගමනේ 80 වන කඩඉම පසුකර සිටියදීත් සමාජවාදී සමාජයක් පිළිබඳ සිහිනය උදෙසා සිය පන්හිඳ මෙහෙයවන්නේ ඒ නිසා විය යුතු ය.

Comments