නොදන්නා දෙමළයට ගොස් වරිගය නසා ගැනීම | Page 2 | සිළුමිණ

නොදන්නා දෙමළයට ගොස් වරිගය නසා ගැනීම

“මම පේරාදෙණි ගුරුකුලයේ වැරැද්දක් දකින්නේ නැහැ” යන හිසින් යුතුව, පසුගිය දෙසැම්බර් 04 වැනිදා සුමුදු චතුරාණි ජයවර්ධන විමල් ජී. බලගල්ලේ මහාචාර්යතුමා සමඟ පවත්වන ලද පිළිසඳරට පිළිතුරු වශයෙන් ගාමිණී සුමනසේකර, චින්තක රණසිංහ හා රෝහණ වංශතිලක විසින් යොමු කරන ලද ලිපිවලට පිළිතුරකි.

මා විසින් පසුගිය ජනවාරි පළමු වන දින “කාම සංස්කෘතියකට අත වැනූ පේරාදෙණිය ගුරු කුලය” යන හිසින් සිළුමිණ - සත්මඬලට ලියනු ලැබු ලිපියට ගාමිණී සුමනසේකර, චින්තක රණසිංහ සහ රෝහණ වංශතිලක යන මහතුන් විසින් මහත් උනන්දුවකින් යුතු ව පිළිතුරු සපයනු ලැබ තිබිණ. ඊට මම ඔවුන්ට ස්තුති කරමි. “වික්‍රමසිංහට මුවා වී සරච්චන්ද්‍රට ගල් ගැසීම” යන හිසින් ගාමිණී සුමනසේකරගේ පිළිතුරු ලිපිය ගුරු භක්තියකින් යුතු ව සිත් වේදනාවකින් කම්පනයට පත් ව ලියන ලද්දක් බව පෙනේ. මා විසින් ලියනු ලැබූ ශාස්ත්‍රීය පදනමක් සහිත උක්ත ලිපියට තර්කානුකූල වූ පිළිතුරක් සැපයීමට හෙතෙම බෙහෙවින් ම අපොහොසත් වී ඇත. රෝහණ වංශතිලක නමැති අය ඔහු ගේ පිළිතුරු ලිපියේ මගේ ලිපියෙන් මතු කර ඇති කරුණුවලට ඍජු පිළිතුරු සපයා නැත. “පේරාදෙණිය ගුරු කුලයට අවමන් කිරීම චින්තනයේ දුබලතාවයකි” යි හෙතෙම සඳහන් කර තිබුණි. තරමක් දුරට හෝ මා ලියන ලද ලිපිය අවබෝධ කර ගෙන ඊට ශාස්ත්‍රීය පදනමක පිහිටා පිළිතුරක් ලිවීමට උත්සාහ ගෙන තිබුණේ චින්තක රණසිංහ පමණි. “පේරාදෙණිය අතිසරල ප්‍රවේශයකින් විවේචනය කරන්න එපා” යයි මට උපදේශයක් ද දෙමින් සඳහන් කර තිබුණි.

“පිං ඇති සරසවි වරමක් දෙන්නේ” යන ස්වයං අපදානයේ අඩංගු ඇත්ත මෙන් ම යම් යම් මුසාවාද ද ඇත්ත මෙන් විශ්වාස කළ ගාමිණී සුමනසේකර “පේරාදෙණිය ගුරු කුලයක්” පැවති බව නොපිළිගත්තත් ඊට සමකාලීන විද්වතුන් අති බහුතරය එවැන්නන් පැවති බව පිළිගනී. කෙසේ වෙතත් මගේ ලිපියෙන් තරමක් නොමඟ ගිය ගාමිණී සුමනසේකර තම පිළිතුරෙහි ප්‍රහාරාත්මක ව තදබල වචනයක් දෙකක් යොදා තිබුණත් මෙවැනි ශාස්ත්‍රීය සංවාදයක දී මම එතරම් පහත් තත්ත්වයකට නොබසින බව සඳහන් කරමි. එතරම් සාහාසික නොවෙමි. කෙසේ වෙතත් උක්ත මගේ ලිපියට පිළිතුරු ලියන ලද තිදෙනා ම සඳහන් කර ඇති කරුණු සහ තොරතුරු විමසා බලන විට ඔවුන් මෙම සංවාදයේ කේන්ද්‍රීය චින්තනය වටහා ගෙන නැත. එය මා කල්පනා කරන්නේ නොදන්නා දෙමළයට ගොස් වරිගය නසා ගත්තාක් මෙනි. පේරාදෙණිය ගුරු කුලයට පටහැනිව මේ සංකල්ප ගොඩ නැ‍ඟෙන්නේ මෙ රට බෞද්ධ සභ්‍යත්වයත් සදාචාරයත් ඇතුළත් සංස්කෘතියක සිටය. එය මෙරට ගොඩනැඟීමට උත්සාහ ගන්නා බටහිර කාම සංස්කෘතියට විරුද්ධව ය. මගේ ලිපියේ කේන්ද්‍රීය කාරණය අවබෝධ කර නොගත් මොවුන් තිදෙනාගේ ම පිළිතුරුවල මූලික ස්වභාවය සහ අන්තර්ගතය එකම ස්වභාවයක් ගනු ලබන හෙයින් ඔවුන් තිදෙනාට ම මා ලියන්නේ එක පොදු පිළිතුරකි.

මා මේ ලිපිය අරඹන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ PEN සමාජයේ ප්‍රතිවාදියා වූ ‘ජනතා ලේඛක පෙරමුණ’ ඇරැඹීමේ සිට ය. 1969 දී ජනතාවට හිතකර වූ නව සංස්කෘතියක චින්තනයක් සහ සාහිත්‍යයක් අරමුණු කර ගනිමින් ජනතා ලේඛක පෙරමුණ පිහිටුවන ලදී. එහි ආරම්භක සභාපතිවරයා වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමඟ ඔහු සේවය කරනු ලැබූ ආචාර්ය මණ්ඩලයේ සමතැන් ගෙන සිංහල ඉගැන්වූ මහාචාර්ය පී. ඊ. ඊ. පී. ප්‍රනාන්දු ය. ඔහු සමඟ ජනතා ලේඛක පෙරමුණ පිහිටුවීම සඳහා මහත් උනන්දුවෙන් මූලික වී ක්‍රියා කළ තවත් කිහිප දෙනෙක් වූහ. ඔවුන් නම් මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය මැන්දිස් රෝහණදීර, ආචාර්ය ඒ. වී. සුරවීර, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, කේ. ජයතිලක, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, මහගමසේකර, දයානන්ද ගුණවර්ධන, බොබි ජී. බොතේජු සහ රත්නසිරි අරංගල සහ තවත් විද්වතුන් පිරිසකි. මෙම සංවිධානයේ ආරම්භක ලේකම්වරයා වූයේ ගුණසේන විතාන වූ අතර ආරම්භක ප්‍රධාන අනුශාසක වරයා වූයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහය.

තමන්ට සමකාලීන ව ජනතා ලේඛක පෙරමුණ බිහි වූයේ සිංහල සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයෙහි මතාන්තර පෙරළියකට මුල පුරනු සඳහා බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, එය ආරම්භයේ දී ම අවබෝධ කර ගත්තේය. ඔහු මුල දී ම ජනතා ලේඛක පෙරමුණ “කලාව ජනතාව සඳහා විය යුතු ය” යන අදහසින් ඇරැඹු එකක් ලෙස සලකා ඊට බෙහෙවින් ම අභියෝග කළ අයෙක් විය. එහි ලා ප්‍රධාන හේතුව ලෙස පෙනෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ම තමන්ට සමතැන්හි සේවය කළ මහාචාර්ය ධුරයක් දැරූ පී. ඊ. ඊ. පී. ප්‍රනාන්දු ජනතා ලේඛක පෙරමුණේ ආරම්භක දේශනය නිසා විය හැකිය. “ගලින් මලින් බැඳි පියමං” මැයෙන් ගුණසේන විතාන විසින් ලියනු ලැබූ ස්වයං චරිතාපදානයේ ඇතුළත් කරන ලද මහාචාර්ය ප්‍රනාන්දුගේ එම කතාවේ වැදගත් කොටසක්, පාඨක ඔබගේ අවධානය පිණිස උපුටා දක්වමි.

“මා මේ තනතුර භාර ගන්නේ බලවත් ලැජ්ජාවෙන් බව කිව යුතුයි. ඒ මාගේ පෞද්ගලික හේතුවක් නිසා නොව, මා සේවය කරන පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍ර ඊ. ආර්. සරච්චන්ද්‍ර සහ ඔහුගේ කණ්ඩායම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරවයට හානි වන ආකාරයෙන් මේ කරගෙන යන සංස්කෘතික දූෂණය නිසා හටගත් ලැජ්ජාවෙන්. මා අන්තිමට කල්පනා කළා මෙම අසංස්කෘතික ව්‍යාපාරය මැඬලිය හැකි බලවේගයක් සමඟ එකතු විය යුතු ය කියා. මම අද ජනතා ලේඛක පෙරමුණට සම්බන්ධ වෙන්නේ ඒ උදාර අධිෂ්ඨානය ඇතිවයි.”

ජනතා ලේඛක පෙරමුණ බිහිවන්නටත් පෙර සිට ම මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍රයන්ටත් පේරාදෙණිය කල්ලියටත් අවවාද කරමින් ලිපි රාශියක් ලියා පළ කළේ ය. ජනතා සාහිත්‍ය සංකල්පය අගය කරමින් ඔහු විසින් පුවත්පතකට සපයන ලද ලිපියක් කියවූ සරච්චන්ද්‍ර බෙහෙවින් ම කෝපයට පත් ව වික්‍රමසිංහට පහර දෙන ලිපි ගණනාවක් පුවත්පත් කිහිපයක ම පළ කළේ ය. මාර්ටින් වික්‍රමසිංහයන් එහි ලා සරච්චන්ද්‍රයන්ට ලියු පිළිතුරු කිහිපයකින් සංග්‍රහ කරන ලද “ජනතා සාහිත්‍ය” මැයෙන් යුත් ලිපියක් පසු ව ඔහුගේ ‘සම්ප්‍රදාය හා විචාරය’ යන ග්‍රන්ථයට පරිච්ඡේදයක් ලෙස 1971 දී ඇතුළත් කර පළ කරනු ලැබීය. ඉන් තෝරාගත් ඡේද කිහිපයක් මෙසේ ය:

“ජනතා සාහිත්තිය ගැන දොඩන බොහෝ දෙනකුන්ට ඒ මැය ගැන පළල් වැටහීමක් ඇතැයි නොහැ‍ඟේ. සමහරු එය සමාජවාදීය නවකථා හා කවි පමණක් ඇතුළු වන සාහිත්‍ය ලෙස හඳුන්වති. තවත් කෙනෙක් එය කම්කරුවන් හා දිළිඳු ජනයා පිළිබඳ කතා හා කවි සාහිත්තියක් ලෙස හඳුන්වති. තවත් කෙනෙක් එය සමාජ යථාර්ථවාදය ගුරුකොට ගෙන රචිත කතා හා පැදි සාහිත්තිය ලෙස හඳුන්වති.

මේ හැම විවරණයකින් ම හැඳින්වෙන්නේ ජනතා සාහිත්‍යයේ අංගයක් දෙකක් හෝ තුනක් පමණකි. කතා හා කවි පමණක් නොව විද්දියාව, අත්කම්, කම්මල් කම් සාස්තරය නොහොත් කාර්මික විද්දියාව පිළිබඳව පොත් ද ජනතා සාහිත්‍යයෙහි ඇතුළු වෙයි. සමාජවාදය අනුගමනය කරන රටවල පොදු ජනයාට වඩාත් හිතවත් සාහිත්‍යයෙහි ඇතුළුවන්නේ විද්දියාව, දර්සනය, කාර්මික විද්දියාව අරබයා පොදුජන බසින් ලියන ලද පොත් ය.

රජුන්, ඇමතියන්, රදළයන් හා පූජකයන් දරුණු උපහාසයට හසු කරන කතා අවුරුදු දෙසීයකට පමණ පෙර ප්‍රන්සයේ විසූ වොල්ටෙයාර් නමැති ගත්කරුවා රචනා කළා. දැනුදු ඒ පොත්වල පරිවර්තන රුසියාවේ පොදු ජනයා කියවති. මීට අවුරුදු දයකට පමණ උඩ දී ජෝර්ජ් ස්ටයිනර් නමැති ඇමෙරිකන් විචාරකයා ලියා පළ කරන ලද “බස හා නිහඬ බව” නමැති නිබන්ධ එකතුව අඩු මිලට දෙනු පිණිස ගිය අවුරුද්දේ පැන්ග්වින් සමාගම පළ කෙළේ ය. එහි එන කියුමක සිංහල අරුත සැකවින් මේය.

“පැසිස්ට් ධර්මය ඇසුරෙන් දෙදෙනකු (හැන්රි මාන්කලං හා ලුවි ය. සිනාං චැලිනි නමැති ප්‍රංස නවකතා කාරයන්) හැර පළමුවන පන්තියෙ කිසිම සාහිත්තිය කාරයෙක් පහළ නොවීය. අනිත් අතින් ඉතාම හොඳ වර්තමාන සාහිත්තිය රචනා රාසියක් කොමියුනිස්ට් දහමෙහි බලපෑම නිසා පහළ විය. මේ යුගයේ උසස් ම සාහිත්‍ය කාරයන් ගෙන් බොහෝ දෙනා පුද්ගලයන් ලෙස කොමියුනිස්ට් දහම ඇසුරු කිරීම නිසා ඔවුන් ගේ චේතනා හා චරිත වෙසෙස් උසස් වූ ලෙස සලකනු ලැබීය.

ලොව පුරා පැතිරෙන වර්තමාන සාහිත්තිය ‘ජනතා සාහිත්තියක් වූ සැටි මේ කියුමෙන් ද හෙළි වෙයි. මෙය දනවාදී රටවල පාලකයන් වටහා ගත්තක් බව ඔප්පු කරනු පිණිස සාක්කි එළවිය හැකි ය.”

‘ජනතා සාහිත්තිය’ යන හිසින් යුතු ව මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියනු ලැබූ යට සඳහන් ලිපියෙන් හෙළිදරව් කළ අන්දමට, තුන් වන ලෝකයට අයත් වූ යටත් විජිත නිදහස ලබා ගනිමින් සිටි රටවල පොදු ජනයා අවදි කරනු සඳහා, ආසියා - අප්‍රිකා විමුක්ති අරගල මඟින් අර්ථවත් කළ ජනතා සාහිත්‍ය සංකල්පය මහත් අනුබලයක් විය. ආසියාවේ - අප්‍රිකාවේ රටවල පිබිදීම සඳහා ආසියා - අප්‍රිකා සහයෝගිතා සංගම නමින් නව සංවිධානයක් ගොඩනැඟීමට සෝවියට් සංගමය දායක විය. මේ අතර ආසියාවේ - අප්‍රිකාවේ ලේඛක කලාකරුවන් එක්තැන් කිරීමේ අරමුණ ඇති ව ආසියා - අප්‍රිකා ලේඛක සංගමය (Afro - Asian Writers Association - AAWA) නමින් නව සංවිධානයක් බිහි කිරීමට සෝවියට් සංගමය උදවු කළා ය. මෙම මහද්වීප දෙකෙන් බිහිවන ජනතා හිතෛෂි ලේඛකයන්ගේ උද්යෝගය වඩනු සඳහා Lotus නමින් ජාත්‍යන්තර මට්ටමේ සඟරාවක් ඇරැඹිණි. එය වසරේ කාර්තුවකට එකක් වන සේ නිකුත් විය. එහි ලා ලේඛකයන් ඉදිරිපත් කරනු සඳහා Lotus Price හෙවත් ලෝටස් ත්‍යාගය නමින් ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ප්‍රදානයක් ද හඳුන්වා දෙන ලදී. ජනතා ලේඛක පෙරමුණ ආසියා - අප්‍රිකා ලේඛක සංගමය හා බැඳුණ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලේඛක සංවිධානයක් විය. ආසියා - අප්‍රිකා ලේඛක සංගමයේ ලේකම් මණ්ඩලයේ එක් සභික ධුරයක් දැරුවේ ශ්‍රී ලංකාවේ ගුණසේන විතාන ලේඛකයා ය. ලෝටස් සඟරාව ඉංග්‍රීසි බසට අමතරව ලෝක භාෂා වන ප්‍රංස, ජර්මන්, රුසියානු, සහ අරාබි භාෂාවලින් ප්‍රකාශයට පත් විය. 1980 වර්ෂයේ දී ජාත්‍යන්තර ලෝටස් සම්මානය හිමි වූයේ ලංකාවේ ගුණසේන විතානට ය.

ලෝටස් සඟරාවේ ප්‍රධාන කාර්ය භාරය වූයේ ඉහත සඳහන් අන්දමට මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ප්‍රකාශ කරනු ලැබූ ජනතා සාහිත්‍ය සංකල්පය වර්ධනාත්මක ව පවත්වා ගෙන යාමත් යටත් විජිතවාදය, ධනවාදය සහ අධිරාජ්‍යවාදයට එදිරිව සමාජවාදයේ අවශ්‍යතාව අවබෝධ කර වීමත්, ඊට අදාළ ලිපි, වාර්තා සහ ඡායාරූප පළ කිරීමත් ය. මේ ලිපිය කියවන පාඨකයාගේ අවබෝධය වඩාත් පැහැදිලි කරනු සඳහා නිදසුනක් ලෙස එහි එක් ලෝටස් සඟරාවක පැවැති අන්තර්ගතය මෙසේ පැහැදිලි කරමු. නිදසුන් සඳහා මා විසින් මේ සඟරාව තෝරා ගනු ලැබුවේ එහි ලංකාවේ ජනතා ලේඛක පෙරමුණේ දස වන සංවත්සරයේ පූර්ණ වාර්තාවක් පළ වී තිබීම නිසා ය. 1980 අවසාන කාර්තුවේ පළ වූ සඟරාවේ පටුන මෙසේ ය. එනම්: Studies, Poems, Tribute, Anniversaries (විවිධ රටවල ලේඛක සංවිධාන සම්බන්ධ වාර්තා), Short Stories, Reportage, Art and Book Reviews යන තේමා ය. එහි Studies යටතේ පළ කර ඇති ලිපි මාතෘකාවලට අනුව ඒවායේ ස්වභාවය හඳුනා ගැනීමට පහසු වනු ඇත.

(1) The Caribbean Writer and Exile (2) Ethiopian Literature Before and after the Revolution, (3) Now Stories Walk like Men, (4) The Egyptian Theatre, (5) Flowering in the Sixties and Deterioration in the Seventies.

මේ සඟරාවේ පළ කරනු ලබන විවිධ ලිපි මඟින් ඒ ඒ රටවල සාහිත්‍ය කලාවට ඇතුළත් විවිධ තොරතුරු හෙළිදරව් කරනු ඇත. මේ සඟරාවේ ලංකාවේ ජනතා ලේඛක පෙරමුණේ 10 වැනි සංවත්සර වාර්තාවක් ද එහි එවකට සභාපති මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා සහ ලේකම් ගුණසේන විතානයන් ද සහිත සමූහ සේයාරුවක් පළ වී තිබිණ. ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ යටත් විජිතවාදයටත් අධිරාජ්‍යවාදයටත් විරුද්ධ ව, සමාජවාදී මාවත විවෘත කිරීමට සැලසුම් වන උත්සාහයන්ට අනුබල දෙන මේ සංවිධානයට එදා සහමුලින් ම විරුද්ධව ක්‍රියාත්මක වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලැබූ Poets, Editors and Novelists යන වචනවලින් සකස් ව කෙටි නාමයක් සේ හැඳින්වූ PEN සමාජයයි. එම සමාජයේ සම්පූර්ණ නාමය වූයේ Inter National Association of Poets, Play Writers, Editors, Essayists and Novelists යන්නයි. PEN නමැති බටහිර මේ සාහිත්‍ය සමාජයේ ප්‍රධාන අරමුණ වූයේ ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවය වූ CIA (Central Intelligence Agency) සංවිධානයේ අරමුණුවලට සාපේක්ෂව ආසියා - අප්‍රිකා ලේඛක සංවිධානයේ සහ සමාජවාදී රටවල පවත්වා ගෙන යනු ලබන ලේඛක සංවිධානවල කටයුතු හැකිතාක් දුබල කිරීමය. මෙහි ලා PEN සමාජය උත්සාහ කළේ ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ තුන් වන ලෝකයේ රටවල බටහිර සංස්කෘතියක් සදාචාරයත් ව්‍යාප්ත කර වීමයි.

සමාජවාදය, කොමියුනිස්ට්වාදය මෙන් ම මාක්ස්වාදය හලාහල විසක් සේ සැලකූ ජපානයේ සුප්‍රකට ලේඛක නවකථාකරු යසුනරි කවබතා එරට PEN සමාජයේ සභාපති වූ අතර ඔහු ගේ මිතුරු මහාචාර්ය සරච්චන්ද්‍ර ලංකාවේ PEN සමාජයේ එවකට සභාපති විය. එවකට ලංකාවේ ඒ සමාජයේ ලේකම් වරයා වූයේ බටහිර සාහිත්‍යය පිළිබඳ විශේෂඥයකු සහ ඇමෙරිකාවේ ප්‍රථම පන්තියේ මිතුරකු වූ රෙජි සිරිවර්ධන ය. එවකට ලංකාවේ අන්ත දක්ෂිණාංශික සංවිධානයක් වූ PEN සමාජයේ සභාපති ව සිටි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමඟ ඉතා සමීප ව ක්‍රියා කළවුන් අතර මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය නන්දසේන රත්නපාල සහ ඇම්. ජේ. පෙරේරා ද වූහ.

මහාචාර්ය සරච්චන්ද්‍රගේ අතීසාර දක්ෂිණාංශික මිත්‍රයා වූ යසුනරි කවබතා ගැන මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් “සිංහල නවකථාව සහ ජපන් කාමකතා සෙවණැල්ල” යන නිබන්ධයෙහි ලා මෙසේ සඳහන් කරයි.

“අප රට සමහරුන් පිබිදුණේ පැරැණි සාහිත්‍ය බැහැර කළ ජපන් ලේඛකයන්ගේ කතා කියවීමෙනියි සිතමි. සරච්චන්ද්‍ර ගුරුකොට ගත් යසුනරි කවබතා නම්, පැරැණි කාව්‍ය රීතිය ගුරුකොට ගෙන නවකථා ලියූවෙකි. කවබතා යථාර්ථ රූපී නවකථාව (තාත්වික කතා රීතිය) අවඥාවෙන් බැහැර කළේය. ඔහු කම්කරු ජීවිතය නිරූපණය කෙරෙන නවකථා නොඉවසුවේ ය. මා මෙසේ කියන්නේ වර්තමාන ජපන් ලේඛකයන් ඇසුරෙන් ලත් දැනුමක පිහිටා නොවේ. කවබතාගේ නවකථා හා ඒ ඉංග්‍රීසියට නැඟූවන්ගේ විවේචනයන් ද ගුරුකොට ගෙන ය.”

සෝවියට් දේශය ඇතුළු සමාජවාදී කඳවුරට විරුද්ධ වූ කවබතා ‘කම්කරු ජීවිතය නිරූපණය කෙරෙන නවකථා නොඉවසුවේ ය’ යි සඳහන් කරණු ලැබ ඇත්තේ, හෙතෙම එක එල්ලේ ම ‘ජනතා සාහිත්‍යයට’ (නිර්ධන පන්ති) විරුද්ධ යැයි අන් වෙසකින් ප්‍රකාශ කිරිමක් ලෙසිනි. “ඉන්දියාව සොයා ගැනීම” (Discovery of India) නම් සිය ග්‍රන්ථයේ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවර්ලාල් නේරු ප්‍රකාශ කර ඇත්තේ “රුසියාවේ ඔක්තෝබර් විප්ලවය ලොව නොනිමෙන පහන් සිළුවක් දල්වා ඇත” යනුවෙනි. එය සමාජවාදය නමැති නිර්ධන පන්ති කම්කරු ව්‍යාපාරයේ සජීවී ආරම්භයක් විය. මෙකල ඒ ප්‍රකාශයේ ප්‍ර‍ායෝගික සත්‍යය යමක් වුවත් එදා කවබතා නේරුගේ ප්‍රකාශය බැහැර කළේ ඔහු බටහිරට දැක්වූ ගැතිකම් හා පක්ෂපාත බව නිසාය. ඔහුගේ ඒකායන චින්තනය වී තිබුණේ සමාජවාදය හා කොමියුනිස්ට්වාදය සහමුලින් ම නව සංහතියෙන් අතුගා දැමීමයි. එවකට ලංකා PEN සමාජයේ සභාපතිව සිටි මහාචාර්ය සරච්චන්ද්‍ර ද ඔහුගේ PEN ලේකම් රෙජි සිරිවර්ධන ද අප රටේ බටහිර සංස්කෘතිය පැතිරවීමට අනුබල දෙමින් සිටියේ මෙරට ජනතා සාහිත්‍යයක් බිහිවීම වැළැක්වීමට ය.

එවකට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ජපන් කාමකතා ව්‍යාපාරයට විරුද්ධව නැඟී සිටියවුන් අතර එදා පේරාදෙණියේ ඔහුගේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ ම මහාචාර්යවරයකු වූ පී. ඊ. ඊ. පී. ප්‍රනාන්දු, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන ඇතුළු ප්‍රගතිශීලී කණ්ඩායම මේ අන්ත දක්ෂිණාංශික ජපන් කාම සාහිත්‍ය කල්ලියට විරුද්ධව නැඟී සිටියේ ඇයි ද යන්න අවබෝධ කරගැනීමට දැන් අපට පහසු නොවේ. මේ කාලය තුළ පේරාදෙණියේ සේවය කළ සුළු පිරිසක් ඊට පක්ෂපාත වුවත් සැලකිය යුතු පිරිසක් නිහඬව හෝ නිහඬව විරෝධය පළ කරමින් හෝ සිටියහ.

එකල පේරාදෙණියේ සිංහල අංශ ප්‍රධානී මහා විද්වතා වූ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහාචාර්ය සරච්චන්ද්‍රගේ මේ අසංස්කෘතික කාම සාහිත්‍ය ව්‍යාපාරයට කිසිදු අනුබලයක් දුන්නේ නැත. නිහඬ ව මුක්කු ගැසුවේ ද නැත. මේ වන විට මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු කණ්ඩායම මෙරට පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය සහමුලින් ම අතහැර දමා තිබිණ.

මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි ගේ දේශීයත්වය පිළිබඳ හැඟීමත් බෞද්ධ සදාචාරයත් නිසා මෙරට කාම සාහිත්‍ය පෝෂණයට වඩා සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල ආඛ්‍යාන සාහිත්‍ය සංස්කරණ ක්‍රියාවලියේ වැදගත්කම දුටුවේ ඉන් මෙරට දේශීය සංස්කෘතියේ පදනම ශක්තිමත් කිරීමෙහි ලා පවත්නා වැදගත්කම සිය අන්තර් ඥානයෙන් දැකීම නිසා ය. මේ කරුණට අදාළව 1984 ජනවාරි - මාර්තු ‘සංස්කෘති’ සඟරාවට ලිපියක් ලියන මහාචාර්ය පී. බී. මීගස්කුඹුරේ මෙසේ සඳහන් කරයි.

“සිංහල ආඛ්‍යාන සාහිත්‍ය බෙහෙවින් ම බෞද්ධ ත්‍රිපිටකය හා අට්ඨකතා සාහිත්‍ය ඇසුරු කොට පහළ විය. ඒ කෘතිවල පරමාර්ථය වූයේ මූලාශ්‍ර ග්‍රන්ථවල එන අරුත් පැහැදිලි කිරීමටත් විවිධ ඓතිහාසික අවස්ථාවන්හි උද්ගත වූ මතභේද හා මතවාද සමාලෝචනය කොට ථෙරවාදී මත සමුත්තාපයන් ය. සමාලෝචනාත්මක වශයෙන් බලන විට අනුරපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා වූ සම්භාව්‍ය සාහිත්‍ය අවදි තුළ බිහි වූ සාහිත්‍යධරයන් ගේ අවධානයත්, ශ්‍රමයත් බෙහෙවින් ම කැප වූයේ නිර්මාණාත්මක ලේඛනයට වඩා අර්ථ ව්‍යාඛ්‍යාන ලිවීමට බැව් පෙනී යයි. යටත් විජිත අවධියේ දී සිංහල උගතුන් ඇසුරින් බැහැරව තිබි මේ ග්‍රන්ථ සමුදාය නැවත සංශෝධනය කොට හෙළ බසට හා බුදු දහමට පිහිටක් වන පරිදි ඉදිරිපත් කිරීමට වෙහෙසුණු වියතුන් අතර මහාචාර්ය හෙට්ටිආරච්චි අභිමානවත් තැනක වැජඹෙන වියතෙකි.”

පැරැණි සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණය කරමින් යුගයට උචිත බෞද්ධ සදාචාර සාහිත්‍ය පෝෂණය කරනවා වෙනුවට තිරිසන් සතුන්ගෙන් වුව ද සුලබව ඉගෙන ගත හැකි කාම සාහිත්‍ය පාඩම් සඳහා කාලය ගත කිරීමෙන්, මෙරට අර්ථවත් මානව සදාචාරයක් ගොඩනැඟීමට ලබාගත හැකි ප්‍රයෝජනය කුමක්දැයි මහාචාර්ය හෙට්ටිආරච්චි කල්පනා කළාට කිසිදු සැකයක් නැත. මේ සැකය ම මතු වූ තවත් අවස්ථාවක් මම දුටිමි. 1980 වර්ෂයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබූ සිඹුයා තොෂිඕ නමැති ජපන් ජාතිකයා තමා ලංකාවේ ගත කළ කාලය තුළ තම රට ගැන ලංකාවේ පැවැති ආකල්ප සම්බන්ධයෙන්, අධ්‍යයනයක් කොට 1984 තුන්වන කාර්තුවේ ‘සංස්කෘති’ සඟරාවට “ජපානය පිළිබඳ සිංහලයන්ගේ ආකල්ප” මැයෙන් ලිපියක් ලියුවේය. ජපානය හා ලංකාව අතර පැවැති විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සබඳතා ගැන සාකච්ඡා කර ඇති ඒ ලිපියේ තත්කාලයේ ලංකාවේ ඉතා පළල් ලෙස සාකච්ඡා වෙමින් පැවැති ජපන් කාම නවකථා පිළිබඳව වචනයක් වත් සඳහන් වී නැත. ඒ අනුව පැහැදිලි වන්නේ සිඹුයා තොෂිඕ ජපානය හා සම්බන්ධ මහාචාර්ය සරච්චන්ද්‍රගේ නවකථාව පිළිබඳ උනන්දුව හිතාමතාම නොතකා හැර ඇති බවයි.

Comments